රාවය

පිහිනීම සහ නෑම

පිහිනීම සහ නෑම

ඒ. වික්‍රමසූරිය

රට වටේම මුහුද වුවද රට තුළ ඇළ, දොළ, ගංගා බහුල වුවද රටේ ජනගහනය කෝටි දෙකට ටිකක් වැඩි වුවද කීදෙනකුට පිහිනන්නට හැකිදැයි යන්න පැනයකි. අද ලොකු පාසලක් ගතහොත් පිහිනුම් තටාකයක් අනිවාර්යය. අද ලංකාව තුළ ඇති පිහිනුම් තටාක තොගය අතිවිශාලය. එහෙත් පිහිනුම් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට යා හැකි පිහිනුම් ක්‍රීඩකයන් හතරපස් දෙනෙක් සොයාගත නොහැකිය. පිහිනුම් ක්‍රීඩාව වෘත්තියම වශයෙන් උගන්වන පුහුණුකරුවන් කොතෙක් සිටිත්ද? ජුලියන් බෝලිං වසර කීයක් ස්ථාන කීයක පුහුණු කරත්ද? එහෙත් ඔහුට ජාත්‍යන්තරය ජයගත හැකි එක් ක්‍රීඩකයෙක් බිහි කළ හැකිවී ඇත්ද? වසර ගණනාවක් පුහුණුකරුවකු වන ඔහු මාසිකව ලක්ෂ ගණන් උපයන වෘත්තිකයෙකි. එහෙත් ප්‍රතිඵල කොහිද? අනෙක් පුහුණුකරුවන් ගත්තද තත්ත්වය එයමය. එහෙත් රැකියාවක් ලෙස හොඳ ආදායම් ලබන වෘත්තියක් වන පිහිනුම් පුහුණුකරු ධුරය ඒ ඒ අයගේ පැවැත්මට වෘත්තියක් වුවද ක්‍රීඩාවක් ලෙස වර්ධනයක් නැත්තේ ඇයි? එයට හේතුව මොවුන් සැම කරනුයේ පිහිනන්නට උගැන්වීම මිස ක්‍රීඩකයකු බිහිකිරීම නොවන බැවිනි. තමන්ගේ දරුවා පිහිනුම් කරනවායැයි කීම මව්පියන්ට ආඩම්බරයකි. අනෙක් අතට මේ ක්‍රීඩාව කිරීම අපතේ යන්නක්ද නොවේ. ඊට හේතුව ක්‍රීඩකයකු ලෙස ගමනක් නොගියද මෙය අපතේ නොයයි. එනම් වතුරට වැටුණහොත් පිහිනා දිවි ගලවා ගැනීමට ලැබීමටම ප්‍රමාණවත් බැවිනි. එබැවින් සෙසු ක්‍රීඩා මෙන් නොව, පිහිනුම් ඉගෙන ගතහොත් එය ජීවිතාන්තයටම වුවමනාය. මේ නිසා පිහිනුම් කරන දරුවා ක්‍රීඩකයෙක් නොවුණද ජාතික තලය, ජාත්‍යන්තර තලයට නොගියද කවුරුත් ප්‍රශ්න නොකරති. මේ නිසා ලංකාව තුළ පිහිනුම් පුහුණුකාර ධුරය ලේසි පහසු වැඩක් වී ඇත. අනෙක් අතට ලංකාවේ පුහුණුකරුවන් දන්නේද වතුරට වැටුණහොත් දිවි ගලවා ගන්නට පුරුදු කර තම දිවිය සරුකර ගන්නටය. එය නම් දරන හැම පිහිනුම් පුහුණුකරුවෙක්ම අපූරුවට ඉටුකරමින් සිටිති. එවන් වටපිටාවක ලංකාවේ පිහිනුම් ක්‍රීඩාව ගැන කතා කිරීමට සිදුව ඇත. සැබැවින්ම ලංකාවේ පිහිනුම් ක්‍රීඩාව කියා කරනුයේ මෙවැනි විකාර දේවල් ටිකකි. ලංකාවේ පිහිනුම් මේ ආකාරයට දියුණු වනු ඇතැයි සිතිය හැකිද? ඒ විදිහට තව වසර ගණනාවක් ගියද කිසිදු දියුණුවක් ඇති නොවනු නියතය. ලංකාවේ පුහුණුකරුවන් දන්නේ පිහිනන්නට උගන්වන්නට මිසක් පිහිනුම් ක්‍රීඩකයන් නිෂ්පාදනය කරන්නට නොවේය. ඇත්ත එයය. මේ දැන් තත්ත්වයය.

