රාවය

හතුරුසිංහ හෙළුවෙන් හිඳ මැතිව්ස්ට ‘හූ’ කීම

හතුරුසිංහ හෙළුවෙන් හිඳ මැතිව්ස්ට ‘හූ’ කීම

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු පව් මත කර තැබීමට ඇන්ජලෝ මැතිව්ස්ට සිදුව තිබේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලත් අනපේක්ෂිත පරාජයන් ඊට හේතු වන්නේය. පළමු ව බංග්ලාදේශය වෙතින් ද දෙවනුව ඇෆ්ඝනිස්තානය වෙතින් ද ලත් පරාජයන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිශානතිය සම්බන්ධයෙන් මැවුවේ අපැහැදිලි චිත්‍රයකි. ඊටත් වඩා එය බලියකි. දැන් එම බලිය ඇරීමට බලන්නේ මැතිව්ස් මත පටවා ය.

මැතිව්ස්ගේ දක්ෂතා සම්බන්ධයෙන් කාලයක සිටම බොහෝ දෙනෙක් තුළ ඇත්තේ පැහැදීමක් නොවේ. සමාජ මාධ්‍යජාලා ගත්තත් ක්‍රිකට් පිටියේ වෙන කතාබහට ඇහුම්කන් දුන්නත් එහි වැඩි ප්‍රමාණයක් ම ඇත්තේ මැතිව්ස් ට එරෙහි දේ ය.

මේ දැනට අවුරුදු කිහිපයක සිට ම පවතින තත්ත්වයකි. සැබෑවට ම මැතිව්ස් ගේ පෙර පෑ දක්ෂතා අප මෑතක දී දුටුවේ නැත. පිතිකරුවෙක් ලෙස බොහෝ දේ කළ මැතිව්ස් මෑතකාලීනව මතක හිටින ඉනිමක් ක්‍රීඩා කළේ නැත. මැතිව්ස් පන්දු යැවීම සහමුලින් ම අමතක කර දැම්මේ ය. පන්දු රකින්නෙක් ලෙසින් ද මැතිව්ස් ගේ දක්ෂතා දකින්නට තිබුණේ නැත. මේ සියල්ලටමත් වඩා කණ්ඩායම එකට ගොනුකර ගැනීමේ හැකියාව ද මැතිව්ස්ගෙන් දුරස් ව ඇත.

මේ සියලු කාරණා මැතිව්ස් තුළ තිබිය දී ය, දිගින් දිගට ම ශ්‍රී ලංකා කණ්ඩායමේ අසුනක් මැතිව්ස් වෙනුවෙන් වෙන්ව තිබුණේ. අනෙක් අතට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයෝ මැතිව්ස් වෙනුවෙන් ම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පවත්වමින් පවා ඔහු ව තරගාවලි සඳහා යොමු කළ වාර අනන්ත ය. එවන් බොහෝ අවස්ථාවල සංචාරයන් අතරමග දී මැතිව්ස් මෙරට ට පැමිණියේ ය. නොමැති නම් ඔහු විවේක ගන්වමින් සංචාරකයෙක් ලෙසින් කණ්ඩායමේ රඳවා ගත් හ.

එවන් අත්‍යවශ්‍ය තත්ත්වයේ ලා සැලකූ ක්‍රීඩකයෙකි, මේ හදිසියේ ඉවතට දැමිමට කටයුතු කරනුයේ.

මැතිව්ස් ම පවසන පරිදි මේ සියල්ල නිර්මාණය වී ඇත්තේ අසාර්ථක ආසියානු කුසලාන සංචාරයෙන් අනතුරුව ය. ඒ ප්‍රතිඵලයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සහ විස්සයි 20 කණ්ඩායම්වල නායකත්වයෙන් මැතිව්ස්ට ඉවත් වෙන ලෙස තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් දැනුම් දුන්නැයි මැතිව්ස් කළ දැනුම් දීම ය.

“ඔවුන්ගේ එම තීරණයෙන් මම විශ්මයට පත් වුණා.” මැතිව්ස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා වෙත යොමු කරන ලද ලිපියේ ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ එසේ ය. ඔහු එම ලිපියෙන් අවධාරණය කර තිබෙන්නේ ලත් පරාජයේ තමන් ද කොටස්කරුවෙක් පමණක් බවත් අනෙකුත් අය ද ඊට වගකිව යුතු බවත් ය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලත් පරාජයන් ගෙන් පසුව මැතිව්ස්ගේ නොහැකියාව දකින ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා සේ ම පුහුණකරුවා ද ඊට පෙර ඔහුගේ ආබාධයන් සහ පිටියේ ක්‍රියාකාරීත්වය නොදුටුවේ, ඔවුන් එම තරග නොබැලූ බැවින් ද නැත්නම් වෙනත් කාරණයක් නිසා ද යන්න ගැන ඇත්තේ කුකුසකි.
කෙසේ වෙතත් මේ දේවල් මේ ආකාරයෙන් සිදුවිය යුතු නැත. ජය පරාජය මත මැතිව්ස් ට කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වෙන්නට පවසනවා නම් පළමුවෙන් ම ඉවත් විය යුත්තේ තේරීම් කමිටු සභාපති ය. ඊට පසු පුහුණුකරුවා ය.

