රටට ඕනෑ ධර්ම සංශෝධනයක් නොව සංඝ සංශෝධනයක්

 

අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්ථවිර
උත්තරීතර මහා නායක-අමරපුර මහා නිකාය

සාකච්ඡා කළේ – ශ්‍රීලාල් සෙනෙවිරත්න

උත්තරීතර මහානායක ධුරය කියන්නේ මොනවගේ තත්ත්වයක්ද ස්වාමින්වහන්ස?

අමරපුර මහා නිකාය යටතේ පාර්ශ්ව විසි දෙකක් තියනවා. ඒ විසි දෙකටම මහානායක හාමුදුරුවරු ඉන්නවා. ඒවා පාලනය කරන කාරක සභාත් පිහිටුවාගෙන තියනවා. ඒ විසි දෙකම එකට එකතු කෙරෙන, පාලනය කෙරෙන ඉහළම තනතුර තමයි උත්තරීතර මහානායක කියන්නේ.

මහානායක ධුරයට පත්වෙන්නට පෙර ඔබවහන්සේ ධර්ම දේශනා පැවැත්වීම විෂයෙහි බෙහෙවින් ජනප්‍රිය හිමිනමක්. එහෙත් දැන් දකින්නට ලැබෙන ජනප්‍රිය දේශකයන්ගේ නාම ලැයිස්තුවල ඔබවහන්සේගේ නම දැකගන්නට නෑ. ඇයි ඒ?
ඉස්සර එක දවසට ධර්ම දේශනා දහයක් දොළහක් කරලා තියනවා. පිටරවලිනුත් ආරාධනා ලැබුණා. නේපාලයෙන් පටන් අරගෙන මේ වෙනකොට රටවල් තිස් එකකට ගිහින් තියනවා ධර්ම දේශනාවලට. වරක් රුසියාවටත් ගියා. ලෙනින් උන්නැහේගේ ගමට ගිහිල්ලත් බණ කිව්වා. ඒත් දැන් මට ඒවා අමාරුයි. මහන්සියි. දැන් වයස අවුරුදු අසූහයක්නෙ.

ධර්ම දේශනා විෂයෙහි මේ සුවිශේෂී හැකියාව ඔබවහන්සේට ලැබෙන්නේ කොහොමද?
උණවටුණේ ධම්මපාල හාමුදුරුවන්ගේ ගෝලයෙක් ලෙස මම මහණ වුණේ. මම ධර්ම දේශනාවලට වැටුණේ වයස අවුරුදු දහනවය විස්ස තරම් කාලයේදි. ඉගෙන ගන්න කාලේ වුණත් වෙනත් කවුරුවත්ම නැති නිසා වැල්ල පැත්තේ මළගෙයක් වුණාම බණ ටිකක් කියන්න වුණේ මට. ඒ කාලේ මම වජිරාරාමය ඇසුරු කළා. එහෙන් ලැබෙන පොත් කියවලා බලලා ගිහින් මිනිස්සුන්ට පොඩි බණ කතාවක් කියලා එනවා. ඔය කතා අහන්න මිනිස්සු බොහොම කැමති වුණා. මිනිස්සු අතර ජනප්‍රිය වෙන තරමට මගේ කථිකත්වයත් ටිකෙන් ටික දියුණු වුණා. වැල්ලෙන් පටන් ගත්ත ධර්ම දේශනා කිරීම තමයි දියුණු වෙලා මම ප්‍රධාන පෙළේ ධර්ම දේශකයෙක් දක්වා ආවේ. දැන උගත්කම් වයස ආදිය වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ ඊට අනුව දේශනාවත් සකස් වුණා.

