රුපියල සහ ආණ්ඩුකරණය

රුපියල ඇද වැටීම ගැන පසුගිය දිනෙක ලොකුම බොරුව කියා තිබුණේ හිටපු ජනාධිපතිවරයාය. හෙතෙම කියා තිබුණේ තම ආණ්ඩුව සමයේ පැවති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂය වෙළෙඳ ආර්ථිකයකට පරිවර්තනය වීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු බවය. එමෙන්ම රුපියල අවප්‍රමාණ වීම එහි ප්‍රතිඵලයක් බවත්ය. ඔහු මෙහිදී ප්‍රධාන වශයෙන්ම බොරු දෙකක් කියයි. එකක් වන්නේ තම පාලන කාලය තුළ නිෂ්පාදන ආර්ථිකයක් පැවතුණා යන්නය. ඒ කාලයේත් මෙකල සේ ම නිෂ්පාදන ආර්ථිකයක් පැවතුණේ නැත. එකල තිබුණේ පණ ගසමින් යන සේවා ආර්ථිකයකි. අධිවේගී මාර්ගය පවා ප්‍රවාහන කටයුතුවලට මිස සංවර්ධනයෙහි යටිතල පහසුකමක් ලෙස භාවිතයට ගැනුණේ නැත. නිෂ්පාදන ආර්ථිකයක් රටෙහි තිබුණා නම් රාජපක්ෂගේ අවසාන දවස් වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 131 දක්වා වුව යන්නේ නැත. ඔහු කියන දෙවැනි බොරුව වන්නේ වත්මන් රජය වෙළෙඳ ආර්ථිකයකට පිවිසුණා යන්නය. මේ රජය නිකම්ම බලා සිටියා විනා වෙළෙඳ ආර්ථිකයකට ගිය බවක් පෙනුණේ නැත. කිසිදු ආර්ථික විශේෂඥයකු මෙතෙක් ආණ්ඩුව ගැන එවැනි කතාවක් කියුවේද නැත. අඩුම තරමින් රටේ ආර්ථිකය දියුණු යැයි කියන අගමැතිවත් ආණ්ඩුව වෙළෙඳ ආර්ථිකයකට ගිය බවක් කියා නැත. එබැවින් රුපියල බිඳ වැටීම වෙළෙඳ ආර්ථිකයකට යෑම නිසා සිදුවූවක්ය කියන රාජපක්ෂගේ අදහස සපුරා වැරදිය.

තම පාලන කාලයේ නිෂ්පාදනයක් නොවූවත් රුපියල මේ තරම් වේගයෙන් අවප්‍රමාණ වූයේ නැති බව හිටපු ජනපති කීවේ නම් එය පිළිගත හැකිය. ඔහුගේ රජය නිෂ්පාදනයක් නොකළ නමුත් ඩොලර් සංචිත පවත්වාගෙන යමින් රුපියල පාලනය කරගැනීමට යත්න දැරුවේය. එහි එක් වාසියක් වන්නේ මිලදී ගැනීම්වලදී බාහිරට ගෙවීමට සිදුවන රුපියල් ප්‍රමාණය අඩුවීමය. එහෙත් එය දිගින් දිගටම පවත්වාගෙන යා හැකි තත්ත්වයක් නොවේ. ඉකුත් ආණ්ඩුව නාස්තිකාරී, වියදම් අධික ආණ්ඩුවක් වූ නිසා 2016 වනතුරු තිබුණා නම් කොහොමටත් රටෙහි ණය බර උග්‍රවී, ආර්ථික අර්බුදයක් ඇතිවීමට නියමිතව තිබුණි.

වත්මන් රජය පත්වූ ගමන් ගත් තීන්දුවක් වූයේ රුපියල නිදහස් කිරීමය. එනම් පාවෙන්නට හැරීමය. එම තීන්දුව නිවැරදි වන්නේ අනිවාර්යයෙන් කළයුතු එක් ප්‍රධාන කාර්යයක් මතය. රුපියල නිදහස් කිරීමෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නට ඇත්තේ කෘත්‍රිමව විනිමය අනුපාතය පාලනය නොකර ස්වභාවිකව එය පාලනය වන්නට ඉඩ හැරීමය. ස්වභාවිකව විනිමය අනුපාතය තීරණය වනවා නම් එය ආර්ථිකය ශක්තිමත් වීමේ පෙර නිමිත්තකි. එහෙත් ආණ්ඩුවට වැරදුණු තැනක් තිබුණි. ඒ රුපියල පාවෙන්නට හැරීමෙන් පසුව කළ යුතුව තිබුණු අනිවාර්යය කාර්යය නොකිරීමය. එනම් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා රට ගෙන යෑමය. එමෙන්ම ආනයන සීමා කර අපනයන වර්ධනය කැර ගැනීමය. ඒ ගැන හරි අවබෝධයක් යහපාලනයේ ආර්ථික විශේෂඥයන්ට තිබුණු බවක් නොපෙනුණි. විනිමය අනුපාතය ස්වභාවිකව තීරණය වන්නට ඉඩ හළ යුතුව තිබුණේ නිෂ්පාදන ආර්ථිකයක් තුළය. එය සිදු නොවීම නිසා අද වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 167 දක්වා පහත වැටී තිබේ.

