මුහුණු තුනක ජීවිතය

කැතී ස්ටබල්ෆීල්ඞ්

රොබ් හා ඇලීෂීයා ස්ටබල්ෆීල්ඞ් දෙපලගේ බාලම දියණිය වූ කැතී, වයස අවුරුදු 18දී මිසිසිපි කතෝලික පාසලේ තමන් හා එකට අධ්‍යාපනය ලැබූ උසස් පෙළ සිසුවකු හා පෙමින් බැඳුනාය. මෙම බැඳීම විවාහයෙන් කෙළවර වනු ඇතැයි කැතී සිතුවද, තම පෙම්වතා චපල අයකු බැව් ඇයට වැටහුණේ වෙනත් ගැහැනු ළමයකුට යැවූ කෙටි පෙම් පණිවුඩ ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ තිබෙනු දැකීමෙනි. කෝපයෙන් හා ශෝකයෙන් වියරු වැටුණු කැතී සිය පාසල අසල පිහිටි තම වැඩිමහල් සොයුරු රොබට්ගේ නිවස බලා දිව ගියාය. තම බාල සොහොයුරිය අස්වසාලන්නට කොතෙක් වෑයම් කළද එය සාර්ථක නොවුණු තැන රොබට් ඔහුගේ මෑණියන් වූ ඇලිෂියාව වහාම සිය නිවස වෙත කැඳවීය. රොබට් මව සමඟ දුරකතන සංවාදයේ යෙදෙන අතරතුර ඔහු සතු .308 වර්ගයේ අධිබලැති දඩයම් රයිපලයද රැගෙන කැතී එම නිවසේ නාන කාමරයට වැදී එහි දොරගුළු ලෑවාය. ඉනික්බිති, රයිපල් කට තම නිකට යට තබාගත් කැතී එහි කොකා ගැස්සුවාය. පා පහරක් දී නාන කාමරයේ දොර කඩා එහි ඇතුළු වූ රොබට් දුටුවේ මුහුණු සම්පූර්ණයෙන් විනාශ වුණු ලේ විලක් මැද වැතිර සිටි තම බාල සොහොයුරියයි.

ප්‍රතිකාර ඇරඹීම
ඇමරිකාවේ හොඳම රෝහලක් වන මෙමිෆිස්හි නෙසි ආරෝග්‍යශාලාවේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබූ කැතී හට අවශ්‍ය වූ මූලික ප්‍රතිකාර එහිදි නොමඳව සැපයිනි. එහෙත් ඇගේ යටි බඩෙන් උකහා ගත් පටක යොදා නිකට යට තිබෙන ලොකු තුවාලය වසා දැමීමට එහි වෛද්‍යවරු ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය. කැතී වෙඩි තබාගත් දිනය වූ 2014 මාර්තු 25 දින සිට 2014 අප්‍රේල් 16 දක්වාම විකෘති වී විවර වුණු ඇගේ නාස් කුහරය වසා දැමීමට ටෙනසි රෝහලේ ශල්‍ය වෛද්‍වරු දැඩි වෑයමක් දැරුවද ඔවුන්ට එය ඉෂ්ට කරගත නොහැකි විය. මේ නිසා බරපතළ ශල්‍යකර්ම සිදු කිරීම පිළිබඳ ජගත් කීර්තියක් දිනූ ඔහියෝ හි ක්ලීවිලන්ඞ් රෝහල වෙත 2014 මැයි දෙවැනි දින කැතීව ඇතුලත් කරනු ලැබිණි. 27 වසරක් ගතවූ තම ශල්‍ය වෛද්‍ය ජීවිතයේදී අත්දුටු දැවැන්තම හානිය කැතීගේ මුහුණට සිදුව ඇති වග ඇයව ප්‍රථමයෙන් පරීක්ෂා කළ වෛද්‍ය බ්‍රයන් ගැට්ස්මන් පවසා සිටියේය. රයිපල් උණ්ඩය කැතීගේ නාස් කුහරයේ අස්ථි හා පටක හකු හා මුහුණ ආශ්‍රිත අස්ථීන් හා නලල් තලයේ විශාල කොටසක් බිලිගෙන තිබුණි. මුහුණට අමතරව බුලට් එක විසින් මොළයට, දෘශ්‍ය ස්නායු පද්ධතියට හා පිටියුටරි ග්‍රන්ථියට සිදු කර තිබූ හානිය බරපතළ තත්ත්වයක පැවතිණි. රාත්තල් 105ක බරින් යුත් වූ කැතීගේ සිරුරෙන් ශල්‍යකර්මයට අවශ්‍ය පටක උකහා ගැනීමද අසීරු කාර්යයක් වග ක්ලීවිලන්ඞ් වෛද්‍ය කණ්ඩායමට වැටහුණි.