සුනිලා අබේසේකර: දළ පිය සටහන් (අවසන් කොටස)

කේමදාස, මාරේ, හතා, සයිමන් සහ තවත් අය ඇසුරේ

මං දිගටම කිව්ව වගේ 80 වැඩ වර්ජනය පරාජය වෙලා කලු ජූලිය ආව. හරියට අවපාතයක් වගේ. මානසික පීඩාවක් අප අතර පැතිරිලා ගියා. එවැනි පසුබිමක තමයි 1986 නිදි නැති නදියේ නාදය බිහිවීම ප්‍රබල සංසිද්ධියක් වෙන්නේ. ඒ මගින් කේමදාස සහ තවත් අය එක වේදිකාවකට ගේන්නත් එම අත්දැකීමට පුලුවන් වුණා.

නිදි නැති නදියේ නාදය පස්සේ හිටියේ රිඞ්ලි (සිල්වා) කියන වැඩකරු. ඔහු සහ වාලි (වාල්ස් අබේසේකර) එකට වැඩ කරල තමයි නිදි නැති නදියේ නාදය යථාර්ථයක් බවට පත් කළේ. එහි අවශ්‍යතාවයි ඒ සඳහා කැපවීමයි තිබුණෙ ඒ දෙන්නට. ඊට දායක වු විවිධ පිරිස් එක්තැන් කරන්න ඒ දෙන්න මහන්සි නොබලා වැඩ කළා. ඒක ඇත්තට ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික දේශපාලනයේ දැවැන්ත වැඩක්. එදා 1986 මැයි දිනයේ ප්‍රසංග දෙකක් තිබුණා. මැයි දින පෙළපාළි යන අය සඳහා උදය වරුවේත් කොළඹ ඉන්න අය සඳහා සවස් වරුවේත් විදිහට.

ඒ වගේ විවිධත්වයක්! ප්‍රේමසිරි කේමදාසගේ කෝරස් එක. ගාමිණී හත්තොටුවේගමගේ වීදි නාට්‍ය ආරයේ ගීත, හෙන්රි ජයසේනගේ විවිධ නාට්‍ය ගී, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගී අනුවර්ථන, යුද විරෝධී ගී, දෝතට ගනිමු. වගේ සුනිල් විජේසිරිවර්ධනගේ ගී. ඒක ඓතිහාසික මෙන්ම ප්‍රධාන පෙළේ සංස්කෘතික සිදුවීමක්.

විමුක්ති ගී ප්‍රසංගය නැතිව ගිය එකට මාරසිංහගේ ප්‍රතිචාරය වුණේ කාලයේ රාවය ගී ප්‍රසංගය. ඔහු ජවිපෙන් ඉවත්වෙලා විමුක්ති ගී නතර වුණු එක ගැන දොම්නසට පත්වෙලා හිටියෙ. ඔහුට පුලුවන් වුණා ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ, මාලිනී බුලත්සිංහල සහ ඇගේ සොයුරිය සන්ධ්‍යා, පුෂ්පා රම්ලනි රත්නායක, මා වගේ පිරිස් ඊට එක් කර ගන්න. පසුකාලයක ගොවියා පත්තරයෙත්, ඊට පස්සේ විවරණ සඟරාවෙත් සංස්කාරක බවට පත් වුණු වින්සන්ට් කුරඹාපිටිය කාලයේ රාවය ප්‍රසංගය ගොඩ නගන්න මාරසිංහත් එක්ක හරි හරියට ම වගේ වැඩ කළා. ඔහුත් 71 කැරැල්ලට සම්බන්ධ වූ සහජ දක්ෂතා තිබූ තරුණයෙක්. ඔහු අකාලයේ මිය ගියා. මාරසිංහට ජවිපෙ තුවක්කුකරුවෝ වෙඩි තියල මැරුව.

කොහොම වුණත් කාලයේ රාවය ඒ තරම් දේශපාලනික වුණේත් නැහැ. ඒ වගේම සංගීත ප්‍රසංගයක් විදියට සාර්ථක වුණේත් නැහැ. අන්තිමේ දි එය අසාර්ථක වුණා. මං හිතන්නේ ඊට හේතුව ජවිපෙට තිබූ සංවිධාන ශක්තිය අපට තිබුණෙ නැති නිසා වෙන්න පුළුවන්. ජවිපෙට දේශපාලන යාන්ත්‍රණයක් තිබුණා. විමුක්ති ගී හි දී අපට තිබුණේ පුහුණුවීම් කරලා ප්‍රසංගයට සහභාගිවීම පමණ යි. අවසර ගැනීම්, ටිකට් අලෙවිය වගේ දේ කළෙත් ජවිපෙම යි.

