රාවය

තොරතුරු අයිතිය දිනා ගැනීමේ දකුණු ආසියාතික පුරෝගාමී ක්‍රියාකාරිණීය

තොරතුරු අයිතිය දිනා ගැනීමේ දකුණු ආසියාතික පුරෝගාමී ක්‍රියාකාරිණීය

අරුනා රෝයි

නාලක ගුණවර්ධන

ravaya@nalaka.org

තොරතුරු දැනගැනීම පිළිබඳ අයිතිය උත්කර්ෂවත් කැරෙන සතියේ (2018 සැප්තැම්බර් 21-28) ප්‍රධාන විදේශ ආරාධිතයා ලෙස මෙරටට අවේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ සමාජ ක්‍රියාකාරිණීයක වන අරුනා රෝයි (Aruna Roy) මහත්මියයි.

තොරතුරු අයිතිය නීතිගත කරන්නට 1990 දශකයේ පටන් බිම් මට්ටමේ ප්‍රජා උද්ඝෝෂණ කළ ඇය එම විෂය පිළිබඳව දකුණු ආසියාවේ වැඩිපුරම අත්දැකීම් ඇති අයෙක්. අද ඇගේ කතාව කෙටියෙන්.

අරුනා රෝයි ඉන්දියාවේ ප්‍රධානතම පුරවැසි සංවිධානයක් හා සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් වන මස්දූර් කිසාන් ශක්ති සංස්ථාන් හෙවත් MKSS හි සම ආරම්භකයෙක්. එම නමෙහි අරුත ගොවීන් හා කම්කරුවන් සවිබල ගැන්වීමේ සංගමය යන්නයි.

1987දී ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ MKSS ඇය ඇරඹුවේ නිකිල් දේ, ශන්කර් සිං සහ තවත් ක්‍රියාකාරිකයන් සමගයි.

අරුනාගේ විශේෂත්වය ඇය කලක් රාජ්‍ය නිලධාරිනියක්ව සිට, රාජ්‍ය සේවය අතහැර ප්‍රජා මූලික සමාජ සුබසාධන හා ප්‍රජා අයිතිවාසිකම් ගැන පූර්ණ කාලීනව ක්‍රියා කිරීමට යොමු වීමයි.

අරුනා උපන්නේ 1946 තමිල්නාඩුවේ මදුරාසියේ (දැන් චෙන්නායි නුවර). ඇගේ පියා නීතිඥයෙක් හා සිවිල් සේවා නිලධාරියක් වූවත් පොදු කටයුතු හා මහජන සුබසාධනය ගැන ලොකු උනන්දුවක් තිබූ බව කියැවෙනවා.

ඇගේ මව උගත්, ස්වාධීන චින්තනයක් තිබූ කාන්තාවක්. මුළුමනින්ම නිර්ආගමික පවුල් පරිසරයක අරුනා සහ ඇගේ බාල සොයුරු සොයුරියන් තිදෙනා හැදී වැඩුණා.

ඔවුන් ළමා වියේම මව්පියන් නවදිල්ලියට පදිංචියට ගියා. ඇය දිල්ලි සරසවියේදී උපාධිය හා පශ්චාත් උපාධියට තෝරා ගත්තේ ඉංග්‍රීසි සාහිත්‍යයයි.

උපාධි ලැබීමෙන් පසු වසරක් සරසවියේම ඉගැන්වූ ඇය, 1968දී තරගකාරී විභාගයක් හරහා ඉන්දියානු සිවිල් සේවයට බැඳුණා. 1858දී බි්‍රතාන්‍ය අධිරාජ්‍ය පාලකයන් ඇරඹු ඉන්දියානු සිවිල් සේවය, එරට රාජ්‍ය පරිපාලනයේ හා ප්‍රතිපත්ති සම්පාදනයේ තීරණාත්මක කාර්යභාරයක් සිදු කරනවා.

