රටේ කුණුවීම හා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය

ලංකාවේ ඇතිවී තිබෙන කුණුවීම ජයගැනීමට ක්‍රමය අභ්‍යන්තරයෙන් තේරී පත්වන පාලකයකුට හෝ පාලක පක්ෂයකට පුළුවන්කමක් නැත. ඒ සඳහා මහජනයාද, විශේෂ වශයෙන් මහජන සංවිධානද එකට එකතු වී ඒ අරමුණ වෙනුවෙන් මහජන බලමණ්ඩලයක් ගොඩනගා ගනිමින්, රටේ ඇති කළයුතු ව්‍යුහමය වෙනස්කම් හඳුනා ගත යුතුය. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන වැඩසටහනක් මගින් හිරිවැටී රෝගී තත්ත්වයක තිබෙන රාජ්‍යයද, කුණුවූ තත්ත්වයක තිබෙන රාජ්‍යයද එම තත්ත්වයෙන් මුදා ගත යුතුය. මේ පදනම තුළ නූතන ජාතිය හා නූතන රාජ්‍යය ගොඩනගා ගත යුතුයැයි පුනරුද ව්‍යාපාරය කියන විට එම අදහස තේරුම් ගැනීමට සමහර විචාරකයෝ අසමත්ව සිටිති. මීට පෙර ඒ ගැන රාවයට ලියා තිබූ මනෝ විද්‍යා උපදේශකයකු වන සුගත් කංකානම්ගේද එම ප්‍රවේශය අර්ථකථනය කර තිබුණේ වැරදි ආකාරයකටය.
එහි ඔහු මෙසේ කියා තිබේ.

“වික්ටර් අයිවන් මහතා යෝජනා කරන විසඳුම ඍජු ප්‍රජාතන්ත්‍රවාදය හා සම්බන්ධ එකකි. සැබැවින්ම ඍජු ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ වඩාත්ම ප්‍රජාතන්ත්‍රීය ආකාරයයි. එහෙත් එහි පවතින ප්‍රධාන ගැටලුව වන්නේ ලක්ෂ 220ක පමණ ජනගහනයක් සිටින අපේ එක් රටක එය සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කරන ආකාරයයි.
ශ්‍රී ලංකාවේ ජනගහන ඝනත්වය වර්ග කිලෝ මීටර්යකට 324ක පමණ අගයක් ගනී. එහෙත් කොළඹ, ගම්පහ වැනි දිස්ත්‍රික්කවලදී මෙම අගය මීට වඩා බෙහෙවින් ඉහළය. එවැනි තත්ත්වයක් යටතේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව පහසු නොවේ. ස්විට්සර්ලන්තයේ කැන්ටන්වල තත්ත්වය මීට සපුරාම වෙනස්ය.”

පුනරුදයේ මතය
පුනරුද ව්‍යාපාරය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින් අතහැර ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට මුළුමනින් මාරුවිය යුතුයි කියා කොතැනකවත් කියා නැත. එහෙත් අලුතෙන් ඇතිකර ගන්නා ආණ්ඩුවකට ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ සමහර වැදගත් අංග ඇතුළත් කරගනිමින් ආණ්ඩු ක්‍රමයේ ක්‍රියාකාරීත්වයේ බලපෑමට මහජනයාට තිබෙන අයිතිය ප්‍රවර්ධනය කළ යුතුයි කියා පුනරුද ව්‍යාපාරය විශ්වාස කරයි. නිල බල දරන්නන් එම බලය අයථා ලෙස පාවිච්චි කිරීම වැළකීම සඳහාත්, මුදුනත තිබෙන දූෂණය මුලින් උපුටා දැමීම සඳහාත් එවැනි ක්‍රමවේදයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍යය.

නිදර්ශනයක් වශයෙන් කිසියම් ඡන්ද කොට්ඨාසයක ඡන්දදායකයන්ගේ අත්සන් නියමිත සංඛ්‍යාවක් සහිතව පාර්ලිමේන්තුව වෙත මහජනයා විධිමත් ලෙස ඉදිරිපත් කරන පෙත්සමකින් එම මන්ත්‍රීවරයා ආපසු කැඳවීමේ බලය මහජනයාට දිය හැකිය. එවැනි අවස්ථාවකදී එම ඡන්ද කොට්ඨාස සඳහා අතුරු මැතිවරණයක් පැවැත්විය යුතුය. ආසනය අහිමි වූ මන්ත්‍රීවරයාටද ඊට තරග කිරීමට ඉඩදිය හැකිය. එසේම බලවත් වැරදි කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ අයිතිය මහජනයාට ලබාදිය හැකිය. එවැනි මහජන දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ විට එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු අතර එය පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඡන්ද විමසීමකට ලක් කළ යුතුය. එවැනි දෝෂාභියෝගයක් පරාජය කිරීමේ බලය පාර්ලිමේන්තුවට ඇතත්, බරපතළ වැරදි කරන පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී ඒවාට ක්‍රියාකාරී ලෙස මැදිහත්වීමේ බලය නීති ප්‍රතිසංස්කරණ සඳහාද මහජනයාට ලබාදිය හැකිය. නීති ප්‍රතිසංස්කරණවලදීද ඒ ආකාරයෙන් මහජනයාට මැදිහත්වීමේ බලයක් ලබාදිය හැකිය.

පුනරුද ව්‍යාපාරය එම විෂයට අදාළව අවධාරණය කරන ඉතාම වැදගත් දේ ලෙස සැලකිය හැක්කේ හොඳටම කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන රාජ්‍යය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කෙරෙන ව්‍යවස්ථා සම්පාදනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සීමා නොකොට මහජනයාටද නියෝජනයක් ලැබෙන ආකාරයට ගොඩනගා ගන්නා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් මගින් ව්‍යවස්ථාව සම්පාදනය කළ යුතු බවය. ඒ සඳහා තෝරා ගන්නා මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාව පාර්ලිමේන්තු නියෝජිතයන් සංඛ්‍යාවට සමාන විය යුතුය. ඇතිකර ගන්නා කාරක සභාවලද මේ දෙපිරිසට සමාන නියෝජනයක් ලබාදිය යුතුය. එමගින් ව්‍යවස්ථා සම්පාදනයේ න්‍යාය පත්‍රය සැකසීම, මූලධර්ම හඳුනා ගැනීම හා සමස්ත ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑමේ අයිතියක් මහජනයාට ලබාදිය යුතුය.
පුනරුදයේ මෙම ප්‍රවේශය නීතියට පටහැනි නොවන අතර පිළිගත් නූතන ව්‍යවස්ථා සම්ප්‍රදායන්ට සේ ම අන්තර්ජාතික නීතියටද අනුකූලය.

මහජන පරමාධිපත්‍යය
රාජ්‍ය බලයේ ප්‍රභවය සමාජය වේය කියන න්‍යායවාදය කරළියට ගෙනා ප්‍රථමයා ලෙස සැලකිය හැක්කේ ඉංග්‍රීසි ජාතික දේශපාලන චින්තකයකු වන ජෝන් ලොක්ය. ඒ අනුව පරමාධිපත්‍ය බලයේ නියම හිමිකරුවන් වන්නේ මහජනයාය. හැම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබිය යුතු අතර එය පාලක පක්ෂය සමාජය සමග ඇතිකර ගන්නා සමාජ ගිවිසුමකි. ඔහුට අනුව පාලකයන්ගේ බලය ස්වාධීනව නිර්මාණය වන්නක් නොව, මහජනයාගේ පරමාධිපත්‍යය බලයෙන් ඇති වූවකි. ජෝන් ලොක්ගේ මෙම න්‍යායික ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක මූලික දාර්ශනික අත්තිවාරම ලෙස සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයට පිළිගනී. ජනතාවගේ පරමාධිපත්‍යය බලය පිළිබඳ මූලධර්මය ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පමණක් නොව වර්තමානයේ ලංකාවේ ක්‍රියාත්මක වන 78 ව්‍යවස්ථාවද පිළිගන්නා මූලධර්මයකි.
එම ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තියෙන් තෝරා ගත් කොටසක් මෙසේය.

“ශ්‍රී ලංකා ජන රජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය….”
ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය 4 වැනි වගන්තියෙන් විස්තර කර තිබේ.

1. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් පත් කරනු ලබන පාර්ලිමේන්තුව විසින්ද, ජනමතවිචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුතුය.
2. රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුතුය.
3. …. ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් නීතියකින් පිහිටුවන ලද අධිකරණය සහ විනිශ්චය අධිකරණ ආයතන විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.”

රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරගැනීම
ජනතාවගේ පරමාධිපත්‍ය බලය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් එම අර්ථකථනය අනුව විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන රාජ්‍යයේ ප්‍රධාන බලමණ්ඩල තුනටම ඔවුන් ක්‍රියාත්මක කරවන බලය ලැබී තිබෙන්නේ මහජනතාවගෙන් බව හා මහජනයා එම ආයතන තුනටම වඩා උත්තරීතර බව පෙනී යයි.
රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීම ජයගැනීමට නම් සමාජයේ පවත්නා වර්ග, කුල, ආගම් හා භාෂා භේද තුනී කොට සමාජය ඒකාග්‍ර කිරීමට හේතුවන ලෙස නූතන ජාතියද, රාජ්‍යයේ රජකරන දූෂිත, අකාර්යක්ෂම හා පරපීඩාකාමී තත්ත්වය අහෝසි කොට නීතියේ ආධිපත්‍යය රජයන සියලුදෙනාගේ විශ්වාසයේ හා ගෞරවයට හේතුවන රාජ්‍යයක් ඇතිකර ගත යුතුය. ඒ අරමුණ කරා ළඟාවිය හැක්කේ ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යුහමය වෙනස්කම් ඇති කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගන්නා තැනකට යෑමෙනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන්නෙන් අදහස් කරන්නේ රාජ්‍යයේ ව්‍යුහය පැහැදිලි කරන, එහි ආයතන ක්‍රම, ඒවාට තිබෙන බලතල හා ඒවාට හිමි කාර්යභාරයන්ද ආයතන අතර තිබෙන අන්තර් සම්බන්ධතාද විස්තර කරන, රාජ්‍යයේ යුතුකම් හා වගකීම් සේ ම පුරවැසියන්ගේ යුතුකම් හා වගකීම්ද විස්තර කරන නෛතික ලේඛනය ලෙස සැලකිය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැලකෙන්නේ රටේ සියලු නීතීන්ට ඉහළින් තිබෙන උත්තරීතර නීතිය වශයෙනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු පරමාධිපත්‍යය බලය හිමි ජනතාව තමන් පාලනය කරගැනීම සඳහා ඇතිකර ගන්නා සමාජ ගිවිසුමක් වේ නම්, තිබෙන ව්‍යවස්ථාව තිබෙන්නේ මනා ගැළපීමක් නැති අක්‍රමවත් හා අවුල්සහගත තත්ත්වයක නම් එම ගිවිසුම අලුතෙන් සකස් කරගැනීමට අවශ්‍ය පරිචය හා අවංකභාවය ව්‍යවස්ථාදායකයට නැතිනම්, ඒ බව ව්‍යවස්ථාදායකය එක අවස්ථාවකදී නොව, ව්‍යවස්ථා සම්පාදනයට අත ගැසූ හැම අවස්ථාවකදීම පෙන්නුම් කර ඇත්නම් නූතන ජාතිය හා නූතන රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීමෙන් වැඩි කොටසක් මහජනයා අතට ගැනීම නීතියට අනුකූල වනවා සේ ම යුක්තිසහගත හා සාධාරණද වේ. ව්‍යවස්ථා සම්පාදන විෂයේදී මැදිහත්වීමට මහජනයාට තිබෙන එම අයිතිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියෙන්ද, ඊට අදාළව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් ලබාදී තිබෙන නඩු තීන්දු ගණනාවකින්ද හොඳින් සනාථ කර තිබෙන්නේ යැයි කිව හැකිය.

