රාවය

සේරක්කුලිය මීතොටමුල්ලක් නොකරනු!

සේරක්කුලිය මීතොටමුල්ලක් නොකරනු!

අපූරු මතකයන්ට නහයත් එක්ක තියෙන්නෙ බොහොම සමීප සම්බන්ධයක්. ඉතින් නහයත් වහගෙන ඉන්ඩ වුණොත් ඒ අපූරු මතක සදහටම වැහිල, අමතක වෙලා යන්ඩ පුලුවන්. මේ කියන්ඩ යන කතාවත් ඒ වගේ අපූරු මතකයන් සදහටම අමතක කරන්ඩ වෙන, ඒ කියන්නෙ කුණු හින්ද නහය වහගෙන ඉන්ඩ වෙන මිනිස්සු ගැන කතාවක්. මේ මිනිස්සු ඉන්නෙ සේරක්කුලියෙ. සේරක්කුලිය කියන්නෙ පුත්තලම් අන්තෙ තියන අන්තිම ගම. මේ ගම හරියට අර්ධද්වීපයක් වගේ. තුන් පැත්තකින් මුහුදෙන් වට වෙලා.
ඒ හන්දම ගමේ මිනිස්සුන්ට තියෙන්නෙ මුහුදත්, ඊට මෙහායින් තියන කලපුවත් එක්ක බොහොම සමීප සම්බන්ධයක්. කලපුව මේ මිනිස්සුන්ගෙ ජීවිතේම කොටසක්. කලපුව කොච්චර සමීපද කියනව නම් බොහොමයක් ගෙවල් මුහුණ ලා තියෙන්නෙම කලපුව දිහාට. ඉතුරු ගෙවල්වල මායිම ඉවර වෙන්නෙ කලපුවෙ වෙරළෙන්. ඔන්න ඔය හන්දම සේරක්කුලියෙ මිනිස්සු තමන්ගෙ හැම ගනුදෙනුවකම කලපුව කොටස්කාරයෙක් කරගෙන. උදේට කලපුවට ගෙන්නගෙන දවල්ට ඒ ගමන සල්ලි කරන්ඩ කලපුව ලෑස්ති වෙලා ඉන්නේ කලපුවත් එක්ක මේ මිනිස්සුන්ට තියන ඒ සම්බන්ධෙට කළගුණ සලකන්ඩ වගේ.

සේරක්කුලිය
පුත්තලමේ ඉඳල ඇවිල්ල වනාතවිල්ලුවෙන් හැරුණට පස්සේ සේරක්කුලියට යන්ඩ තියන පාර බොහොම දුෂ්කරයි. පාරේ වැඩියෙන්ම තියෙන්නේ වළවල්. ඒ හින්ද ඒ පාරෙ යන යතුරු පැදි යන්නේ ඒ කොනින් මේ කොනටත් මේ කොනින් ඒ කොනටත් හරවමින්. කොහොම ගියත් වළකට වැටෙන්නෙ නැතුව බේරිලා යන්ඩ බෑ.
“මේ පාර හදන්නෙ නැද්ද?” අපි ඇසුවේ අපේ මඟ පෙන්වන්නාගෙන්.

“කුණු ප්‍රොජෙක්ට් එක හදන්ඩ දුන්නොත් පාර හදල දෙනව කීව. අපි කීව පාර මෙහෙමම තිබුණාවේ කුණු ප්‍රොජෙක්ට් එක නවත්තන්ඩ කියල., මෙන්න මේ ටික ගිය ඡන්දෙට හැදුවේ” ඔහු එහෙම කීවෙ අපි සිමෙන්ති ගල් අල්ලපු පාරක් පහුකරද්දි. කොහොම වුණත් තව මීටර් සීයක් දෙසීයක් විතර ගිය තැන අර පුරුදු පාරමයි.
කොහොම හරි ඔන්න ඔහොම කලපුවත් එක්ක හරි අපූරුවට ජීවත් වුණ මිනිස්සුන්ට අපි අර මුලින් කීව විදිහට නහය වහගෙන ඉන්ඩ වෙන තැනට වැඩ සිද්ද්වෙන්ඩ යන්නෙ, ඒ කියන්නෙ අර අපූරු මතකයන් සදහටම අමතක කරල දාන්ඩ වෙන්නෙ වෙන මුකුත් නිසා නෙවෙයි කොළඹ කුණු හින්ද. ඒ කාරණාව සිද්ද වෙන්නේ මෙහෙම.