එයට බැඳීමට රට පුරා ලක්ෂ ගණනින් තරඟ කරන අතර එහි නිලධාරීන්ට තවමත් ඉහළ සමාජ පිළිගැනීමක් තිබෙනවා.

එහෙත් අරුනා රෝයි එහි රැඳී සිටියේ සය වසරක් පමණයි. 1974දී සිවිල් සේවයෙන් ඉල්ලා අස් වූ ඇය, ඒ වන විට සිය සැමියා බවට පත්ව සිටි බන්කර් රෝයි ඊට දෙවසරකට පෙර පිහිටවා තිබූ ස්වේච්ඡා සංවිධානයකට බැඳුණා.

සමාජ සුබසාධන හා පර්යේෂණ කේන්ද්‍රය (SWRC) නම් වූ එය රාජස්ථානයේ ටිලෝනියා නුවර පිහිටියා. එහිදී සංවර්ධනය බිම් මට්ටමට ගෙන යාමේදී මතු වන සමාජයීය, ආර්ථික හා සංස්කෘතික අභියෝග ප්‍රායෝගික ලෙස තේරුම් ගැනීමට අවශ්‍ය පර්යේෂණ මෙන්ම ප්‍රජා සවිබල ගැන්වීමද කැරෙනවා.

අරුනා 1972- 1987 වකවානුවේ මුළුමනින්ම නිරත වූයේ මේ කටයුතුවලයි. ප්‍රභූ පසුබිමකින් පැමිණි, ප්‍රභූ පැලැන්තියේම ජීවිත කාලයම ගත කිරීමේ අධ්‍යාපනික සුදුසුකම් හා වෘත්තීය වරප්‍රසාද තිබූ ඇය ඒ සැම හැරදමා සමාජ සුබසාධනයට යොමු වීම සුවිශේෂී කරුණක්.

“පරිපාලන සේවා කටයුතු කරමින් ජීවිතයේ වැඩි කාලයක් ගත කිරීමට මා කැමති වූයේ නැහැ. සිවිල් සේවයේ මගේ සමහර ජ්‍යෙෂ්ඨයන් කළ කී දේ වැරදි බව හොඳටම පෙනී ගිය විටත් එයට අභියෝග කිරීමට මට නොහැකි වුණා. නොබෝ කලෙකින් මාත් ඔවුන් වැනිම චරිතයක් වීමේ අවදානමද පැවතියා. එනිසා මගේ හෘද සාක්‍ෂිය අනුව යමින් මා රාජ්‍ය සේවයෙන් අස් වී පූර්ණ කාලීනව සමාජ සුබසාධනයට යොමු වුණා.” යයි ඇය පසු කලෙක ආවර්ජනය කළා.

ටිලෝනියාවේ වැඩට බසින විට ඉන්දියානු ගම්මානයක සැබෑ ගති සොබා පවා තමා නොදැන සිටි බව ඇය කියනවා. ඉන්දියානු ග්‍රාමීය යථාර්ථය අත්දකිනු පිණිස ගම්වලම ඇවිදිමින්, එහිම ජීවත් වෙමින් ඇය වසර ගණනක් ගත කළා.

මේ අතින් ඇය නගරයේ සිට පැමිණ යන්තමින් සමාජ සේවය කොට රාත්‍රියට ගෙදර යන මධ්‍යම පාන්තික නෝනලාගෙන් මුළුමනින්ම වෙනස් චරිතයක්.

නාගරිකයන් රොමෑන්ටික් ලෙසින් විග්‍රහ කරන සුන්දර ගම වෙනුවට සැබවින්ම ගම්වල තිබෙන්නේ විසමතා, අසාධාරණකම් හා කුලල් කා ගැනීම්වලින් සපිරුණු බිහිසුණු යථාර්ථයක් බව ඇය තේරුම් ගත්තා.