එහෙත් මීට පෙර කතා කළහැකි ඉතිහාසයක්ද පිහිනුම් සතුය. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ධජය වැඩි වාර ගණනක් එසැවූයේ පිහිනුම් ක්‍රීඩාවෙනි. ආසියා හා පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලවලද ශ්‍රී ලාංකේය නාමය බැබලවීමට පිහිනුම් ක්‍රීඩාවට හැකිවිය. එවන් යටගියාවක් අභිමානයක් රැඳි පිහිනුම් ක්‍රීඩාවට හිමිව ඇති තැන අභාග්‍යසම්පන්නය.

පරීක්ෂණ කෝ
අදටත් නිවැරදිව පිහිනුම් නිලධාරීන් පත් කරගත නොහැකිව ඇත්තේ හිටපු නිලධාරීන් මේ ක්‍රීඩාව අතරමග ඇද දමා පැන ගිය බැවිනි. ඒ නිකම්ම නොවේ ලක්ෂ ගණන් මුදල්ද පිල්ලි ගසාගෙනය. කොළඹ පැවති දකුණු ආසියානු පිහිනුම් ශූරතාවලියේ මුදල් වැය කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් හිටපු සභාපති, ලේකම් තනතුරු අතහැරියේය. එම ශූරතාවලිය පවත්වන්නට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන ගණනක් ලැබී තිබුණි. එමෙන්ම අනුග්‍රාහක ආයතනවලින්ද මිලියන ගණන් ලැබී තිබුණි. ඒ ලද මුදල්වල එකතුව මිලියන 12කි. එනම් එක් කෝටි විසි ලක්ෂයකි. මෙය විශාල මුදලකි. මේ මුදල් පිහිනුම් සංගමයේ සභාපති සහ ලේකම් විධායක සභාව දැනුවත් නොකර හිතුමතේ වියදම් කොට තිබුණේ විධායක සභාව පවා දැනුවත් නොකර වෙනම කමිටුවක් පත්කරමිනි. අප හිටපු ක්‍රීඩා ඇමතිවරයාගෙන් නිතර නිතර ඉල්ලා සිටියේ මේ ගැන පරීක්ෂණයක් කරන ලෙසය. විධායක සභාව සිටියදී වෙනත් කමිටු රහසේ පත් කොට මුදල් ඒ හරහා ලබාගත්තේ ඇයිද යන්න සොයා බලන ලෙසය. අවසානයේ මේවාට පිළිතුරු දෙන්නට වන නිසා පිහිනුම් සංගමයේ සභාපති සහ ලේකම් පැදුරටත් නොකියා මාරු විය. ඒ එක්කෝටි විසි ලක්ෂයකට වෙච්ච දෙයක් දැනුම් නොදීය. පිහිනුම් සංගමයේ සභාපතිකම දැරුවේ ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙකි. ගමගේ නමැති මේ නිලධාරියා කිසිදු හිරිකිතයකින් තොරව මේ වංචාව කොට මාරු විය.

එකල මහා සභාවකදී මේ ගැන ප්‍රශ්න කරන විට ඔවුන් පිළිතුරු දිය නොහැකි තැන තනතුරුද දමා අතුරුදන් විය. එහෙත් ඒ ප්‍රශ්නය අදටත් එසේමය.

යාම්/ඒම්
පිහිනුම් සභාපති සහ ලේකම් මුදල් වංචා කොට මාරු වූ පසු ඒ හිස්වූ හිස් පුටුවල වාඩිවූයේ ඊට යටින් සිටි අයය. මේ අය මේ ගැන සොයනු වෙනුවට කළේ වාඩිවූ පුටුවෙන් නැගිට සිටීමට මැලිවීමය. හොරු ඇල්ලීම වෙනුවට බලය තුළ රැඳීමය.

