ලංකාව ගලවා ගැනීමේ හැකියාව තිබෙන්නේ කාටද?

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එල්ල වී තිබෙන චෝදනාව සත්‍යයක් නම්, රටේ වේගයෙන් වර්ධනයවෙමින් තිබෙන අර්බුදය තුළ ඇතිවිය හැකිව තිබෙන කුමන්ත්‍රණකාරී ප්‍රවණතා ගැන දළ අදහසක් ඇති කරගත හැකිය. ත්‍රස්තවාදී විමර්ශන අංශය භාරව සිටි මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ත්‍රස්තවාදී විමර්ශන අංශය සඳහා පොඩි අතුරු හමුදාවක් හදා ගැනීමට පොලිස්පතිවරයාගෙන් ලිඛිතව අවසර ඉල්ලා ඇති බව හා පොලිස්පතිවරයා ඊට අවසර ලබාදී ඇති බව ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබුණි. එය සත්‍යයක් නම් ලැබෙන චිත්‍රය ඊටත් වඩා භයානකය. වෙන්න යන්නේ කුමක්ද යන්න ගැන හරි වැටහීමක් රටේ නායකයන්ට නැතත්, ඉදිරි ජනාධිපතිවරණ, විසඳා ගැනීම පහසු නැති සංකීර්ණ ප්‍රහේළිකාවක් වෙමින් තිබෙන බව ඒ සියලුදෙනා කිසියම් ප්‍රමාණයකට දනිති. ඒ තත්ත්වය ඉදිරියේ ඔවුන් අසම්මත ලෙස කෙටි පාරවල් සොයන තත්ත්වයකට පත්වුවහොත් එය පුදුමයට හේතුවක් වන්නේ නැත. වර්තමාන අගවිනිසුරුවරයාගේ විශ්‍රාම යෑම අධිකරණයේ තිබෙන අර්බුදය අලුත් වටයකින් උග්‍ර කරනු ඇති අතර එය දේශපාලන තලය කෙරෙහිද බලපානු ඇත.

දේශපාලනයේ සුනාමි තත්ත්වයක්
දැන් ලංකාව තිබෙන්නේ පරිපූර්ණ අර්බුදයක මුවවිටය. මීට පෙර සුනාමි තත්ත්වයක් ඇතිවූයේ මහ මුහුදේ අභ්‍යන්තරයේ ඇතිවූ පුපුරනසුලු තත්ත්වයක් නිසාය. අනාගතයේ ඇතිවන්නට යන සුනාමිය ලංකාවේ දේශපාලන ක්‍රමයේ ඇතිවන බිඳ වැටීම ආශ්‍රයෙන් ඇතිවන සුනාමි තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. මුහුදෙන් ආ සුනාමිය ලංකාවට අසාමාන්‍ය දෙයක් ලෙස සැලකිය හැකි අතර කෙටි කාලයකට හෝ රටේ සාමාන්‍ය ගමන් මග වෙනස් කළේය. දේශපාලන ක්‍රමයෙන් හමන්නට නියමිතව තිබෙන සුනාමියද අසාමාන්‍ය දෙයක් ලෙස සැලකිය හැකි අතර එය දේශපාලනයේ සාමාන්‍ය ගමන් මග හා පිළිවෙළ අර්බුදයකට තල්ලු කිරීමට හේතුවනු ඇත. එය ජනාධිපතිවරණය කෙරෙහිද බලපානු ඇත.

