රාවය

වන සතුන්ගේ ප්‍රශ්නය ගැන තවදුරටත්

වන සතුන්ගේ ප්‍රශ්නය ගැන තවදුරටත්

වල් ඌරන් සම්බන්ධයෙන් ආණ්ඩුව අලුතෙන් ප්‍රකාශ කර තිබෙන ප්‍රතිපත්තිය ඉතාමත් ඉදිරිගාමීය. එය කෘෂිකර්මය කෙරෙහි පමණක් නොව, ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය කෙරෙහිද යහපත් ලෙස බලපානු ඇත. ඒ අනුව වල් ඌරන් මැරීම, උන්ගේ මස් ළඟ තබා ගැනීම, මස් ප්‍රවාහනය හා මස් වෙළෙඳාම නීති විරෝධී වන්නේ නැත. ඒ නිසා වල් ඌරන් දඩයම් කිරීමෙන් හොඳ ආදායම් උපයා ගන්නා පිරිසක් ඇතිවනු ඇතිවා සේ ම වල් ඌරු මස් සාමාන්‍ය වෙළෙඳ සැල්වල පමණක් නොව, සුපිරි වෙළෙඳ සැල්වලද විකුණන මස් විශේෂයෙක් බවට පත්වනු ඇත.

කෘෂිකර්මයට හානිකරන වන සතුන් දඩයම් කිරීමේ අයිතිය ගොවීන්ට ලබාදීමේ අවශ්‍යතාව වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටි එකම ව්‍යාපාරය පුනරුදය ව්‍යාපාරය ලෙස සැලකිය හැකිය. වල් ඌරන් සම්බන්ධයෙන් පුනරුදය පළ කරන ලද මතය වූයේ වල් ඌරන් දඩයම් කිරීමේ, උන්ගේ මස් ළඟ තබාගැනීමේ, ප්‍රවාහනය කිරීමේ හා විකිණීමේ අයිතිය නීත්‍යනුකූල කළ යුතු බවය. ආණ්ඩුව ඇති කර තිබෙන විධි විධානද ඊට අනුකූලය. මීට පෙරද වල් ඌරන් මරන්නට තහනමක් නොතිබුණි. එහෙත් වල් ඌරු මස් ළඟ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම හා වෙළෙඳාම් කිරීම තහනම් විය. එම ප්‍රතිපත්තියේ අනියම් තේරුම වූයේ වල් ඌරකු දඩයම් කරන මිනිසා උගේ මස් ආහාරයට නොගෙන උගේ මළ සිරුර වළලා දැමිය යුතු බවය.