ධර්ම දේශනා පැවැත්වීමෙන් මොනවගේ ආනිසංශද ලැබුවේ?
ධර්ම දේශනාවලින් ලැබුණ ජනප්‍රියත්වය නිසාම මෙතන අංගසම්පූර්ණ පන්සලක් හැදුණා. කතරගම මීටත් වඩා විශාල අලුත් පන්සලක් හැදුවා. සෙල්ල කතරගම හැරෙන තැන ආණ්ඩුවේ සහයෝගයක් නොලබා පාලමකුත් දැම්මෙව්වා. බුරුමේ ගිහින් බණ කිව්වා. එහෙ බණවලට ගියාම මිනිස්සු සල්ලි තමයි පූජා කරන්නේ. මාසයක් විතර බණ කිව්වාට පස්සේ ලොකු කොට්ටඋර දෙකක් පිරෙන්න සල්ලි හම්බවෙලා තිබුණා. එතන රුපියල් හැත්තෑහතර ලක්ෂ විසි හතර දාහක් තිබුණා. ඒ සල්ලිවලින් ලංකාරාමය කියලා එහෙ පන්සලක් හැදුවා. නේපාලයට තිස් හතළිස් පාරක් බණ කියන්ඩ ගියා. නේපාලයේ චාරුමතී විහාරය කියලා පන්සලක් මට පූජා කරලා තියනවා. ඒවා තමයි බණේ ආනිශංස.

වර්තමානයේ ජනප්‍රිය ධර්ම දේශකයන්වහන්සේලා බොහෝ දෙනකුගේ දේශනා විවාදාත්මක බවට පත්ව තිබීම ඔබවහන්සේ දකින්නේ කොහොමද?
බණ කියන එක බොහොම කල්පනාවෙන් කළ යුතු දෙයක්. බණ කියන්න ඕනේ කොහොමද කියලා හැට නම පිටත් කරන වෙලාවේ බුදු හාමුදරුවෝ පැහැදිලි කරලා කියලා දීලා තියනවා. ආදී කල්‍යානං, මජ්ජේ කල්‍යානං, පරියෝසාන කල්‍යානං, සාත්තං, සව්‍යංජනං, කේවල පරිපුණ්ණං කියලා. මුල මැද අග යහපත්ව කියන්න ඕනේ. නිපාතවලින් මැද පුරවන්න බෑ. අර්ථවත් වචන කියන්න ඕනේ. හිස් වචන, හිනා යන වචන, විනෝද පද, ඇනුම් පද කියන්න බෑ. සව්‍යංජනං කියන්නේ හරියට ශබ්ද කරගන්න ඕනේ. පද බෙදලා ලතාවක් අනුව කියන්ඩ ඕනේ. තමන් කියන කාරණයට අනුකූලව හඬ පාලනය කරගන්න ඕනේ. වචන කඩලා අකුරු හරියට ශබ්ද කරලා කියන්ඩ ඕනේ. හුඟාක් වෙලාවට අපි කතා කරනකොට වචනවල අන්තිම අකුර අපෙන් කියවෙන්නේ නෑ.ඒත් භාෂාව දන්න හන්දා අහන අයට තේරෙනවා මේ කියන්නේ මොකක්ද කියලා. වේගයෙන් කියාගන යන්නත් බෑ. හෙමින් තටමමින් කියන්නත් බෑ. කේවල පරිපුණ්නං කියලා කියන්නේ අවසානයේදී මුලින් කියපු සියල්ල සම්පිණ්ඩනය කරලා කියන්න ඕනේ. ඒත් කනගාටුයි කියන්න දැන් වෙලා තියෙන්නේ හුඟාක් දෙනාට ධර්මඥානය අඩුයි. මුඛරිකම තියන අය මිනිස්සුන්ගේ අවධානය දිනාගන්න මොනව මොනව හරි කියනවා.

වර්තමානයේ ධර්ම දේශනා ශාස්තෲවරයාගේ අනුශාසනාවෙන් බැහැර වෙනත් වෙනත් අරමුණු වෙනුවෙන් යොදාගැනීමත් දකින්නට ලැබෙනවා නේද?
ශ්‍රද්ධාවෙන්ම කළ යුතු ධර්ම දේශනා දැන් ලාභ උපදවන ක්‍රමයක් වෙලා. අපේ කාලේ බණක්, කියලා ආවා එච්චරයි. හුඟාක් වෙලාවට යන්නෙ එන්නෙත් බස්වල. ඇතැම් වෙලාවට එක්ක ගිහින් එක්ක එනවා. එච්චරයි. ඒත් දැන් ඒක මුදල් උපයන මාර්ගයක් බවට ඒ ඇත්තෝ ක්‍රමානුකූලව පත්කරගෙන තියනවා. සීලය ගැන දේශනා කරන අතරේ ඇතැම් අය කියනවා “මට නම් මොනවත්ම එපා. අපේ පන්සලේ වැඩක් කෙරෙනවා ඒකට මොනව හරි ආධාරයක් කරන්න” කියලා. අන්න ඒ වගේ පිටිපස්සෙන් නහයට ඇඟිල්ල තියාගන්නවා වගේ ක්‍රම හදාගෙන තියනවා මුදල් උපයන්න.