කාලයේ රාවය ප්‍රසංගයේ ඉතා ලස්සන ගීත තිබුණා. පස්සේ කපුගේ සහ දිවුල්ගනේ ඒ ගී ගායනා කළා. නින්ද නැති රැයේ වගේ ගී. ඒක හරිම ලස්සන ගීයක්. ඒ දයාසේන ගුණසිංහගේ කවියක්. සුනිල් විජේසිරිවර්ධනගේ තනුවක්. අන්දර ලන්දෙදි සීතා රංජනීගේ පද බැඳුමක්. ඒක පස්සේ මාලිනී බුලත්සිංහල ගායනා කළා. ඒ වගේ අපූරු ගී කාලයේ රාවය ප්‍රසංගයේ තිබුණා.

මගේ කලා – සංස්කෘතික ජීවිතයට සමහර විට වැඩිම බලපෑමක් කළේ කේමදාස වෙන්න ඕන. මා ඔහු සමඟ කළ ගී නිසා තමයි මං ගායිකාවක් විදියට ප්‍රසිද්ධ වුණේ. ඇත්තටම මං ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඔහු හරහා මගේ ජීවිතය පරිවර්තනයකට ලක් කළ බොහෝ සංගීතඥයින් වගේම මිතුරු මිතුරියන් හමුවුණා.

ඉන් පස්සේ බැලුවොත් මාරසිංහ සහ සුනිල් විජේසිරිවර්ධන මගේ ජිවිතයේ පරිවර්තීය භූමිකාවක් ඇති කළ දෙදෙනෙක්. මාරසිංහ තමයි මට සුනිල් හඳුන්වා දුන්නේ. දෙන්නම අනුරාධපුරයේ කොල්ලො. ඔවුන් පාසැල් ගියෙ එකට. මේ වෙන කොට සුනිල් රුසියාවේ අධ්‍යාපනය අවසන් වෙලා ඇවිල්ල හිටිය. ඔහු ගිටාරය වාදනය කළා. ඔහු සතුව හරිම අපූරු ගී තනු තිබුණා. ඔහු කාලයේ රාවයටත් ගීත සහ පදවැල් සඳහා ඉතාම ලස්සන අදහස් අරං ආව. මට නම් දෝතට ගනිමු ජීවිතය සහ ලෝකය පිළිබඳ ඉතාම සුන්දර ගී වලින් එකක්.
ඒ වගේම තමයි ධර්මසිරි බණ්ඩාරනායක සහ ධර්මසේන පතිරාජ සමඟ ගොඩ නැගුණ ඇසුර. ඒ දෙන්නම හුදෙක් සිනමාකරුවන් හෝ නාට්‍යකරුවන් හෝ නොවෙයි. දෙදෙනාම ගැඹුරින් දේශපාලනික යි. ඒ වගේම ඒ දෙදෙනා සිංහල සිනමා ගමන් මඟ වෙනස් කරන්න සමත් වුණා. නිර්මාණය කරන ලද කාලය බැලුවොත් අහස් ගව්ව කියන්නේ විස්මය ජනක සිනමා පටයක්. ධර්මසිරි ඔහුගේ නාට්‍ය සහ සිනමාපට මගින් කළ කාරිය අමිලයි.

සිනමාවේ හරි නාට්‍ය ක්ෂේත්‍රයේ හරි ගී ගැයීමේ හරි රැදී ඉන්න නම් ඊට ගරු කිරීමක් තමන් තුළ තියෙන්න ඕන. ඒ ගැන අවධානයක් තියෙන්න ඕනෙ. ඒ වගේ ම කැපවීමත් අවශ්‍ය යි. යම් කාලෙකට පස්සේ මට ඒ ගැන උනන්දුව නැතිව ගියා. මට එවැනි කලා සංස්කෘතික කටයුතු කෙරෙහි අවශ්‍ය අවධානය දෙන්න බැරිව ගියා. නිකම්ම බස් එකෙන් බැහැල මෙතෙන්ට ඇවිල්ල සිංදු කියන්න බැහැ කියල කේමදාස මාස්ටර් දිගට ම වගේ කිව්ව.