හෝමෝන ශල්‍ය වෛද්‍ය විද්‍යා, ප්ලාස්ටික් සැත්කම්, චර්ම වේදය, නිර්වින්දනය, අවයව බද්ධ කිරීම සහ මනෝ විද්‍යා යන මෙකී නොකී විෂයන් ප්‍රගුණ කළ 15 දෙනකුගෙන් යුත්ක වෛද්‍ය ණ්ඩායමක් කැතී වෙනුවෙන් ස්ථාපිත කිරීමට ක්ලිවිලන්ඞ් රෝහල පියවර ගනු ලැබීය. රෝහල් පරීක්ෂණාගාරය තුළ ඇති මළසිරුරුවල මුහුණු ඉවත් කොට ඒවා වෙනත් මිනී මත බද්ධ කරමින් උදේ හවා පුහුණු වීමට කණ්ඩායමේ සිටි ශල්‍ය වෛද්‍යවරු 11 දෙනාම මාස ගාණක් තිස්සේ පුරුදු පුහුණු වුණේ කැතීගේ ශල්‍යකර්මය සාර්ථකව සිදු කිරීමේ අරමුණ ඇතිවය. කෙසේ වෙතත් මොළය මිය ගිය අයකුගේ මුහුණක් ලැබෙන තුරු කැතීව සුරක්ෂිතව බලා කියා ගැනීමට රෝහල් කාර්යය මණ්ඩලයට සිදුවිය.වෙඩි පහරින් දෙපසට ඈත් වී තිබුණු කැතීගේ ඇස් දෙක නැවත තිබුණු තැනට ගැනීම පිණිස වෙනම උපකරණයක් ඇයට පළදවා තිබිණි.

අවයව බද්ධයේ ඉතිහාසය
නිරෝගී මිනිස් වකුගඩුවක් වකුගඩු අක්‍රීය වූ රෝගියකුට අති සාර්ථක ශල්‍යකර්මයක් හරහා ප්‍රථම වරට බද්ධ කරන ලද්දේ 1954 වසරේදීය. ඝන/ සථීර අවයව ලෙස නොසැලකෙන අත්, පා, ඇඟිලි, හා මුහුණු වැනි දේ බද්ධ කිරීම පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ ආරම්භ වූයේ විසිවන සියවසේ අග භාගයේදීය. මුහුණ හා අදාළ අර්ධ බද්ධයක් ප්‍රථම වරට සිදු කරන ලද්දේ 2005 වසරේදීය. එම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකාවක් වූ පෝලන්ත වෛද්‍යවරියක් වන මේරියා සිමෝනොව් වත්මනෙහි සේවය කරන්නේ ඇමරිකාවේ ක්ලිවිලන්ඞ් රෝහලේය. ශල්‍ය වෛද්‍ය විශේෂඥවරියක ලෙස මෙක්සිකෝවේ වැඩ කළ අවධියේදී ගින්නෙන් පිළිස්සුනු ළමයින්ගේ අත්, පා, සම් හා ඇඟිලි ‘බද්ධ කිරීමේ ශල්‍යකර්ම’මගින් යථා තත්ත්වයට පත්කිරීමට මේරියා සමත් වූවාය. දුඹුරු හා සුදු මීයන් යොදාගෙන උන්ගේ මුහුණු සියුම් ශල්‍යකර්ම හරහා එකිනෙකාට බද්ධ කරමින් ඇය මුල් කාලයේ සිදු කළ පර්යේෂණ බහුතරයක් ශල්‍ය වෛද්‍යවරුන්ගේ උපහාසයට හා සරදමට බඳුන් විය. මිනිසුන් මීයන්ට වඩා සංකීර්ණ සත්වයින් වග කියමින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මේරියාට සිනහසුනහ. එහෙත් ප්‍රංශයේදි 2005 වසරේ සිදු කළ අර්ධ මුහුණු බද්ධයත් සමඟ, විහිළුකාරයින්ගේ කටවල් වැසීමට මේරියාට හැකි වූවා. එම සාර්ථක සැත්කමෙන් අනතුරුව ප්‍රංශ හා ඇමරිකානු වෛද්‍ය සභා විසින් මිනිස් මුහුණු බද්ධ කිරීමේ නිපුණතාව මේරියා සිමොනොව් සතුව ඇතැයි යන සත්‍යය පිළිගනිමින් ඒ සඳහා ඇයට නිල අනුමැතිය පිරිනමන ලදී.