මෙවන් මොහොතක ක්‍රීඩා අමාත්‍යාංශය නිවැරදිව ක්‍රියා කළ යුතු වුවත් දයාසිරි ජයසේකර කළේ පුරුදු පරිදි බයිලා කියමින් කාලය කා දැමීමය. ඔහුට ඒ මොහොතේම අතුරු කමිටුවක් පත් කළ හැකිව තිබුණද ඒ කිසිවක් ඔහු නොකළේය. අමාත්‍යාංශය මැදිහත්ව විධිමත් පරීක්ෂණයක් කළ හැකි වුවත් එයද නොකළේය. මෙවැනි ඇමති නිකමෝ කුමකටද?

එදා නියපොත්තෙන් කඩන්නට තිබූ ප්‍රශ්නය ඇද එලෙසමය. එනම් පිහිනුම් සංගමයේ තනතුරු නිවැරදිව පිහිටුවිය නොහැකි වී ඇත. එහි වරද සංගමයේ නොව කොන්ද පණ නැති ක්‍රීඩා ඇමති ප්‍රමුඛ අමාත්‍යාංශයේය. ඔවුන්ට එක වැඩක් හෝ පිළිවෙළට කළ නොහැකිය. ෆයිසර්ගේ වුව කයිවාරු හැර වැඩ නැතිය.

අතීතය
පිහිනුම් ක්‍රීඩාවේ හොඳම යුගය වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන සභාපතිත්වය දැරූ කාලය බව ආණ්ඩුවේ පත්තර ඔහු ජනපති වූ ගමන් දිගට හරහට ලිව්වේය. අප දන්නා තරමින් ඔහු හිටියේ නමටය. කවුරු හෝ මතක් නොකරන්නට ඔහු පිහිනුම් සභාපති ධුරය දැරුවාද යන්න හෝ ඔහුට මතකැයි සැකය. ඔහුගේ කාලයේද පාලනය ගෙන ගියේ නේතෲ නානායක්කාරමය. ඒ පිහිනුම්වල අංක එකේ විනාශකාරයාය. ඔහු අදත් සංගමයේ අයිනක රිංගා ගෙන සිටී.

කවුරු පිහිනුම් ක්‍රීඩාව සියතට ගත්තද ඔහුට අතීතයෙන් ගතහැකි පාඩම් එමටය. ඒ පරිපාලනය සම්බන්ධයෙනි. වැඩි කාලයක් නිකමුන් සිටි පිහිනුම් ක්‍රීඩාවේ වසන්ත කරන්නාගොඩ සභාපති ධුරය දැරූ කාලය පිහිනුම් පරිපාලනයේ ස්වර්ණමය යුගයක් ලෙස පිළිගත හැකිය. වසන්ත කරන්නාගොඩ, රන්මල් කොඩිතුවක්කු, චමින්ද බමුණුආරච්චි, සොනාලි රත්වත්ත, විලිස් කානිවල් යන මේ සැමගේ ශක්තිය බඳු වූ විජිත ප්‍රනාන්දු වැනි දක්ෂ පිරිසක් හෙබවූ මේ පරිපාලනය පිහිනුම් ක්‍රීඩාවට විශාල අඩිතාලමක් සකස් කළේය. ඇමරිකාවේ වෙසෙන අතිදක්ෂතම පුහුණුකරුවකු ගෙන්වා පුහුණු වැඩමුළු ක්‍රියාත්මක කරන්නටත් ඒ හරහා මෙරට පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීමටත් එකල හැකිවිය. මෙරට බිහි කළ අති දක්ෂ අවසන් පිහිනුම් ක්‍රීඩකයා හේෂාන් උණම්බුවය. අද දිනනුයේ විදෙස් පුහුණුව ලත් විදේශිකයන්ය. උණම්බුව ලංකාවේ තටාකවලම වර්ධනය වූවෙකි. එයට හේතුවූයේ කරන්නාගොඩ පාලන සමයය.

සුනාමි තත්ත්වය මත වසන්ත කරන්නාගොඩට උතුරට යාමට හේතුවීම නිසා ඔහු සභාපති ධුරයෙන් ඉවත් වූ පසු ඉතිහාසයේ පහළ වූ පතෝලම ක්‍රීඩා ඇමති වන ජීවන් කුමාරතුංග වෙන අයගේ කේළම් බස්වලට සභාපති නැතිව සංගමය පවත්වාගෙන යා නොහැකි කියා අතුරු කමිටුවක් පත් කළේය. එතැන් සිට පිහිනුම් ක්‍රීඩාවට අංශ භාගය වැලඳුණි. අදටත් එය අද්ද අද්දා යන රෝගියෙකි.