මුහුදෙන් ආ සුනාමිය ඇතිවන්නට පෙර ඒ බව කල්තියා තේරුම් ගත් ව්‍යාපාරයක් ඒ ගැන මහජනයාට කල්තියා අනතුරු ඇඟවීමක් කළේ නම් මහජනයා එය විශ්වාස නොකරනු ඇත. කල්තියා කරන එවැනි අනතුරු ඇඟවීමක් පිළිගනු ඇත්තේ ඉතාමත් බුද්ධිමත් සුළු පිරිසක් පමණය. එහෙත් සුනාමි තත්ත්වයක් ඇතිවීමෙන් පසු විපතට පත්ව අන්දමන්දව සිටින ජනයා සුනාමි තත්ත්වයක් ගැන කල්තියා අනතුරු ඇඟවීම කළ ව්‍යාපාරය වටා ඒකරාශි වී අවශ්‍ය මගපෙන්වීම් ලබාගන්නා තත්ත්වයකට පත්වනු නොවැළැක්විය හැකිය.
මුහුදෙහි ඇතිවන සුනාමියක් කල්තියා ප්‍රකාශ කළ නොහැකිය. එහෙත් දේශපාලන ක්‍රමයෙන් ඇතිවන දේශපාලන සුනාමියක් කල්තියා දැකිය හැකිය. එහෙත් දේශපාලන සුනාමියක් පිළිබඳව පුනරුද ව්‍යාපාරය කරන අනතුරු ඇඟවීම්ද මහජනයා වහාම භාරගනු ඇතැයි අපි විශ්වාස කරන්නේ නැත. එම අනතුරු ඇඟවීම භාරගනු ඇත්තේ මහජනයා අතරින් බුද්ධිමත් සුළු පිරිසක් පමණය. එහෙත් දේශපාලන සුනාමිය ඇතිවූ පසු ඒ ගැන කල්තියා අනතුරු ඇඟවීමක් කළ පුනරුදය ව්‍යාපාරය වටා මහජනයා ඒකරාශි වනු ඇතැයි අපි විශ්වාස කරමු. මුහුදෙන් හමන සුනාමිය විනාශකාරී වුවත් එහි පැවැත්ම ඉතාමත් කෙටිකාලීනය. සුළි සුළඟක් මෙන් ඉක්මනින් පැමිණ ඉක්මනින් ආපසු යයි. එහෙත් දේශපාලන සුනාමියක තත්ත්වය එයට වෙනස්ය. එය එන්නේ හෙමින් හෙමින් ක්‍රමානුකූලව වේගය වැඩි කරමින්ය. එය ආපසු යන්නේද ඊට සමාන ආකාරයකටය.

අපේ අරමුණ රට අන්ත දුෂ්කර තත්ත්වයකට පත්වන තෙක් බලා සිට බලය අල්ලා ගැනීම නොවේ. සිදුවන හානිය අවම කොට රට යහපත් ගැඹුරු විපර්යාසයකට යොමු කිරීමට එය අවස්ථාවක් කරගැනීම පුනරුදයේ අභිලාෂයයි. මහජනයා ලවා කඩා බිඳ වැටුණු රාජ්‍යය වඩා යහපත් හා කාර්යක්ෂම නවීන රාජ්‍යයක් ලෙස ප්‍රතිනිර්මාණය කරවා ගැනීම හා ඒ සමග කැබලි වී තිබෙන සමාජය ඒකාග්‍ර කොට නූතන ජාතිය ගොඩනගා ගැනීම හා ඒ ක්‍රියාදාමයට මහජනයා සක්‍රිය ලෙස දායක කරගැනීම මගින් ආධ්‍යාත්මික වශයෙන් ඔවුන් තුළ පවතින රෝගී බව සුවපත් කොට සමාජයද නවීන ලෙස හිතන තමන්ට හිමි පරමාධිපත්‍යය බලය ඵලදායි ලෙස අභ්‍යාස කරන සමාජයක් බවට පත්කර ගැනීමය. එම සංකීර්ණ සමාජ දේශපාලන ක්‍රියාදාමය තුළ පරිණත නව නායකයින් පිරිසක් ගොඩනගා ගැනීමද තවත් වැදගත් අපේක්ෂාවකි.

දේශපාලකයා හා වෘත්තීයවේදියා
මනෝ විද්‍යා උපදේශක සුගත් කංකානම්ගේ රටේ කුණුවීම හා එය ජයගැනීම සඳහා තෝරා ගැනීමට තිබෙන මාර්ගය පිළිබඳව මා ලියන ලද ලිපියට පිළිතුරක් වශයෙන් ‘කුණුවීමේ වගඋත්තරකරුවෝ සහ රට ගොඩනැගීම’ යන හිසින් පිළිතුරු ලිපියක් ලියා තිබුණි. ඔහු ඒ ලිපියෙන්ද අවධාරණය කර තිබෙන්නේ රටේ ඇතිවී තිබෙන කුණුවීමට දේශපාලකයන් වගකිවයුතු බව හා ඒ තත්ත්වයෙන් රට මුදාගැනීමේ හැකියාව ඇත්තේ වෘත්තීයවේදීන්ට බවය.