මාංශ අනුභවය සම්බන්ධයෙන් ලංකාවේ පවත්නා ජනප්‍රිය මතය ඉතාමත් පසුගාමී සේ ම ප්‍රතිගාමීය. එය ලෝකයේ වෙනත් කවර බෞද්ධ රටකවත් දක්නට නැති විශේෂ තත්ත්වයක් ලෙසද සැලකිය හැකිය. මාංශ අනුභවය සැලකෙන්නේ පාපයක් ලෙසය. රටේ ජනයා අතර ලොකු ප්‍රෝටීන් ඌනතාවක් තිබෙන්නේ මාංශජනක ආහාර ඕනෑතරම් තිබියදීය. නියඟය හා දුප්පත්කම නිසා සති දෙකක් එක දිගට මුරුංගා කොළ ආහාරයට ගත් උතුරු මැද පළාතේ පවුලක් ගැන පසුගිය සතියේ ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. ලංකාවේ ප්‍රෝටීන් මන්දපෝෂණයේ අනුපාතිකය සියයට 40ක් බව කිසියම් මහාචාර්යවරයෙක් පුවත්පතකට ලියා තිබුණි. එය සත්‍යයකි. එම විෂයේදී ලංකාව තිබෙන්නේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක බව අමුතුවෙන් කිවයුතු නැත. ප්‍රෝටීන් හිඟයක් ඇති රටවල ජනයා කෘමීන් ආහාරයට ගන්නට පොළඹවාලිය යුතු බව කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනි. ඉස්සර ගම්වල මිනිස්සු තලගොයි මරාගෙන කෑවෝය. දැන් ගම්වල බහුල ලෙස තලගොයි සිටින බව පෙනෙන්නට ඇතත්, ගම්මුන් තලගොයි මස් කන බව පෙනෙන්නේ නැත. එසේ වී ඇත්තේ තලගොයෙක් මරාගෙන කෑම මහා පාපයක් ලෙස සැලකෙන නිසා විය යුතුය. වෙනත් ආහාරයක් නැතිකම නිසා සති දෙකක් මුරුංගා කොළ කා ජීවත් වූ පවුලේ අයටද ආහාරයට ගත හැකි තලගොයකු වැනි සතකු හමුවී නම් උගේ ජීවිතයට අනතුරක් නොකොට මුරුංගා කොළවලින්ම සෑහීමට පත්වන්නට ඉඩ තිබුණාද විය හැකිය. අපේ රටේ ජනයා අතර ලොකු ප්‍රෝටීන් ඌනතාවක් තිබෙන්නේද මාංසජනක ආහාර නැතිකම නිසා නොව ඒවා කන්නට ඇති බිය නිසාය. මොකක් හෝ එළවළුවක් දෙකක් හදාගෙන තුන්වේලටම බත්කෑමෙන් ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය තරම් පෝෂ්‍ය ගුණයක් ශරීරයට ලැබෙන්නේ යැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති. මාංශජනක ආහාර විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ මොළේ වර්ධනයට අත්‍යවශ්‍යය. රටේ පවතින බුද්ධි හීනතාව කෙරෙහි මාංශජනක ආහාර අඩුවෙන් පරිභෝජනය කිරීමේ සම්ප්‍රදාය හා අපේ යල්පැනගිය ඒකාකාරී ආහාර රටාවටද බලපා තිබෙන්නේ යැයි කිව හැකිය.

කෘෂිකර්මයේ ඇතිවී තිබෙන පරිහානිය කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකි වන සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ ප්‍රශ්නයට වල් ඌරන්ගේ ප්‍රශ්නයට විසඳුමක් දීම ප්‍රමාණවත් වන්නේ නැත. රිලවුන්ගෙන්, වඳුරන්ගෙන් හා මොනරුන්ගෙන් සිදුවන හානිය මර්දනය කළ යුතුය. රිලවුන්, වඳුරන් හා මොනරුන්ගේ ගහණයේ ඇතිවී තිබෙන වර්ධනය අතිවිශාලය. ඒ නිසා උන් කෘෂිකර්කමයට කරමින් තිබෙන හානියේ තරමද අතිවිශාලය.

වඳුරන් හා රිලවුන් පිළිබඳ මේ සා විශාල ප්‍රශ්නයක් ඉන්දියාවට තිබුණේ නම් නිසැක වශයෙන්ම ඉන්දියාව එහි ජනතාව වඳුරු හා රිලා මස් කන්නට පොළඹවන ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි මම විශ්වාස කරමි. ඉන්දියාවේ මීයන් පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තිබෙන්නේය. මීට වසර කිහිපයකට ඉහතදී ඉන්දියානු ආණ්ඩුව මීයන්ගේ මස් කන්න මහජනතාව පොළඹවන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය. සමහර ජනවර්ග මී මස් ආහාරයට ගන්නා අතර ඔවුන් අතර මී මස් සැලකෙන්නේ ඉතාමත් රසවත් හා ප්‍රණීත ආහාරයක් වශයෙනි. ජනවර්ග කිහිපයකට සීමාවන ආකාරයට පැවති එම ආහාර සම්ප්‍රදාය අනෙකුත් ජනයා අතර පමණක් නොව, ඉන්දියාවට එන විදේශ සංචාරකයන් අතරද පතළ කරන්නට ආණ්ඩුව උත්සාහ කළේය. සංචාරක ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධනය සඳහා පැවති උත්සවයකදී ජනමාධ්‍ය හා සංචාරකයන් ඉදිරියේ මී මස් ඉතාමත් රස ආහාරයක් බව කියමින් ඔවුන්ට පෙනෙන ලෙස මී මස් ආහාරයට ගත්තේය.

