සෙනෙහසේ අයිතිය

සරත් සඳගෝමි

බයිබලයෙ ලෙවිටිකස්හි Leviticus 20:13 පිරිමියෙක් ගැහැනියක් සමග කරන දේ පිරමියකු සමඟ කළොත් ඔහු මරණයට පත් කළ යුතු බව කියනවා. එතනම කන්‍යාභාවය බිඳගත් මනාලිය වගේම අනාචාරයේ යෙදෙන බිරිය මරා දැමිය යුතු බවත් කියනවා. මේ දෙක අද පල්ලිය පිළිගන්නේ නෑ. පළමු එකත් එහෙම වේගෙන එනවා.

ඒ බයිබලය එදා අසල්වැසියාට ප්‍රේම කරන්න කියන කොට අද අති උත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සකල මානව වර්ගයාටම ප්‍රේම කරන්න කියන නිසා වෙන්න පුළුවන්.
ආගමික සදාචාරය, ඒ හා බැඳුණ නීති, සිරිත විරිත කාලය දේශය අවශ්‍යතාව අනුව වෙනස් වෙනවා. අපි කලක් දේපළ වලට අයියා මලෝ ගහ මරාගන්න එක වලක්වන්න එක ගෙයි කෑවා. ඒක හරිම සුන්දර බන්ධනයක්. ගැහැනියකගේ ආදරය සාමයෙන් බෙදා ගන්නා අයට බෙදා ගන්න බැරි දෙයක් ලොවේ නෑ. මේ විදිහටම ගෝත්‍රික යුද ගැටුම් නිසා පිරිමින් හිඟ වුණ කතරේ වැන්දඹුවන් අනාථ දරුවන් රැකීිමේ අරමුණෙන් පිරිමින්ට බහු භාර්යා සේවනයට ඉඩ දුන්නා. මහමත් තුමා විවාහ වුණෙත් වැන්දඹුවක් එක්කයි.
අපට මේ බයිබලයේ එන ඉපැරණි සදාචාරය බලෙන් පැටෙව්වේ සුද්දොයි.

උන් පැනවූ දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යමකු පුරුෂයෙක් ස්ත්‍රියක් වගේම සත්වයෙක් එක්ක ස්වභාව ධර්මයට පටහැනි විදිහට සංසර්ගයේ යෙදුනොත් ඒක වසර දහයක් දක්වා සිර දඬුවම් පැනවිය හැකි වරදක් කළා.

සුද්දම පනවපු ඉන්දීය දණ්ඩ නීිති සංග්‍රහයේ 377 වගන්තියත් ඒ දේම කළා. මේ දෙකම හොඳ වෙලාවට ස්වභාව ධර්මයට පටහැනි සංසර්ගය කුමක්ද කියා නිශ්චිතව කියන්නෙ නෑ. අපට එහෙම කරපු සුද්දො අද මේ හැම දේම වැරදි ලෙස ගන්නෙ ඒවා අනෙකාගෙ කැමැත්ත නැතිව, නැත්තං කැමැත්තක් දෙන්න බැරි ළාබාලයන්, උන්මත්තකයන් නැත්තං සතුන් එක්ක කළොත් විතරයි.

අපේ දණ්ඩ නීිති සංග්‍රහයේ 365. අ. වගන්තිය අනුව පුරුෂයකු තව පුරුෂයකු සමග ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ තදබල අශෝභන ක්‍රියාවක යෙදුනොත් වසර දෙකක සිර දඬුවම් නියම කරනවා. ගැහැනුන් අතර එවන් ක්‍රියා තහනම් නොකළ සුද්දෝ මේ වගන්තිය ඉන්දිය දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කළේ නෑ. ඒ ඉන්දියානුවෝ ප්‍රසිද්ධියේ මහපාරේ පවා මළපහ කළ නිසා වෙන්න පුළුවන්.

නීතියට තියා දෙවියන්ටවත් පාර්ශ්වයන් කැමැත්තෙන් රහසේ කරන කිසි ක්‍රියාවක් වළකන්න බෑ. ඉතිං එළිපිට තහනම් වුණ ක්‍රියා රහසේ ජාමේට සිදු වෙනවා. නීතියට කාගෙවත් නිදන කාමර වලට එබෙන්න බෑ කිව්වේ කැනඩාවේ හිටපු අගමැති පියරෙ ටෘඩෝයි.

