රාවය

‘අප්පච්චි ඇවිත්’ පැහී නැත. ඉදී ඇත.

‘අප්පච්චි ඇවිත්’ පැහී නැත. ඉදී ඇත.

එස්. නන්දලාල්

සමන් වික්‍රමාරච්චිගේ ‘අප්පච්චි ඇවිත්’ පසුගිය වසරේ මුද්‍රණයෙන් එළිදුටු නවකතා අතර වැඩිම අවධානය දිනාගත් කෘතිය බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. මන්දයත් එය 2017 වසරේ පළ වූ නවකතා අතර සිය නාමය රනින් සනිටුහන් කොට ඇති හෙයිනි. මේ වනවිට අඩු තරමින් එහි පිටපත් 20,000ක්වත් විකිණී ඇතැයි අනුමාන කරමි.

එසේ වීමට හේතු දෙකක් ඇත’යි සිතේ. පළමුවැන්න නම් එහි එන වෙනස් ආකෘතියයි. දෙවැන්න එහි අන්තර්ගතයයි. අන්තර්ගතයේ ගැඹුරු යමක් නොමැති හෙයින් එය හනිහනිකේ කියවාගෙන යන්නට පිළිවන.

සිංහල නවකතා සම්ප්‍රදායානුකූල කතන්දර කලාවෙන් ඔබ නොයාම සුලබ ලක්‍ෂණයකි. සුලබ ය’යි කීම ප්‍රමාණවත් නැත. ඇටවුම් බැහැලා ය කීවොත් වඩා නිවැරදි විය හැකි ය. එහෙත් ‘අප්පච්චි ඇවිත්’ වෙනස් ය. සිය හැඳින්වූ නාමයේ සිට ම එය වෙනස් එකකි. එහි නම සිංහලෙන් ‘අප්පච්චි ඇවිත්’ වුණාට එයට ඉංගිරිසි නමකුත් තිබේ. Name – of – the – Father. මේ දෙක වෙනස් අරුත් දෙකක් හඟවයි. කෘතියේ පිට කවරය දුටු වහාම පාඨකයාගේ සිතේ කුහුලක් ඇති කැරවීම මෙබඳු නම් දෙකක් යෙදීමේ අරමුණ විය හැකි ය.
ඕනෑම ලේඛකයකුට මෙන් ම සමන් වික්‍රමාරච්චිට ද ඉලක්කගත පාඨක කණ්ඩායමක් සිටිනවා විය හැකි ය. ඔහු මේ පොත ඉදිරිපත් කරන්නේ එක්තරා මට්ටමක විදග්ධ පාඨක සමාජයකට ය යන්න මගේ අදහසයි. (එසේ නම් ඔබ මේ පොත කියැවූයේ අහවල් එකට ද’යි මගෙන් නො අසන්න. මා එය වටහා ගත්තේ දෙවරක් ම මෙය කියැවීමෙන් ඉක්බිති ව බව සමාවට හේතුවක් ලෙස ඉදිරිපත් කරමි.) මා එසේ කියන්නේ කරුණු දෙකක් පදනම් කැර ගනිමිනි. ඉන් පළමුවැන්න නම් ජිජැක්, ලැකාන්, ෆ්‍රොයිඞ් වැනි දාර්ශනිකයන්ගේ මතවාද සැකෙවින් ඉදිරිපත් කිරීම සහ මෙයට කිසිසේත් ම අදාළකමක් නැති ෆ්‍රාන්ස් කෆ්කා සහ මයිකල් ජැක්සන් යන දෙදෙනා සහ ඔවුන්ගේ පියවරුන් අතර වූ ගැටුම් ඇතූලත් කිරීමයි. කර්තෘගේ අරමුණ කුමක් වුවත් මට පෙනෙන්නේ මෙහි ගැඹුරු යමක් නොමැති බැවින් ඇතැම් දාර්ශනික දෑ බලෙන් ඔබ්බවා ඇති අයුරකි. නිධානය චිත්‍රපටයේ විලී අබේනායක සහ ඔහුගේ බිරිඳ ආලිංගන නැටුමේ යෙදී සිටිනවිට මාස්ටර් ඊට යොදන්නේ සංගීත ඛණ්ඩයක් පමණකි. එතැනට ජෝතිපාලගේ හෝ නිහාල් නෙල්සන්ගේ හෝ ජිප්සීස්ගේ සින්දුවක් යෙදුවා නම් කෙසේ වනු ඇත් ද? ඒ දාර්ශනික දෑ කියවන විට මට හැඟුණේ එබන්දකි.