අපේ සමාජයේද පැරැන්නෝ වඳුරු මස් ආහාරයට ගත්හ. මම කලකට ඉහතදී වෙඩික්කාරයකු ලවා වඳුරන් සිව්දෙනකු වෙඩි තබා මරා දැමීමි. වෙඩික්කාරයා ගිය පසු එම වඳුරන්ගේ මළ සිරුරු වළලා දැමීම සඳහා සුදුසු පුද්ගලයකු ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව ගැන කල්පනා කරමින් සිටින අවස්ථාවකදී ත්‍රිරෝද රථයකින් පැමිණි මා නොදන්නා පුද්ගලයකු ඒ වඳුරන් ඉල්ලා සිටියේය. ඔහු එම වඳුරු මළ සිරුරු හතර ත්‍රීවීලයේ පටවාගෙන රැගෙන ගිය පසු, වඳුරන් රැගෙන ගිය පුද්ගලයා කවුද, එක වඳුරකු වෙනුවට උන් හතරදෙනාම රැගෙන ගියේ ඇයිද කියන ප්‍රශ්නය මට ඇතිවිය. මා ඒ ගැන සොයා බැලූ විට ඔහු උන් රැගෙන ගොස් තිබුණේ මඟුල් ගෙදරකට බව මට දැනගන්නට ලැබුණි.

වඳුරු මස් කන රටවල් මොනවාදැයි දැනගැනීම පිණිස මම ඒ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක යෙදුණෙමි. අප්‍රිකාවේ සියලුම රටවල ජනයා වඳුරු මස් කන බවත්, මෙක්සිකෝවේද සමහර ප්‍රදේශවල ජනප්‍රිය ආහාරයක් බවත්, ඉන්දුනීසියාවේද මුස්ලිම් නොවන ප්‍රදේශවල ජනයා වඳුරු මස් ආහාරයට ගන්නා බවත්, ඉන්දියාවේද සමහර ප්‍රදේශවල වඳුරු මස් ආහාරයට ගන්නා බවත්, ඇමරිකාවට වඳුරු මස් ආනයනය කිරීම තහනම් කර ඇති බවත්, ජපානයේද හොන්ගු, නග්නෝ යන ප්‍රදේශවල ජනයා වඳුරු මස් ආහාරයට ගන්නා බවත් දැනගත හැකිවිය. චීනයේ හා මැලේසියාවේ වඳුරු මොළය සැලකෙන්නේ ඉතාමත් පෝෂ්‍යදායක රසවත් ආහාරයක් ලෙසය.

පොල්වතුවලට එන වඳුරන්ට හා රිලවුන්ට වෙඩි තබා උන් විනාශ කිරීමේ අයිතිය පොල් සංවර්ධන මණ්ඩලය විසින් පොල්වතු හිමියන්ට ලබාදී තිබෙන බව දැනගන්නට ලැබුණි. එයද ඉතා වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය. එහෙත් වඳුරන්ගෙන් හා රිලවුන්ගෙන් සිදුවන හානිය පොල් වතුවලට සීමාවී නැති බවද කිව යුතුය. උන් ගෙවතුවලට කරන හානිය අතිවිශාලය. ඒ විෂයට එන්නට පෙර වඳුරන්ට හා රිලවුන්ට අදාළව කිවයුතු තවත් වැදගත් කරුණක් තිබේ. මැලේසියාව, තායිවානය හා ඉන්දුනීසියාව පොල් කැඩීම සඳහා යොදාගෙන තිබෙන්නේ වඳුරන්ය. වඳුරන් පුහුණු කරන ආයතන ඒ හැම රටකම තිබෙන්නේය. ඒ බව ලංකාවේ පොල් සංවර්ධන මණ්ඩලය නොදන්නේද? දන්නේ නම් එවැනි ක්‍රමයක් ලංකාවට හඳුන්වාදීම සඳහා ක්‍රියා නොකරන්නේ ඇයි?