මහානායක හාමුදුරුවරුන්ට මේවා නිවැරදි කරන්න බැරිද?
අපිට මේක කියන්න බෑනේ. බුදුහාමුදුරුවෝ එදා දේශනා කළා ලෝකයේ දැනුම තියන අය අඩුයි කියලා. අදටත් ඒක එහෙමයි. විශේෂයෙන් කාන්තා පක්ෂයත්, තලතුනා පිරිසත් ඕවාට ශ්‍රද්ධාවෙන් අහුවෙනවා. මිනිස්සු පැහැදෙන විදිහට මොන මොනවා හරි ගොතලා කියනවා. මේවා ධර්මය නොවන බව අහපු මිනිහා දන්නෙත් නෑ. කියන කෙනා දන්නෙත් නෑ.
මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්නේ මොන වගේ හේතු බලපෑමෙන්ද?
දහම් දැනුම අඩුකම. දැන් ඇතැම් හාමුදුරුවරු ගැඹුරු වචන විස්තර කරලා තියන අටුවා ටීකා පොත් බලන්නේම නෑ. ධර්ම අධ්‍යාපනයත් අඩුයි. අද ජනමාධ්‍ය ඉතා දියුණු නිසා එයින් ප්‍රසිද්ධිය ගන්නට තමයි බලන්නේ. කොහොමත් අවුරුදු විස්ස විසිපහ වෙනකොට කවුරුත් කැමතියිනේ ඒකට. ඒකට හරියන්න මොනව හරි කියනවා. මාධ්‍යත් ඒවා ප්‍රචාරය කරනවා. අපේ කාලේ රේඩියෝ එකේ බණක් කියනවා කියන්නේ බදාදයි ඉරිදායි දෙපැයක් විතරයි. වෙන කිසි බණක් නෑ. දැන් රෑ දවල් වෙනසක් නැතිව බණ යන්නේ. ඒ නිසා හරියට බණ ප්‍රචාරය වෙනවා. ඒත් ගාම්භීරත්වය අඩුයි. දැන් තාක්ෂණය දියුණුවීමත් මේවා පැතිරෙන්න බලපාලා තියනවා. පොත පත මුද්‍රණය පහසුයි. පුරාණ කාලයේ අඩුගානේ භූමිතෙල් කුප්පියක්වත් නැතිවනේ හාමුදුරුවරු බොහොම මහන්සි වෙලා මේවා කළේ. ඒවාට ගරු කරගෙන අපි යන්ඩ ඕනේ. අපිට හිතෙන හිතෙන දේ කියන්න බෑ.

ත්‍රිපිටකයේ අන්තර්ගතය සහ අටුවාවේ ඇතැම් විග්‍රහ කිරීම් පරස්පර බවට අදහසක් ඉදිරිපත් වෙනවා. අටුවාචාරීන්ගේ විශ්වසනීයත්වය පිළිබඳවත් ඇතැම් පිරිස් සැක මතු කරනවා. අටුවා කෙරෙහි අවධානය අඩුවෙන්නේ ඒ හේතු නිසා නොවේද?
අටුවා පොත්වල තියෙන්නේ ත්‍රිපිටක ධර්මයේ එක වචනයක් අරගෙන ඒකට උපමාවන් එක්කර විග්‍රහ කිරීමක්. ලංකාවේ සිදුවීම් තමයි උපමා විදිහට තියෙන්නේ. අපේ අතීතය ඒ කතාවල තියනවා. බණ කතා කියන කොට ඒවායේ වැදගත්කම උලුප්පලා ධර්මානුකූලව ඉදිරිපත් කළ යුතුයි. ඒකට ඉතිං ධර්මය හොඳින් තේරුම් ගන්න ඕනේ. කතාව මෙහෙමයි, ඒකෙන් කියවෙන්නේ මේකයි කියලා. ඒකට අටුවා ටීකා කියවන්න ඕනේ. ඒ හැකියාව අද බොහෝ දෙනකුට අඩුයි. ඒ නිසා බණ කතාවක් කියාගෙන යාම තමයි සිදුවෙන්නේ. මොනව මොනව හරි ප්‍රශ්න නිසා තරුණ ජීවිත ගත කරලා මහලු වයසෙදි මහණවීමත් මේකට හේතුවක්.

