අතීසාරයට අමුඩ ගැසීමක් වැනි ආරක්ෂක වියදම්

මහින්ද හත්තක

වරක් මා කිසියම් දේශපාලකයකු කළ වැදගත් කතාවක් ගැන සඳහන් කරන විට දේශපාලනයේ නියැලෙන මගේ මිතුරෙකුගේ උපදේශය වූයේ දේශපාලකයන් කියන කතා නොව කරන වැඩ ගැන පමණක් බැලීම වඩාත් ප්‍රඥාගෝචර ය යන්නයි. කතාවෙන් පමණක් වැඩ මවන දේශපාලකයන් කොපමණ සුරංගනා කතා කීවත් ඔවුන් කරන වැඩ ඊට හාත්පසින්ම වෙනස් ය. එය දේශපාලනය නම් වූ ක්‍රීඩාවේ ලක්ෂණයකි. අනෙක් අතට කියන දේ කිරීමට හැකියාවක් හෝ ඕනෑ කමක් නොමැති වන්නට ද පුළුවන.

මෙම කියමන ශ්‍රී ලංකාවට ශාපයක් වූ තිස් අවුරුදු වාර්ගික යුද්ධය සම්බන්ධයෙන් ද සාධාරණයැයි සිතේ. 2009 මැයි මාසයේ දි එල්ටිටීඊ නායක ප්‍රභාකරන් ඇතුළු පිරිස මරා දැමීමෙන් හා උතුරු නැගෙනහිර පළාත් දෙකේම මධ්‍යම ආණ්ඩුවේ බලය තහවුරු කිරීමෙන් පසුව යුද්ධය අවසන් කළායැයි කීම ද දේශපාලකයන්ගේ තවත් පුරසාරමක් ද යන්න මතුවන සැකයකි. 2009 මැයි මාසයෙන් පසුව අවි ගැටුම් දිවයිනේ කිසිම ප්‍රදේශයකින් වාර්තා වන්නේ නැත. බිම් බෝම්බවලින් හමුදා භටයන් හෝ සාමාන්‍ය ජනතාව මිය යන්නේ නැත. යුද ගැටුම් නිසා අවතැන් වන ජනතාව ගැන කියවෙන්නේ නැත. යාපනයට හෝ උතුරේ ඕනෑම ප්‍රදේශයකට ඕනෑම පුද්ගලයකුට යෑමට බාධාවක් නැත. ඒ අනුව යුද්ධය අවසන් වූ බව කල්පනා මාත්‍රයක් නොවේ. දේශපාලකයන් යුද්ධය අවසන් කිරීම හා ජාතිය මුදා ගැනිම ගැන කරන කතා බොරුවක් නොවේ.

එහෙත් අපට තේරුම් ගැනීමට නොහැකි කාරණය වන්නේ යුද්ධය අවසන් වුවත් ආරක්ෂාව සඳහා කරන වියදම්වල අඩුවක් නොවීමයි. ඇත්තෙන්ම සිදුව ඇත්තේ ආරක්ෂක වියදම් යුද්ධය පැවති කාලයටත් වඩා ඉහළ යෑමකි. 2009 තරම් ඈත කාලයකට නොගියත් 2015 හා 2018 සසඳන විට උතුරේ හා නැගෙනහිර නොවුවත් කොතැනක හෝ යුද්ධයක් සිදු වන බව සිතිය හැකිය. 2015 දී ආරක්ෂක වියදම් රුපියල් බිලියන 225ක් වූ අතර 2018 දී එය රුපියල් බිලියන 290 දක්වා සියයට 29කින් වැඩි වී ඇත. යුද්ධයක් පවතින බව පෙනී යන්නේ මෙවැනි සාධකවලිනි.