1987 සිට, MKSS සංවිධානය සමඟ සක්‍රිය වූ ඇය, දුගී බව, කුල පීඩනය, නිලධාරීවාදය හා දේශපාලකයන්ගේ බොරු පොරොන්දු ආදී සාධක රැසකින් බැට කන ඉන්දියානු ග්‍රාමීය ජනයාට ක්‍රමීය මට්ටමේ විසඳුම්  (systemic solutions) සොයා දෙන ක්‍රමවේදයක් සොයා ගියා.

ග්‍රාම සංවර්ධනයට වෙන් කැරෙන මධ්‍යම රජයේ හා ප්‍රාන්ත රාජ්‍ය අරමුදල් රැසක් අතරමැදියන් හා ප්‍රභූන් විසින් ඩැහැ ගන්නා සැටි ඇය දුටුවා. අල්ලස හා දූෂණය 1980 දශකය තුළ සමාජ පිළිලයක් ලෙස පැතිර ගොස් 1990 ගණන් මැද වන විට එරට ප්‍රබලතම ජාතික ව්‍යාධියක් බවට පත් වී තිබූ බවත් ඇය ඇතුළු MKSS ක්‍රියාකාරිකයෝ මනාව හඳුනා ගත්තා.

උතුරු ඉන්දියාවේ පිහිටි රාජස්ථාන් ප්‍රාන්තය බිම් ප්‍රදේශය අතින් එරට විශාලතම ප්‍රාන්තයයි. (ශ්‍රී ලංකාව මෙන් හය ගුණයක් විශාලයි) 2011 වන විට ජනගහනය මිලියන් 68.5ක් වූවා. මේ ප්‍රාන්තයේ MKSS විශේෂ අවධානය යොමු කළේ ග්‍රාමීය කෘෂිකම්කරු ජනයාගේ අයිතිවාසිකම් දිනා ගැනීම පිළිබඳවයි.

ප්‍රාන්තයේ මාර්ග තැනීම, පිළිසකර කිරීම හා වෙනත් පොදු යටිතල පහසුකම් සඳහා ග්‍රාමීය කම්කරුවන් විශාල සංඛ්‍යාවක් දිනපතා කුලී වැඩ පදනමින් යොදා ගැනුණා. මේ කම්කරුවන් අධීක්ෂණය කළ සුපවයිසර්ලා හා ගෙවීම් කරන නිලධාරීන් කලක් තිස්සේ සංවිධානාත්මකව කම්කරු කුලී වේතන ගසා කෑම කළා.

බොහෝ විට අකුරු කියවීමට නොදත්, ගණන් සෑදීමට නොහැකි අහිංසක කම්කරුවන්ට ගෙවිය යුතු ගණනට වඩා අඩුවෙන් කුලී ගෙවා, එහෙත් මුළු ගණනටම ඔවුන්ගේ අත්සන් ගත් නිලධාරීන් ඉතිරිය යටිමඩි ගසන බව MKSS සමාජ ක්‍රියාකාරිකයින් අනුමාන කළා.

එහෙත් එය සනාථ කිරීමට සාක්‍ෂි සොයා ගන්නට බැරි වුණා. කම්කරු ජනයා තම වේතන පිළිබඳ ලිපි ලේඛන ඉල්ලු විට ඒවා රහසිගත රාජ්‍ය ලේඛන බව කියා නිලධාරීන් ඔවුන්ට බැණ පන්නා ගත්තා.

මහජනයාගේ මුදල් මහජන කටයුතු සඳහා රාජ්‍ය ආයතන විසින් වියදම් කිරීමට අදාළ තොරතුරු මහජනයාට විවෘත විය යුතු බව රාජස්ථානයේ ග්‍රාමීය ජනයා ටිකෙන් ටික තේරුම් ගත්තා. එසේ නොමැති වූ විට දූෂිත නිලධාරීන්ට හිතුමතේ ක්‍රියාකළ හැකියි.