වර්තමානයේ කුඩා දරුවන් මහණ කිරීම ප්‍රමුඛ කරගෙන තිබුණත් බුදුහාමුදුරුවන් ජීවමාන කාලයේ මහණ වෙලා මාර්ග ඵල ලබා තියන වැඩි පිරිසක් වයස්ගත අය බවයි පෙනෙන්නේ?
ඒ කාලේ ඔක්කොම වැඩිහිටි ඉගෙනගත් සම්භාවනීය අයටයි ධර්මය ගියේ. ඒත් බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඉඳලා තියනවා සවග මහණුන් කියලා. ඒ ගොල්ල කෑමට බීමට, යමක් ලබාගැනීමට මහණ වෙච්ච දුප්පත්ම පවුල් කීපයක අය. ඒගොල්ල නොයෙකුත් වැරදි කරලා තියනවා. ඒගොල්ල වෙනුවෙන් පනවපු ශික්ෂාපද විනය පිටකයේ හරියට තියනවා. සැරියුත් හාමුදුරුවන්ට, මුගලන් හාමුදුරුවන්ට ශික්ෂා පද පනවන්න ඕනේ වුණේ නෑ. අද වෙලා තියෙන්නේ දැනුම අඩු අය මහණ කරගැනීමේ වැරැද්දයි.

මේ තත්ත්වයන් වළක්වා ගැනීමට ශාසනභාරධාරී මහා නායක හිමිවරුන්ගේ මැදිහත්වීමක් දකින්නට නැත්තේ ඇයි?
ඕවට කලබල වෙන්න දෙයක් නෑ. ඔය වගේ දේවල් ඇවිදින් ටික කලකින් ඒවා ගෙවිලා යනවා. අවුරුදු පහළොවෙන් විස්සෙන් මෙහා හැමදේම මට මතකයි. ඒ කාලේ කළුන්දෑවේ මනුස්සයෙක් සිවුරක් පොරවා ගෙන මමයි බුද්ධ කියලා බණ කියන්න පටන් ගත්තා. ඒ පස්සෙත් සෙනඟ ගියා. හතළිස් ගණන්වල ආවා තාපස නිකාය කියලා එකක්. නොයෙක් විදිහේ අය ඒකට ඇතුල් වෙලා හිටියා. මිනිස්සු පන්සල්වල හාමුදුරුවරුන්ට බණිනවා ඉවරයක් නෑ. සම්බුද්ධ ජයන්තිය අසාර්ථක කරවන්න යම්කිසි ක්‍රමයකින් ඇතිවෙච්ච උපායශීලී බලවේගයක් ඒක. හැට හතරේ කුමන්ත්‍රණයක් ආවා. ඒ පාර හැම තැනම පිරිත් කියන්න පටන් ගත්තා. ඉන් පස්සේ කාලෝ ෆොන්සේකා උන්නැහේ තරුණ කාලේ ගිනි පෑගිල්ලක් පටන් අරගෙන ඒකත් බොහොම තදට ගියා. ආයේ විනය වර්ධන කියලා තව එකක් ආවා. පන්සල්වලට වඳින්න එපා, බෝගස්වලට වඳින්න එපා, ධාතූන්වහන්සේලාට වඳින්න එපා, බුද්ධ පූජාව තියන්න එපා කියලා. ඒකට පක්ෂපාතවත් භික්ෂූන්වහන්සේලා කිහිප දෙනෙක් හිටියා. ඕවා මේ රටින් රට කලින් කල ඇතිවෙන හොල්මන්. ඕවාට ඇනකොටා ගන්න යන්න ඕනේ නෑ. කවුරු හරි කියනවා නම් බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්නාය කියලා හා ඔව් කියලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. එක එක්කෙනාගේ මානසික මට්ටම් වැඩකරන පිළිවෙළ තමයි ඔය. ඕක හැමදාම ලෝකේ තියනවා.