කැතීගේ සැත්කම
පර්යේෂණ මට්ටමේ පවතින බැව් කියමින්, ඇමරිකාවේ රක්ෂණ සමාගම් මිනිස් මුහුණු බද්ධ කිරීම හා අදාළ සැත්කම් ආවරණය නොකරන හෙයින් එරට ආරක්ෂක අමාත්‍යංශය විසින් 2008 දී ස්ථාපිත කරන ලද ඩොලර් මිලියන 300කින් සමන්විත දැවැන්ත අරමුදලෙන් කැතීගේ සැත්කම හා පසු සැත්කම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට ක්ලිවිලන්ඞ් රෝහලේ වෛද්‍යවරු ක්‍රියා කළහ. කැතීගේ මව්පියන් වූ රොබ් හා ඇලීෂියා තම රැකියාවලින් අස් වී ඔවුන්ගේ මුළු කාලයම යෙදවූයේ සිය රෝගී දියණිය බලා ගැනීම සඳහාය. ඔවුන් පදිංචි වී සිටි මිසිසිපි පළාතේ වැසියන් පමණක් නොව වෙනත් ප්‍රාන්තයන්හි පදිංචි ඇමරිකානුවන් පවා රොබ්, ඇලීෂියා හා කැතීට අවශ්‍ය එදිනෙදා වියදම් පියවීම පිණිස අසල්වාසීන්ගෙන් සමන්විත විශාල භාරකාර අරමුදලක් ගොඩනැගීමට සම්මාදම් වූහ. මෙකී උදව්පදව් නිසා ක්ලිවිලන්ඞ් රෝහල අසල කුඩා නිවසක් කුළියට ගෙන කැතී වෙනුවෙන් සිය මුළු කාලයම යෙදවීමේ හැකියාව රොබ් සහ ඇලීෂියා යුවලට ලැබිණි. ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශය මුහුණ, අත්පා, ඇඟිලි බද්ධ කිරීමේ අරමුදල ස්ථාපිත කළේ ඇෆ්ගන් ඉරාක සංග්‍රාම වලින් තුවාල ලබා විකෘති වුණු සොල්දාදුවන්ගේ ජීවිත ප්‍රකෘතිමත් කිරීම උදෙසාය. කෙතරම් විකෘති තත්ත්වයන් තිබුණත් තම මුල් ස්වභාවය වෙනත් කෙනකුගේ මුහුණකින් වෙනස් කර ගැනීමට ඇමරිකානු සොල්දාදු උන්නැහේලා කැමැත්ක නොදක්වන හෙයින් ආරක්ෂක අමාත්‍යංශය දැන් මෙම අරමුදල සිවිල් වැසියන් වෙනුවෙන් වැය කිරීමට තීරණය කර තිබේ. ක්ලිවිලන්ඞ් රෝහලට ඇතුල් වී වසරක් ගෙවුණු තැන 32 හැවිරිදි එක්දරු මවක වූ අඞ්රියා ෂින්ඩර් නමැති මොළය මිය ගිය කාන්තාවගේ මුහුණ කැතී වෙනුවෙන් ප්‍රදානය කිරීමට තමන් කැමති බව අඞ්රියාගේ ආච්චි අම්මා වූ සැන්ඩ්‍රා බෙනින්ටන් එහි වෛද්‍ය කණ්ඩායමට පවසා සිටියාය. කැතීගේ සොයුරිය වූ ඔලිවියාගේ හකුපාඩා යුගලයේ ස්කෑන් ඡායාරූපයක් ගෙන එය ආධාර කොට ගෙන ත්‍රිමාණ මුහුණ යන්ත්‍රයකින් හකු අස්ථින්හි මොඩලයක් නිර්මාණය කිරීමට ක්ලිවිලන්ඞ් වෛද්‍යවරු ක්‍රියා කළහ. මොලය මියගිය අඞ්රියාගේ අනෙක් අවයව තවත් රෝගීන් 06 දෙනකු වෙනුවෙන් ගලවා ගත යුතු හෙයින් ඇගේ මුහුණ ඉවත් කිරීමේ කාර්යය ප්‍රථමයෙන්ම සිදු කරන ලදී.