“චන්දික හතුරුසිංහ මහතා 2017 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත්වීමෙන් පසු ඔහු පෞද්ගලිකවම මා හමුවී, 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා නැවත වරක් නායකත්වය බාරගන්නා ලෙස ඉල්ලා සිටියා.” මේ මැතිව්ස් කියන කතාව ය. මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාට ලිඛිතව පැවැසූ දෑ ය.
නැවත නායකත්වය බාර ගැනීම සම්බන්ධයෙන් මැතිව්ස් පවසන්නේ පුහුණුකරු හතුරුසිංහගේ ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් තිබූ විශ්වාසය මත තමන් එම තනතුර නැවත බාර ගත් බවයි. දැන් මේ ඉවත් වෙන්නට යැයි පවසන්නේ තමන් විසින් ම භෞතිස්ම කළ ක්‍රීඩකයෙක් ය.

නායකත්වය සම්බන්ධයෙන් කරුණු කාරණා ඒ ආකාරයෙන් වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායකයා පවසනුයේ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව ප්‍රමාණවත් නොවන බැවින් එළැඹෙන එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලබන මාසයේදී මෙරටදී පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් මැතිව්ස් ඉවත් කළ බවයි. එසේ වූවද නම් කරන ලද ටෙස්ට් සංචිතයේ ස්ථානයක් ඔහු වෙනුවෙන් වෙන් කර තිබේ.

ප්‍රධාන විධායකයා එසේ පවසද්දී පුහුණුකරු හතුරුසිංහ පවසන්නේ මැතිව්ස්ගේ කලව පිටුපස ආබාධයක් කාලයක සිට පවතින බවත් මෙම ආබාධය හේතුවෙන් කඩුලු අතර දිවීමේදී ඔහු අපහසුතාවන්ට මුහුණ දෙන බවත් ය.

හතුරුසිංහ මැතිව්ස්ගේ එම ආබාධය දකින්නට ආසියානු කුසලානයේ තරග පරාජයත් සමග ය. ඒත් ඔහු පවසනුයේ මැතිව්ස් ගේ එම ආබාධය කාලයක සිට පැවතෙන බව ය. එසේ ආබාධයක් තිබුණා නම් හතුරුසිංහ සේ ම තේරීම් කමිටු නිලධාරියා ද මැතිව්ස් දිගින් දිගට ම කණ්ඩායමට නම් කළේ කුමන හේතුවක් නිසා ද?

“තරගයදී පළමුව පන්දු රැකීමෙන් පස්සේ පන්දුවට පහර දෙන අවස්ථාවල දී මැතිව්ස් ගේ කඩුලු අතර දිවයාම ඉතාමත් මන්දගාමියි. ලකුණු එක ලබා නොගන්නවා විතරක් නෙමේ දෙවැනි ලකුණ කරා නොයන අවස්ථාත් තියෙනවා. ඒකෙන් වෙන්නේ අනෙක් පිතිකරුවාත් පීඩනයට පත්වෙන එකයි.” හතුරුසිංහට මේ කතාව කියන්නට ආසියානු කුසලානයේ තරග පරාජය වෙන තුරුම සිටිය යුතු වූවා ද?

“ඔහු දුවද්දී දැවීයාම් 64කට සම්බන්ධ වෙලා තියෙනවා. ඒවායින් අවස්ථා 49කදීම දැවී ගිහින් තියෙන්නේ අනෙක් පිතිකරුවා.” හතුරුසිංහ මැතිව්ස් ගැන කෙතරම් නම් අධ්‍යයනයක් කර තිබෙනවා ද? පුහුණුකරු ලෙසින් මැතිව්ස්ගේ එම වරද මේ දක්වා ම හදන්නට නොහැකිවීම ගැන කිසිවක් ම නොපවසන හතුරුසිංහ “ඒවා හදාගෙන නැවත නියමිත ශාරීරික යෝග්‍යතාවට ඇවිත් කණ්ඩායමට එන්න ඔහුට අවස්ථාව තියෙනවා.” යැයි පවසයි.

තමන් යටතේ සිටින ක්‍රීඩකයෙක් ගේ වරදක් වේ නම් එම වරද නිවැරදි කළයුත්තා තමන්ම වේ නම් පුහුණුකරුවෙක්ගේ සේවයක් කුමකටද? අනෙක් අතට මැතිව්ස් මේ සා වැරදි කළේ නම් ඔහු දිගින් දිගටම කණ්ඩායමේ රඳවාගෙන සිටියේ කුමන හේතුවක් මතද? මැතිව්ස් කණ්ඩායමට බලෙන් ආ බවක් අප මෙතෙක් අසා නැත. ඔහු කණ්ඩායමට කැඳවෙන්නේ තේරීම් කමිටු සභාපතිවරයාගේ සහ පුහුණුකරුගේ තීරණයෙනි. එසේ නම් මේවාට ලැබ්රෝයි සේ ම හතුරුසිංහත් වගකිව යුතු නොවේ ද?

එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ මැතිව්ස් මත සියලු පව් තබා ඔහුව නිරුවත් කර අනෙකුත් අය තම තමන්ගේ නිරුවත වසා ගැනීමට උත්සාහ කිරීමයි.