ඔහු දේශපාලකයන් මත පූර්ණ වගකීම පටවා ඇත්තේ මේ ආකාරයටය.

“රට මේ සා මහත් කුණුවීමකට ඇද දැමුවෝ මේ රටේ දේශපාලනඥයෝය. දැනට බලයේ සිටින මෙන්ම මෙතෙක් බලයේ සිටිය සියලු දේශපාලනඥයන් මෙන්ම ඔවුන් නියෝජනය කළ දේශපාලන පක්ෂද ඔවුන්ට නියමින් සහ අනියමින් උපකාර කළ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පක්ෂද අඩු වැඩි වශයෙන් මීට වගකිව යුතුය.”
ඒ මහතා රටේ ගැලවීම වෘත්තීයවේදීන්ට භාර කර තිබෙන්නේ මේ ආකාරයටය.

“…….. කුණුවීම ජයගන්නට නම් අලුත් විදියකට සිතා නව ගමනක් යා යුතුය. මෙරට දේශපාලනඥයන් පිළිබඳව තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි කල නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රටේ ඉහළටම ගිය වෘත්තීයවේදීන් විසින් මෙම අභියෝගය භාරගත යුතු බව අපේ අදහසය. රට පවත්නා විපතින් එය මුදවා ගැනීම පිණිස නව තත්ත්වයක් රට තුළ ගොඩනැගිය යුතුවේ. එම තත්ත්වය ගොඩනැගීම වෘත්තීයවේදීන් විසින් භාරගත යුතු බව අපේ අදහසයි.”

රටේ ඇතිවී තිබෙන කුණුවීමට වගකිවයුත්තේ කවුරුන්ද කියන ප්‍රශ්නය පුනරුදය ව්‍යාපාරය දකින්නේ ඊට මුළුමනින්ම වෙනස් ආකාරයකටය. රටේ ඇතිවී තිබෙන කුණුවීමට රටේ සියලු දේශපාලන නායකයන් වගකිවයුතු බව අපිදු පිළිගනිමු. එහෙත් ඒ වගකීම දේශපාලකයන් මත පමණක් පැටවීමට අපි සූදානම් නැත. එම තත්ත්වයට රාජ්‍යයේ ඉහළ නිලධරතන්ත්‍රයද (ඔවුන් අයත් වන්නේද වෘත්තීයවේදීන් ගණයටය.) වෘත්තීය බුද්ධිමතුන්ද, ජනමාධ්‍යවේදීන්ද අන් සියලු දෙනාගෙන් සමන්විත සමාජයද ඊට විවිධ ප්‍රමාණයන්ට වගකිව යුතුය. රාජ්‍ය නිලධරතන්ත්‍රයේ සමහර නිලධාරීන්, දේශපාලකයන් අයථා ලෙස ධනය උපයා ගැනීමට විධි ක්‍රම කියා දුන් අය ලෙසද සැලකිය හැකිය.

මේ අය අතර නීති උල්ලංඝනයන්ට හවුල් නොවී නිහඬව සිය ගෞරවය රැක ගත් අය සේ ම නිහඬ නොවී ඒවාට එරෙහිව කතා කරන්නට ගොස් පළිගැනීමට ලක්වූ අයද සිටිති. එහෙත් ඒ අයගේ සංඛ්‍යාව ඉතා සුළු බව කිව යුතුය. නිදර්ශනයක් වශයෙන් ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේ ආදායම් බදු කොමසාරිස්වරයා ජනාධිපතිවරයා හා ඔහුගේ ආර්යාවට අයත් සමාගම් හා දේපළ සඳහා ගෙවිය යුතු හිඟ බදු පිළිබඳ විමසීමක් කළේය. එසේ කරන්නට ඔහුට කොන්ද පණ තිබුණේය. ජේ.ආර්.ට සිය වෝඞ් පෙදෙසේ නිවස හා ඉඩම තමාගේ හා තම ආර්යාවගේ මරණයෙන් පසුව ඒවාහි අයිතිය තෑගි ඔප්පුවක් මගින් ආණ්ඩුවට පවරන්නට සිදුවූයේ එම කරුණු විමසීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ සඳහා ලියන ලද තෑගි ඔප්පුවේද සඳහන් වේ. මහවැලි අමාත්‍යාංශයේ දේශපාලන බලධාරියාගේ උදහසට හේතුවී සිටි නීතිය අකුරටම ක්‍රියාත්මක කරන නිලධාරියකුගේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරියේ පෙනී සිටීම නිසා ඒ කාලයේ විගණකාධිපතිවරයාට (වීරසූරිය) තනතුර අතහැර ගෙදර යන්නට සිදුවිය. නෙවිල් සමරකෝන් අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයාට තිබූ සමීප මිත්‍රත්වය නොසලකා අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය ආරක්ෂා කරගන්නා පිළිවෙතක පිහිටා ක්‍රියාකිරීම නිසා එතුමාට ලොකු තාඩන පීඩනවලට මුහුණ දෙන්නට සිදුවිය. වෘත්තීය ගෞරවය හා අභිමානය රැකගත් වෘත්තීයවේදීන් ලෙස සැලකිය හැක්කේ එවැනි අයය.

