ලොව සරසන නිහතමානී නායකයෝ

මධ්‍යම යුරෝපයේ ඒඩි්‍රයටික් මුහුද අසල පිහිටා ඇති සංවර්ධිත දේශයක් ලෙස සැලකෙන ක්‍රෝෂියාව, වර්‍ග කිලෝමීටර් 56,594කින් සහ මිලියන 4.28ක ජනගහනයකින් සමන්විතය. මේ දියුණු රටේ වත්මන් ජනාධිපතිනිය ලෙස කටයුතු කරන්නේ 49 හැවිරිදි කොලින්ඩා ග්‍රාබර් කිටරොවික්ය. ජනපති පුටුවට ඇය තේරි පත් වුණේ 2015 පෙබරවාරි 19 වැනිදාය. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂා සාහිත්‍ය පිළිබඳ මූලික උපාධිය 1993 දී ක්‍රෝෂියාවේ සැග්‍රෙබ් සරසවියෙන්ද, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය 2000දී එම විශ්වවිදයාලයෙන්ම දිනා ගත් ඇය, 2002-2007 අතර කාලයේදී ඇමරිකාවේ ජෝජ් වොෂින්ටන් හා හාවර්ඞ් යන සරසවි වලින් දේශපාලන විදයාව පිළිබඳ විශේෂ උපාධි ලබා ගත්තාය. ඉනික්බිති ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිදයාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කථිකාචාර්යවරියක ලෙසද ඇය සේවය කළාය. 2008 සිට 2011 දක්වා කොලින්ඩා, ඇමරිකාවේ ක්‍රෝෂියන් තානාපතිනිය වශයෙන් කටයුතු කළ අතර 2011 සිට 2014 තෙක් නෙටෝ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ලෙස රාජකාරි කළාය. ක්‍රෝෂියන්, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, පෘතුගිසි, ජර්මන්, ප්‍රංශ හා ඉතාලි යන භාෂා 7 ඇය චතුර ලෙස හසුරුවයි. වයස අවුරුදු 35 වන විට කොලින්ඩා ක්‍රෝෂියාවේ විදේශ ඇමති තනතුරට පත් වූවාය.

සරල ජීවිතය
ක්‍රෝෂියාවේ ජනපතිනිය ලෙස දිවුරුම් දුන් පසුව, ඇය 2015 දෙසැම්බරයේදී එරට සැග්‍රෙබ් සරසවියෙහි යළි පදිංචි වූයේ තම දේශපාලන විදයාව පිළිබඳ වන ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහාය. ක්‍රෝෂියාවේ krk දූපතෙහි ඇති ස්වාභාවික ද්‍රව ගෑස් කියුබික් මීටර් බිලියන 02ක් ඇමරිකාව හා යුරෝපය වෙත වාර්ෂිකව අපනයනය කිරීම හා අදාළ වෙළඳ ගිවිසුම් මේ වසරේදී ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බෝල්ටික් රටවල නායකයින් සමඟ ඇය අත්සන් කළාය. කොලින්ඩාගේ අල්පේච්ඡ බව කැපී පෙනුනේ ක්‍රෝෂියාව 2018 ලෝක පාපන්දු කුසලානය සඳහා තරඟ වැදුණු මොහොතේය. නයිජීරියාව, ආජන්ටිනාව, අයිස්ලන්තය, ඩෙන්මාර්ක්, රුසියාව, හා එංගලන්තය යන ප්‍රබල රටවල් පරදවමින් ක්‍රෝෂියාව ප්‍රංශය සමඟ වූ අවසාන තරඟයට සුදුසුකම් ලබා ගත්තේය. පාපන්දු ලෝලියකු වන කොලින්ඩා, ක්‍රෝෂියානු කණ්ඩායම තරඟ කළ හැම තරඟයක්ම පාහේ නැරඹීම සඳහා රුසියාව බලා ගියේ, තම පුරවැසියන් සමඟ ගුවන් යානයේ සාමාන්‍ය මැදිරියේ සිට අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. රාජ්‍ය නායකයින් පාපන්දු ලෝක ශූරතා තරඟ නරඹන විශේෂ අමුතන්ගේ කුටිය තුළ ක්‍රෝෂියානු ජර්සිය ඇඟලා ගැනීමට අවසර නොමැති හෙයින් කොලින්ඩා එය පැළඳ සාමාන්‍ය ජනයා සිටින ස්ථානයට පැමිණ, ක්‍රෝෂියානුවන් සමඟ නටමින් සිය කණ්ඩායම දිරිමත් කළාය. අවසාන තරඟයේදී ප්‍රංශයට පැරදුණු සිය කණ්ඩායමේ සාමාජිකයින් තනි නොකළ ඇය, ක්‍රීඩකයින්ගේ විවේකාගාරය වෙත ගොස් ඔවුන් සියල්ල වෙන් වෙන් වශයෙන් වැළඳ ගනිමින් ඔවුන්ට ශක්තියක් වූවාය. කොලින්ඩාට නැරඹීමට නොහැකි වූයේ ක්‍රෝෂියාව ජයගත් එංගලන්ත ක්‍රෝෂියානු තරඟය පමණි. ඒ ඇය එදින නේටෝ සමුළුවට සහභාගි වූ හෙයිනි. 1995 දී දකුණු අප්‍රිකාව රගර් ලෝක කුසලානය දිනාගත්තේ එවකට රටේ ජනපති වූ නෙල්සන් මැන්ඩෙලා තම කණ්ඩායම පසුපස සිට ඊට ලබා දුන් යෝධ ශක්තිය නිසා වග එම කණ්ඩායමේ නායක ප්‍රංශුවා ජියනාර් වරෙක පැවසීය. රටේ නායිකාව යැයි සිතා ආඩම්බර වීම මෝඩ ක්‍රියාවක් බව තමා හොඳින් අවබෝධ කරගෙන ඇත්තේ මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨයින් ගැන කියවා ඇති හෙයින් යැයි කොලින්ඩා කියයි.