කොළඹ කුණු සේරක්කුලියට
කොළඹ කුණු ප්‍රශ්නයට කොළඹට එන කවුරුවත් උත්තර අරගෙන ආවෙ නැතුවට, අමතක නොකර කොළඹට කුණු අරගෙන ආව. ඒ හන්දම දවසින් දවස සිද්ධ වුණේ කොළඹ කුණු වැඩිවෙන එක. ඔය වැඩිවෙන කුණු කොළඹම ගොඩ ගහනව ඇරෙන්ඩ වෙන විකල්පයක් කොළඹ පාලනය කරන මිනිස්සුන්ට තිබ්බෙත් නෑ. ඔන්න ඔය හන්ද කොළඹ කුණු කඳු හැදෙන්ඩ ගත්ත. ඒ කුණු කඳු හන්තානෙ එහෙම නැත්තන් සමනළ කඳු වගේ සුන්දර නොවුනට කොළඹ කුණු කඳු එක්කත් අලුත් සංස්කෘතියක් බිහි වුණා. කොහොමින් හරි මීතොටමුල්ල වගේ කුණු කඳු කඩා වැටෙද්දි සුගතදාස ක්‍රීඩාංගනය පිටිපස්සේ දවස් ගණන් කුණුවෙන කුණු ගොඩවල් කොළඹ ඉතුරු වුණා. අන්තිමට කොළඹ කුණු ප්‍රශ්නෙ කොළඹම ප්‍රශ්නයක් වෙන්නෙ නැතුව රටේ ”ජාතික ප්‍රශ්නයක්” කියන තැනටම තල්ලු වුණා.

ඒ කියන ජාතික ප්‍රශ්නෙට විසඳුම් හොයන්ඩ කියල පහුගිය රජය කාලේ ගත්ත තීරණයක් තමයි ආරක්කුලියෙ තියන හොල්සිම් සංස්ථාවෙන් සිමෙන්ති අරන් ඉවර කරපු විශාල වළවල් වලට කුණු ගෙනිහින් දාන එක. ඒ වළවල් තියෙන්නේ විල්පත්තු වනාන්තරයට සමීපව. සේරක්කුලියටත් බොහොම දුරින්, අඩුම තරමේ සේරක්කුලියේ ඉඳන් කිලෝමීටර හයක් විතර තියනව. හැබැයි ඒ වැඩපිළිවෙළ ඒ විදිහට ක්‍රියාත්මක නොවී සේරක්කුලියේ ගම ආසන්නයේම ක්‍රියාත්මක කරන්ඩ කටයුතු කරමින් පවතින හින්ද තමයි දැන් ප්‍රශ්නෙ ඇතිවෙලා තියෙන්නේ.

“අපි හිතාගෙන හිටියෙත් කලින් කීව තැනට කුණු දානව කියල. හැබැයි දැන් එතන නෙවෙයි මේ කුණු ගෙනත් දාන්ඩ හදන්නෙ අපේ ගමට.” එහෙම කීවෙ නුවන්. අපි සේරක්කුලියට ආව කියන ආරංචියට ගමේ එක්කෙනා දෙන්න අපි හිටපු තැනට එන්ඩ පටන් අරගෙන.
අපි ගමේ මිනිස්සු එනකන් ඉන්නෙ කලපුවෙ වෙරළෙ. මෙතනට තමයි මුහුදු ගිය බෝට්ටු මාලුත් අරගෙන එන්නේ, අපි ඉන්න වෙලාවට නම් ආවෙ කලපු කකුළුවො අල්ලපු බෝට්ටු. එහෙම එන එක්කෙනා දෙන්නත් අපි හිටපු තැනට එනවා. ගමේ බොහෝ දෙනකුට බෝට්ටු තියනවා. ඒ කියන්නෙ සේරක්කුලියෙ ගොඩක් මිනිස්සු ධීවරයො. සේරක්කුලියට ගිය අපට එහෙ මිනිස්සු කීවෙ සේරක්කුලියෙ රජයේ රස්සාවක් කරන එක්කෙනෙක්වත් නෑ කියල. බොහොම ටික දෙනෙක් තමයි ධීවර රැකියාව නොවන වෙනත් රැකියා කරන්නෙ.