එවැනි ගෞරවාන්විත වෘත්තීයවේදීහු හැම පාලන කාලයක් තුළම සිටියෝය. එහෙත් ඔවුන්ගේ සංඛ්‍යාව ඉතාමත් සුළුය. ඉතා වැඩි පිරිසක් ක්‍රියාත්මක කළේ වැල යන අතට මැස්ස ගසන පිළිවෙතකි. එම දීර්ඝ කාලය තුළ දක්නට තිබුණු නරකම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ උගත් වෘත්තිකයන් වැඩි පිරිසක් ආත්ම ලාභය සලකා ක්‍රියාකරන තැනකට තල්ලු වීම පමණක් නොව, රටේ සිදුවන බරපතළ වැරදි ඉදිරියේ කිසිවක් කතා නොකොට නිහඬව බලා සිටින පිළිවෙතක් අනුගමනය කිරීමය. රටේ වෘත්තීය බුද්ධිමතුන් රටේ බරපතළ වැරදි සිදුවන විට ඒ වැරදිවලට එරෙහිව හඬ නගා කතා කරන තත්ත්වයක් රටේ තිබුණේ නම් ලංකාව මේ තරම් කාලකණ්ණි තත්ත්වයකට ඇද වැටෙන්නට ඉඩ නොතිබුණේය.
ලංකාවේ දේශපාලකයන්ගේ ලෝකය පමණක් නොව වෘත්තීය බුද්ධිමතුන්ගේ ලෝකයද අපිරිසිදුය. දූෂිතය. වෘත්තීයවේදීන් අතර යහපත් හා වර්ණවත් මිනිසුන් සිටියද පොදුවේ ගත් විට වෘත්තීයවේදී බුද්ධිමතුන් ගැන මහජනයා අතර ගෞරවයක් හෝ විශ්වාසයක් නොපවතී. වෘත්තීයවේදීන් පාලනය කරන හැම වැදගත් ක්ෂේත්‍රයක්ම පවතින්නේ අකාර්යක්ෂම හා දූෂිත තත්ත්වයක නම් ඔවුන්ට රටේ ගැලවුම්කරුවන් ලෙස ක්‍රියාකළ හැක්කේ කෙසේද යන මූලික ප්‍රශ්නයට සුගත් කංකානම්ගේ මහතා පිළිගත හැකි සාධාරණ පිළිතුරක් ලබාදී නැත. ලංකාවේ වෘත්තීයවේදීන් අතර ආචාර ධර්ම විෂයෙහි ලොකු පිරිහීමක් පෙනෙන්නට තිබෙන අතර වෘත්තීයවේදීන්ගේ ආචාර ධර්ම විෂය භාරවී තිබෙන්නේ වෘත්තීයවේදීන්ගේ සංගම්වලටය. ඒ සංගම් පාලනය කරන්නේ දේශපාලකයන් නොව වෘත්තීයවේදීන්ය. ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල සිටින වෘත්තීයවේදීන් ආචාර ධර්මානුකූලව ක්‍රියාකරන තත්ත්වයක තබාගැනීම සඳහා වෘත්තීයවේදී සංගම් කිසියම් හෝ වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නට සමත්ව තිබේද?