එවැනි පරිවර්තීය වෙනසක් මගේ ජිවිතයේ ඇති කළ තවත් දෙන්නෙක් කියන්න පුලුවන්. එක් අයෙක් තමයි සයිමන් නවගත්තේගම. මං ඔහු දැන හඳුන ගත්තේ 1976දි විතර. ඒ දවස් වල මං හන්ස ප්‍රකාශකයෝ හි ටික කලක් වැඩ කළා. ඔවුන් සයිමන්ගේ පොත් මුද්‍රණයෙන් පළකළා. මට මතකයි ජයසේන ජයකොඩිගේ අස්වැන්න, කරුණා පෙරේරාගේ අඳුරට එළියක්, සයිමන් නවගත්තේගමගේ සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා ඔවුන් මුද්‍රණයෙන් පළ කළ බව. මං එහි වැඩ කළේ යතුරු ලියන්නියක් විදිහට. මං බිෂොප් කොලීජියෙන් පිටවුණා විතරයි. වසය 21විතර. මට කරන්න කියල වෙන දෙයක් තිබුණේ නැහැ.

ඒ වෙන කොට සයිමන් වගේ චරිතයක් මං කවදාකවත් දැකල තිබුණෙ නැහැ. ඔහු අමුතුම අපූරු අයෙක්. කොණ්ඬේ වවල හැමදාම කැප් තොප්පියක් දාගෙන හිටියෙ. එක දවසක් ඔහු මට කිව්වා ඇයි වැදගත් දෙයක් සිංහලට පරිවර්තනය කරන්නේ නැත්තේ, මට පුලුවන් ඇත්ත පත්තරේ දාල දෙන්න කියලා.

ඔහු මට ළමයි ගැන ලිපි කිහිපයක් ගෙනැල්ල දුන්න. එකක් තමයි දරුවට එපා කියන්න එපා කියපු ලිපියක්. ඒවා ගෙනාවේ සෝවියට් දේශයේ සඟරාවලින්. මට ඒක උද්වේග ජනක අත්දැකීමක් වුණා. මුල්ම වරට සිංහලට පරිවර්තනයක් කිරීම, ඒ වගේම මුල්ම වරට මං ලියපු දෙයක් පත්තරයක පළ වුණ එක ගැන මට හරි සතුටත් ඇතිවුණා. ඇත්ත පත්තරය කියන්නේ ඒ දවස්වල අප හැමෝගෙම පිළිගැනීමක් තිබූ පුවත්පතක් නේ.

සයිමන් නවගත්තේගම මට පෙනුණේ අතිවිශේෂ චරිතයක් විදිහට. ඔහු හැම උදේකම දත් බුරුසුවකුත් අරගෙන හංස ප්‍රකාශක කාර්යාලයට එනවා මුහුණ කට හෝදගන්න. යාන්තමට මුහුණ හෝදගෙන තමයි එන්නේ. වෙලාවකට පෙරදා රැයේ ඔහු බීල කොහේ හරි ඉන්න ඇති. ඔහු කාර්යාලයට ඇවිත් දත් මැදල මුහුණ හෝදගෙන යන්න යනව.
ඔහු ඒ හැමදාකම වගේ මට කතා කරනවා. ඔහුගේ සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා පොත කියවල මම සිංහල බසට ආසා කරන්න පටන් අරන් උන්නේ. ඔහු සමඟ කතා කරන කොට තේරෙනවා ඔහු ඇත්තට ම බර සාර මිනිසෙක් බව. සයිමන් තමයි මට භාෂා පරිවර්තනය කරන්න හැකියාවක් තියෙනව කියන අදහස දුන්නේ.

පරිවර්තීය බලපෑමක් මට ඇති කළ කරුණා පෙරේරා ඒ කාලේ හිටියෙ සාන්වි ආරච්චි වත්ත කියන පැල්පත් ප්‍රදේශයේ. ඇය තමයි මට හමුවූ පළමු වැන්නා නාගරික දුප්පතුන් අතර ජීවත්වෙන. මං ඇයත් එක්ක ඇගේ ගෙදරට ගියා. ඒ වෙනකොට ඇය ඇයගේ කෙටි කතා පොතට ජාතික මට්ටමේ ත්‍යාගයක් දිනා ගෙන තිබුණා. මං ආපහු ආපහු ඇගේ ගෙදරට ගියා. මැද පන්තියෙන් ආ මට කිසිම අවබෝධයක් තිබුණෙ නැහැ දුප්පත් මිනිස්සුන්ගේ එදිනෙදා ජිවිතය ගැන.ඔවුන් ජිවත්වෙන්නේ කොහොමද, ජීවිතේ ගත වෙන්නේ කොහොමද කියලා. මං ඇයගේ පවුලේ අයත් ඔවුන් ජීවත්වන විදියත් තේරුම් ගත්තෙ ඒ ගමනින්.

