කුඩලිගම සියවසක කවි නළුව

විමලනාත් වීරරත්න
එච්.ඇම්. කුඩලිගම කවියාගේ ජන්ම සියවස් පූර්ණ සමරු උළෙල ඔක්. 10 ප.ව. 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

“වැහි දවස් සමඟම ගෙවී යන ජීවිතයක් ඇත්නම්”යි මා සිතන්නට පටන් ගත්තේ ළමා වියේදීමය. මතකයෙහි වැළලී ගිය නොයෙකුත් දුක්මුසු හැඟීම් ගොඩ දමා ඒ ඔස්සේ ගලා එන අමුතු රසයක ආස්වාදයකින් මා පුබුදුවාලීමට වැස්ස සමත් වූයේ කෙසේදැයි මම තවමත් නොදනිමි.”

1954 ඔක්. 15 වැනිදා කොළඹ යුගයේ විශිෂ්ටතම කවියකු වන එච්.ඇම්. කුඩලිගම විසින් කුණාටුව නම්වූ සිය පද්‍ය සංග්‍රහයෙහි තබන ලද ආමුඛ්‍ය සටහනෙහි කොටසකි ඒ.
කුඩලිගම යනු ස්වභාවවාදී කවියකු ලෙස විෂය ක්ෂේත්‍ර හා ඉම් පෙදෙස් රැසක් මත්තෙහි සිය ස්වභාවවාදී කාව්‍ය ආඛ්‍යානය සාධනය කැරගත් පරිසමාප්ත කවියකු ලෙස හැඳින්විය හැකිය. ඔහු සිය කාව්‍ය ප්‍රයුංජනය හා දාර්ශනික චින්තාව ස්වායත්තව නිපන් ඇවතුම් පැවතුම් සාම්ප්‍රදායක සතපවයි. ඒ කෙසේද යත් ජීවිතයේ මැදුම් පිළිවෙතට කුඩලිගම කවියා කරන මහාර්ඝ සත්කාරය ඔස්සේය. වැහි දවස සමගම ගෙවී යන ජීවිතයක් ගැන ශේෂ වූ කල්පනාවන් ඔහුට එන්නට ඇත්තේ ජීවිතාභ්‍යාසය පිළිබඳ උක්ත සිතුවිල්ල වගා දිගා කරනු පිණිස විය හැකිය. ඔහු අර්ථපූර්ණ ජීවිතයක් ලෙස දක්වනුයේ නිවී ගිය සිතින් හා වතින් සත්‍ය ගවේෂණය කරන පැවැත්මකට බව පෙනේ. ස්වභාවවාදී කාව්‍ය රූපක සියල්ල ඔහු අමුණන අපිකේන්ද්‍රයක් තිබේ. එම කේන්ද්‍රය නම් මිනිස් සන්තතියේ ප්‍රභේද විරහිත මධ්‍ය ලක්ෂයයි.

විළිබර සිනාවට උණු කඳුළු දා වුණා
කඳුළෙහි සියුම් දහමක රසය යා වුණා
උස් කඳු මුදුන් ඝන මී දුමක පා වුණා
අරුණාලෝකයක් කෙළවරම රෑ වුණා
(කුණාටුව)

කුඩලිගම එක තැනක නතර වුණු දෘෂ්ටිවාදී කවියකු නොවේ. ඔහු ප්‍රභේද ඉක්මවා සත්‍ය දකින්නට තැත් කළ හෙවත් පටිසෝතගාමී කාව්‍ය මාර්ගයක නැවතුම්පළක් නොසොයා ගමන් කළ කවියෙකි. 2018දී ඔහු සිය ජන්ම සියවස සනිටුහන් කරද්දී පවා අනවරතව සරණ යාත්‍රිකයකු ලෙස පෙනී යයි. එම නොනැවතුම නම් ඔහු ගත් අනාගතවාදී කාව්‍ය මාර්ගයයි.