අභාවවාචක අත්දැකීම්
ආණ්ඩුක්‍රම සම්පාදන විෂයෙහි ලංකාවේ ව්‍යවස්ථාදායකයට තිබෙනුයේ කීර්තිමත් ඉතිහාසයක් නොව අපකීර්තිමත් ඉතිහාසයකි. නිදහසත් සමග ක්‍රියාත්මක කිරීම සඳහා හදාගත් පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගත් ව්‍යවස්ථා සම්ප්‍රදායන්ට අනුකූලව හොඳින් සාකච්ඡා කර පොදු එකඟතාවක් හදාගත් ව්‍යවස්ථාවක් නොව, සටකපටකමින් ඇති කරගත් ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එයට අයිතිවාසිකම් ප්‍රඥප්තියක් ඇතුළත් නොකළේ එවැනි ප්‍රඥප්තියක් නැතිව සාමාන්‍ය නීතිය යටතේ බි්‍රතාන්‍යයේ මහජන අයිතිවාසිකම් ආරක්ෂා වේ නම් ලංකාවටද අයිතිවාසිකම් ප්‍රඥප්තියක් නැතිව සාමාන්‍ය නීතිය යටතේ එසේ කිරීමේ පුළුවන්කම තිබිය යුතුයි කියන වැරදි ආකල්පය අත්හැරීමට එම ව්‍යවස්ථාව කෙටුම්පත් කළ අයිවර් ජෙනිග්ස් අසමත් වූ නිසාය. ඉන්පසු ඇතිකර ගන්නා ලද 1972 ව්‍යවස්ථාවද සුළු ජාතීන් මුළුමනින් නොසලකා සමඟි පෙරමුණු ආණ්ඩුවට තිබුණු තුනෙන් දෙකේ බලය මත පිහිටා ඇතිකර ගන්නා ලද ව්‍යවස්ථාවක් විය. ඉන්පසු ඇතිකර ගන්නා ලද 78 ව්‍යවස්ථාවද පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් මත පිහිටා සකස් කරගන්නා ලද ව්‍යවස්ථාවක් නොව එජාපයට තිබූ හයෙන් පහේ බලය මත පිහිටා සකස් කරන ලද ව්‍යවස්ථාවක් විය. මහජන ඡන්දයෙන් තේරී පත්වී ආණ්ඩු බලය ලබාගන්නා පාලක පක්ෂවලට පොදු වස්තුව කොල්ලකෑමට ඉඩ ලැබෙන සම්ප්‍රදායක් ඇතිවූයේද එම ආණ්ඩුක්‍රමය සමගය. ලෝකයේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් අනුවත්, ලංකාවේ ඒ දක්වා ක්‍රියාත්මක වූ සම්ප්‍රදායන් අනුවත් මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන්ට ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කිරීම, ආදායම් උපයන බලපත්‍රලාභීන් ලෙස ක්‍රියාකිරීම, ආණ්ඩුවේ දේපළ මිලදී ගැනීම හා ආණ්ඩුවට තම දේපළ විකිණීම හෝ හුවමාරු කරගැනීම මුළුමනින් තහනම් වූ අතර එවැනි වැරදි කරන අයගේ පත්වීම් අහෝසි කරන ක්‍රමයක් ක්‍රියාත්මක විය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ ක්‍රියාත්මක වූ එම ධර්මතාව අහෝසි කරන ලද අතර, එය ජනාධිපතිවරුන්ද, මහජන මන්ත්‍රීවරුන්ද පොදු දේපළ කොල්ලකන කොල්ලකරුවන්ගේ තත්ත්වයට පත්කිරීමට බලපෑ ප්‍රධානතම හේතුව වනවා සේ ම එය සමස්ත රාජ්‍ය දූෂිත කිරීමට බලපෑ ප්‍රධානම හේතුව ලෙසද සැලකිය හැකිය.

ඉන්පසු නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට හෝ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ කළ කිසිවෙක් ආණ්ඩු ක්‍රමයට එකතු වී තිබුණු එම වැරදි හා විනාශකාරී සම්ප්‍රදාය අහෝසි කිරීමට උත්සාහ කළේ නැත. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරියට ගෙනා එහෙත් සම්මත කරගැනීමට නොහැකි වූ ව්‍යවස්ථා කෙටුම්පතෙන් හෝ ඉන්පසුව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය ඉදිරියට ගෙනා 19 වැනි සංශෝධනයෙන් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනා ප්‍රවේශ්‍ය තුළ හෝ ඊටත් පසුව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ගෙනා 20 වැනි සංශෝධනයෙන් හෝ රාජ්‍ය දූෂිත කිරීමට හේතුවූ එම බරපතළ වරද නිවැරදි කිරීමට හේතුවන විධි විධාන ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ යෝජනාවලට ඇතුළත් කර නොතිබුණු බව අමතක නොකළ යුතුයි. එය සැලකිය යුත්තේ නොදැන කරන වරදක් ලෙසද? නැත්නම් ජනතාවට කර තිබෙන වංචාවක් ලෙසද? ඒ නිසා ඒ සියලුදෙනා ඉදිරිපත් කළ ආණ්ඩු ප්‍රතිසංස්කරණ යෝජනා දැන හෝ නොදැන මහජනයාට කරන ලද මහා වංචාවක් ලෙස සැලකිය හැකිය.