‘අප්පච්චි ඇවිත්’ හි එන්නේ මිය ගිය පියා ආවේශ වී සිය බිරිඳ හා දියණිය මරා දමන පුද්ගලයකු ගැන කතාවකි. එබැවින් එය කියවන පාඨකයාට ලැබෙන්නේ අපූර්ව අත්දැකීමකි.

කලකට ඉහත පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරයකුගේ තරුණ බිරිඳ සහ දොළොස් හැවිරිදි දියණිය මහ දවාලේ ඝාතනය කොට තිබිණි. ඔවුන් දූෂණය කොට නොතිබුණු අතර සොරකමක් ද සිදුවී නොමැත. පොලීසියට ඝාතකයා සොයා ගන්නට මාස හතක් පමණ ගත විය. ඒ මු`ඵ කාලය තුළ ම පොලීසිය තමා පසුපස පැන්නූ බව පසුව මහාචාර්යවරයා පුවත්පතකට කියා තිබිණි. ඒ පොලීසියේ හැටි ය. සැකයට වඩාත් තුඩු දී ඇත්තේ එම නිවෙසේ තිබී සොයාගන්නා ලද පැටි්‍රෂියා කෝන්වෙල් නමැති අමෙරිකානු රහස් පරීක්‍ෂක නවකතාකාරියගේ The Body Farm නම් කෘතියයි. එය එකොළොස් හැවිරිදි දැරියකගේ ඝාතනයක් සහ ඊට අදාළ FBI පරීක්‍ෂණ වටා ගෙතුණු වෘතාන්තයකි. ශූර නවකතාකරුවකුට එම සිද්ධියෙන් හොඳ නවකතාවක් නිර්මාණය කළ හැකි ය.

‘අප්පච්චි ඇවිත්’ එතරම් විශාල නොවුවත් කොටස් තුනකින් යුක්ත ය. පළමුවැනි කොටස නිශ්ශංක නම් පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ බිරිඳ වන බැංකු නිලධාරිනී සුමාලි සහ ඇගේ සහ නිශ්ශංකගේ දියණිය වන සුමුදු යන දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී ඉදිරිපත් වන කට උත්තර තුනකි. තුන්වන කොටස විත්තිය වෙනුවෙන් පෙනී සිටින නවක නීතිඥයාගේ විත්තියේ දේශනයයි. දෙවැන්න එම දේශනයේ දී එම නීතිඥයා විසින් වි1 ලෙස සලකුණු කොට ඉදිරිපත් කරන ලද නිශ්ශංක විසින් ලියන ලදැයි කියන දීර්ඝ විස්තරයයි. එය සාමාන්‍ය අපරාධෝච්චාරණයකට වඩා වෙනස් එකකි.

පොත කියවන්නට අතට ගෙන පෙරළන විට ප්‍රවේශයක් නො එසේ නම් රුචි කාරකයක් ලෙස ස්ලැවොජ් ජිජැක් ( Slavoj Zizek) නම් විදවතාගේ In Defense of Lost Causes නම් කෘතියෙන් පාඨයක් කියවන්නට ලැබේ. ඒ මෙසේ ය:


What is the true function of the Name – of – the – Father? It is precisely, to allow the subject to to symbolically kill the father to be able to his father (and the close family circle) and freely set out  on his own path in the world. No wonder then that Kafka’s reluctance to assume the Name – of – the – Father is the very indication of his failure to break away from his father: what the letter to kafka’s father bears  witness is a subject who was doomed to remain forever in the parental shadow, caught with him in libidinal deadlock. Far from enabling him to elude his father’s grasp, Kafka’s refusel to accept the father’s name is the surest sign of this imprisonment’