යථාර්ථය තේරුම් ගැනීම
වෘත්තීයවේදීන්ගේ සංගම්වල යථා තත්ත්වය තේරුම් ගැනීම ප්‍රයෝජනවත් වන නිදර්ශනයක් මෙසේය.

විශ්‍රාම ගිය මිනුම්පතිවරයකු හා නීතිඥයකු වන එල්මෝ පෙරේරා ඉතාමත් අසාධාරණ ලෙස අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින් ඔහුගේ නීතිඥභාවය තහනම් කර තිබූ අවස්ථාවකදී ඔහු වෘත්තීයවේදීන්ගේ සංගමයේ (OPA) සභාපතිකමට තරග කොට වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් එම නිලය ජයගත්තේය. වෘත්තීයවේදීන්ගේ මව් සංගමයට අනුයුක්ත වෘත්තීයවේදී සංවිධානවලට සම්බන්ධ වෘත්තීයවේදීන්ට එරෙහිව පැමිණිලි ලැබී එම සංගම් ඒවා විභාග කොට වැරදිකරුවන් වන අයට දඬුවම් කිරීමෙන් වැළකී සිටින අවස්ථාවකදී එවැනි සිද්ධියකට අදාළ පැමිණිල්ලක් OPA එකට ලැබෙන අවස්ථාවකදී සංගමය ඒ ගැන සොයා බලා තැනකට ගොස් තමන් වෙත පැවරෙන යුතුකම් හා වගකීම් ඉටු නොකරන සංගම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයකට යායුතුයි කියන යෝජනාව ඔහු එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරියට ගෙනාවේය. එම යෝජනාව වෘත්තීයවේදී සංවිධානවල බලවත් විරෝධයට හේතුවී ඔවුන් විසින්ම විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සභාපති ධුරයට පත් කරගත් එල්මෝ පෙරේරාම එම තනතුරට තේරී පත්වී කෙටි දින කිහිපයක් තුළ ඔහු දැරූ තනතුරෙන් පහ කරන ලදි. එම බිහිසුණු ක්‍රියාව වෘත්තීයවේදීන්ගේ සංවිධානවල සොම්නසට හේතුවූවා මිස කම්පනයට හේතුවූයේ නැත. එම ක්‍රියාව වෘත්තීයවේදීන්ගේද බලවත් විරෝධයට හේතුවූයේ නැත. වෘත්තීයවේදී සංවිධාන ඇද වැටී තිබෙන පරිහානියේ තරම එම නිදර්ශනය ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.

සුගත් කංකානම්ගේ මහතාගේ මතය වී ඇත්තේ ජනතාවට එපාවී ඇත්තේ ක්‍රමය නොව එම ක්‍රමයෙන් තේරී පත්වන නියෝජිතයන් වන බවය. ඔහු එය විග්‍රහ කොට තිබෙන්නේ මේ ආකාරයටය.

“අද මෙරට ජනතාවට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නයාට අඳුකොළ මෙන් එපාවී තිබෙන බව සත්‍යයකි. එහෙත් බුද්ධිමත්ව විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ සැබැවින්ම ජනතාවට එපාවී, ඇත්තේ එම ක්‍රමය නොව ක්‍රමයෙන් තේරී පත්වන නියෝජිතයන් වන බවය.” පුනරුදය දරන මතය වන්නේ ක්‍රමයෙන් තේරී පත්වන නියෝජිතයන් පමණක් නොව, සමස්ත ක්‍රමයද දූෂණයෙන් කුණුවී තිබෙන බවය. ඒ නිසා දූෂිතයන්ට තේරී පත්වීමට ඉඩක් නොලැබෙන, තේරී පත්වන අයටද දූෂිතවීමට ඉඩ නොලැබෙන අදූෂිත හා කාර්යක්ෂම නව ක්‍රමයක් ඇති කරගත යුතු බවය.