මාක් රූට්
2010 සිට මේ දක්වා නෙදර්ලන්තයේ අගමැතිවරයා ලෙස කටයුතු කරන්නේ 51 හැවිරිදි මාක් රූට්ය. නෙදර්ලන්තයේ ලේඞ්න් සරසවියෙන් (කලා ධාරාවෙන්) ශාස්ත්‍රපති උපාධියක් 1992 දී දිනාගත් හෙතෙම කලක් යුනිලීවර් සමාගමේ ඉහළ විධායකයකු ලෙස සේවය කළේය. පරිසර හිතකාමියකු ලෙස සැලකෙන මාක්ව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජල සුරැකුම් ගෝලීය කමිටුවට හා දිගු කාලීන ගෝලීය සංවර්ධන අරමුණු සැලසුම් කරන කමිටුවට 2016 අප්‍රේල් මාසයේදී පත් කරනු ලැබුවේ එහි මහලේකම් බෑන් කී මූන් සහ ලෝක බැංකු සමූහයේ අධිපති ජිම් යොන්ග් කිම් විසිනි. ලොව 05 වැනි තරඟකාරී ආර්ථිකයට හිමිකම් කියන ධනවත් රටේ නායකයා වුවද මාක් හැම දිනකම සිය නිවසේ සිට අගමැති කාර්යාලය වෙත යෑම් ඊම් කරන්නේ තම පුෂ් බයිසිකලයෙනි. 2012 දී ඉරානයේ පොලිස්පතිවරයා සිය රටේ නියෝජිත පිරිසක් සමඟ නෙදර්ලන්තයට ගිය අවස්ථාවේ, අගමැති මාක් රූට් කිසිදු ආරක්ෂක භටයෙක් නොමැතිව සයිකලයෙන් කාර්යාලය වෙත පැමිණෙනු දැක විශ්මයට පත් විය. 2018 ජුනි 04 දින ඔහු අතින් ඔහුගේ කෝපි කෝප්පය නෙදර්ලන්ත පාර්ලිමේන්තුව තුළදී ගිලිහි ගිය පසු, එතැන සිටි පිරිසිදු කරන සේවිකාවගේ ‘මොප් එක’ ගෙන ක්ෂණිකව බිම පිරිසිදු කර දැමීමට මාක් ක්‍රියා කළේය. පරිසර දූෂණය නිසා සිදුවන ගෝලීය උණුසුම නැවැත්වීමට හඬ නඟන කෙනකු ලෙස තමන්ගේ සියලු ගමන් බිමන් පුෂ් බයිසිකලයෙන් යාම, ලොවට යම් ආදර්ශයක් ගෙන එනු ඇතැයි මාක් අවධාරණය කරයි. 2017 ජුනි මාසයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නෙදර්ලන්තයට ගිය අවස්ථාවේ, මාක් රූට් ඔහුට අලුත්ම පුෂ් බයිසිකලයක් තැගි කළේ එම නිසාය. සතියේ හැම සිකුරාදාවකම ජෝන් ඩි විට් උසස් පාසැලේ ශිෂ්‍යයින් හට සමාජ විද්‍යාව හා ප්‍රජාචාරය යන විෂයන් පැය 02 ක කාලයක් වැය කරමින් උගන්වන මාක් රූට් ඒ ගැන මෙසේ අදහස් දක්වයි. ‘ගුරුවරයකු ලෙස වැඩ කිරීමට මා තුළ විශාල ආශාවක් තිබුණා. එහෙත් දේශපාලනයට පැමිණි පසු ඒ ආසාව අත්හරින්න මට සිදු වුණා. රටේ අගමැති වුවත් සතියකට දවසක් හරි ගුරුවරයකු ලෙස වැඩ කරන්න මට අවශ්‍ය වුණු නිසා කිසිදු වැටුපක් නොගෙන ජෝ ඩි විට් පාසලේ උසස් පෙළ පන්තියට උගන්වන්න තීරණය කළා.’