Name – of – the – Father යන්නේ සත්‍ය පැවැත්ම කුමක් ද? විශේෂිත වශයෙන් ම එයින් පියා බැහැර කොට (සහ න්‍යෂ්ටික පවුලෙන් වෙන් වී) තමාගේ ම ගමනක් යාමට අවස්ථාව ලබා ගනුවස් පියා සංකේතිකව මරා දමන්නට ඉඩ සලසා දෙයි. ඒ අනුව සිය පියාගේ නම තමාගේ ද නම ලෙස පිළි ගන්නට කෆ්කාගේ මැලි වීම ඔහු සිය පියාගෙන් බිඳී වෙන්ව යාමට තථ්‍ය දර්ශකයයි. කෆ්කා විසින් පියා වෙත යවන ලද ලිපිය සාක්‍ෂි දරන්නේ පීතෘමය සෙවනේ සදාකාලිකව රැඳෙන්නට ඉරණම් ලැබූ පුද්ගලයකු ලුබ්ධිමය හිරවීමකට හසුවීමයි. පියාගේ ග්‍රහණයෙන් ගැලවී යනවා වෙනුවට සිය පියාගේ නම බාර ගන්නට කෆ්කාගේ ප්‍රතික්‍ෂෙපය ඔහුගේ අඩස්සිගත වීම පිළිබඳ නිසැකතම සංඥාවයි.’

මෙහි සඳහන් Name – of – the – Father යනු father’s name (පියාගේ නම) නොවන බව සැලකිල්ලට ගනු වටී. ඒ කිම’යි අන්තර්ජාලයේ සෙවූ විට, ඒ වනාහි ලැකාන් නම් මනෝ විශ්ලේශකයාගේ සංකල්පයක් බව දැනගත හැකි විය. ලැකාන් එය ඉදිරිපත් කරන්නේ ෆ්‍රොයිඞ්ගේ ඊඩිපස් සංකීර්ණය නම් සංකල්පයේ දිගුවක් ලෙසිනි. ෆ්‍රොයිඞ්ගේ න්‍යායට පදනම් වන්නේ ක්‍රිපූ පස්වන සියවසේ විසු ග්‍රීක නාට්‍යකරුවකු වූ සොෆොක්ලීස්ගේ එනමින් යුත් නාට්‍යයේ කතා න්‍යාසයයි. දාර්ශනිකයකු වන ජිජැක් මූලික වශයෙන් සමාජ විද්‍යාඥයෙකි. ඔහු අමෙරිකාවේ සහ බි්‍රතාන්‍යයේ විශ්වවිද්‍යාල කිහිපයක උගන්වන හෙයින් සහ ග්‍රන්ථ මෙන් ම ලිපිලේඛන ද විශාල සංඛ්‍යාවක් සම්පාදනය කොට ඇති බැවින් ගුරුකුලයක මූලිකයා ලෙසින් ද සැලකිය හැකි ය. මේ පොතේ කර්තෘ සමහරවිට ඒ ගුරුකුලයේ අනුගාමිකයකු වන්නේද’යි නොදනිමි.

ඉහත සඳහන් කෆ්කා යනු විශිෂ්ඨ නවකතාකරුවකු වූ ෆ්‍රාන්ස් කෆ්කා (1883 – 1924) ය.

පිරිමි දරුවන් සිය පෞරුෂ වර්ධනයේ දි පියාට එරෙහිව යන බවත් එහෙත් ගැහැනු දරුවන් පියාගේ සෙවනට කැමැත්තක් දක්වන බවත් ප්‍රත්‍යක්‍ෂයකි. විද්වතුන් පෙන්වා දෙන්නේ මව කෙරේ ඇති රාගික ඇල්ම නිසා මෙය අවිඥානකව ම සිදුවන බවයි.

