පළමුවැනි එළිසබෙත් මානව හිමිකම් සහ ලංකාව

ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා “අපේ වැඩ අපි බලාගන්නම්” යනුවෙන් කළ ප්‍රකාශයත්, බටහිර මානව හිමිකම් සංකල්පය මෙරටට පැටවීමට අවශ්‍ය නැති බවට කාදිනල්වරයා කරන ලද ප්‍රකාශයත් යන දෙකෙහිම ඇත්තේ අසමානත්වයක් නොවේ. සැබැවින්ම මානව හිමිකම් විෂයේදී අන්තර්ජාතික වශයෙන් ලංකාව කෙරෙහි ඇස යොමු කැරෙමින් තිබෙන්නේ ජනාධිපතිවරයා කියන පරිදි අපේ වැඩ එකක්වත් අපි නොකරන තත්ත්වයක් තුළය. සංහිඳියාව යන්න හුදු වචනයක් ලෙස භාවිත කරන රාජ්‍යයක් ලෙස ලංකාව අන්තර්ජාතිකව ප්‍රකටය. අප සංහිඳියාව යන්න අර්ථවත් ක්‍රියාවලියක් බවට පත්කරගත යුතුව ඇත්තේ එබැවිනි. මානව හිමිකම් සංකල්පය බටහිරින් නොව කවර දෙසකින් ආවත් බැහැර කළ නොහැකි වැදගත් සංකල්පයක් බව කාදිනල්වරයා මෙන්ම මුළු රටම පිළිගත යුතුව තිබෙන්නකි. උන්වහන්සේ කියන පරිදි මානව හිමිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතීන් ලංකාව නොපිළිපදිනවා නම් එම සම්මුතීන් රකින ලෙස ලෝකය, ලංකාවට බල කළ යුතුය. අප ඒවා ඉටු කරනවා නම් මේ ගැන කාදිනල්වරයාට කතා කිරීමට අවශ්‍යතාවක් පැන නගින්නේද නැත. මානව හිමිකම් සාකච්ඡාව මතුවන්නේම අප වගකීම් පැහැර හරින්නට උපාය මාර්ග සොයන නිසාය.

උදාහරණයක් ලෙස 16 වන සියවසේ එංගලන්තය කතෝලික පූජකවරුන්ට එරෙහිව දරුණු මර්දනයක් ක්‍රියාත්මක කරමින් මානව හිමිකම් උල්ලංඝනය කළ යුගයක් ලෙස ඉතිහාසයට එක්ව තිබෙන බව කාදිනල්වරයාට මතක් කර දිය යුතුය. පළමුවැනි එළිසබෙත් රැජින (1533-1603) ඇගේ පියා වන 8 වන හෙන්රි රජු ඇරඹූ කතෝලික සංහාරය දෙගුණ තෙගුණ කළ නායිකාවක් වූවාය. කතෝලිකයන්ට එරෙහි සංග්‍රාමයේදී ලන්ඩනයේ ටවර් නමැති සිරගෙය කතෝලිකයන්ගෙන් පිරුණි. විශේෂයෙන්ම කතෝලික පූජකයන්ට දස වද විඳීමට සිදුවිය. ඇතැම්හු එල්ලා මරන ලදහ. එල්ලා මැරීමට නියම වූ සමහරු පණපිටින්ම තොණ්ඩුවෙන් ඉවතට ගෙන සිරුරු කෑලි කෑලිවලට කපා උණුවතුර භාජනවලට දැමිණි. ලන්ඩන් නුවර වීදි දෙපස රිටිවල ගැසූ කතෝලික ආගමිකයන්ගේ ලේ වැකුණු හිස් දක්නට ලැබිණි. මේ දිගුකාලීන හා සැලසුම්සහගත සංහාරයට කාරණාව කුමක්ද?

එළිසබෙත් රැජිනගේ පියා වන 8 වන හෙන්රි සිය නීත්‍යනුකූල බිසව වූ කැත්රින් මගහැර ඈන් බොලයින් නම් කාන්තාවක් ඇසුරු කළේය. ඊට කතෝලික සභාව විරුද්ධ වූ අතර කතෝලික සභාවේ නායකයා වූ පාප් වහන්සේ හෙන්රි රජු කතෝලික සභාවෙන් නෙරපා හැරීමට මෙම සිද්ධිය හේතුවක් කොට ගත්හ. පළමුවැනි එළිසබෙත් ලෙස කිරුළ හිමිකර ගත්තී හෙන්රිට දාව ඈන් බොලයින්ට උපන් දියණියය.

මේවා අද ලංකාව වැනි රටවල මානව හිමිකම් ප්‍රශ්න කරන හා නිරීක්ෂණයට ලක් කරන රටවල්වල සිදුවූ අතීත ක්‍රෑරකම්ය. ම්ලේච්ඡ ක්‍රියාවන්ය. උඹලා අතීතයේදී මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කර තිබෙන නිසා අපේ ඒවා ගැන කතා කිරීමට උඹලාට අයිතියක් නැතැයි කීමට රාජපක්ෂලාගේ කණ්ඩායම එදා මෙන්ම අදත් කටයුතු කරමින් සිටියත්, ජනපතිට හෝ ආගමික නායකයන්ට එසේ කියන්නට කිසිදු අයිතියක් නැත. අප මානව හිමිකම් සුරැකිය යුත්තේ බටහිර අතීතය මානව හිමිකම් උල්ලංඝනය කළ ඛේදනීය අතීතයකට හිමිකම් කියන නිසාමය. අපේ වැඩ අපි බලාගන්නම් යන මහින්දගේ වැකිය ජනපති මෛත්‍රී නොකිව යුතුව තිබුණි. අන්තර්ජාතිකවත් අප රටක් ලෙස ඉදිරියට ගත යුතුව තිබෙනුයේ හුදෙකලාවීම පිළිබඳ අදහස නොව සහයෝගීතාව පිළිබඳ අදහස බව ජනපති කල්පනාවට ගත යුතුව තිබුණි.

බටහිර හා යුරෝපයේ රටවල්වල ආගමික නායකයන්ට මෙන්ම ප්‍රජාවට එරෙහිව ඉහත ආකාරයේ බොහෝ ක්‍රෑරකම් සිදුව ඇති ඉතිහාසයක් තිබේ. එබැවින් එම ක්‍රෑර ක්‍රියා සිදුවූ රටවල් මානව හිමිකම් ගැන අපටත් වඩා උනන්දුවීම වැදගත් කාරණයකි. ඉන් නොනැවතී මානව හිමිකම් උල්ලංඝනය කරන රටවල්වල මානව හිමිකම් ස්ථාපිත කිරීම සඳහාද දරන වෑයම අප ප්‍රතික්ෂේප කළ යුතු නැත. ලංකාවේ සිදුවූ සියලු ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන වගකීම බටහිරින් අප මත පැටවුණත් නැතත්, ශ්‍රී ලංකාව ඒ පිළිබඳ වගකීම ඉටු කළ යුතුමය. යුද්ධයේදී සිවිල් වැසියන්ට සිදුවූ අපරාධ මෙන්ම ඉන්පසුව රට තුළ ඇතිවූ බිහිසුණු ඝාතන හා පැහැර ගැනීමේ වාතාවරණය ගැන නිසි විමර්ශනයක් කිරීමේ වගකීම කොහොමටත් අප ඉදිරියේ තිබේ. ලංකාවට එම වගකීමෙන් අත්මිදිය හැක්කේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකොට යුක්තිය ඉටුකිරීමට දායකවීමෙන් පමණි.