මේ වෙද්දි කුණු ව්‍යාපෘතිය කෙරෙන තැනට ගමේ ඉඳල මීටර් සීයක් එකසිය පනහක්වත් නැති තරම්. එතනට කුණු ගෙනත් දාපුවහම ගමට, කලපුවට හානියක් නෑ කියල කාටද කියන්ඩ පුලුවන්. මෙතනට කුණු ගෙනත් දානව කියන එක. සේරක්කුලියෙ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කරන බොහොම අන්තරාදායක සෙල්ලමක්.

කළපුවට කඳුළක්
“මේ පැත්තෙ මුහුද තමා ඩෝල්පින්ල බලන්ඩ ප්‍රසිද්ධම පැත්ත. ඒ වගේම ඉස්සො කර්මාන්තෙ. මේක පුත්තලම කළපුව. මේකෙන් ඉස්සෝ කරමාන්තේ කරන ගොඩක් අය ඉන්නවා. අන්තිමට කුණු මෙතනට ගෙනල්ල දාපුවහම මේ ඔක්කොම නැතිවෙලා යනව. අපි කන්නෙ අඳින්නෙ මේ කලපුවෙන්. ඒකත් නැති වුණොත් අපට මොකද වෙන්නේ” නුවන් අහනව. ඒ ප්‍රශ්නෙ නුවන් විතරක් අහන ප්‍රශ්නයක් නොවන වග අපට වැටහුනේ එතනට එකතුවෙලා හිටපු අනිත් මිනිස්සුන්ගෙ මූණු වල ඒ ප්‍රශ්නෙ ලියවිලා තිබුණ නිසා.
විටින් විට එකා දෙන්නා පැමිණෙන්නට උනත් ටික වෙලාවක් යද්දි එතන එකතු වුණ පිරිස තරමක් විශාලයි. ඔවුන් සිය ගම්මානය වෙනුවෙන්, තමාගේ අනාගතය වෙනුවෙන් අපට කතා කළා.

ඔවුන් සමඟ එකතු වී සිටි ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා නමින් බුද්ධිකය.

“ප්‍රාදේශීය සභාවට බැරිද මේකට පිළියමක් යොදන්ඩ?” අප ඇසුවේ ඔහුගෙනි.

“මෙතන කිසිම බලයක් ප්‍රාදේශීය සභාවට නෑ. ඒ හින්ද මෙතන වෙන කිසිම දෙයක් පාලනය කරන්ඩ අපට බෑ. මේ ව්‍යාපෘතිය කරන්නෙ චීන සමාගමක්. අපට ප්‍රසන්ටේෂන් වල පෙන්නන්නේ කොරියාවෙයි ජපානෙයි දර්ශන. අපි ඇහැව්ව මේක චීනෙන්නෙ කරන්නෙ ඇයි අපට චීනෙ ඒව පෙන්නන්නෙ නැතුව වෙන රටවල ඒව පෙන්නන්නේ කියලා. අපි දන්නවනෙ චීනෙ බඩු ගත්තත් ටික දවසකින් ඒව කැඩිල යනව කියල. අපට හිතෙන්නේ මේකත් අඩු වියදමින් කරන්ඩ හදන බාල වැඩක් කියලා”

අපි දන්න විදිහට අපේ රටේ පාලකයෝ ව්‍යාපෘති වාර්තා, අනාගත වැඩ පිළිවෙළවල් විශ්මයජනක විදිහට හදන්ඩ දක්ෂයො. එහෙත් ඒ අපූරු වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙද්දි පීඩාවට පත් වන්නේ ජනතාව. ඒ වැඩසටහන් ඉදිරිපත් කරද්දී තිබූ සුන්දරත්වය, වැඩපිළිවෙළවල් අවසාන වෙද්දි නෑ.
“මේ ප්‍රොජෙක්ට් එක කළොත් සභාවට කෝටි ගාණක් ලැබෙනවලු. ඒකයි සභාවෙ කට්ටිය වැඩි සද්දයක් නැත්තේ.”
ඒ ගමේ පිරිස අතරින් ආ හඬක්. කවුරුන්දැයි කියන්නට බැරි තරමට එක පිට එක අදහස් ඵලවෙනවා.