මුහුණ බද්ධ කිරීම
කැතීගේ මුහුණු බද්ධය ලොව තුළ සිදු වන එවැනි ශල්‍යකර්ම ආශ්‍රිත හතලිස්වැනි සැත්කම ලෙස සැළකිය හැකිය. සියුම් රුධිර නාලිකා සහ ස්නායුවලට හානියක් නොවන පරිදි තිස් දෙහැවිරිදි අඞ්රියා ෂින්ඩර්ගේ මුහුණ මොළය මියගිය ඇගේ සිරුරෙන් ඉවත් කිරීම සඳහා පැය 16 ක දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට වෛද්‍යවරුන්ට සිදු විය. අඞ්රියා මිය ගියේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාවෙන් ගැනීම හේතුවෙනි. ගලවාගත් මුහුණ, කැතී ස්ටබල්ෆීල්ඞ්ට බද්ධ කිරීම සඳහා පැය 15ක් තිස්සේ ඇදී ගිය ඉතා වෙහෙසකර සැත්කමක් වෛද්‍ය කණ්ඩායම විසින් සිදු කරනු ලැබිණි. මුහුණු ඉවත් කෙරුණු පසු අඞ්රියාගේ අක්මාව, වකුගඩු, කුඩා බඩවැල, අග්න්‍යාශය, සහ හෘද වස්තුව අනෙක් වෛද්‍ය කණ්ඩායම් විසින් ගලවා ගනු ලැබුවේ ඒවා වෙනත් රෝගීන්ට බද්ධ කිරීම උදෙසාය. කැතීගේ රුධිර නාලිකා හා ස්නායු, අඞ්රියාගේ නව මුහුණ හා යා කිරීම පිණිස මිනිස් කෙස් රොදක් තරමේ අති සියුම් මැහුම් විශාල ප්‍රමාණයක් යෙදීමට මයික්‍රෝ ශල්‍ය වෛද්‍යවරු කටයුතු යෙදූහ. කණ්ඩායමේ වඩාත් ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයා වූ ෆ්‍රෑන්ක් පැපේ පැවසුවේ, තමන්ගේ අවයව මරණයට පෙර හෝ පසු වෙනත් අයට දන්දෙන මිනිසුන් හා ගැහැනුන් පිළිබඳව තමා තුළ ඇති භක්තිය වචනයෙන් විස්තර කළ නොහැකි බවයි. බද්ධ සැත්කම අතරතුර අඞ්රියාගේ මුහුණ රෝස පැහැ ගැන්වෙන අයුරු දැක ක්ලිවිලන්ඞ් වෛද්‍ය කණ්ඩායම අමන්දානන්දයට පත් වූයේ රුධිර නාලිකා නිවැරදිව යා වුණු බවට ලැබුණු සංඥාව එය වූ නිසාය.

