කාන්තාව, අනුපාතය, ආගම හා දේශපාලනය

නීල් ක්‍රිස්ටෝෆර්

නව පළාත් පාලන ඡන්ද ක්‍රමය තුළ 25%ක කාන්තා නියෝජනය පිළිබඳ අපි මහත් ප්‍රහර්ෂයෙන් කතා කළෙමු. කාන්තා සංවිධානයෝ ද ඒ පිළිබඳ සතුට පළ කළහ. මේ කාරණය වඩාත් විමර්ශනාත්මකව සලකා බැලිය යුත්තේ ප්‍රායෝගික තලයේ දී එය යථාර්ථයක් විය හැකි ද යන සැකය ඉන් මතු වන බැවිනි.

පුරුෂෝත්තමවාදයටත් එහා ගිය ශිෂ්ණ කේන්ද්‍රවාදයක් (Phallo – Centrism) ස්ත්‍රී ශරීර කායික හා ඩිජිටල් සංසර්ගය සඳහා වෙළෙඳ පොළ තුළ වෙන්දේසි කෙරෙමින් තිබෙන සංදර්භය තුළ උක්ත කාරණය විමැසිය යුතුය. මහජන ආයතනය තුළ ශිෂ්ණ- යෝනි අනුපාතයක් බහුතර පුරුෂයින් විසින් ම සකසා ඒ පිළිබඳ උදම් ඇනීමෙන් ප්‍රකාශ වන්නේ ශිෂ්ණ -කේන්ද්‍රවාදයේ සැඟවුණු පැත්තක්ද?

ශ්‍රී ලංකා රාජ්‍යයේ උත්තරීතර සභාවේ නියෝජිතවරියන්ට ස්ත්‍රියක වීම නිසාම යම් යම් වාග්මය, සංඥාමය ලිංගික හිරිහැරයන්ට පාත්‍ර වන්නට සිදු වූ බව ඔවුන් කතානායකවරයාට දැන්වූ බවට පසුගිය කාලයේ පළ වුණු වාර්තා ඇත්ත නම් කාන්තා නියෝජනයේ පම්පෝරිය පුරුෂෝත්තමවාදයේ රෙද්ද පල්ලෙන් බේරෙනවා යැයි කිව නොහැකිද?

ප්‍රතිපත්තිය සහ නීතිය ප්‍රායෝගිකත්වය තුළ ප්‍රදර්ශනය නොවේ නම් එය පුස්සක් බවට පත් වෙයි. අභිනව නියෝජන ක්‍රමය හඳුන්වා දීමට පෙරත් ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වූයේ සිය බිරිඳ, දුව, හොඳම මිතුරිය, අනියම් බිරිඳ, අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කර ගැනීමේ කුප්‍රකට උත්සාහය බව කවුරු නොදනිත්ද? උන්නතිකාමී ස්ත්‍රීන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීම සාමාන්‍ය ධර්මතාව බවට පත්ව ඇති තත්ත්වයක් තුළ නවක අපේක්ෂිකාවන් දූෂිත පක්ෂ සංවිධායකවරුන්ගේ ගොදුරු බවට පත් වීම අරුමක් නොවේ. එකිනෙකා පරයා නායකත්වය සඳහා පොරකෑම්, බෙලි කැපීම්, මුට්ටි ඇල්ලීම් සුලබව පවතින අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සත පහකට මායිම් නොකරන ප්‍රධාන පක්ෂ වලින් ඊට වෙනස් ආචාරාත්මක හැසිරීමක් ශික්ෂණයක් අපේක්ෂා කළ හැකිද?

පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වූ ඇතැම් අපේක්ෂිකාවන් භික්ෂූන්ගෙත් පූජකයන්ගේ ගරහාවට ලක් වූහයි පැවසිණි. ප්‍රභූ පැළැන්තියේ කාන්තාවක වූ සිරිමා බණ්ඩාරනායක පිළිබඳ එකල එජාපය පළ කළ ගර්හාත්මක මෑතක අදහස් සිහි කර ගතහොත් මෑතක් වන තෙක්ම ස්ත්‍රියගේ භූමිකාව දෙස සිංහල අධිපති, පුරුෂෝත්තමවාදි දෘෂ්ටිවාදයේ කෝණය තේරුම්ගත හැකිය. හේමා ප්‍රේමදාස මහනුවර දළදා මාලිගයේ පත්තිරිප්පුවට නැඟීම පිළිබඳ මාධ්‍ය හා රට තුළ වූ ගර්හාත්මක ආකල්පය ගම්‍ය කළේ කුමක්ද?

විවාහක ස්ත්‍රීය යනු ස්වාමි පුරුෂයාට ආවතේව කරමින්, දරුවන් වදමින්, උන් රැක බලාගෙන සිටිය යුතු තැනැත්තියක වශයෙන් සමාජය තුළ සාමාන්‍යකරණය වී ඇත. ජේ.ආර්. ජයවර්ධනගේ බිරිඳ වූ එලීනා ජයවර්ධන පිළිබඳ උත්කෘෂ්ටවත් ප්‍රතිරූපයක් මැවුණේ ඒ නිසාය.

සියලු ආගම් පුරුෂලිංග කේන්ද්‍රීය වන තතු යටතේ, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ආගමික රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථාගත වී ඇති තතු යටතේ ස්ත්‍රී මහජන නියෝජිතයන්ට පුරුෂ නියෝජිතයන්ට වඩා පහත් ලෙස සැලකීම පුදුමයක් නොවේ.

ප්‍රභූ යැයි සැලකෙන පැළැන්තියේ ස්ත්‍රීන් දේශපාලනයට අවතීර්ණය වී මහජන නියෝජිතයන් බවට පත් වීම හෝ පාරම්පරික දේශපාලන උරුමකාරියන් ලෙස එසේ වීම හෝ ආගම්වාදී පසුගාමී සමාජය ඉවසනු ඇත. භූමිය, ප්‍රග් ධනය, ව්‍යවසාය යන නිශ්පාදන සාධක වලින් එකක් හෝ ඊට වැඩි ගණනක් පිළිබඳ ආධිපත්‍යය රඳන ස්ත්‍රීන් කෙරෙහිද එම ඉවසීම ක්‍රියාත්මක වනු ඇත. එවැන්නියන් පිළිබඳ කෙසේ හෝ වෙතත්, ශ්‍රමය පමණක්ම හිමි ස්ත්‍රීන් බහුල වශයෙන් දේශපාලන ක්‍රියාවලියට සක්‍රියව මැදිහත් වීම නිසා එම ඉවසීමේ සීමාව එසේම පවතී යැයි සිතිය හැකිද? නිර්මල බෞද්ධ සංස්කෘතියක් මත පදනම් වී ඇතැයි කියන අපේ ඊනියා ශිෂ්ටත්වය එවිට අපට උරගා බැලිය හැකිය.