නොරොච්චෝලෙට වෙච්ච දේ වගෙයි
“ඕනෙ කෙනකුට පුලුවන් තර්ක ඉදිරිපත් කරන්ඩ. මේ විදිහටම නොරොච්චෝලෙටත් තර්ක ඉදිරිපත් කළානේ. දැන් මොකද නොරොච්චෝලෙට වෙලා තියෙන්නේ. මනුස්සයකුට ජීවත් වෙන්ඩ බෑ. රජය දැන් ඒවට උත්තර දෙන්නෙත් නෑ. අන්තිමට අපටත් නොරොච්චෝලෙට වෙච්ච දේ නොවෙයි කියල කොහොමද කියන්නේ.”
ෆ්‍රනෑන්ඩෝට වගේම ගමේ අනිත් අයටත් තියෙන්නෙ තමන්ගෙ අනාගත පිළිබඳ අවිනශ්චිත බව නිසා උපන් ප්‍රශ්න කන්දක්.

සේරක්කුලියට කල්පිටිය බොහෝ සමීපය. ඒ හින්ද නොරොච්චෝලේ ඔවුන්ට සමීපයි. නොරොච්චෝලේ නිසා විඳවන කල්පිටියේ මිනිස්සු දකින ඔවුන්ට සේරක්කුලිය ගැන ඇතිවන්නේ සහේතුක බයක්. නොරොච්චෝලේ ව්‍යාපෘති කාලේ ඒ වෙනුවෙන් කතා කරපු කවුරුත් දැන් විඳවන නොරොච්චෝලෙ එක්ක නෑ. ඉතින් සේරක්කුලියේ මිනිස්සු බය නොවී කොහොමද?

ක්‍රිස්ටි පෙරේරා, ඔහු පල්ලියේ පියතුමා. පියතුමා සේරක්කුලියේ මිනිසුන් සමඟ එකතු වී ඉන්නෙ වෙන්නට යන වින්නැහියෙන් සේරක්කුලිය බේරා ගැනීමේ අරමුණෙන්. ඔහුට දින කිහිපයක් පොලිස් අත්අඩංගුවේ සිටීමට සිදු වූවේ ද මිනිසුන් වෙනුවෙන් හඬ නැගූ නිසා. පෙරේරා පියතුමාත් අප සිටි තැනට ආවේ සේරක්කුලියට ශක්තියක් වෙන්ඩ.

“ගමට සමීපවම කුණු ගොඩක් තියන එකෙන්, කොළඹ ප්‍රශ්නෙ අපටත් ඒ විදිහටම බලපානව. කොළඹට යද්දි නහය වහගෙන යනව වගේ අපටත් නහය වහගෙන යන්ඩ තමා වෙන්නෙ. අනිත් එක මේක හදන්නේ කලපුව ළඟ. එතකොට කුණු වතුර, වැඩි වතුර, වැස්සෙන් එන වතුර සේරම යන්නේ කලපුවට. එතකොට මතස්‍ය සම්පත ඉවරයි. අපේ ධීවරයට මොකද වෙන්නෙ. එක පැත්තකින් කල්පිටිය, අනික් පැත්තෙන් පුත්තලම පලාවි ඉස්සො ව්‍යාපාරිකයො. ඒ ඔක්කොමට කලපුවට මිශ්‍ර වෙන විස බලපානව. මෙතනට කුණු ගෙනත් දාපුවහම විල්පත්තුවේ ඉන්න අලි ටික කුණු කන්ඩ මෙතනට එනවා. ඒ එන්නේ එළුවන්කුලම, පරණ එළුවන් කුලම, ගලේ වාඩිය ඔය ඔක්කොම යට කරන් තමයි එන්නෙ. එතකොට මිනිස්සු වගා කරන ඔක්කොම විනාසයි. එතකොට ඒ මිනිස්සුන්ගේ ජීවිකාවත් ඉවරයි ඒ පැත්තේ ඉන්න මිනිස්සු මහා සල්ලි කාරයෝ නෙවෙයි. පුංචි පැල්පත් වල ජීවත් වෙන මිනිස්සු.” පියතුමා කුණු ව්‍යාපෘතියෙන් ගමට වන හානිය ගැන කියන්නේ එසේය.

“මේ ගැන ඇමතිට කීවෙ නැද්ද?” අපි පියතුමාගෙන් ඇසුවේ රටේ පාලකයන්ගේ ක්‍රමයට අනුව පූජ්‍ය පක්ෂය කියූ විට රටේ ව්‍යවස්ථාව පවා හකුළා ගැනීමට කැමති දේශපාලන සංස්කෘතියක් රටක් ලෙස අප හිමිකරගෙන සිටින නිසයි.