යුද්ධය අවසන් වූයේ නම් ගැටුම් පැවති කාලයේ මට්ටමට ආරක්ෂක හමුදා භටයන් පවත්වා ගත යුතු නැත. යුද්ධය උත්සන්නවීමත් සමග හමුදාවලට විශාල වශයෙන් පිරිස් බඳවා ගැනීමට සිදු වූයේ සටන් ශක්තිය පවත්වා ගැනීමට හා යුද්ධයෙන් භට පිරිස් මිය ගිය විට හෝ තුවාල ලබා සටන් බිමෙන් ඉවත් වන විට පිරිස් බලය පවත්වා ගැනීමට ය. ඒ දිනවල රජයේ අනෙක් වියදම්වලට වඩා ප්‍රමුඛ වූයේ යුද්ධය සඳහා අවශ්‍ය සියලු දේ කඩිනමින් සම්පාදනය කිරීම ය. මෙම අවශ්‍යතාව නිසා මිලදී ගැනීම්වලදී සිදුවන අනුමත කාර්ය පටිපාටිය නොසලකා මිලදී ගැනීම් සිදු විය. ඒ නිසා රජයේ අනෙක් වියදම්වලට වඩා ආරක්ෂක වියදම් වැඩි විය. යුද්ධයේ වියදම් පියවා ගැනීම සඳහා ආරක්ෂක බද්දක් ද පැනවිණ.

යුද්ධය අවසන් වූවායැයි කීමෙන් පසුවත් ආරක්ෂක වියදම් ඉහළ යන්නේ කෙසේද? ආරක්ෂක තත්ත්වය හොඳනම් විශාල හමුදාවක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් නැත. නැවතත් ත්‍රස්තවාදී යුද්ධයක් ඇතිවීමේ අනතුරක් පවතින්නේ නම් ඊට විසඳුම් සෙවිය යුත්තේ අවි ආයුධ වලින් නොව දේශපාලනයෙනි. එල්ටිටීඊ ත්‍රස්තවාදයට මෙන්ම දකුණේ පැවති ත්‍රස්තවාදයට හිස එසවීමට හැකි වූයේ දේශපාලන සහ සමාජ සාධාරණය සඳහා වූ ජනතා ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට අපේ දේශපාලකයන්ට නොහැකි වූ නිසාය. කෙසේ වුවත් ඒ ගැන කතා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. අපට තේරුම් ගත නොහැකි වන්නේ යුද්ධය උත්සන්නව පැවති කාලයටත් වඩා ආරක්ෂක වියදම් ඉහළ ගොස් ඇත්තේ කෙසේද යන්නයි.

ආරක්ෂක වියදම් අඩු කිරීම හා හමුදාවේ පිරිස් බලය විශාල වශයෙන් අඩු කිරීම විවිධ කොටස්වලින් මතු වූ විරෝධය නිසා නොහැකි වන්නට ඇත. යුද්ධය පැවති සමයේ උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධයේ අවශ්‍යතාව සඳහාම පිහිටුවන ලද හමුදා කඳවුරු එකක් හෝ අඩු කිරීම ආරක්ෂාවට ඇති තර්ජනයක් සේ සලකන දේශපාලකයන් සිටින බව ද පැහැදිලිය. එමනිසා හමුදාවේ භට පිරිස් සහ කඳවුරු ඒ මට්ටමෙන්ම පවත්වා ගැනීමේ දේශපාලන අවශ්‍යතාවක් තිබිය හැකිය. එහෙත් දැන් අඩුම වශයෙන් තුවක්කු සහ පතොරොම්වලට කරන වියදම හෝ අඩු විය යුතුය. එල්ටීටීඊයට බලවත් තර්ජනයක් වූ මල්ටි බැරල් තුවක්කු පාවිච්චි කිරීමේ අවශ්‍යතාවක් නැත. දැන් සටනේ දී හමුදා උපකරණ විනාශ වන්නේ නැත. සමහරවිට හමුදා අභ්‍යාසයකදී අවි ආයුධ යොදා ගන්නා නමුත් එය මහා පරිමාණ යුද්ධයකදී මෙන් නොවේ. හමුදා මෙහෙයුම් සඳහා දැන් වැය කිරීමක් සිදු නොවේ. ඒ සියලු තත්ත්වයන් යටතේ ආරක්ෂක වියදම්වල පහත වැටීමක් විය යුතු වුවද සිදු වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

