රනිල්ගේ බේගල්

ටිරන් කුමාර බංගගමආරච්චි

තිස් හතරවැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මේ දිනවල සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහි ආරම්භයට එන අගමැති රනිල් වික්‍රමසිංහ සුපුරුදු පරිදි හරසුන් කතාවක් පවත්වමින් තවදුරටත් තමන් සපයනුයේ විහිළුම බව පාසල් ළමුන්ටත් ඒත්තු ගැන්විය.
අගමැති කියනුයේ පාසල් 500ක් තෝරාගෙන අංගසම්පූර්ණ ක්‍රීඩා මධ්‍යස්ථාන ආරම්භ කිරීමට පියවර ගන්නා බවය. එපමණක් නොව ක්‍රීඩාව හා සම්බන්ධ සියලු ආයතන එක්ව කටයුතු කළ හැකි කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවත් පැවසීය.
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ආරම්භවන්නේ අසූව දශකය මුල රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති සිටියදීමය. එදා සිට අද දක්වා ඔහු බලයේ කොතෙක් සිට ඇත්ද? එහෙත් ඒ තාක් කළ නොහැකි දෙය තව වසරකින් කළ හැකිද? මේ තම ආණ්ඩුව ගැලවෙන ලකුණු පේන විට කියවන විකාර කතාය. පාසල් දහයක් පහළොවක් හෝ අඩුම තරමේ පළාත් අනුව හෝ එය ඉදිකරනවා යැයි කීවා නම් මීට වඩා ප්‍රායෝගිකය. පාසල් 500ක් වැනි ලොකු කතා දිනෙන් දින අගමැතිගේ කුඩා බවම පෙන්වන්නේය.
යහපාලන ආණ්ඩුවට ක්‍රීඩාව ගැන මෙලෝ දැක්මක් නැත. මෙවැනි උළෙලකදී වල්පල් කියනවා හැර ඉන් එහාට ක්‍රීඩාව ගැන කිසිදු වග විභාගයක් මේ ආණ්ඩුවට නැත. ක්‍රිකට් ගැන කමිටු පත්කරන බව ඒ හරහා ක්‍රිකට් විනාශයට පිළියම් හොයන බවත්, අගමැති වරක් මේ විදිහටම කීවේය. අදටත් එවැන්නක් නැත. මීට වසරකටත් පෙර දියගම ක්‍රීඩාංගණයට ගොස් අගමැති කී සුරංගනා කතා ඔහුටත් මතක නැති බව සැබෑය. නොබෝදා අගමැති අරමුදලක් නිර්මාණය කළේ ක්‍රීඩාව ගොඩ ගන්නට කියාය. මේ සේරම යහපාලනයේ කොමඩි කතාය. එය කියන ආකාරයට විහිළුසහගතමය.
“ආසියානු කලාපයෙන් ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපි බිහිකරන්න ඕන. අපි අගමැතිවරයාගේ ක්‍රීඩා අරමුදල ආරම්භ කළා. මම ඇමතිතුමාට උපදෙස් ලබාදී තිබෙනවා ඉදිරි අවුරුදු තුන හතර තුළදී ලංකාවේ පාසල් 500ක් තෝරාගෙන සියලු පහසුකම් ඇති ක්‍රීඩා මධ්‍යස්ථාන ආරම්භ කරන්න.”
කතාවෙන් පමණක් ක්‍රීඩාව සංවර්ධනය කළ හැකිනම් ලංකාව ලොව ක්‍රීඩාවෙන් සංවර්ධිතම රටය. රටේ නායකයා, දෙවැනියා සිට ක්‍රීඩා ඇමතිවරු දක්වාම කතාවෙන් ක්‍රීඩාව ලොව එකටම තබා ඇත. එහෙත් වැඩ අතින් බලන කල අජූතය.