”වගකිවයුතු අය ඇවිල්ල කාමර වල සාකච්ඡා කරලා යනවා අපි දන්නෙත් නෑ. අපි කතා කළත් අපට උත්තර දෙන්නෙ නෑ. ඇමති තුමා බිසී, ඇමති තුමා කෑම කනව, ඇමති තුමා රැස්වීමක. ඔහොම තමා කියන්නෙ.” පෙරේරා පියතුමා කියන්නේ ඒ විදිහට.

මීට කලින් ව්‍යාපෘතිය යෝජනා වී තිබූ ප්‍රදේශයෙන් ව්‍යාපෘතිය ගම්මානය දෙසට එන්නට පටන් අරන් තියෙන්නෙ ඉස්සල්ල ව්‍යාපෘතියට වනජීවී දෙපාර්තුමේන්තුවෙන් එල්ල වූ විරෝධතා නිසා. ඒ ගැන පැහැදිලි කරන්නේ ප්‍රදීප් සේවියර් පියතුමා. සේවියර් පියනමත් සේරක්කුලියේ මිනිසුන්ගේ හුස්ම ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නෙක්.

මිනිස්සුද සතුන්ද
“ඉස්සල්ල තැන කුණු දානවට වනජීවී එකෙන් විරුද්ධ වෙලා තියනවා විල්පත්තුවට ආසන්න වැඩී කියලා. වන සතුන්ට හානි සිද්ධ වෙයි කියලා. මිනිස්සුන්ව බිල්ලට දීල සත්තු බේරගන්න එකද හොඳ? දැන් මේක වටේට අලි වැටක් ගහන්ඩ යනවා. මේ කුණු දාන තැන එක පැත්තකින් විල්පත්තුව අනික් පැත්තෙන් වටේම ගම්මාන. දැන් අලි වැට ගහපුවහම වෙන්නෙ, විල්පත්තුවෙන් එන අලි ටික ගම්මාන වලට එනවා.”

“ඔය කන්දක් උඩට කුණු දාන්නේ. මෙහෙට පායන කාලෙට හොඳටම පායනව. වහින කාලෙට යටවෙන්ඩ වහිනව. කුණු දැම්මට පස්සෙ යට වෙන්ඩ වැස්ස ගමන් ඔක්කොම ටික කලපුවේ. කන්දක් උඩට වැටෙන වතුර කොහොමද එයාල නවත්තන්නෙ.” දේශප්‍රියගේ හඬ.

ඔහු කී කතාවේ සත්‍ය බව අප දුටුවේ අදාළ ඉදිකිරීම් භූමියට ගිය විටය. කන්දේ සිට කලපුව දිහාට වතුර ගලාගෙන ආපු පොළොව හෑරී මතුවුණු විශාල කාණු අඩි තුන හතරක් පළල්. දැන් මඩ සෝදාගෙන එන වතුර ඉදිරියේදී කුණු සෝදාගෙන එන්නේ නැතැයි කියන්නේ කොහොමද?

“දැන් ඔය කුණු දාන තැන හාරල තියන වළේ තනිකර තියෙන්නේ වතුර. ඒ වළේ මට්ටමයි කලපුවේ මට්ටමයි සමානයි. එතන වැඩ කරන අය කියනව දවස් දෙකෙන් තුනෙන් වලවල් වල වතුර පිරෙනවා වැඩක් කරගන්ඩ බෑ කියලා. කලපුවේ වඩදිය බාදිය විදිහට ඒ වළවල් වලත් වතුර මට්ටම් වෙන් වෙනවා. ඉතින් ඔය වළවල් වලට කුණු දාපුවහම කලපුවට බලපෑමක් නොවී තියෙයිද?” ප්‍රසාද් එහෙම කියන්නේ ඉදිකිරීම් භූමියේ ඇති විශාල වළවල් පෙන්වමින්.

ඉදිකිරීම් භූමියේ සිට බලද්දි සේරක්කුලිය පෙනෙන්නේ නෑ. පෙනෙන්නේ කල්පිටිය. එහෙම වෙන්නෙ සේරක්කුලිය පිහිටා තියෙන්නෙ ඉදිකිරීම් භූමියේ පාමුල වීම නිසා. ඉදි කිරීම් භූමිය තියෙන්නෙ තරමක උස් භූමියක. සේරක්කුලිය තියෙන්නෙ ඒ කන්ද පාමුල. කොහොම වුණත් ඉදිකිරීම් භූමියේ ඉඳලා බලනකොට සේරක්කුලිය ගම්මානය කෙළවරේ ඇති පොල් වත්තක් පේනවා, එහි ඉඳල අදාළ ඉදිකිරීම් භූමියට මීටර පනහක් වත් නැති තරම්!