වඳුරන්ගෙන් හා රිලවුන්ගෙන් කෘෂිකර්මයට එල්ල වී තිබෙන අභියෝගය සමනය කිරීම සඳහා ලංකාවේ වඳුරු හා රිලා ගහණයෙන් සියයට 80ක් තරම්වත් විනාශ කිරීමට අවශ්‍ය වනු ඇත. උන්ගේ ගහණයේ ඇතිවී තිබෙන වර්ධනය අතිවිශාලය. ඉක්මන් දැඩි පාලනයක් ඇති කිරීමට අසමත් වෙතොත් උන්ගේ ගහණයේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ විය හැකිය.
මොනර ගහණයේදී අතිවිශාල වර්ධනයක් දක්නට තිබෙන අතර ඌ ලස්සන සතකු වුවත් කෘෂිකර්මයට කරන හානිය අතිවිශාලය. උන්ගේ ගහණය පාලනය කිරීමට තිබෙන හොඳම ක්‍රමය වනුයේද වනාන්තරවලින් බැහැර ගම් ප්‍රදේශවල සිටින මොනරුන් දඩයම් කිරීමේ, උන්ගේ මස් ළඟ තබාගැනීමේ, ප්‍රවාහනය කිරීමේ හා විකිණීමේ අයිතිය මහජනයාට ලබාදීමෙනි. මොනරුන්ගෙන් කෘෂිකර්මයට සිදුවන හානිය පාලනය කිරීමට ඒ හැර අන් ක්‍රමයක් නැත. ධර්මාශෝක රජු මොනර මස් කන්නට සේ ම මොනර බිත්තර කන්නටද ප්‍රිය කළ බව වාර්තා වේ. මධ්‍යකාලීන යුරෝපයේ කළුකුමා කරළියට එන්නට පෙර විශේෂ උත්සව අවස්ථාවලදී මොනර මස් ආහාරයට ගත්තේය. චීනයේ මස් පිණිස මොනරුන් ඇති කරන ගොවිපොළවල් තිබෙන අතර පිරිමි මොනරකු විකිණෙන මිල යුආන් 900ක් (ඩොලර් 95ක් පමණ) බවත් ගැහැනු මොනරකුගේ මිල යුආන් 350ක් (ඩොලර් 36ක් පමණ) බවත් වාර්තා වේ. ඇමරිකාවේ පිරිමි මොනරකුගේ මිල ඩොලර් 500කි.

ලංකාව බලු හෝ බළල් මස් ආහාරයට ගන්නේ නැතත්, බලු මස් හා බළල් මස් ආහාරයට ගන්නා ජාතීහු සිටිති. චීනය, කොරියාව, තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව, මැක්සිකෝව, නයිජීරියාව, ඝානාව, කොංගෝව යන රටවල් බලු මස් ආහාරයට ගනිති. ජපානයද අතීතයේදී බලු මස් ආහාරයට ගත්තේය. ඔබාමා ලියා තිබෙන Dreams of my father නමැති කෘතියේ ඔබාමා ඉන්දුනීසියාවේ සිය සුළු පියාගේ නිවසේදී බලු මස් ආහාරයට ගැනීමේ සිද්ධියක්ද වාර්තා කර තිබේ. බලු මස් ආහාරයට ගන්නා රටවල අවශ්‍යතාවන් සඳහා පමණක් වසරකට මරන බල්ලන්ගේ සංඛ්‍යාව මිලියන 25ක් බවත්, වියට්නාමය පමණක් මස් අවශ්‍යතාවන් සඳහා බල්ලන් මිලියන 05ක් මරණ බව ඇස්තමේන්තු කර තිබෙන අතර, ඉන්දුනීසියාවේ බාලි දූපතේ පමණක් මස් අවශ්‍යතාවන් සඳහා වසරකට බල්ලන් 90,000ක් මරණ බවත් වාර්තා වේ. බීබීසී වාර්තාවකට අනුව 1999 වසරේදී කොරියාවේ බලු මස් පරිභෝජනය ටොන් 85,000කි. බලු මස් කන රටවල මස් පිණිස බල්ලන් ඇති කරන ගොවිපොළවල් තිබෙන්නේය. වියට්නාමයේ කිලෝ 20ක් තරම් බල්ලෙක් විකිණෙන්නේ ඩොලර් 100ක් වැනි මිලකටය.