ආණ්ඩුව මීට දුර්වල ලෙස නිදහසට කරුණු ගෙනහැර පායි. ඔවුන් කියන ප්‍රධාන කාරණය වන්නේ ට්‍රම්ප්ගේ වැඩපිළිවෙළ නිසා ඩොලරය ඉතා වේගයෙන් තව තවත් ශක්තිමත්වෙමින් තිබෙන බවය. එය ට්‍රම්ප්ගේ වරදක් දැයි අසන්නට සිතෙන ආකාරයට ලංකාවේ පාලකයෝ මේ දිනවල එම කාරණය සියුම් මැසිවිල්ලක ස්වරූපයෙන් උච්චාරණය කරමින් සිටිති. අපට සිදුව තිබෙන්නේ ට්‍රම්ප්ට හැකි දේ දශම බිංදුවයි, බිංදුවයි ගණනකින්වත් ඔබට බැරි ඇයි යනුවෙන් විමසීමටය. බලයට පත්ව වසර තුනහමාරක් පමණ ගෙවුණත් ජනතාවට කිසිදු වැදගත් ආර්ථික මාර්ගයක් පාදා දීමට යහපාලන ආණ්ඩුවට නොහැකි විය. ආණ්ඩුව මූල්‍ය ප්‍රශ්නය විසඳා ගැනීමට තැත් කළේ ජනතාවට බදු ගසා මිරිකා හරිමිනි. ඒ අතර ඔවුහු පැරණි ආණ්ඩුව තරම්ම මජර ක්‍රමයක් වෙත පිළිපන්ව සිටියහ. මත්පැන් සහ සිගරට් යනු ඕනෑම රටක පොදු ජනයාගේ වින්දනය සඳහා තිබෙන දේවල්ය. ආණ්ඩුව වින්දනය සඳහා තිබෙන දේවල් ආණ්ඩුවේ ප්‍රධාන ආදායම බවට හරවා ගන්නට තැත් කරන දුර්වලයෝ වෙති. මෙම දුබල ආර්ථික දැක්ම නිසා රටට ස්වයං ආර්ථික උත්පාදන මාවතක් විවර වූයේ නැත. ඒ වෙනුවට ඉන්ධන මිල මාසිකව සූත්‍රයකට අනුව වැඩිවෙයි. සූත්‍රය කුමක්දැයි ඇසූ විට ආණ්ඩුව සූත්‍රය සඟවයි. ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සැප්. 26 මධ්‍යම රාත්‍රියේ සිට රු. 195/-කින් ඉහළ ගියේය. එපමණක් නොව, බුලත්විටක මිල රු. 40/-කි. සිගරට්, අරක්කුවලට මුදල් වැය කිරීමට අපහසු බොහෝ දෙනෙක් බුලත්විටක් හපන්නේද වින්දන මාර්ගයක් වශයෙනි. ආණ්ඩුව නොසිතන්නේම පොඩි මිනිහාගේ පැත්ත ගැනය. එහෙව් පිරිසක් රටක ආර්ථික සංවර්ධනය ඇති කරන තාක් බලා සිටීම තරම් විහිළුවක් තවත් තිබිය නොහැකිය. රාජපක්ෂ මාන බලන්නේ මේ නොහැකියාවන්ගෙන් ප්‍රයෝජන ගෙන අපේ කාලයේ නම් එසේ වූයේ නැත කියා අලුතින් කලඑළි බසින්නට මාවතක් පාදා ගැනීමටය. ඇත්තම තත්ත්වය නම් මේ දෙකම එකය. එක ආර්ථිකයක්වත් හොඳ නැත. හොඳ ආර්ථිකයක් මහින්ද හැදුවා නම් ජනතාව ඔහු ගෙදර යවන්නේ ද නැත. වත්මන් ආණ්ඩුවත් සිහිතබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ දීර්ඝ ආර්ථික අවගමනය යනු ආණ්ඩුවක ආපසු ගමනක්ම වන බවය. එය තේරුම් ගෙන ක්‍රියා කිරීම ආණ්ඩුව කළමනාකරණය කරගත යුතු ප්‍රශ්නයකි.