ආරක්ෂක වියදම් පහත නොවැටීමට සමහර හේතු අපට සිතා ගත හැකිය. ඒ ආරක්ෂාව පිළිබඳව සමහර ප්‍රභූවරුන්ට ඇති තර්ජන යුද්ධය පැවති සමයේ මට්ටමේ හෝ ඊටත් වඩා ඉහළ මට්ටමක තවමත් පවතින්නේයැයි ඔවුන්ට කිව හැකිය. පසුගියදා ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරයකු පැවසූ ආකාරයට හිටපු ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂාව සැපයීම සඳහා හමුදාවේ සහ පොලීසියේ විශේෂ කොමාන්ඩෝ පුහුණුව ලැබූ 70ක පිරිසක් යොදවා ඇත. ඔවුන් සඳහා දිනකට වැය කරන මුදල රුපියල් ලක්ෂ 35කි. ඒ අනුව මසකට හෝ වසරකට වැය වන මුදල අප ගණන් බලා ගත හැකිය. හිටපු ජනාධිපතිවරයාට අවම වශයෙන් මේ සමාන හෝ ඊටත් වැඩි ආරක්ෂාවක් සලසා ඇතැයි සිතිය හැකිය. ඊට අමතරව දැනට සිටින ජනාධිපති සහ අගමැතිට ලබා දෙන ආරක්ෂාව ද මෙම වියදම්වලට එකතු වනු ඇත. එමනිසා යුද්ධය අවසන් වුවත් ආරක්ෂක වියදම් අඩු කළ නොහැකියැයි කෙනෙකුට තර්ක කළ හැකිය.

එහෙත් ප්‍රභූන්ට ආරක්ෂාවක් නැතිනම් රටේ ආරක්ෂාවක් තිබිය නොහැකිය. රටේ ආරක්ෂාව පැවති සමයේ ප්‍රභූන්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වූයේ නැත. මැති ඇමතිවරුන් ගමන් බිමන් ගියේ සාමාන්‍ය මිනිසුන් මෙනි. ගාල්ලේ දහනායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ කෝච්චියෙනි. උතුරු නැගෙනහිර පාර්ලිමේන්තු මංත්‍රීවරුන් ද පාර්ලිමේන්තුවට පැමිණියේ කෝච්චියෙනි. ඒ රටේ ආරක්ෂාව පැවති නිසා සහ මහජන මුදල් අනවශ්‍ය ආකාරයට නාස්ති කිරීමේ සම්ප්‍රදායක් නොතිබු නිසාය.

එක යුගයක තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතු යුතුයැයි එවකට සිටි රාජ්‍ය නායකයා වූ ජේ ආර් ජයවර්ධන මහතා ප්‍රසිද්ධ රැස්වීමක දී ප්‍රකාශ කෙළේය. එවැනි ප්‍රකාශයක් සැම විටම වලංගු නොවන නමුත් ආරක්ෂාව සඳහා ඉහළ මිලක් දැරීමට සිදුවීමෙන් පෙනී යන්නේ එක අතකින් රටේ සැබැවින්ම ආරක්ෂාවක් නැති තත්ත්වයක් පැවතීම ය. නොඑසේනම් ආරක්ෂක වියදම් ඉහළ මට්ටමක පවත්වා ගැනීම පවතින දේශපාලනයේ අවශ්‍යතාවක් බවට ඇති පිළිගැනීමයි.