සමහර ආගම් ගිහි ලිංගික චර්යාවනුත් පාලනය කරනවා. පල්ලිය වගේම බමුණෝ උපතට විපතට විවාහයට දෙවියන් ඈඳනවා. පල්ලි වගේම අපේ පන්සලත් ගැහැනු පිරිමි පූජකයන්ට බඹසර රකින්න නියම කරනවා. එලෙසින් සම ලිංගිකයෝ ඒක තැන කොටු වුණහම ඒ අය සම ලිංගික සෙනෙහස වෙත ඇදෙනවා. මේ ඔස්සේ වුණ ලිංගික අපචාර වලට පල්ලිය නම් ප්‍රසිද්ධියේ සමාව ගන්නවා.

සෙනෙහස ආදරය රාගය කියන්නේ වර්ගයාගේ පැවැත්ම සඳහා අපේ ජාන සැකැස්ම මගින් ඇති කරන ජෛව රසායන ආවේගයන්. මේකට හෝමෝන වගේම සංකීර්ණ නියුරෝන ස්නායු රටා සම්බන්ධ වෙනවා. සමහරුන්ගේ ජාන සැකැස්ම ඒ අයව තම ප්‍රති ලිංගිකයන්ට ඇලුම් කරවනවා. ඒකම තවත් අයව සමාන ලිංගිකයන්ට ඇලුම් කරවනවා. සමහර අය මේ දෙකටම කැමතියි. විද්‍යාවට අනුව මේක සත්ව ස්වභාවයයි. ආගමට අනුව මේකට දේව කැමැත්ත, කරුමය කියනවා. ඒත් මේක කිසි ලෙසකින්වත් ශාරීරික හෝ මානසික ව්‍යාධියක් නොවන බව අද විද්‍යාව කියනවා. එ නිසා එදා වගේ මේවට බලෙන් බෙහෙත් දෙන්නෙ නෑ.

මනුසතා අන් සතුන්ගෙන් වෙනස් වෙන්නේ හැම දේම නිර්මාණශිලීව කරන නිසයි. කෑම, ඇඳුම වගේම කාමයත් කලාවක් වුණේ ඒ නිසයි. නැත්තං අර තරං සුන්දර වාත්ස්‍යායනගේ කාම සූත්තරේ ලියවේවිය. අද මිනිස්සු විවිධ විදිහට කාමුක තෘප්තිය ලබනවා. ඒක ප්‍රති ලිංගිකව වගේම සම ලිංගිකව ලබනවා. සමහරු තමන්ගේ ලිංග අනන්‍යතාව පවා වෙනස් කරගෙන නවමු ලිංගික අත්දැකීම් ලබනවා. දෙවියෝ වගේම ස්වභාවධර්මයා මේවට ඉඩ දෙනවානං ඒවායින් කිසිවකුට දුකක් නොවී සැපක් සතුටක්ම වෙනවානං ඒවට බාධා පැමිණවීම නීතිය සදාචාරයට කෙසේ වෙතත් දේව කැමැත්තට පටහැනියි. ඒවට දඬුවම් දීලා හිංසා අපහාස කරනවනං ඒක මහ පොළොව නුහුලන අපරාධයක්. එලෙස අසාධාරණට ලක් වුණ අය බොහොමයි.

මිත්‍ර හමුදා වලට නාසි හමුදා පරදවන්න උන්ගේ බුද්ධිමය සූත්තරයක් (Nazi Enigma Code)තම නුවණින් හෙළි කර දුන් ඇලන් ටියුරින් නම් මහා විද්වතා එහෙම කෙනෙක්. යුද්ධයට පසු එංගලන්ත උසාවියක් එතුමා සම ලිංගික වරදකට හිරේ දැම්මා. ඒ අවමානය දුක ඉවසගන්න බැරිව ඔහු 1954 දී දිවි නහා ගත්තා. මිනිස් වර්ගයාට මහා මෙහෙයක් කළ හැකි උතුම් මිනිසෙක් ලොවට නැති වුණා. ඔහුට කළ අන්ත අසාධාරණය ගැන 2013 දි මහ රැජිනිය රට වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තා. එහෙව් එකේ අපි මොටෝරියක් තුළ කැමැත්තෙන් සමලිංගික ක්‍රියාවක යෙදුණ අයට ලිහිල් ලෙස දඬුවම් දුන්නා. ඒ විමලසිරි එ. රජය (S C Appeal : 32 /11) නඩුවෙදියි. අනේ ඉඩි අමින් හිටි උගන්ඩාව 2014 දි සමලිංගික ක්‍රියා තහනම් කරන දැඩි නව නීති ගෙනාවා.