සුගත් කංකානම්ගේ මහතා ලියන ලද ලිපිවලින් ඉඟිකර තිබෙන ආකාරයට පුනරුද ව්‍යාපාරය අදේශපාලන ව්‍යාපාරයක් නොවේ. පුනරුද ව්‍යාපාරය කරන්නේද දේශපාලනයකි. එහෙත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ හෝ ප්‍රවණතා කරන දේශපාලනයට වෙනස් යහපත් හා ගුණාත්මක දේශපාලනයකි. සමාජයේ පවත්නා වර්ග, කුල, ආගම් භේද නැතිකොට සමාජය ඒකාග්‍ර කිරීමට හේතුවන ලෙස නූතන ජාතිය ගොඩනගා ගනිමින් කුණුවී ගිය යල්පැන ගිය පරණ රාජ්‍යය වෙනුවට නීතියේ පාලනය රජයන, දූෂණයෙන් තොර කාර්යක්ෂම නවීන රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කිරීම පුනරුදයේ ප්‍රධාන දේශපාලන අභිලාෂයක් ලෙස සැලකිය හැක.

සුගත් කංකානම්ගේ මහතා හිතන විදියට හා පුනරුදය හිතන විදියට මූලික කරුණු දෙකකදී හැර දෙපාර්ශ්වය හිතන විදිය බොහෝදුරට සමානය. පුනරුදයේ මතය වන්නේ කුණුවී තිබෙන ක්‍රමය පුපුරන තත්ත්වයකට පත්වීම නොවැළැක්විය හැකි බවය. දැන් එය තිබෙන්නේ පුපුරන්නට ආසන්න තත්ත්වයක වන බවය. ඇතිවන්නට නියමිත එම පිපිරීම ඇති කරන අවකාශය ප්‍රශස්ත හා නිර්මාණශීලී ලෙස ප්‍රයෝජනයට ගෙන රට යහපත් ගැඹුරු විපර්යාසයකට යොමු කළ යුතුව තිබෙන බවය. සුගත් කංකානම්ගේ මහතා කියන්නේ ක්‍රමය හොඳටම කුණුවී ඇතත් පිපිරීමකින් තොරව එය පවතිනු ඇති බවය. කුණුවූ ක්‍රමයේ බලය අල්ලා ගනිමින් එම ක්‍රමය වෙනස් කළ යුතු බවය. ඒ හැර දෙපාර්ශ්වය වෙනස් වන ඊළඟ කාරණය වනුයේ යහපත් ගැඹුරු විපර්යාසයක් ඇති කරන වැඩසටහනේ කාරක බලවේගය පොදු මහජනයා (එම මහජනයාට වෘත්තීයවේදීන්ද ඇතුළත්ය.) විය යුතුය කියා අප කල්පනා කරන විට එම විපර්යාසයේ කාරක බලවේගය වෘත්තීයවේදීන් විය යුතුයි කියා ඔහු සිතීමය.

පුනරුදය ව්‍යාපාරය ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන ව්‍යාපාරයක් නොවේ. අප හිතන්නේ සමහරවිට ජනාධිපතිවරණයට පෙර හෝ ඒ ආසන්නයේ පිපිරීමක් ඇතිවිය හැකිවිය හැකි බවය. එසේ නොවී ජනාධිපතිවරණයක් පැවැත්වුවද එය ඇති කරන ප්‍රතිඵලය ලොකු ව්‍යවස්ථා අර්බුදයක් ඇති කිරීමට හේතුවිය හැකි බවය. එසේ නොවී ජනාධිපතිවරයකු පත්වුවද ආයතන ක්‍රමය කුණුවී තිබෙන තරම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කර තිබෙන විකෘතියේ තරම අනුව බලයට පත්වන ජනාධිපතිවරයාට ලොකු අර්බුදයකට යනවා හැර කළ හැකි දෙයක් නැති බවය.

සුගත් කංකානම්ගේ මහතා යූපීඑම් ව්‍යාපාරයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකි. යූපීඑම් ව්‍යාපාරය හා පුනරුද ව්‍යාපාරය අන්තර් සම්බන්ධයක් තිබෙන ව්‍යාපාර දෙකකි. මෙම ව්‍යාපාර දෙක දරන සමහර අදහස් සමාන වන අතර සමහර අදහස් සමාන නැත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මෙම ප්‍රවණතා දෙක අතර තිබෙන වෙනස්කම් නැතිවී එකම වැඩසටහනක සම කොටස්කරුවෝ වීමටද ඉඩ ඇත්තාහ.