සැරෙන් සැරේ මතුවෙන මේවා වළක්වන්න මහානායක හාමුදුරුවරුන්ට එක්ව තීරණයක් ගන්න බැරිද?
තීරණයක් ගන්න පුළුවන්. තීරණයක් අරන් ප්‍රකාශ කළාට ඒගොල්ල පිළිපදින්නේ නෑනේ. ඒකනේ අපි කියන්නේ අපේ තියන භික්ෂු අධිකරණය සම්මත කරගන්න ඕනේ කියලා. ඒක අමුතු ගෙන ඒමක් නෙවෙයි. සංඝ සභාවල් නඩු ඇසීම රජ කාලෙත් තිබුණා. ඒකෙන් දෙන නියෝග ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව අනුබල දෙනවා. එතකොට වැරදි කරන්ඩ බයවෙනවා. දැන් එහෙම නෙවෙයිනේ. ඒ අයට හිතුණොත් අපි කියන එක ඉෂ්ට කරනවා, නැත්නම් නිකන් ඉන්නවා.

දැන් සංගායනාවකට සුදුසු කාලයක් කියා බොහෝ දෙනෙක් කියනවා අහන්නට ලැබෙනවා. එහෙත් මහානායක හිමිවරුන්ගෙන් එවැන්නකට පෙළ ගැසීමක් දක්නට නැත්තේ ඇයි?
ලංකාවට සංගායනාවක් අවශ්‍ය නෑ. දැන් සංගායනා ගණනාවක් කරලා ධර්මය හොඳින් පිරිසිදු කරගෙන තියෙන්නේ. දැන් ඕනේ කරන්නේ ධර්ම සංශෝධනයක් නොවෙයි. සංඝ සංශෝධනයක්. ධර්මය පිරිසිදු නිසා ධර්ම සංශෝධනයක් කරන්න අවශ්‍ය නෑ. අපිරිසිදු වෙලා තියෙන්නේ සංඝයා. සංඝයාවහන්සේලා වශයෙන් හොරු ඇතිවෙලා ඉන්නවා. චණ්ඩි, දාමරිකයෝ, වෙළෙන්දෝ, ව්‍යාපාරිකයෝ, සම්මාදම් කාරයෝ, වෙද්දු, නොයෙක් අය දැන් මහණකමට පත්වෙලා. නාකිවෙලා උයාපිහාගෙන කන්ඩ බැරිකමට මහණ වෙන අයත් ඉන්නවා. ඒ නිසා දැන් කරන්න ඕනේ භික්ෂු සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා කරලා සුදුසු අය තෝරලා අනෙක් අයව පැවිද්දෙන් ඉවත් කිරීමයි.

පැවිද්දකුගේ සිවුර ඉවත් කරන්න රජ්ජුරුවන්ටවත් බෑ කියා කියනවා අහන්න ලැබෙනවා. එහෙමනම් කොහොමද මේ වගේ දෙයක් ක්‍රියාත්මක කරන්නේ?
පැරකුම්බා රජ්ජුරුවෝ හැට හතරදාහක සිවුරු ඇරෙව්වා. එහෙම යැවිය යුතු පිරිස හඳුනාගෙන ඒ අයගෙන් ඇහුවා මොනවද කරන්න පුළුවන් වැඩ කියලා. ගොවිතැන් කරන්න පුළුවන් කිව්ව අයට හරක් බානක්, කුඹුරක් එහෙම දීලයි යැව්වේ. ඒ විදිහට ජීවන මාර්ගයක් හදලා දීලයි මේ පිරිස් යවන්න ඕනේ. එහෙම නැතිව නිකන්ම කෙනෙක් පලයන් කියලා එලවලා නම් හරියන්නේ නෑ. එහෙම එලෙව්වොත් යන කෙනා හොරකම් කරන්නේ නැතිව මොනවා කරන්නද? සංඝ සංශෝධනයක් කියන්නේ බොහොම බුද්ධිමත්ව කල්පනාකාරීව මේ රටේ ඉන්න නැණවත් හාමුදුරුවරුන්ගේ උපදෙස් ලබාගෙන කළ යුතු දෙයක්.