කරුණා පෙරේරා අපූරු ගැහැනියක්. ඇයට අප අතර වූ පන්තිමය වෙනස්කම ගැන කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ඇය මට මිතුරියක් විදිහටයි සැලකුවේ. මට ඔවුන්ගේ පරිසරය විඳගන්න අමාරුවෙයි කියල ඇය ගණන් ගත්තේවත් නැහැ. ඒත් ඇය පන්ති වෙනස්කම් ගැන දැනගෙන හිටිය. ඒ ගැන ඇය හිතුවෙ නැහැ. අපි සමානයින් විදිහට කිසිම ප්‍රශ්නයක් නැතිව ආශ්‍රය කළා. ඇය හරහා ලැබුණු නාගරික දුප්පතුන්ගේ ජීවිතය පිළිබඳ අත්දැකීම මට විශාල පරිවර්තීය අත්දැකීමක් වුණා. ඒ 1970 වර්ෂයේ විතර.

පසු කාලයක මම ගැමි දුප්පතුන් ගැන ජනතා විමුක්ති පෙරමුණ හරහා ඉගෙන ගත්ත. නාගරික දුප්පතුන් ගැන ඉගෙන ගත්තේ කරුණා පෙරේරාගෙන්. මං හිතන්නේ මගේ ජිවිතයට පරිවර්තීය බලපෑමක් කළ අය අතරින් ගාමිණී හත්තොටුවෙගම ගැනත් කතා කරන්න ඕන. ඔහු ඇත්තටම නම් ශ්‍රී ලංකාවේ කලා – සංස්කෘතික දේශපාලනයට මහත් බලපෑමක් කළ අයෙක්.

කැලණිය සරසවියේ ඉංග්‍රීසි භාෂා සහාය කථිකාචා්‍යයවරයෙක් විදිහට ඉන්න ගමන් තමයි ඔහු වීදි නාට්‍ය ආරම්භ කළේ. සරසවියේ ඔහු ඉගැන්නුවේ ඉංග්‍රීසි. ජීවත්වුණේ කිරිබත්ගොඩ. විමල් කුමාර ද කොස්තා, ධර්මසේන පතිරාජ, තෙන්නකෝන් එක්ක ඔහුට ළඟ මිතුරු කමක් තිබුණා. ඒ කාලයේ තමයි පතිරාජ කොරා සහ අන්ධයා නාට්‍යය නිර්මාණය කළේ.

හත්තොටුවෙගම තමයි ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය සහ වීදි නාට්‍ය ව්‍යාපාරය ආරම්භ කළේ. ඔහු නාට්‍ය ශාලාවෙන්, වීදියට අරගෙන ගිහින් සාමාන්‍ය මිනිසාට අහන් ඉන්නත් තේරුම් ගන්නත් පුළුවන් පැය භාගයේ නාට්‍ය හැදුවා. මේ නාට්‍යවල වේදිකා නාට්‍යවල වගේ සකස්කළ ඇඳුම් තිබුණේ නැහැ. ඒ මගිනුත් ඔහු උත්සාහ කළේ සාමාන්‍ය ජනයාට තමාගේ ම යැයි හැඟීමක් ඇතිවන පණිවිඩයක් දීමට යි.

වීදි නාට්‍ය කෙරෙහි ඔහුට ප්‍රබල කැපවීමක් තිබුණා. අප බැලුවොත් දීපානි සිල්වා, ග්‍රැන්විල් රොද්‍රිගෝ, එව්.ඒ. පෙරේරා, කිංස්ලි ලෝස් වාගේ බොහෝ දෙනෙක් හත්තොට්ටුවේගමගේ වීදි නාට්‍යවලින් පටන් අරං වේදිකා නාට්‍ය, සිනමාව සහ රූපවාහිනිය වැනි ප්‍රධාන රංග ධාරා කරා ගමන් කළා.