කවදා කොතැනකදි මේ යන ගමන් මගේ
නවතීවිදැයි නොදනිමි ගං ඉවුරු දිගේ
මට නම් එකම උක් පුරුකක දෙකොණ වගේ
වෙන්වීමකත් හමුවීමක රසය නැගේ

හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරි තම
ගල්පරවලම හැපි හැපි බිහිකරමි මම
සම තැනිතලාවල හමුවෙයි අලස කම
නිරසයි අතරමග අවහිර නොදුටු බිම

කුඩලිගම කවියාට විස්මය දනවන කවි මගක් තිබුණු බව ප්‍රත්‍යක්ෂ වන්නේ ඔහුගේ ලිවිසැරිය තුළ විෂය ප්‍රදේශ එකක් දෙකක් නොව බොහෝ ගණනක් පැවති නිසාය. සුප්‍රකට නලිනි – පබලු කවි සංවාදයේ සිට ඈ (1948), කුණාටුව (1954), එකමත් එක රටක (1965) යන පද්‍ය සංග්‍රහයන් ඔහුගේ කවිත්වයෙහි විසල් සාරාර්ථ සාධනය කෙබඳුද යන්න නොනැසෙන සේ මුද්‍රා කොට ඇති අවස්ථා ලෙස සැලකිය හැකිය. ඒ හැරුණු විට හෙතෙම කවි සංවාදයෙහි මහත් වූ නිපුණයෙකි. පැතිරුණු නිර්මාණ වේෂයකින් එහි ව්‍යාවෘත වූවෙකි. සංවාද මතවාද හා ජාතික සටන (1949-1967) ස්ත්‍රීරත්නවාදය (මීමන ප්‍රේමතිලක සමග) විද්‍යා කලා සංවාදය (පී.බී. අල්විස් පෙරේරා සමග), දස්කොන්වාදය (පී.කේ.ඩී. සෙනෙවිරත්න සමග), ලන්ඩන් පේරාදෙණි කවි සංවාදය, ප්‍රේම සංවාදය ආදී වශයෙන් වූ කවි සංවාදවලදී කුඩලිගම දක්වා ඇති සියත් බව අසමසමය. ඒ හැරුණු විට ඔහු ලංකාවේ පුරෝගාමී තීරු පැදි රචකයාද වෙයි. රබන් පද (මහජන අස්න නමින්), ජනතා කවි කොළේ (කපුරුහාමි නමින්), කන්කෙඳිරි (කූඩැල්ලා නමින්) යනාදී තීරු පැදි එක් යුගයකදී ලංකාවේ තීරු පැදි කලාව උස් තැනක රැඳවූයේය. එසේම එම තීරු පැදි, කාව්‍යය තවත් ස්වරූපයකින් අභ්‍යාස කර බැලීමක්ද වූයේය.

කුඩලිගමගේ වෙසෙස් ශක්‍යතා ඉන් නිම නොවෙයි. 1954දී හෙතෙම සුවඳ කවි සඟරාවේ සංස්කාරකත්වයට පත්වූයේ කපිල ඊ. සෙනෙවිරත්න නම්වූ විශිෂ්ට කවියාගේ ජීවිත සමුගැන්මෙන් ඉක්බිතිවය. අනතුරුව කුඩලිගම අගනුවර තරුණ කවි සමාජයේ සභාපති ධුරයටද පත්වන්නේය. ඔහු ‘බේගල් මුත්තා’ නමින් මිහිර පුවත්පතට ළමා කතන්දර පෙළක්ද ලීවේය. කුඩලිගම ලියූ හා කියූ හිටිවන කවි රැස අතර ඔහු ලියූ ගී දෙකක්ද වෙයි. ඒවා සුනිල් සාන්ත සහ අයිවෝ ඩෙනිස් ගැයූහ.