එදා පුද්ගලයන්ගෙන් පළිගන්නට අතුරු කමිටු පත් කළද අද සභාපති, ලේකම් කෝටි ගාණකට විද්දද? සද්ද නැතිය. කාලේ හැටිය. ඇතැම් මිනිසුන් හිතුවක්කාරය. එහෙත් අති දක්ෂයන්ය. දක්ෂයන් සමග වැඩ කිරීම අදක්ෂයන්ට කොහෙත්ම කළ නොහැකිය. එතැන ඇත්තේ ගැටුම්ය. කරන්නාගොඩ, රන්මල් මෙන්ම සෙසු අයගේ වැඩ කිරීමේ සාධකය වූයේ විජිත ප්‍රනාන්දුය. ඒ බව රහසක් නොවේ. ඔහු නිතර අප්ඬේට් වන්නෙකි. පිහිනුම් ගැන හතර කොණ පිරික්සන්නෙකි. අලුත් දැනුම තාක්ෂණය මේ තටාකවලට පොම්ප කරන්නද වෙහෙසුණෙකි. එහෙත් හිතුවක්කාරයෙකි. අදටත් පිහිනුම් සංගමය දුවන්නේ ඔහු එදා හැදූ පීලි මතය. එහෙත් එතැනින් එහාට අලුතින් හිතන්නට ඉන්පසු ආ අයට නොහැකි විය. අද කරන්නාගොඩ, රන්මල්, බමුණුආරච්චි, සොනාලි මෙන්ම විජිතද ඇත. එහෙත් ඔවුන් පිහිනුම් පැත්ත පළාතක නොයයි. නැවත බලයට ඒමට හෝ මේ අයට නොවුවමනා බව පැහැදිලිය. එහෙත් කරන්නාගොඩ රන්මල් බමුණුආරච්චි වැන්නන්ට තව වැඩ කළ හැකි බව අවිවාදිතය. ඒ අය අහකට කළද බලයට එන්නට හෝ ඉන්නට අර අඳින අය සිතිය යුත්තේ මේ කරන්නාගොඩ යුගයේ සැලසුම්ය. ඒවා අදට ඔබින ලෙස වර්ධනය කරගන්නා අයුරුය. මේ සඳහා ඒ අයගෙන් උපදෙස් ගැනීම වුව යහපතකි.

කඩා වැටීම
අද පිහිනුම් සමාජ කඩා වැටිලාය. ඒවා නිසි ලෙස නඩත්තු නොවේ. ලංකාවේ පැරණිම පිහිනුම් සමාජයක් වූ ෆිෂ්ටේල් ක්‍රීඩා සමාජය පහුගිය කාලයේ පුහුණුකරුවන්ගේ අණසකට යටත් විය. සිද්ධ වූයේ අන්තයටම පිරිහීමය. අද එහි ප්‍රධානියා මියගිය පසු ෆිෂ්ටේල් ක්‍රීඩා සමාජයත් මියගොස් ඇත. නිකරුණේ කාලය ගතකරන්නට ක්‍රීඩා සමාජ භාවිත කිරීමේ පව අද භුක්ති විඳිනුයේ කවුද? අද බොහෝ පිහිනුම් සමාජවල ඉරණම මෙබඳුය.

මේ සියල්ලට වගකිවයුත්තේ ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ය. ඔවුහු අද නොකරන්නේද ක්‍රීඩාව නගා සිටුවීමය. ක්‍රීඩා ඇමැත්තකු හෝ ක්‍රීඩා අමාත්‍යාංශයක් වුවමනාද යන්න අද දවසේ කතිකා කළ යුතු මට්ටමේ සාකච්ඡාවක් වී ඇත.

පිහිනුම් ක්‍රීඩාව නගා සිටුවන්නට කාට හෝ අවංක වුවමනාවක් වෙත්නම් ඔවුහු කරන්නාගොඩලාගේ කාලය අධ්‍යයනය කළ යුතුමය. එමෙන්ම එහි මහ මොළකරු විජිත ප්‍රනාන්දු හැදෑරිය යුතුය. පරිපාලනයට ඔහුගෙන් උගත හැකි දෑ බොහෝය. ඔහුගෙන් ගතහැකි දැනුම අද වුව ගත්තද කම් නැතිය.