කුණු සහ අපේ නිදහස
“කොළඹ කුණු අපට එපා කියල අපි කියන්නෙ නෑ. අපි කියන්නෙ අපට නිදහසේ ජීවත් වෙන්ඩ අපේ ගම ළඟ කුණු නොදා කලින් කීව තැනට යන්ඩ කියල. මේ ගමේ මිනිස්සු දාසයදාහක් විතර, ඒ කියන්නෙ ගමෙන් සීයට අනූඅටක් විතර ධීවර රැකියාවෙන් ජීවත් වෙන්නෙ. අන්තිමට ඒ මිනිස්සුන්ට තියන රස්සා ටිකත් නැතිවෙලා, රටට බරක් කරගන්ඩද මේ හදන්නෙ?” එසේ කියන්නේ ගම්මන ශාන්ත හිමියන්. සේරක්කුලිය විපතින් බේරා ගැනීමට ජාති බේද ආගම් බේද නැතිව සියල්ලෝම එකතු වී සිටීම සේරක්කුලියට ශක්තියක්. සිදු විය යුත්තේද එයයි. දේශපාලකයෝ තමන්ගේ වාසි තකා ප්‍රශ්න වලින් කර අරිනකොට වාසි නොතකා පොදු යහපත උදෙසා මිනිස්සු එකතු වෙන එක වැදගත්.

සේරක්කුලියේ සංචාරය වෙහෙසකරය. ඒ වෙහෙස කර බව තවත් තීව්ර කරන්නේ ශුෂ්ක පරිසරයයි. පරිසරයේ ශුෂ්ක බව තුනීකරගන්ඩ දිය පොදක් නැතුවම බෑ.
සේරක්කුලියේ මිනිසුන්ට වතුර බොන්ඩ ටැප් ලයින් හරි ළිං හරි ඇත්තේ නෑ. ඔවුන් වතුර බොන්නේ පොළොවේ හාර ගත් වළවල් වලින්. ඒ භූමියේ ළිං හෑරුවා කියා පලක් ද ඇත්තේ නෑ. මොකද වතුර ගන්ඩ අඩි දෙකක් තුනක් හෑරූ වළක පවා දින දෙකක් තුනක් යන තැන වතුර කිවුල් වෙනව. සේරක්කුලියේ මිනිස්සු හෑරූ වළවල් වලින් වතුර බොන අපට ඒ අත්දැකීම මිහිරි, ඒත් වතුර හොයන්ඩ පොළොවේ තැනින් තැන වළවල් හාරන්නට වෙන ඔවුන්ගේ දිවිය කටුකයි, කර්කෂයි.

“කලා ඔයේ ඉඳන් වතුර ව්‍යාපෘතියක් කළා. ඒක මෙහෙ පහුකරගෙන පුත්තලමට යනව. අපට වතුර බින්දුවක්වත් නැතුව.” අපි වතුර බොන අතරතුර අපේ මඟපෙන්වන්නා අපට කීවෙ එවැනි කතාවක්.

සේරක්කුලියේ මිනිසුගේ අඳෝනාව කොළඹ කුණු එපා කියා නොවේ. ඔවුන් කුණු ප්‍රශ්නය රටේ ජාතික ප්‍රශ්නයක් වී ඇති වග දන්නවා. ඒ හින්ද ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ ගමට කුණු නොදමන ලෙස. කුණු වලට උත්තරයක් හොයා ගන්ඩ කියලා අපේ කුණු ඔවුන් මත හෙලීම කෙතරම් සාධාරණද? වෙන්ඩ ඕනෙ සියලු දෙනාම එක්ව ස්ථිරසාර විසඳුමක් සේරක්කුලියට ලබා දීමට පෙළ ගැසීම නොවේද? ඔබ විසිකරන ටොෆී කොළයට සේරක්කුලියේ මිනිසුන්ගේ අනාගතය තීරණය කිරීමට ඉඩ නොදිය යුතුයි.

“කොළඹ මිනිස්සුත් ශ්‍රී ලාංකික. අපිත් ශ්‍රී ලාංකික. කොළඹ මිනිස්සුන්ට හොඳ නැති කුණු අපට හොඳ වෙන්නේ කොහොමද?”
අවසානයේ සේරක්කුලියෙන් ඇසුනේ ඒ ප්‍රශ්නයයි.