ග්‍රාමීය ජනයා තොරතුරු අයිතිය ඉල්ලා සංවිධානය වීමට පටන් ගත්තා. MKSS ක්‍රියකාරිකයන් ඔවුන්ට උපදෙස් දෙමින් දිරිමත් කළා. වාචිකව හා ලිඛිතව කුලී වේතන පිළිබඳ ලේඛන ඉල්ලා නොලැබුණු විට 1996 අප්‍රේල් 6 වැනිදා ඔවුන් අවිහිංසාවාදී විරෝධතා ව්‍යාපාරයක් අරඹුවා.

එහි කේන්ද්‍රස්ථානය වූයේ රාජස්ථානයේ බියාවර් (Beawar) නම් ප්‍රාදේශීය නගරයයි. දහස් ගණන් ජනයා බිම හිඳගෙන රැඳී සිටින මේ ආකාරයේ විරෝධතා එරට හඳුන්වන්නේ ධර්ණා (dharna) කියායි. (මෙය උපවාසයක් නොවේ.)

ගම් 150ක පමණ කම්කරු ජනයා හා ඔවුන්ගේ පවුල්වල උදවිය දහස් ගණනක් දින 40ක් පුරා දිනපතාම මේ ධර්ණාවේ නිරත වුණා. බියාවරයේ හා අවට ගම්වල ජනයා මේ අයට කෑමෙන් බීමෙන් උපකාර කළා.

සාමකාමීව හිඳගෙන ජන සමූහයා ගීත ගායනා කළා. කතා පැවැත්වූවා. කිසිදු ආකාරයක සාමය කඩවීමක් සිදු වූයේම නැහැ.

දින කීපයක් තුළ මේ ධර්ණාව ගැන පුවත ඉන්දියාව පුරා පැතිර යන විට රටේ විවිධ ප්‍රදේශවලින් මාධ්‍යවේදීන්, ක්‍රියාකාරිකයන් හා සාමාන්‍ය ජනයා එහි ඇදී ආවා.

මුලදී මේ ජන මූලික විරෝධතාව නොතකා සිටි නිලධාරීන්ට ටික දිනෙකින් වැඬේ බරපතළකම අවබෝධ වුණා. තම කාර්යාලය අභියස දිනපතා සිදුවන මේ ක්‍රියාවෙන් රටේම අවධානය තමන් වෙත යොමුවන බව ඔවුන් දැනගත්තා. නොකැමැත්තෙන් වුව ජනතාව ඉල්ලන නිල තොරතුරු ලේඛන ඔවුන්ට පරීක්ෂා කිරීමට ඉඩ දුන්නා.

අකුරු දත් ජන නියෝජිතයින් හා MKSS සාමාජිකයින් ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ කුලී වේතනවලින් පමණක් නොව විශ්‍රාම වැටුප්, ශිෂ්‍යත්ව මුදල් හා වෙනත් ආධාර මුදල් රැසක් දිගු කලක් තිස්සේ නිලධාරීන් පිරිසක් කොල්ල කා ඇති බවයි. බොරු වවුචර හා මවා පාන ලද ප්‍රතිලාභධාරීන් යොදා ගෙන මේ වංචා සිදු කර ඇති බවයි.

මේ හෙළිදරව් හරහා තොරතුරු දැන ගැනීමේ අයිතියේ වැදගත්කම රාජස්ථානයේ ජනයා මනාව අවබෝධ කර ගත්තා. එම අයිතිය නීතිගත කිරීමේ ප්‍රජා ව්‍යාපාරයක් රාජස්ථානයෙන් ඇරැඹී කෙමෙන් ඉන්දියාව පුරා විහිද පැතිර ගියා. මේ ව්‍යාපාරයට නායකත්වය දුන්නේත් බියාවරයේ ධර්ණාවේ කොටස්කරුවකු වූ අරුනා රෝයි ඇතුළු MKSS ක්‍රියාකාරිකයන් කණ්ඩායමයි.