මේ වන විට ව්‍යවස්ථාදායකය තිබෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ සරල ව්‍යවස්ථා සංශෝධනයක් තබා සාමාන්‍ය නීතියක්වත් හරිහැටි හදා ගන්නට නොදන්නා අන්තබංකොළොත් තත්ත්වයකය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ආණ්ඩු ක්‍රමයක තිබිය යුතු ඒකාග්‍රතාව හා මනා ගැළපීම නැති කොට සමස්ත ආණ්ඩු ක්‍රමයම අවුල් ජාලාවක් බවට පත්කර තිබෙන්නේ යැයි කිව හැකිය. ජනතා විමුක්ති පෙරමුණේ 20 වැනි සංශෝධනය සම්මත වුවහොත් ඇති කරන ප්‍රතිඵලය ඊටත් වඩා විනාශකාරී වනු ඇත. ලංකාවේ ව්‍යවස්ථාදායකය තිබෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තබා සරල නීති සම්පාදනයක්වත් හරියාකාරව කළ නොහැකි අන්ත බංකොළොත් තත්ත්වයක බව පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා කරළියට ගෙනා නීති සම්පාදනයෙන් හොඳින් පෙන්නුම් කරයි.

අවසානය
පුනරුද ව්‍යාපාරය ලංකාව මුහුණ දී තිබෙන කුණුවීම පිළිබඳ අර්බුදය ජයගැනීම සඳහා කල්පනා කරන විදිය සුගත් කංකානම්ගේ විස්තර කර තිබෙන විදියට වඩා බොහෝ වෙනස් බව ඉදිරිපත් කරන ලද කරුණු අනුව තේරුම් ගැනීම අමාරු නැත. පුනරුද ව්‍යාපාරයේ මතය වනුයේ රාජ්‍යය මුළුමනින් කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙනවා පමණක් නොව දැන් රාජ්‍යය තිබෙන්නේ රට අරාජක තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවන කඩා හැලෙන තත්ත්වයක තිබෙන බවය. 19 වැනි සංශෝධනය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතිකර තිබෙන විකෘතියද රට අරාජක තත්ත්වයක් කරා යන ගමන වේගවත් කිරීමට හේතුවී තිබේ. දැන් අපට තිබෙන්නේ විධිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවට පලා මැල්ලුමක් වන නිසා විධිමත් ව්‍යවස්ථාවක් හදාගැනීමේ ඉක්මන් අවශ්‍යතාවක්ද පවතී. පුනරුදය ව්‍යාපාරය දරන මතය වන්නේ රටේ මහජන සංවිධාන එකට එකතු වී රටේ මතුවී තිබෙන බැරෑරුම් තත්ත්වය ගැන සාකච්ඡා කරන තැනකට යමින් ඇතිවන්නට යන අර්බුදයෙන් සිදුවන හානිය අවම කරගැනීම සඳහාත් සිදුවන්නට යන විපත සැපතක් බවට හරවා ගැනීම සඳහාත් දේශපාලන පක්ෂවලට තිබෙන බලය ඉක්මවා ගිය සංවිධානාත්මක මහජන බලයක් ඇති කිරීමට හේතුවන ලෙස මහජන සංවිධානවල බල මණ්ඩලයක් ඇතිකර ගනිමින් එක්තරා විශාල ප්‍රමාණයකට ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට නව ව්‍යවස්ථාවක් ඇතිකර ගන්නා තැනකට යමින් නූතන ජාතිය හා නූතන රාජ්‍යයද ගොඩනගා ගත යුතු බවය. එය ලේ වැගිරීම්වලින් හෝ දේපළ විනාශයන් මගින් තොරව පරණ සමාජය නවීන සමාජයක් බවට පත්කර ගනිමින් පවත්නා චිත්‍රයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ලෙස විප්ලවකාරී ප්‍රවේශයක් ලෙස සැලකිය හැකිය. නූතන ජාතිය හා නූතන රාජ්‍යය ගොඩනගා ගැනීම සඳහා මහජනයා තම පරමාධිපත්‍යය බලය ඒ ආකාරයට අවශ්‍ය කරන වැඩසටහනකට යොමු කරවා ගැනීමට හැකිවේ නම් පරණ අන්ධකාර කාලකණ්ණි යුගය මුළුමනින් අවසන් කොට වර්ණවත් නව යුගයක් ආරම්භ කිරීමට හැකිවනු ඇත. රටේ අර්බුදය තිබෙන්නේ එවැනි මහජන වැඩසටහනක් සාර්ථක කරගත හැකි තත්ත්වයකය. ලංකාව මුහුණ දී තිබෙන ප්‍රශ්නයේද බරපතළකම ඉන් ගැලවිය හැකි මාර්ගය තේරුම් ගැනීමට සමත් වෙතොත්, රටට අවශ්‍ය කරන පරිවර්තනයේ ලීවරය ලෙස ක්‍රියාකිරීමේ ශක්තිය මහජන සංවිධානවලට සේ ම මහජනයාටද තිබෙන්නේය.