මෙම කාරණයේදී ආගම්වල මැදිහත් වීම කෙසේ විය හැකිද? ලෝකයේ සියලු ආගම් ශිෂ්ණ-කේන්ද්‍රීය (Phallo – Centric) වෙයි. භික්ෂූණී ශාසනය ශක්තිමක් කොට ඊට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දෙන්නට මහ නායක හිමිවරු විරුද්ධය. යම් හෙයකින් භික්ෂුණි ශාසනයට එම අනුමැතිය ලැබුණත් ඔවුන්ගේ සංඛ්‍යාව භික්ෂූන්ට වඩා වැඩි වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ශාසනයේ නායකත්වය ස්ථාපිත විය යුතුයැයි හඬක් නැඟුණොත් කුමක් වේද? කතෝලික සභාව ගත්තත් එහි කන්‍යා සොහොයුරියන් සිටින්නේ පූජකයන්ට වඩා පහත් මට්ටමකය. ඔවුහු පූජකයන්ගේ අන්තේවාසිකාවෝ/ සහයිකාවෝ/ සේවිකාවෝ වෙත්. ‘කන්‍යා සොහොයුරියන්’ යන යෙදුමින්ම ඔවුන් කන්‍යා භාවය රැකගෙන තිබීම අවශ්‍යතාවක් බව පළ වෙයි. ශිෂ්ණය සහිත පූජකයන් අරබයා බ්‍රහ්ම චර්යා ශික්ෂාවක් ප්‍රකාශිතව තිබුණත් අප්‍රකාශිත යථාර්ථය එය නොවේ. ස්ත්‍රීන් පහත් කොට සලකන්නට, ඔවුන් දුර්වල/බිඳෙන සුළුභාජන ලෙස (Wenker Vessels) ලෙස සලකන්නට බයිබලයෙන්ම අනුබල දී ඇත. කෙසේ වෙතත් කන්‍යා සොහොයුරියන්, පූජකයන් අරබයාද ප්‍රජාතන්ත්‍රවාදී ධූරාවලියක් පිළිබඳ යෝජනාවක් නැඟුණොත් ඇති විය හැකි තත්ත්වය කුමක්ද? කන්‍යා සොහොයුරියන්ගේ පූජකයන්ගේ වැඩි කැමැත්තට පත් වන අගරදගුරුවරයකු / අගරදගුරුවරියක පිළිබඳව විමුක්ති දේවධර්මය ප්‍රකාශ කරන අයවත් කතා කර තිබේද?

බුද්ධාගම, කතෝලික ආගම පමණක් නොව අන්‍යාගම්ද ඊට වෙනස් නොවේ. ආගම් වලින් මිනිසා ශිෂ්ට කෙරෙතැයි ද ආගමක් නැති මිනිසා සදාචාරාත්මකව ජීවත් වන්නට නොදත්තැයි ද යනුවෙන් මිත්‍යාවක් ස්ථාපිතව පවතී. ආගම්වල ඊනියා සදාචාරාත්මක වහන්තරාව ගිනිබත් කළ හැකි ගිනි පුළිඟු ඒවායේ මූලයන්හිම පවතී. යම් හෙයකින් කුණු වෙමින් පවතින වැඩවසම්වාදී ආගමික සංස්ථාවන්ට එරෙහිව ස්ත්‍රීවාදී හඬක් මතු වුවහොත්, ඊනියා ශිෂ්ටත්වය නමැති පුරුෂෙෘ්ත්තමවාදී වැලි තලයෙන් මතුවන වැලි පොලඟුන් දස දහස් ගණනින් මතු වනු අපට දැක ගත හැකි වනු ඇත.

සියලු පුරවැසියන්ට සමාන අයිතීන් ඇතැයි පුරසාරම් දොඩන ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට පනහකටත් වඩා ස්ත්‍රීහු වෙති. එම යථාර්ථවාදී ස්ත්‍රී- පුරුෂ සංඛ්‍යා පදනම යටතේ මහජන ආයතන වල නියෝජිත සංඛ්‍යෘවද ඇති විය යුතු යැයි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් එය පොන්නම්බලම්ගේ පනහට පනහ ඉල්ලීම මෙන් ආන්දෝලනාත්මක හා බෙදුම්වාදී ලෙස සැලකෙනු ඇත. ‘ස්ත්‍රී ඊලමකට’ මඟ පාදන්නාක් සේ සැලකෙනු ඇත. එම ඉල්ලීම වටා පෙළගැසෙන ස්ත්‍රී සංවිධන මර්දනය කරන්නට ත්‍රාසවාදය වැළැක්වීමේ පනතට පුරුෂවාදී සංශෝධනයක් සිදු කැරෙනු ඇත.