පිය – පුතු විරසකය ගැන කියැවෙන සිංහල පාඨකයන් මැනැවින් දන්නා කතන්දර කිහිපයක් ම තිබේ. සුද්දෝධන – සිද්ධාර්ථ පුරාවෘතය එකකි. පියා ප්‍රදානය කරන සියලු සැප සම්පත් ප්‍රතික්‍ෂෙප කරන සිද්ධාර්ථ ඒ හැම ‘අළුයම ලූ කෙළ පිඬක් සේ’ හැරපියා රූක්‍ෂ ජීවිතයක් ගත කරන්නට වළට යයි. මාගධියේ බිම්බිසාර නම් රජුට දාව දේවිය කුස පිළිසිඳ ගන්නා පිරිමි දරුවා මෙලොව එළිය දකින්නටත් පෙර පියාට සතුරු හෙයින් උපදින්නටත් පෙර සතුරා යන අරුත් ඇති අජාත – ශත්‍ර යන නම ලබයි. පියා මහත් සෙනෙහෙන් ඔහු හදා වඩා ගන්නා නමුත් ඔහු වැඩිහිටියකු වූ පසු පියා දඟගෙයි ලා දසවධ දී මරා දමයි. තවත් එකක් වනුයේ කාවන්තිස්ස – ගැමුණු අන්දරයයි. පියාගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගැන කලකිරෙන පුතා යුද්ධය තෝරා නොගැනීම ගැන කිපී පියාට ගැහැනු ඇඳුම් යවයි. ධාතුසේන නම් සිංහල රජුගේ කාශ්‍යප නම් පුතා පියා සතු ධනය තමාට නුදුන්නේ ය’යි කිපී පියා මරා දමයි. එහෙත් හැම්ලට් කුමාරයාගේ හැසිරීම මීට වෙනස් ය. ඔහු සිය පියා මැරූ ඝාතකයන්ගෙන් පළි ගන්නා බවට පියාගේ අවතාරයට පොරොන්දු වන අතර එම පොරොන්දුව ඉටු කරන ආකාරය හැම්ලට් නාට්‍යයේ කතා ශරීරයයි. මේ කෘතියේ චරිත ද ෆ්‍රොයිඞ්ගේ අවධානයට යොමු ව ඇති බව පැවසේ. එහෙත් ඊඩිපස් සංකීර්ණය මෙන් ‘හැම්ලට් සංකීර්ණය’ නම් න්‍යායයක් ගැන අප අසා නැත.

‘අප්පච්චි ඇවිත්’ කෘතියේ එන නිශ්ශංක යනු පරිපාලන සේවයේ නිලධාරියෙකි. ඔහු විවාහ වී සිටින්නේ පරිපාලන සේවයේ නිලධාරියකුගේ දියණියක සමඟ ය. නිශ්ශංකගේ පියා රාජ්‍ය සේවයේ යටත් නිලධාරියකු ලෙස රාජකාරි කළ අයෙකි. පරිපාලන සේවය සහ මේ සේවාවන් අතර අති විශාල පරතරයක් තිබේ. පියා තුළ නොයෙකුත් දක්ෂකම් තිබුණ ද කල්ලකඩත්තකම් ද බොහෝ ය. මේ නිසා සිය පියාගෙන් දුරස් වීමේ අවශ්‍යතාව නිශ්ශංකට තිබේ. සමහරවිට පියාගේ හැසිරීම් සිය බිරිය වන සුමාලිට අල්ලන්නේ නැතිවා වන්නට ඇත. සුමාලිටත් වඩා ඇගේ පියාට. ඉතින් නිශ්ශංක කරන්නේ පියාගෙන් ඈත් වී වෙනම ජීවිතයක් ගත කිරීමයි. සුමාලිගේ පියා ඔවුන්ට පදිංචියට නිවසක් දෙමින් නිශ්ශංක පියාගේ ඇසුරින් මුදවයි.

එහෙත් නිශ්ශංක කරන්නේ සංකේතික ව පියා මරා දැමීම නොව පියාගේ මරණයෙන් ඉක්බිති ඔහු කැන්දා ගැනීමයි. අප්පච්චි ඇවිත් නොවේ.
පියා සමග පිස්සු කෙළින ඔහු උත්කර්ෂයේ දී සිය බිරිඳ සහ දියණිය මරා දමයි. ඔහුගේ ඒක භාෂණ සහ ක්‍රියා නිසා අනෙක් සියලු දෙනා සිතන්නේ ඔහුට පිස්සු කියා ය. එහෙත් ඔහුට පිස්සු නැත. ඔහුට ඇත්තේ සිය පියා ‘වැහීම’ නිසා ඇතිවන සංකූලතාවයි. මේ පාඨකයා තනිව එළැඹෙන තීරණයක් නොව විත්තියේ නීතිඥ කියාදෙන දේ ය. ඒ අනුව නිශ්ශංකගේ විකාර අපට පිළිගත හැකි ය. එහෙත් ඔහු බිරිඳ සහ දියණිය මරා දමන්නේ පියාගේ ආවේශය නිසා ය’යි කිව නොහැකි ය. ඔහු ඔවුන් මරා දමන්නේ ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියකු වන තමාට ඔවුන් කරන අවමාන දරා ගත නොහැකි නිසා ය. අප්පච්චි ගාවා ගෙන ඇත්තේ අපරාදේ ය.