මෙය මුල පටන්ම සාමූහික අරගලයක් වූ බව අරුනා කියනවා. මේ අරගලය සාර්ථක කරගන්නට දහස් ගණන් ජනයා විශාල කැප කිරීම් කළ බව ඇය සැම විටම සිහිපත් කරනවා.

බියාවරයේ සාමාකාමී උද්ඝෝෂණය සාර්ථක වූ පසු තොරතුරු අයිතිය සඳහා වූ ජනතා ව්‍යාපාරය (National Campaign for People’s Right to Information, NCPRI) ආරම්භ වුණා. එය එරට බිම් මට්ටමේ හා ජාතික මට්ටමේ ස්වේච්ඡා සංවිධාන රැසක එකතුවක්.

රාජස්ථානය ප්‍රාන්ත මට්ටමින් තොරතුරු නීතියක් හඳුන්වා දුන්නේ 2000 මැයි මාසයේ. එහෙත් එයට පෙර 1997දී තමිල්නාඩු ප්‍රාන්තය තොරතුරු නීතියක් ප්‍රාන්ත මට්ටමින් පැන වූ අතර, ඊට මාස කීපයකට පසු ගෝවත්, 2003දී මහරාෂ්ට්‍රයත් ප්‍රාන්ත තොරතුරු නීති සම්මත කළා.

ඉන්දියාවේ ජාතික මට්ටමේ තොරතුරු නීතිය, එනම් 2005 අංක 22 දරණ තොරතුරු පනත සම්මත වූයේ 2005 ජුනි මාසයේ. එය ක්‍රියාත්මක වීම ඇරඹුණේ 2005 ඔක්තෝබර් 12 වැනිදා.

දශකයකට වැඩි කාලයක් තිස්සේ ඉන්දියාව සිසාරා සිදු කළ සාමකාමී ජනතා උද්ඝෝෂණ හා සමාජ සවිබල ගැන්වීම් වල ප්‍රතඵලයක් ලෙස මතු වූ තොරතුරු නීතිය කිසි ලෙස පොදු උන්නතියට යොදා ගැනීමේ නොනිමි අභියෝගයට අරුනා රෝයි ඇතුළු ක්‍රියාකාරිකයන් එතැන් සිට මුහුණ දෙනවා.

රාජ්‍ය තොරතුරු දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇතැයි රාජස්ථාන නිලධාරී තන්ත්‍රය නොකැමැත්තෙන් වුව පිළිගත්දා පටන් එය නීතිගත වීමටත් පෙර විවිධාකාරයේ තොරතරු ඉල්ලීමේ හා ලබා ගැනීමේ ක්‍රියාකාරකම්වලට ඇය දිගටම මැදිහත් වුණා.

විමර්ශනය කිරීම අවශ්‍ය රාජ්‍ය තොරතුරු ඡායා පිටපත් ලෙස ලබා ගත් පසු ඒවා සාමූහිකව කියවීමේ ක්‍රමවේදයක් MKSS නවෝත්පාදනය කළා.

පොදු තැනක ප්‍රජා නියෝජිතයන් රැස් කොට එක් අයකු ලබාගත් තොරතුරු හඬ නගා කියවනවා. එහිදී ඒ සමහරක් තොරතුරු තමන් දත් යථාර්ථය සමඟ නොගැලපේ නම් එක් වරම එවා හඳුනා ගැනෙනවා. ඒ සැක මුසු තොරතුරු වැඩිදුර ගවේශනය කැරෙනවා. අවශ්‍ය නම් එයට ගණකාධිකාරීවරුන් හෝ නීතිඥයන් වැනි වෘත්තිකයන්ගේ ස්වේච්ඡා දායකත්වය ලබා ගන්නවා.

නිල ලේඛන ප්‍රකාශිත තත්ත්වයන් හා ප්‍රජාව අනුදත් සැබෑව අතර පරස්පරයන් හරහා බිම් මට්ටමේ දූෂණ හා වංචා රාශියක් අනාවරණය කර ගන්නට හැකි වුණා.