හුසේ මුජිකා
ලතින් ඇමරිකානු කලාපයේ පිහිටි උරුගුවේ නමැති දේශය, අන්ත දුප්පතුන් කිසිවකුත් නැති, ආදායම් බෙදී යාමේ විශමතාව අවම තත්ත්වයක පවතින, සංවර්ධිත රටක් ලෙස සැළකේ. එය රාජ්‍ය පාලනය හා අදාළ දූෂණය සහ වංචාව, සහමුලින්ම තුරන් කරන ලද රටකි. එමෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සමාජ සුරක්ෂිතභාවය සහ සාධාරණත්වය යනාදිය උරුගුවේ රජය විසින් උපරිමයෙන් සුරකිනු ලබයි. උරුගුවේ, හැම අංශයකින්ම සංවර්ධනය කිරීම සඳහා සුවිසල් මෙහෙවරක් සිදු කළේ එරට 40 වැනි ජනාධිපතිවරයා වූ හුසේ මුජිකායි. හෙතෙම 2010 සිට 2015 දක්වා උරුගුවේ ජනාධිපති ධූරය හෙබවීය. 2009 ජනාධිපතිවරණයෙන් ජයගත් විගස ඔහු කියා සිටියේ සුඛෝපභෝගී ජනපති මැදුර, ඊට අයත් විශාල කාර්ය මණ්ඩලය, සැප යාන වාහන, ආරක්ෂක භට පිරිස් සහ පරිවාර වාහන යන දේවල් තමන්ට අනවශ්‍ය බවයි. උරුගුවේ රජයේ සෙනෙට්වරියක වූ ලුසියා ටොපොලැන්ස්කි සමඟ 2005 වසරේදී යුග දිවියට එළැඹි හුසේ මුජිකා, එදා සිට ජීවත් වූයේ මොන්ටිවීඩියෝ ගම්මානයේ පිහිටි සිය බිරිඳට අයත් ගොවිපලෙහිය. ගොවිපලෙහි තිබෙන මෙම නිවස සතුව ඇත්තේ එකම එක නිදන කාමරයක් පමණි. ලුසියා සමඟ විවාහ වන අවස්ථාවේ උරුගුවේ පශු සංවර්ධන, කෘෂි කර්ම හා ධීවර අමාත්‍ය ධූරය දැරුවේ හුසේ මුජිකාය.