ලංකාව කෘෂිකර්මයේදී තාමත් කල්පනා කරන්නේ ඉතාමත් සාම්ප්‍රදායික ආකාරයකටය. භූමියේ වගා කළ හැකි දේවල් ගැන පමණක් නොව, භූමියේ ඇති කළ හැකි ලෝක වෙළෙඳපොළේ ලොකු ඉල්ලුමක් හා මිලක් ඇති සත්ව වර්ග ගැනද අප කල්පනා කළ යුතුය. නයි ආහාරයට ගන්නා රටවල අවශ්‍යතාවන් සලකා අපනයනය සඳහා නයි ඇති කිරීම ලාභදායක ව්‍යාපාරයක් වේ නම් නයි ඇති කරන ගොවිපොළවල් පවත්වාගෙන යන තැනකට අප යා යුතුය. අප නිපදවිය යුත්තේ අප කන දේවල් පමණක් නොව, අපි නොකෑවද වෙනත් ජාතීන් කන දේවල් නිපදවා අපනයනය කිරීමෙන් අපට වඩා හොඳ ආදායම් ලැබිය හැකි නම් එවැනි සතුන් ඇති කරන ගොවි පොළවල් ඇති කරගන්නා තැනකට අප යා යුතුය. එය නයින්, ගෙම්බන්, ගොළු බෙල්ලන්, මුවන්, ගෝනුන්, මොනරුන්, බල්ලන්, වඳුරන් යන ඕනෑම සත්ව විශේෂයක් අපනයනය සඳහා නිපදවීම ආර්ථික වශයෙන් ලාභදායක වේ නම් සාම්ප්‍රදායික දේවල් වගා කිරීමෙන් ලැබෙන ආදායමට වැඩි ආදායමක් එවැනි දේවලින් උපයාගත හැකි නම් ඒවා නිපදවන තැනකට අප යා යුතුය. ඒවා අපි ආහාරයට ගන්නවාද නැද්ද යන ප්‍රශ්නය අපි ප්‍රශ්නයක් කරගත යුතු නැත. එවැනි ව්‍යාපාර ආරම්භ කිරීමට හා ඒවාට අනුබල දෙන ප්‍රතිපත්තියකට අප යා යුතුය.

ලංකාවේ සමහර සුපිරි හෝටල් මුව මස් ආනයනය කරයි. අපි තාමත් කල්පනා කරන්නේ මුවා සහ ගෝනා ආරක්ෂා කරගත යුතු ඒ නිසා දඩයමට ඉඩ නොදිය යුතු සත්ව විශේෂයක් ලෙසය. ආර්ථික වශයෙන් ලාභදායී වේ නම් මුවන් හා ගෝනුන් ඇති කරන ගොවිපොළවල් ඇති කළ හැකිය. ඒ මගින් මුවාගේ හෝ ගෝනාගේ පැවැත්මට තර්ජනයක් නොවන ලෙස උන් ආදායම් උපයන වැදගත් මාර්ගයක් බවට පත්කරගත හැකිය. වී ගොවිතැන් කිරීම අත්හැර තිබෙන කුඹුරු ඉඩම් සමහර සත්ව වර්ග ඇති කරන ගොවි පොළවල් බවටත් විශේෂ වශයෙන් මිරිදිය මාළු හා ඉස්සන් ඇති කරන ගොවි පොළවල් බවට පත් කළ හැකිය. ඒ මගින් ඒ ඉඩම් කුඹුරු ගොවිතැනින් උපයන ආදායම මෙන් කිහිප ගුණයකින් වැඩි ආදායම් උපයන ආර්ථික මාර්ග බවට පත් කළ හැකිය.

කෘෂිකර්ම විෂයේදී ලංකාව කල්පනා කරන ආකාරය ඉතාමත් පසුගාමීය. තාමත් කල්පනා කරන්නේ පරාක්‍රමබාහු රජ කාලයේදී කල්පනා කළ ආකාරයටය. කෘෂිකර්මයේදීද ලංකාව නවීන හා විද්‍යානුකූලව කල්පනා කරන තැනකට යායුතුය. ගොවි ජනතාව අතර පවත්නා දුප්පත්කම ජයගැනීමට හැකිවනු ඇත්තේ එවිටය.