හඳත් ගිලී ගිහින් පෙනේ අපේ පමාවකින්
වලාකුළුත් කැඩී බිඳී එහා මෙහා ඇදෙයි
හඳෙන් නිකුත් සුසුම් වගේ සිසිල් සුළං හමයි
හඳේ කැඩුම් බිඳුම් වගෙයි අනන්ත තාරකා
(තනුව හා ගායනය සුනිල් ශාන්ත)

සුනිල් ශාන්ත තනු නිර්මාණය කර අයිවෝ ඩෙනිස් ගැයූ ගීතයක අවසන් දෙපදය මෙබඳුය.
හේළි දහම් රසයක් ගෙනැ යන්නෙමි
මම මිනිසා උදෙසා
හැමදාම ඇවිත් යළි ආපසු යන්නට
යාවි එහෙත් මිනිසා

මෙම ගී පද රචනාවලත් සොබා දහම හා මිනිස් දිවියේ දාර්ශනික චින්තාව නොමඳව ගැබ්ව තිබෙන බව පසක් කරගත හැකිය. කුඩලිගම කාව්‍ය ඥාන මීමංසාව විෂයෙහි දුර ගමනකට පියවර එසවූ නොනවතින යාත්‍රිකයකු වන්නේ එබැවිනි. කිසිවිටෙකත් ස්වභාවවාදයෙන් නොමිදීම ඔහුගේ චින්තනමය ලාවණ්‍යයේ හරස් කැපුමක් වැන්න.

එකමත් එක රටක
60 දශකයේ මුල් වකවානුවේදී කුඩලිගම විසින් දේශීය හා විදේශීය ජනකතා, පුරාණෝක්ති, උපදේශකතා ඇසුරින් එකමත් එක රටක නමින් පැදි පෙළක් ජනතා පුවත්පතට සංග්‍රහ කැරිණි. ඇතැම් ඒවා ලංකාවේ ජනයාගේ පුරුදු හා අවරගණයේ ක්‍රියාවන්හි පිළිබිඹුවකි. බෙහෙවින්ම උපහාසාත්මකය. සමහර පද්‍ය පන්තීන් මෙරට දේශපාලනය විවච්ඡේදනය කොට දක්වයි. ඒ සියල්ල මිනිසා තමා දෙසටම හරවනසුළු ප්‍රබන්ධයෝ වෙත්.

මුල අමතක වීම යනුවෙන් වූ ‘එකමත් එක රටක’ පද්‍ය පන්තියක දැක්වනුයේ ඉසිවරයෙක් සමීපයෙහි වැඩෙන මී පැටවකු, බළළෙක්, බල්ලෙක්, කොටියෙක් හා සිංහයෙක් දක්වා පරිවර්තනය කැරෙන ආකාරයය. මී පැටවා එම වරප්‍රසාද ලබන්නේ එක් එක් යුගවලදී ඊට වඩා තරමක් ශක්තිසම්පන්න සතුන්ගෙන් විඳින හිරිහැර හේතුවෙනි. බළලුන්ගේ කරදරවලින් මුදවන්නට ඉසිවරයා මීයා බළලකු කළේය. බල්ලන්ගෙන් සිදුවන කරදර නැති කිරීමට අනතුරුව ඌ බල්ලකු කැරිණි. ඒ ආකාරයට කොටියකු හා සිංහයකු බවටද පත් කැරිණි. මෙම පද්‍ය පන්තියේ අවසාන කවි දෙක මෙබඳුය.

ඉසිවරයකු නිසා මීයකුට ගිය කල
අද සිංහයකු වී කල ගෙවන හැටිබල
කසු කුසු ගානවිට දන්න වුන් සුල මුල
මතුවිය සිංහයාගේ සිතෙහි කල බල

ජීවත් වුණොත් ඉසිවරයා තව දුරට
බැහැ සිංහයකු මෙන් මූණ පෑමට ලොවට
ඒකා මානයෙන් වියරුව එන කලට
ආපසු පෙරළුණා මී පැටවකු බවට

එහි එන ලස්සයේ බාරය නම් පද්‍ය පන්තියට විෂයවන්නේ මුහුදේදී ඇතිවූ දරුණු වැහි කුණාටුවක් නිසා ජිවිත අවදානමට මුහුණ පෑ ඔරුවක ගිය ධීවර පිරිසක් දෙවියන්ට භාර හාරවූ ආකාරය පිළිබඳවය. කවුරුත් භාරවූයේ තම තමන්ගේ ආර්ථික ශක්තියට සාපේක්ෂවය. එහෙත් ඔවුන් සමග ගිය නානාගේ බාරය මෙබඳුය.