ඒත් අද ලෝකයේ හුඟක් රටවල් සම ලිංගික සේවනය පිළිගන්නවා. ඒ අය දිහා වපර ඇහෙන් බලන්නෙ නෑ. ඩයනා කුමරිය මළ දා පල්ලියේ දුක් ගීය ගයා ලොවම හැඬවූ අසහාය ගායක එල්ටන් ජෝන්ස් සමලිංගික විවාහයක් කරන් දරුවොත් හදන කෙනෙක්. අයර්ලන්තේ අගමැතිත් එහෙමයි. අපේ රටෙත් සමලිංගික මැති ඇමතිලා අගමැතිලා ඉන්න බව කියනවා. ඒත් ඒ අය අපට බයේ ඒක පිළිගන්නේ නෑ. හැබැයි හැමෝම දන්නවා.

හොඳ වෙලාවට අපේ බුදු හාමුදුරුවෝ අපට කාමය වරදවා හැසිරෙන්න එපා කිව්වට ඒ වැරදි මොනවද කියන්නේ නෑ. උන්වහන්සේ අපට එතනදිත් මහා නිදහසක් දීලා. බුදුන්ගේ දහමට අනුවනම් කාටවත් හිංසාවක් අයහපතක් නොවී සතුටක් යහපතක්ම වන ක්‍රියාවක් වරදක් පවක් වෙන්න බෑ.

අද බොහෝ අය සෙනෙහසෙන් බැඳෙන්නේ දරුවෝ හදා දේපළ උරුම කරන්න, ගෝත්තරය වර්ගය බලවත් කරන්න නොවෙයි. මේ ජනගහනය වැඩි වෙන විදිහට හැමෝම අර කව්ද වගේ තරඟෙට දරුවෝ හැදුවොත් උනුයි අපියි සේරම වැනසෙනවා. අද දරුවන් නැති අයත් සෙනෙහසින් පවුල් කනවා. සමහරු පවුල් නොකාම දරුවන් හදනවා. තනි මව පියා ඉන්න දරු පවුල් අද එමටයි. අද සෙනෙහසින් ශුක්‍රානු ඩිම්බ දන් දෙන ඒවා, දස මස ගැබ් දරා අන් අයට වැදූ දරුවන් පුදන මහා කාරුණිකයෝ ඉන්නවා. මෙලෙස දිව්‍ය, කර්ම නෛතික බන්ධන වලින් මිදුන සෙනෙහස අද නෙක ලෙසින් විකසිත වෙලා හැමට සතුට සමගිය සෞභාග්‍යය මවා දෙනවා.

අද වෙන කොට සමහර රටවල සෙනහසේ සේවාවන් ඇති වෙලා. පිරිමි ගැහැනු වගේම රොබෝලත් නිදහසේ ඒ සේවා සපයනවා. මේ නිදහස නැති තැන මේකම කුරිරු වහල් මෙහෙයක් ලෙස වෙනවා. නගර සෝබනියනට නිගරු නොකළ බුදුන් අදහන අපි වෙසඟනට එළි පිට ගල් ගහනවා.
හැබැයි රහසින් සිප වැලඳ ගන්නවා.

සම ලිංගිකයන්ගේ අයිතින් පිළිබඳ සටන ඇරඹුනේ 1960 දි ඇමරිකාවේ නිව්යෝක් නුවර ස්ටෝන්වෝල් අවන්හලේ ඇති වුණ අපූරු ආදර කැරැල්ලකින්. එතනට රැස් වෙන සම ලිංගිකයන් වටලන්න ආපු පොලිස් නිලධාරින්ට සම ලිංගිකයෝ බලෙන් ආදරේ පාන්න පටන් ගත්තා. උන් ආදර බස් දොඩමින් ඉඟි බිඟි පාමින් සිප වැලඳ ගනිමින් පොලිසිය වැලකුවා. මේ ආදර ප්‍රහාරය ඉදිරියේ පොලිසිය පරාජිතව පලා ගියා.