ජිජැක් පෙන්වා දෙන පරිදි නිශ්ශංක සංකේතිකව පියා මරා දමා සිය න්‍යෂ්ඨික පවුලෙන් දුරස් වී බොහෝ කල් ය. ඔහු උමතු වූවා නම් එසේ වන්නේ පට්ටපල් බොරුකාරයකු ද රැවටිලිකාරයකු ද වන තමාට දරා ගත නොහැකි තරමේ තනතුර සහ බිරියගේ තරාතිරම නිසා ය. නිශ්ශංක බොරුකාරයෙක් නිසා විත්තිවාචකය ලෙස අධිකරණයට ඔහු ඉදිරිපත් කරන නිබන්ධය (dissertation) ගත යුත්තේ ඒ මට්මෙනි.

මේ කෘතියේ යටිපෙළ ලෙස මගේ කියැවීමේ දී කරුණු දෙකක් හඳුනා ගත හැකිවිය. ග්‍රාමීය කල්ලකඩත්ත පවුලක තරුණයකු කඩතොලු නැති මැද පංතියේ පවුලකින් ගැහැනියක් සහේට ගෙන ඒ ගැහැනියගේ පියා විසින් සිය දියණියට දෑවැදි වශයෙන් දෙන ලද නිවසක පදිංචිව සිටියි. කාලයක් ගත වනවිට සිය පියා සංකේතිකව මරා දැමීම කෙසේවෙතත් මානසික වශයෙන් ඔහු කැන්දා ගෙන අවුත් සිය සමීපයේ රඳවා ගෙන සියලු දුක් කම් කටොලු ඔහු සමග කියන්නට ඔහුට සිදුවේ. ඒ තමාට විඳින්නට සිදුවන මදි පුංචිකම් නිසා ය. ඒ පළමුවැන්නයි. දෙවැන්න මෙරට පරිපාලන සේවයේ ස්වභාවයයි. මෙහි එන ප්‍රධානියා වන සමරදිවාකර අන්තිම කුහකයෙකි. දෙවැනියා වන නිශ්ශංක කිසියම් ජනතා ප්‍රශ්නයක් උදෙසා සාධනීය විසඳුමක් ඉදිරිපත් කරන්නට සමත් නමුත් ව්‍යාපෘති වාර්තාව නියමිත කාලය තුළ සකස් කැර දෙන්නට අපොහොසත් හෙයින් විදේශාධාරය නොලැබී යයි. ඔහුට අප්පච්චි වැහිලා ය. ඔහු රාජකාරි කරන්නේ මලගිය පරාණකාරයකු වන අප්පච්චිගෙන් ලැබෙන උපදෙස් අනුව ය. මේ රටේ සිටින ඉහළ නිලධාරීන්ට කවුරුන් හෝ මලගිය පරාණ කාරයකු වැහිලා සිටින බව නම් බොහෝ අයගේ කියුම් කෙරුම් අනුව පැහැදිලි ය. වත්මන් රාජ්‍ය ආයතන බොහොමයක ප්‍රධානිහු ඊට හොඳ උදාහරණ වෙති. අපේ පොලීසිය මට මෙහි දී සිහිපත් වෙයි. ඔවුහු පිස්සෝ නොවෙති. පිස්සු කෙලින්නෝ ය.

මගේ අදහස නම් ස්වර්ණ පුස්තක සම්මානය යන යෙදුමෙන් වැරදි චිත්‍රයක් දක්වන බවයි. එය ‘ස්වර්ණ පුස්තක ත්‍යාගය’ ලෙස හැඳින්වීම සුදුසු බව යෝජනා කරමි. එලෙස සම්මාන පිරිනැමෙන නවකතාව හොඳම නවකතාව නොවන අතර ප්‍රශස්ත ම නවකතාව විය හැකි ය.