හත්තොටුවේගමට හොරණ නාට්‍ය සම්ප්‍රදායයේ බලපෑම තිබුණා. මොකද ඔහු ආවෙත් හොරණින්. ඒ දවස්වල චන්ද්‍රසේන දසනායක වසර ගණනාවක් ම පාසැල් නාට්‍ය තරඟයෙන් ජය ගත්තා. සුදු ඇතා ආවට පස්සේ ඔහුගේ එක නාට්‍යයක්. එතකොට ධර්මසිරිත් ඔහුගේ නාට්‍යවල රඟපෑව. ඒ විදිහට තමයි මේ ඔක්කොම වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වෙන්නේ. හත්තොටුවේගමට උවමනාවක් තිබුණා සාම්ප්‍රදායික නාට්‍ය පාරට අරන් ගිහින් ව්‍යාපාරයක් බවට පත් කරන්න. ඒ නිසා තමයි ඔහු ඒ පරිවර්තනය ඇති කළේ.
මං හිතන්නේ ඔහුට අභාසය සහ ප්‍රබෝධය ලබා දීමේ මහඟු හැකියාවක් තිබුණා. මොකද ඔහුට භාෂාව ගැන ඉතා උසස් තේරුමක් තිබුණා. සංගීතය සහ වේදිකාව ගැනත් එහෙමයි. ඔබට පුළුවන් නම් මතක් කර ගන්න නිදි නැති නදියේ නාදය ප්‍රසංගයට ඔහු ඉදිරිපත් කළ මා දුටුවා ඔබ දුටුවා ගීතය. ඒක කොයි තරම් ප්‍රබල සිංදුවක්ද?

මම හිතන්නේ ඔහු විතරයි අද දක්වාම කුරුණෑගල, බදුල්ල, මීගමුව, වගේ පළාත්වල වීදි නාට්‍ය කරන පිරිස් ගොඩ නැගුණූ ව්‍යාපාරයක් ඇති කළේ. ලංකාවේ හුඟාක් ගම්බද පළාත්වල මිනිස්සු ඔහු වීදි නාට්‍ය රඟ දක්වනව දැකල තියෙනව. මාත් ඔහු එක්ක වතාවල් ගණනාවකදීම අනුරාධපුරයට ගියා වීදි නාට්‍ය කරන්න. අප ගියේ කෝච්චියෙන්. දුම්රිය පොළේ ම විදී නාට්‍යක් කරල පටන් ගත්තේ. එතන ඉඳන් පාර දිගේම වීදි නාට්‍ය නට නටා රෑ පුරාම ගමන් කළා. ඉතින් උදේ වෙනකොට ආයෙම අපි කෝච්චියෙන් ම ආපහු එනවා.
ඔහු කවදාවත් වීදි නාට්‍ය වානිජකරණය කළේ නැහැ. ඒක තමයි ඔහුට තිබුණු ශක්තිය. ඔහුට බහුවිධ හැකියාවන් තිබුණ. රබාන අරං පාරට බැහැල සිංදු කියමින් සෙනඟ රැස් කරල ඔහු වීදි නාට්‍ය පටන් ගත්ත. හත්තොටුවේගම තමන්ට සීමා දාගෙන හිරවෙලා හිටියෙ නැහැ.

ඒ විදිහට ඔහු පරම්පරාවකට ම අභාසයක් සහ ප්‍රබෝධයක් ලබා දෙන්න සමත් වුණා. දැන් ඒ පරම්පාරව කායිකව නොවුණත් අභාවයට යමින් ඉන්නේ. ඒ වගේම පිට පළාත්වල ගොඩ නැගුණූ වීදි නාට්‍යත් අභාවයට යමින් තියෙන්නේ.

ඒ කොහොම වුණත් අපි හත්තොටුවේගමට ලොකුම ලොකු ප්‍රශංසාවක් දෙන්න ඕන.

(සුනිලා අබේසේකර සමඟ යළි යළි කෙරුණු කෙටි පිළිසඳර මගින් සටහන් වූ අසම්පූර්ණ පිය සටහන් මෙතැනින් අවසන් වෙයි. අපට තව දුර දොඩමළු වන්නට කාලය අවසර දුන්නේ නැත. ඇයගේ ජීවිතයෙහි තවත් විචිත්‍ර පරිච්ජේද බොහෝ ගණනාවක් කාලයේ වැලි තලාව යට දැන් සැඟව ගොසිනි – සු.දේ.)