පසු සැත්කම් ප්‍රතිකාර
මුහුණු බද්ධ කිරීමේ සැක්කමෙන් සති දෙකක් ඉක්ම ගිය තැන, කැතීව රෝහල් කොරිඩෝවේ හෙමි හෙමින් ඇවිද්දන්නට භෞත චිකිස්සකයින් වන බෙකී වැනෝ හා නිකෝල් බ්ලිස් ක්‍රියා කළහ. “මුහුණු බද්ධයේදී අප යා කළේ ප්‍රධාන ස්නායු ලෙස සැළකෙන මෝටර් ස්නායු පමණයි. අනෙක් සංවේදක ස්නායු ස්වාභාවිකවම යා වෙන්නට ඉඩ සැලසිය යුතුයි. මෙතරම් බරපතළ සැත්කමකට පසුව කැතීට හැඟීම් දැනීම් පෙර කාලයේ විලසම පිරිනමන්නේ ස්වභාවධර්මය විසින් බව අවධාරණය කිරීමට මා කැමතියි. මන්ද සංවේදක ස්නායු එකිනෙක යා වෙන්නේ කෙසේද යන්න වෛද්‍ය විදයාවට තවමත් පැහැදිලි කරන්නට බැරි උභතෝකෝටියක්.” මෙසේ පවසන්නේ වෛද්‍ය ෆ්‍රෑන්ක් පැපේය. මුහුණු බද්ධයෙන් මාස 07කට පසු කැතී ඉලිනොයිස්හි පිහිටි සිය අක්කාගේ නිවසට ගියේ එවන් ගමනක් යාම සඳහා දැන් ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් යැයි ශල්‍ය වෛද්‍යවරු තහවුරු කළ පසුවය. සැත්කමෙන් මාස 08ක් ගෙවී ගිය තැන කැතීට සිය මුහුණ දන්දුන් අඞ්රියාගේ ආච්චි අම්මා ඇය බැලීමට කැතීගේ නිවස වෙත ආවාය. තම ආදරණීය මිණිබිරියගේ මුහුණ කැතී සතුව තිබෙණු දුටු සැන්ඩ්‍රා ආච්චි බෙහෙවින් සතුටට පත් වූවාය. සැන්ඩ්‍රා කැතීගෙන් එක ඉල්ලීමක් කළාය. තම මිණිබිරිය අඞ්රියා තමාට අමතන අයුරින් ‘අම්මා’ යැයි එක්වරක් හෝ තෙපලන්නැයි ඇය කැතීගෙන් අයැද සිටියාය. කැතී සැන්ඩ්‍රාට එලෙස ඇමතු විට ඇගේ දෑසින් සතුටු කඳුළු ගලන්නට විය. ශල්‍ය වෛද්‍ය මේරියා සිමෝනොව්ට අනුව ශල්‍යකර්මයේ බරපතළකම නිසා කැතීට සිය ජීවිත කාලය පුරා ප්‍රතිශක්තිකරණ ඖෂධ නොකඩවා ගැනීමට සිදුවනු ඇත. දැන් ඇය පර්යේෂණ කරමින් සිටින්නේ බද්ධ සැත්කමකින් පසුව ඖෂධ ගැනීම සිදු නොවන පරිදි රෝගියාගේ සිරුර තුළින්ම ප්‍රතිශක්තිය නිපදවිය හැකි සෛල නිර්මාණය කිරීම සඳහාය. තමා කළ මෝඩ ක්‍රියාව නිසා සිය පවුලේ සාමාජිකයන් හට විදින්නට සිදු වූ ගැහැට ගැන අද කැතී මහත් සේ පසුතැවිලි වෙයි. කටහඬ තව ටිකක් පැහැදිලි වූ පසුව යෞවන යෞවනියන්ට ජීවිතේ වටිනාකම ගැන (තම කටුක අද්දැකීම් හරහා) පහදා දීම කැතීගේ අභිලාෂයයි. ලොවට පෙනෙන්නට බොරු පම්පෝරි නොගසමින්, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයට මේරියා සිමොනොව් සිදු කළ අමිල සේවයේ ජීවමාන ප්‍රතිමූර්තිය කැතී නොවේද?