ආරක්ෂක වියදම් නොකඩවාම ඉහළ යන අනුපාතයක පවත්වා ගැනීම සමහර දේශපාලකයන් සාධාරණ කිරීමට උත්සාහ ගන්නේ ආරක්ෂක හමුදා රටේ සංවර්ධන කටයුතුවලට සහභාගි කර ගැනීමේ අවශ්‍යතාවයයි. ඇත්තෙන්ම ඊට හොඳම පිළිතුර හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා, මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ලබා දී තිබුණි. ඔහු නිවැරදිව සඳහන් කළ ආකාරයට ආරක්ෂක හමුදාවල කාර්ය වන්නේ කාණු කැපීම හෝ පාරවල් තැනීම නොවේ. එම කාර්යන් ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ඉටු කළ කළ යුතු රාජ්‍ය පරිපාලනයේම සාමාන්‍ය කටයුතුය. එම කටයුතු සඳහා ආරක්ෂක හමුදාව යොදා ගන්නේ නම් ඉන් පැහැදිලි වන්නේ රටේ පරිපාලනය බිඳ වැටී ඇති බවය.

රටේ පරිපාලනය බිඳ වැටීමට හේතු වූ කරුණු රාශියකි. එය ඉහළම මට්ටමෙන් සිදුව ඇති බවට නිදසුන් වන්නේ රාජ්‍ය පරිපාලනය මෙහෙයවන කේන්ද්‍රය වන අමාත්‍යාංශ වෙන් කිරීමේ දී ආණ්ඩුව දක්වා ඇති කිසිසේත් තර්කානුකූල නොවන ප්‍රතිපත්තියයි. කැබිනට් ඇමති තනතුරු සහ රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමේ දී දක්වා ඇති අමනෝඥ ප්‍රතිපත්තියට අමතරව පළාත් සභා නොසලකා එම බල ප්‍රදේශ ආවරණය වන ආකාරයට ද “සංවර්ධන කාර්යන්” සඳහා ඇමතිවරුන් පත් කර ඇත. ඒ තුළින් සිදුව ඇත්තේ ආණ්ඩුව නඩත්තු කිරීමේ වියදම් අසීමිතව ඉහළ යෑම සහ අත්‍යවශ්‍ය කාර්යන් සඳහා වෙන් කරන ප්‍රතිපාදන පහත වැටීමකි. වඩාත්ම ඛේදනීය වන්නේ විවිධ අමාත්‍යාංශ සහ පළාත් සභා සහ වෙනත් ආයතන අතර බලතල සහ කාර්යන් පැහැදිලි වෙන් කිරීමක් නොමැතිවීමෙන් හටගෙන ඇති වියවුල යි.

නිදසුනක් වශයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි මූලික අවශ්‍යතාවන් සංවර්ධනය වන රටක ප්‍රමුඛතාවයි. පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් ඇතුළු සියලු මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ජුවාන් පැබ්ලෝ බොහොස්ලාව්ස්කි සිය වාර්තාවෙන් පෙන්වා දී ඇති ආකාරයට එම අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම අන්තර්ජාතික සන්ධානය අපරානුමත කර ඇති ශ්‍රී ලංකා ආණ්ඩුවේ වගකීමකි.

ජනතාවගේ සුභ සිද්ධිය සඳහා වූ අනෙක් වියදම් පසෙක ලා රාජ්‍ය නායකයන් ම ප්‍රසිද්ධියේ දේශනා කරන ආකාරයට අනාගත පරපුර සඳහා කරන ආයෝජනයක් වූ අධ්‍යාපනය සඳහා අයවැයෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සැලකිල්ලට ගැනීමේ දී අපගේ පාලකයන්ගේ ප්‍රමුඛතාව ජනතා සුභ සිද්ධිය නොවන බව පැහැදිලිය. නිදසුනක් වශයෙන් යුද්ධය උත්සන්නව පැවති 2009 වසරේ දී අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.05ක් වෙන් කළ ද 2010 දී එය සියයට 1.72ක් දක්වා පහත වැටී 2014 දක්වාම එම ප්‍රවනතාව දිගටම පැවතිණ. 2015 දී එම ප්‍රතිශතය සියයට 2.18 දක්වා ඉහළ ගිය ද පසුගිය වසරවල නැවත වරක් පහත වැටෙමින් පවතී. වඩාත් වැදගත් වන්නේ ඉහත සඳහන් කළ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු පෙන්වා දී ඇති ආකාරයට අයවැයෙන් වෙන් කරන මුදල් එම අනුපාතයෙන්ම වැය නොකිරීමේ තත්ත්වයක් පවතින නිසා අයවැයෙන් මුදල් වෙන් කිරීම පමණක් දර්ශකයක් ලෙස ගත නොහැකි තත්ත්වයක් තුළය. අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන් කළ යුතුය යන ඉල්ලීම දැන් අමතකව ගොසිනි.