ක්‍රීඩා මධ්‍යස්ථාන කෙසේ වෙතත් දැනට ඇති පුංචි ඉඬේ හෝ ක්‍රීඩාව නගා සිටුවන්නට රජයක් ලෙස ලබාදී ඇති පහසුකම් මොනවාද? දියගම ක්‍රීඩාංගණය අදටත් එලෙසමය. එය විනාශයෙන් බේරා ගන්නට නොහැකි වී ඇත. තම සොච්චම් දැනුමෙන් කෙසේ හෝ සාග් වුව දිනිය හැකි ක්‍රීඩකයන් බිහිකරන පුහුණුකරුවන්ව ඉන් ඉදිරියට ගෙන එන කිසිදු දැක්මක් වැඩපිළිවෙළක් නැති රජයක් අංගසම්පූර්ණ ක්‍රීඩා මධ්‍යස්ථාන ආරම්භ කර පවත්වාගෙන යනුයේ කෙසේද?
අයවැයෙන් ක්‍රීඩාවේ සංවර්ධනයට වෙන් කරන අතිවිශාල ධනස්කන්ධයෙන් අඩක් පමණ නැවත වර්ෂ අවසානයේ භාණ්ඩාගාරයටම හරවා යවන ක්‍රීඩා නිලධාරීන් ඇති රටක ක්‍රීඩාව ගැන කවර කතාද? ක්‍රීඩා උළෙලක ප්‍රධාන අමුත්තා වී බේගල් ඇදබාන අගමැති ක්‍රීඩාව නගා සිටුවන්නට ගත් එකදු ක්‍රියාමාර්ගයක් මේ වසර හතරටම ආසන්න කාලයට පෙන්විය හැකිද? දැන් නින්දෙන් ඇහැරී හීන ගැන කතා කියමින් සිටී. ඒ හීන හැබෑ කරගත හැකි දෑද? එහිදී අගමැති තව අපූරු කතාවක් කීවේය.
“මෙවර ඉන්දුනීසියාවේ පැවති ක්‍රීිඩා උළෙලේදී අපිට අවස්ථාව ලැබුණා විශාල සංඛ්‍යාවක් යවන්න. ඒත් සහභාගිවීම විතරයි. ඒ මදි. අපි දිනලත් එන්න ඕනෑ. දිනන්න ඕනෑ වැඩකටයුතු අපි ආරම්භ කරමු.”
මේ වැඩකටයුතු ආරම්භ කරනුයේ කවදාද? ශ්‍රී ලංකාව හිස් අතින් ආවේ අද ඊයේ සිටද? මේ සිතුවිලි අගමැතිට පහළ වූයේ දැන්ද? අඩුම තරමේ පරාජ වී එනවිටත් ඒ අය පිළිගෙන ජයග්‍රහණයට යන පාර කපාගන්නට නොහැකි වූයේ ඇයි? ඒ මොවුන් නිකං කයිවාරුවටම කතා කියන නිසාය.
මහින්ද රාජපක්ෂ කාලයේ දියගම ක්‍රීඩාංගණය ඉදිකළේ ජාත්‍යන්තර ප්‍රමිතියට කියාය. එහෙත් අද එය නන්දිකඩාල් ප්‍රදේශයේ ඇති පිටියක් බඳුය. මහින්දානන්ද රට පුරා ක්‍රීඩා පිටි හදනවා කියා මේ ආකාරයටම රැඟුවේය. අද රට පුරාම ක්‍රීඩා පිටිද? එහෙත් රට පුරාම හැදූ වියදම නාවලපිටිය ක්‍රීඩාංගණයට වෙන් කළේය.
සුගතදාස ක්‍රීඩාංගණය වුව අදටත් සම්පූර්ණ නැත. එහෙත් අගමැතිගේ කතාව අංගසම්පූර්ණ ක්‍රීඩා මධ්‍යස්ථාන ඉදිකිරීමටය. මේ කතා අහමින් අපි කාලය ගෙවා ගමු. තව වසර තුනකින් විතර යැයි අගමැති කියන විටම ඒ කතාව කොතරම් ඇල්මැරිලාදැයි සිතේ. මේ ආණ්ඩුව මේ අගමැති නැවත එතැයි බොරු සිහින මැවිය යුතු නැත්තේ මේ අය යහපාලනය කියා කළ පාලනය අන්තිම සවුත්තු නිසාය. ජනපති, අගමැති දෙපළම බොරු කතා කියමින් සිටිති. ජනතාවට ඒවා දැන් නෑහෙන ගාණය. අගමැතිගේ බේගල් අතර පාසල් 500ක කතාවද අඩංගු බව පමණක් අපට ස්ථිරයටම කිව හැකිය.