රත්තරනින්ම රූපෙයි නිල් කොඩි ලස්සෙයි
කිරිබත් කෑලි ලස්සෙයි පහනුන් ලස්සෙයි
නානා බාරවූයේ හැමටම පස්සෙයි
මිනිහා ඒත් හිටියේ ඔරු කඳ අස්සෙයි

අපිටත් අන්ත අඩියකමුත් උඹ ඉන්නේ
සිටු කෙනකුටත් බැරි බරටයි කර දුන්නේ
නෑනා! උඹේ බාරය ඉටුකර ගන්නේ
කොහොමද කියාපන් මට නැහැ වැටහෙන්නේ

ගොඩබිම පේන තෙක් මානයට පැමිණිලා
ඇහුවලු නානගෙන් ඒ නඩයෙ වැඩිමලා
නානා මෙසේ පිළිතුරු දුනිලු හිනැහිලා
ඒවා බලා ගන්නට බැරියැ ගොඩවෙලා

අනතුරුව කවියා නානාගේ බාරය මෙරට පොරොන්දු දේශපාලනයට බද්ධ කරනයුරු මෙසේය.
මැතිවරණ කාලෙකට
බොහො දෙනා ජනතාවට
වෙන බාර අප රට
දෙවැනි නැහැ නානගේ බාරෙට

සරසවිය සැරසීම
සිනමා පුවත්පත්වල අදත්, සිනමා තරුවක් මුල් පිටුවට යොදා ගැනීම ජනප්‍රිය සම්ප්‍රදායයකි. එවකට සරසවිය කර්තෘ විමලසිරි පෙරේරාගේ ඉල්ලීම පිට කුඩලිගම රුක්මණී දේවි, ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, අනුලා කරුණාතිලක, සුවිනීතා වීරසිංහ, අයිරාංගනී සේරසිංහ, පුණ්‍යා හීන්දෙණිය, ජීවරාණි වැනි රැසකගේ මුල් පිටුවල ඡායාරූප කවිවලින් සැරසූයේ කුඩලිගමය.
ඔහු රුක්මණී දේවියට ලියූ කවියක් මෙබඳුය.

දිගු නිල් දෙඇසින් හී සැර එනවිට
දහසක් සිතුවිලි ඉපැ දේවි
පිපිතොල් අතරෙහි මුකුළු සිනාවට
කැකුළු කැලෑ මල් පිබි දේවි
හුරතල් කට ළද බොළඳ ගතිය ගැන
සෙසු නෑඹුල් තරු පැර දේවි
හිරිමල් කෙල්ලගේ පෙනුමක් දෙයි
තවමත් මේ රුක්මණී දේවි
(1966 අගෝස්තු 21 සරසවිය)

කුඩලිගමගේ විශේෂත්වය වන්නේ ඔහු ඕනෑම චරිතයක් රඟදැක්විය හැකි පරිසමාප්ත නළුවකු බඳු කවීන්ද්‍රයකු වීමය. බස හසුරුවා ගැනීමෙහි නිසඟ පාරමිතාවක් පුරන ඔහු සිය සියත් කාව්‍ය මාර්ගය කවි නළුවන් බවට පත්කරගෙන තිබෙන ආකාරය අසිරිමත්ය. සියවසකට පසුවත් ඔහු අපූර්ව වස්තු ප්‍රයානයක් තිබුණු කවියකු ලෙස දැනෙන්නේ ඒ නිසාය.
(පරිශීලනය – ගීතනාත් කුඩලිගම විසින් රචිත මන්බැඳි පන්හිඳ)