නොබල් ත්‍යාගලාභි ලේඛකයන් ද ඇතුළත් නොයෙක් විදෙස් ලේඛකයන්ගේ සම්භාව්‍ය කෘති දහස ඉක්මවන ගණනක් වර්තමානයේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර ඒවාට ඇති ඉල්ලුම සිංහල නවකතාවලට ඇති ඉල්ලුමට අධික ය. ඇතැම්විට සුළු පරිවර්තන දෝෂ තිබිය හැකි නමුත් කතා න්‍යාසයත් ආකෘතියත් පිළිබඳ අවබෝධයක් ඒවායින් පාඨකයාට ලැබේ. ඒ කියන්නේ යමක් කමක් වටහා ගත හැකි පාඨකයා ඒවායේ සාරත්වය දකින බවයි. එවැනි කෘති කියවන අයට ‘අප්පච්චි ඇවිත්’ වැනි කෘතියක් ලොඳ කතාවකට එහා නොයයි.

මෑත කාලයේ කියැවූ සිංහල නවකතා අතරින් මෙයට වඩා ඉහළින් සිටිනා කෘති කිහිපයක් ගැන ද මෙහි සඳහන් කරනු කැමැත්තෙමි. ආරියවංශ අබේසේකරගේ ‘මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්’, කත්‍යානා අමරසිංහගේ ‘වණ්ණදාසී’, නදීකා බණ්ඩාරගේ ‘දියොනිස් දෙවොල පාමුල’, අනුරසිරි හෙට්ටිගේගේ ‘පණ්ඩක පුත්‍ර වස්තුව’, පියල් කාරියවසම්ගේ ‘වීදුරු කටු කැවුණු කලෙක’ මා කියැවූ එබඳු කෘති පහකි.

ඉතින් මේ ‘අප්පච්චි ඇවිත්’ නම් සිංහල නවකතාවේ මගේ කියැවීම වෙයි. මෙය විචාර මූලධර්ම අනුගමනය කරමින් කළ විවේචනයක් නොවන බව ඒ සමග කියමි. මෙය ලිවීමට අරමුණු වූයේ මේ පොතේ කර්තෘ සාමාන්‍ය සිංහල පාඨකයන්ට ළංවන්නටත් බැරි පඬිවරයකුගේ ග්‍රන්ථයකින් පේලි කිහිපයක් පෙන්වා ‘මගේ පොතේ ඇත්තේ මෙයයි’ යනුවෙන් අපට කීම ය. එහෙත් මා කියැවූ පොතේ ඇත්තේ එය නොවේ. එහි විලෝමයයි.

කෙනෙකුට තමා ලියන දේ නොවැටහේ නම් එය ඒ පුද්ගලයාගේ සීමාවක් ලෙස තමා දකින බව වික්‍රමාරච්චි ලක්බිම මංජුසාව අතිරේකයට කියා තිබිණි. එය ඉතින් ආයේ කියන්නට අවශ්‍ය දෙයක් නොවේ. එහෙත් කිවයුතුය’යි ඔහු අපේක්‍ෂා කරන දේ නැත්නම් කීවා යයි ඔහු කියා සිටින දේ ඇත්තට ම කෘතිය තුළ නැත. ඒ සඳහා වික්‍රමසිංහයන් කළාක් මෙන් වෙනම පොතක් ලියන්නේ නම් සුදුසු බව මට සිතේ.

කෙසේවෙතත් මට හිතෙන්නේ මේ වනාහි අපතේ ගිය පරිශ්‍රමයක් ලෙස ය. හරියට පිටකොටුවේ පේමන්ට් එකේ අඹ මෙනි. නියමිත ප්‍රමාණයට පැහී නැත. එහෙත් ඉදී තිබේ. කන්න බැරි කමක් නැත.

ලියා අවසන් කළ වහාම මුද්‍රණයට ඉදිරිපත් නොකොට තවත් වරක් දෙවරක් සකසා ආකෘතිය ද වෙනස් කොට ඉදිරිපත් කළා නම් ‘අප්පච්චි ඇවිත්’ මීට උසස් සාහිත්‍ය කෘතියක් වන්නට ඉඩ තිබූ බව අත්දැකීම් ඇති පාඨකයකු ලෙස මම විශ්වාස කරමි.