රටක ආරක්ෂාව වැදගත් නමුත් ආරක්ෂාව යනුවෙන් අදහස් වන්නේ සන්නද්ධ බලය තර කිරීම නොවන බව පාලකයන් තේරුම් ගත යුතුය. සන්නද්ධ බලය වැඩි කිරීමෙන් පමණක් රටක ආරක්ෂාව තහවුරු නොවන බවට අපමණ නිදසුන් ගෙන හැර දැක්විය හැකිය. ඊට හොඳම නිදසුන වන්නේ සෝවියට් සංගමයට අත් වූ ඉරණමයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ආරක්ෂාව ප්‍රමුඛතාව කර ගත් සෝවියට් නායකයෝ අවි ආයුධ නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කළහ. එම බලය එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ලෝකයට සැබැවින්ම අභියෝගයක් විය. අභ්‍යාශවකාශය තරණය කිරීම වැනි සමහර අංශවලින් එක්සත් ජනපදය අභිබවා ඉදිරියට ගියේය. එහෙත් 1980 අග භාගයේ දී සෝවියට් සංගමය සහ සමාජවාදී රටවල් ආර්ථික පීඩනයෙන් බිඳ වැටෙන විට එය වැළැක්වීමට මෙම අවි බලයට හැකියාවක් ලැබුණේ නැත. සෝවියට් සංගමයේත් අනෙකුත් නැගෙනහිර යුරෝපිය රටවලත් කොමියුනිස්ට් පක්ෂවල පාලනය බිඳ දමා නැවතත් ධනවාදය ස්ථාපිත කිරීමට එක්සත් ජනපදයට සහ නේටෝ යුද සංවිධානයට එකම න්‍යෂ්ටික බෝම්බයක් හෝ හමුදා භටයකු යෙදවීමට අවශ්‍ය වූයේ නැත. සෝවියට් බලය විනාශ කිරීමේ බලවේග එම රට තුළම නිර්මාණය වී තිබිණ. ඊට පදනම වූයේ ජනතා සුබ සිද්ධිය අමතක කර දමා ආරක්ෂක අංශවලත් රාජ්‍ය සෙසු අංශවලත් මර්දන බලය තර කර තිබිමය.

එවැනි පසුබිමක් යටතේ අපේ රට මුහුණ දී ඇති ආර්ථික සහ සමාජයීය ගැටලුවලට විසඳුම් සෙවීමට ආරක්ෂාව තර කිරීම අතීසාරයට අමුඩ ගැසීමක් බව පාලකයෝ තේරුම් ගත යුතුය. ආර්ථික සංවර්ධනයට සහ සමාජ සංහිඳියාවට අවශ්‍ය පසුබිම සැකසිය යුත්තේ ජනතාවගේ අභිලාෂයන් තේරුම් ගත් ජනතාවාදී දේශපාලනයක් තුළින් පමණි. එසේ නොමැතිව විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය වන්නේ හෝ රටේ සාමය තහවුරු වන්නේ නැත. ආරක්ෂාව මුල්කර ගත් වැඩ පිළිවෙළ අවසානයේ දී ලෝක බලවතුන්ගේ අවශ්‍යතාව ඉටු කරන ජනතාව මර්දනය කරන බළල් අතක් වනු ඇත.