අසරණ සරණ
ජනපති ධූරයේ වසර 05ක් ගත කොට, 2015 මාර්තු 01 දින ඉන් සමුගන්නා තෙක්ම ඇමරිකන් ඩොලර් 12000ක් වූ (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.9 කි) තම මාසික වැටුපෙන් 90%ක්ම හුසේ මුජිකා වැය කළේ දුප්පත් උරුගුවේ වැසියන් හට ජීවනෝපායක් සාදා දීම පිණිසය. ජනපති වූ පසුව කලාතුරකින්, රැයක් හෝ දෙකක් ඔහු ජනපති මැදුරේ ගත කළේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටට ආ අවස්ථාවකදී පමණි. ගොවිපලේ පිහිටි නිවසේ සිට ඔහු හැම දිනකදීම ජනාධිපති කාර්යාලයට පැමිණියේ 1987 නිශ්පාදිත සිය ෆොක්ස්වැගන් ඉබ්බා මෝටර් රථය පදවාගෙනය. ඇමති හා ජනපති ධූර හිමි වුවද, තමා කවදත් දෑතේ වෙර වීරියෙන් හරිහම්බ කළ ගොවියකු වන හෙයින්, තමන්ට රථාචාරියකු අනවශ්‍ය බව ඔහු අවධාරණය කර සිටියේය. වසරක් පාසා, දේශපාලනඥයින් උරුගුවේ රජය වෙත අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු වත්කම් – බැරකම් ප්‍රකාශයේ ඔහු සටහන් කළේ තම එකම වත්කම වූ ඇමරිකන් ඩොලර් 1800ක් වටිනා සිය ෆොක්ස්වැගන් රථයයි. උරුගුවේ කඩදාසි කම්හලක සේවය කරන කම්කරුවකු වූ ජෙහාලිඞ් අකොස්ටා, 2015 ජනවාරි 15 දින, රෑ හතට පමණ තම වැඩ නිම කොට ජුවාන් ලකාස් නගරයේ පිහිටි සිය නිවස වෙත යාම සඳහා මහපාරට පැමිණියද බස් රථයක් අල්ලා ගැනීමට ඔහුට නොහැකි විය. මහමග ගමන් කරන මෝටර් රථ 25කට පමණ අත දිතු කළද ඉන් එකක්වත් ඔහු අසල නැවැත්වීමට තරම් කාරුණික නොවීය. අවසානයේ ඔහු ළඟ නතර වූයේ පැරණි මාදිලියේ ෆොක්ස්වැගන් රථයකි. රියදුරාට ස්තූති කරමින් ඊට ගොඩ වූ ජෙහාල්ඞ්, තමාව ජුවාන් ලකාස් හන්දියෙන් ඇරලවුවහොත් ඉතිරි කිලෝ මීටර් දෙක පයින් යා හැකි යැයි කී නමුත් රියදුරා ඔහුව නිවස දොරකඩටම ගෙන ගියේය. මගදිගට තම රැකියාවේ විස්තර පිළිබඳ දොඩමළු වූ ජෙහාල්ඞ් හට, රියදුරුගේ වතගොත විමසන්නට තරම් ඉස්පාසුවක් නොතිබිණි. එහෙත් සුක්කානම හසුරුවන මහතා උරුගුවේ ජනපති හුසේ මුජිකා බව ජෙහාල්ගේ ගෙදර උදවිය නොපමාව හඳුනා ගත්තේය. ඒ මොහොතේ තමා විශ්මයෙන් හා සතුටින් මුසපත් වූ බවත්, මෙවැනි නිහතමානී නායකයකු සිටින රටක පුරවැසියකු වීම ආඩම්බරයට කරුණක් බවත්, ජෙහාඞ් පසු දිනම එල් ඔබ්සවාඩෝ පුවත් පතට ප්‍රකාශයක් කරමින් අවධාරණය කර සිටියේය.

අල්පේච්ඡතාව
උරුගුවේ ජනපති ලෙස නොව, තම බිරිඳ සතු ගොවිපළේ මල් වවන ගොවියකු ලෙස තමාව හඳුන්වනවාට හුසේ මුජිකා කවදත් කැමති විය. ආණ්ඩුව ඔහුගේ ආරක්ෂාවට භට පිරිස් හා පරිවාර වාහන සැපයීම පිණිස මහත් වෑයමක් දැරුවද, අන්ත දුගී බව දුරු කොට, රට දියුණු කළ තමාව පොදු ජනතාව විසින් සුරකිණු ඇතැයි කියමින් මුජිකා ඒවා ප්‍රතික්ෂේප කළේය. පැරණි ඉබ්බා කාරෙකේ තනිවම හෝ සිය බිරිඳ සමඟ නිදහසේ ගමන් බිමන් ගිය මේ උදාර මිනිසාට උරුගුවේ වැසියන් පමණක් නොව මුළු ලෝකයම ආදරය කළේය. ඔහු මෙන්ම නිරහංකාර කාන්තාවක් වූ ඔහුගේ බිරිඳ, ලුසියා ටොපොලැන්ස්කි 2017 සැප්තැම්බර් 13 දින උරුගුවේ උප ජනාධිපතිනිය ලෙස තේරී පත් විය. උරුගුවේ උප නායිකාව ලෙස වත්මනෙහි ඇය ඉහළ තනතුරක් දැරුවද අදත් ලුසියා සිය සැමියා සමඟ ඔවුන්ගේ මල් ගොවිපලෙහි කරට කර වැඩ කරයි.

පුටුවක් සඳහා රුපියල් ලක්ෂ හයහාමාරක්, ප්‍රධාන දොරට රුපියල් ලක්ෂ අසූ තුනක් වැය කිරීමට සැරසෙන පළාත් සභා මන්ත්‍රිවරු සිටින ශ්‍රී ලංකාව ලෝකයට ණය වී ඇති ප්‍රමාණය, සිය දළ දේශීය නිපැයුමේ ප්‍රතිශතයක් ලෙස 81%කි. ශ්‍රේෂ්ඨ නයිජීරියානු ලේඛක චිනුවා අචිබිගේ කියමනක් මෙහි උපුටා දැක්වීම වටී.

“ස්වාභාවික සම්පත් කොතෙක් තිබුණද රටක් ඉබේම පෙරට නොයයි. එය සංවර්ධනය වන්නේ රටේ පුරවැසියන් හට පුද්ගලිකව ආදර්ශයක් දෙන ප්‍රඥාවන්ත, අල්පේච්ඡ හා දූරදර්ශී නායකයන් අතිනි.”