මෙලෙස ඇරඹුන සමකාමි ආදර සටන් නිසා අද ( L G B T) Lesabian, Gay, Bisexual, Transgender) ලෙස හඳුන්වන සම ලිංගික, ද්වී ලිංගික වගේම ලිංග විපර්යාස කරගත් අයට ඒ සඳහා නිදහස ලැබිලා. අනුවන අන්ධ සදාචාර වතක බැඳුණු අප වන් සමාජ වල මෙවන් වෙනස් කම් රටේ බහුතර කැමැත්තෙන් කරගන්න අමාරුයි. මෙහෙ එවන් නිදහසක් දෙන්න කිව්වොත් මුලින්ම ඒකට එරෙහිව සටනට එන්නේ අර සම ලිංගික මැති ඇමතිලයි. ඒ පාර ඒවාට චෝදනා නැගෙන පන්සල පල්ලියත් වඩිනවා. ඒ ඉතිං අපෙන් මනාප පිරිකර පුද පඬුරු නොලැබේය කියන බයට වෙන්න පුළුවන්. ඒ නිසා අප වන් රටවල මේ කව්රුත් මේ සාපයෙන් මුදාගන්න වෙලා තියෙන්නේ උතුම් අධිකරණයටයි.

ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය 2018 සැප්තැම්බර් 6 වනදා නවටජ් සිං ජොහාර නඩුවේ දුන් තීන්දුවෙන් ඒ දේ නියමෙට කළා. නිර්භයව හැමට සත්‍යය යුක්තිය පහදා දීම තුළින් අසත්‍යය අයුක්තිය මිථ්‍යාව බිඳ දැම්මා. ඒක කරන්න නීතියට වඩා විද්‍යාව, දර්ශනය, ආගම, සාහිත්‍යය, කලාව වන් දේ නිර්මාණශීලිව යොදාගත්තා. පටු වාසි තකා සත්‍යයට එරෙහි වන සියලු නිවටයන් කුහකයන් නිහඬ කළ අධිකරණය සුද්දා 1860 දී පනවපු 377 වගන්තියේ එන සමලිංගික තහනම බල රහිත කළා. මේක වැඩිහිටියන් අතර කැමැත්තෙන් සිදුවන සංවර සෙනෙහසට ඉඩ දීමක් මිස රාගික අරාජිකත්වයකට ඉඩ දීමක් නොවෙයි.

මිනිස් ජිවිතය අරුත්බර සුන්දර දෙයක් වන්නේ භෞතික සැප සම්පත් නිසා නොව ආදර සෙනෙහස නිසා බව ඒ තීන්දුවෙන් කියවුණා. එලෙස ජිවිතයට අරුත් දී එයට පණ දෙන දෙයක් යම් අයකුට අහිමි කිරීම ඒ අයගේ ජීවත් වීමේ අයිතිය අහිමි කරීමක් බව කිව්වා. එක පිරිසකට ඒකට ඉඩදෙන ගමන් තව පිරිසකට එය අහිමි කිරීම අසමානව සැළකීමක් බවත් කිව්වා. ඒ නිසා මේ තහනම ඉන්දීය ව්‍යවස්ථාවේ 14, 15, 22 වගන්ති වලින් සුරැකෙන සමානයන් ලෙස ජීවත් විමේ පරම අයිතිය කඩ කරන බව කිව්වා. ඒ අනුව 377 තහනම ව්‍යවස්ථාවට පටහැනි බවත් කිව්වා.

මෙවන් පරමවූ අයිතීන් බහුතර බලයෙන්වත් අහිමි කළ නොහැකියි. අධිකරණය තවත් නඩුවකදී එලෙසින් ස්ත්‍රීන්ට හින්දු දේවාල වලට ඇතුල් වෙන්න තිබූ තහනම ඉවත් කළා. සිල්වත් නැණවත් අධිකරණයකට ලෝ යහපත සඳහා කළ හැකි බලපෑම අතිමහත් බව ලොවටම පෙන්නුවා. එමගින් යුක්තියේ දෙවොල අන් හැම දෙවොලකටම වඩා බලවත් කළා.