එසේම මෙසේ ප්‍රජා විමර්ශනය මතුවට දිගටම සිදුවන බව දත් විට මහජන මුදල් නිර්ලජ්ජිතව හා නොබියව වංචා කිරීමට එතෙක් රාජ්‍ය නිලධාරීන් තුළ තිබූ නැඹුරුව කෙමෙන් අඩු වුණා. (මෙයින් අදහස් වන්නේ දුෂණය එරටින් මුළුමනින් දුරු වූ බව නොවෙයි. එහෙත් මහජන මුදල් ගසා කෑම බිම් මට්ටමේ සාපේක්ෂව අඩු වී තිබෙනවා. තොරතුරු අයිතිය හා නීතිය එයට දායක වූ එක් ප්‍රධාන සාධකයක්.)

තොරතුරු අයිතිය (RTI) ඉන්දියානු ජන සමාජය විසි වසරක් තුළ සිදු කර තිබෙන සමාජ පෙරළිය සැළකිය යුතුයි. පොදු ජනයාගේ සියලු ප්‍රශ්න විසඳීමට හැකියාව නැතත් තොරතුරු අයිතිය හරහා වඩාත් විවෘත ආණ්ඩුකරණයක් හා වඩාත් වගවීම් සහිත නිලධාරී තන්ත්‍රයක් බිහි වීමට පදනම දමා තිබෙනවා.

ඉන්දියානු තොරතුරු නීතියේ සාර්ථකත්වය පිළිබඳ එක් (විපරීත) දර්ශකයක් නම් ගෙවී ගිය වසර 13ක කාලය තුළ කිහිප විටෙකම එම නීතිය සංශෝධනය කොට සැර බාල කිරීමට දේශපාලක – නිලධාරී පැලැන්තිය උත්සාහ කිරීමයි.

මේ දක්වා මේ උත්සාහයන් වළක්වා ගන්නට තොරතුරු අයිතිය සඳහා වන ජනතා ව්‍යාපාරය ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් සමත් වී තිබෙනවා. එහෙත් වත්මන් මෝඩි රජයත් මෙය තැත් කරමින් සිටිනවා.

තොරතුරු අයිතිය රැක ගැනීමේ හා තවත් ව්‍යාප්ත කිරීමේ නොනිමෙන සමාජ මෙහෙවරට අරුනා රෝයි සිය ජීවිතයම කැප කොට තිබෙනවා.

“තොරතුරු අයිතිය ඉන්දියාවේ අපට සර්වජන ඡන්ද බලය ලැබීම තරම්ම වැදගත් පුරවැසි ජයග්‍රහණයක්. ඇත්තටම ඡන්ද බලය අප භාවිත කරන්නේ විටින් විට පැවැත්වෙන මැතිවරණවලදී පමණයි. එය ඉතා වැදගත් වුවත්, තොරතුරු අයිතිය යනු අපට දිනපතා භාවිත කළ හැකි දෙයක්. එසේම එයට ඡන්ද බලය මෙන් නිසි වයස එළෙඹෙන තුරු බලා සිටීම අවශ්‍ය වන්නේද නැහැ. බාල මහළු ඕනෑම පුරවැසියකුට ඕනෑම රාජ්‍ය ආයතනයක තොරතුරු ඉල්ලා ලබා ගැනීමේ අයිතිය තහවුරු කරන තොරතුරු නීතිය ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් කරන ප්‍රබල මෙවලමක්. අප එය දූරදර්ශීව හා අධිෂ්ඨානශීලීව භාවිත කරන අතරම එය සැර බාල කරන්නට ගන්නා උත්සාහයක් ගැන අවදියෙන් සිට එම සමාජ විරෝධී බලපෑම්වලින් තොරතුරු නීතිය රැක ගන්නටත් අප ක්‍රියා කළ යුතුයි” ඇය කියනවා.