රාවය

පිස්සු අපටද බල්ලන්ටද?

පසුගිය සතියේ ‘ලංකාදීප’ පුවත්පතේ ප්‍රාදේශීය අතිරේකයක පළවී තිබූ වාර්තාවකට අනුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ජලභීතිකා ඒකකයෙන් බල්ලන් සපාකෑම් නිසා 2018 ජනවාරි සිට අගෝස්තු දක්වා ප්‍රතිකාර ලබාගෙන ඇති අයගේ සංඛ්‍යාව 8032කි. ඒ බව ප්‍රකාශ කර තිබෙන්නේ එම ඒකකයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරන වෛද්‍ය ගීතාංජලී ගුණරත්න මහත්මියයි. එසේ ප්‍රතිකාර පිණිස පැමිණි අය අතර විදේශීය සංචාරකයන්ද, විශාල පිරිසක් සිටි බව ඇය කියා තිබුණි. ඇය තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ක්ෂීරපායි සතුන්ගේ සපාකෑම්වලට ලක්වී, 2017 වසරේදී පුද්ගලයන් 10890ක්ද, 2017 වසරේදී 10586ක්ද එම ඒකකයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවය.

ගාල්ලේ කරාපිටිය ශික්ෂණ රෝහලට අදාළ මේ දත්ත ආශ්‍රයෙන් ලංකාව සඳහා සාමාන්‍ය චිත්‍රයක් තනාගත හැකිය. එම සතුන්ගේ සපාකෑම්වලට ලක්වීමෙන් දිනකට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 30-35ත් අතර වන බවද ඇය ප්‍රකාශ කර තිබේ. මා දන්නා දිසා රෝහලක වෛද්‍ය නිලධාරියකුගෙන් ඒ ගැන කරුණු විමසූ විට ඔහු කීවේ සාමාන්‍යයෙන් එක දිසා රෝහලක් මසකට බල්ලන් සපාකෑ මිනිසුන් 300ත්-400ත් අතර ගණනකට ප්‍රතිකාර කරන බවය. ලංකාවේ වසරකට බල්ලන් සපාකන පුද්ගල සංඛ්‍යාව 730,000ක් බව සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළවූ වාර්තාවක සඳහන් වී තිබුණි.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව ලංකාවේ වසරකට පුද්ගලයන්ට සිදුවන අනතුරු සංඛ්‍යාව 4,015,000කි. ඉන් සියයට 33.1ක්ම සතුන් සපාකෑමෙන් සිදුවන අනතුරුය. ඊළඟට වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුවන්නේ ඇද වැටීම්වලිනි. මහාමාර්ග අනතුරු වැටෙන්නේ තුන්වැනි ස්ථානයටය. අපි සාමාන්‍යයෙන් සිතන්නේ ලංකාවේ වැඩියෙන්ම අනතුරු සිදුවන්නේ මහා මාර්ගවලදී මෝටර් රථවලින් හා මෝටර් බයිසිකල් ආශ්‍රයෙන් සිදුවන අනතුරු වශයෙනි. එහෙත් ඇත්ත තත්ත්වය ඊට වෙනස්ය. රටේ සිදුවන අනතුරු අතර ඉහළම මට්ටමක පවතින්නේ බල්ලන් සපාකෑමෙන් සිදුවන අනතුරුය. මාර්ගවල මෝටර් රථ, මෝටර් බයිසිකල් හා ත්‍රිරෝදවලින් සිදුවන අනතුරු සංඛ්‍යාව රටේ සිදුවන මුළු අනතුරු සංඛ්‍යාවෙන් සියයට 15ක් වන විට සපාකෑමෙන් (ප්‍රධාන කොට බල්ලන්) රටේ සිදුවන අනතුරු සංඛ්‍යාව සියයට 33.1කි. එම ගණන විසකුරු සර්පයන්ගේ සපාකෑම් හෝ සතුන් කරන පහරදීම් ඇතුළත් නැත.

රටේ බල්ලන් පිළිබඳ චිත්‍රය පරිපූර්ණවීමට නම් රටේ සිටින බල්ලන් සංඛ්‍යාව පිළිබඳව සේ ම බල්ලන් සපා කන පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ට ප්‍රතිකාර සඳහා යන වියදම පිළිබඳ දත්තද සැලකිල්ලට ගත යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 වසර සඳහා පිස්සු බලු රෝගය වැළකීම සඳහා බල්ලන්ට විදීමට අවශ්‍ය එන්නත් ඒකක සංඛ්‍යාව ගණනය කර තිබෙන්නේ ලක්ෂ 22ක් ලෙසය. ඒ අනුව ලංකාවේ බල්ලන්ගේ ජනගහනය ලක්ෂ 22ක් ලෙස සැලකිය හැකිය. ඒ ගණනින් සියයට 60ක්වත් දඩාවතේ යන බල්ලන් ලෙස සැලකිය හැකිය.

පිස්සු බලු රෝගය වැළකීම සඳහා මිනිසුන්ට දෙන එන්නත් වෙනුවෙන් කරන වියදම පිළිබඳව කරන ලද කරුණු විමසීමකදී පළපුරුදු රජයේ වෛද්‍යවරයකු මට කීවේ රජයේ රෝහල් සඳහා කරන ඖෂධ වියදමෙන් සියයට 30ක් පමණ ඒ සඳහා වැය කරන බවය. ඒ ගැන අන්තර්ජාලය පරීක්ෂා කිරීමේදී සන්ඬේ ටයිම්ස් ලිපියක සඳහන් වූයේ ඒ සඳහා කරන වියදම වසරකට රුපියල් මිලියන 200ක් පමණ වන බවය. ARV ගණයට (Anti Rabies Vaccine) වැටෙන Verorab නමැති එන්නත් කුප්පියක මිල රුපියල් 900කි. එක් රෝගියකු සඳහා දින 07ක එන්නත් සඳහා වියදම රු. 6300කි. සමහර රෝහල්වල දින 07ක් වෙනුවට දින 05ක එන්නත් ලබාදෙන අවස්ථා තිබෙන බවද අසන්නට ලැබුණි . ARS (Anti Rabies Serum) එන්නත පාවිච්චි කරන්නේ නම් එම එන්නත බල්ලකු සපාකෑ පුද්ගලයකුට එම එන්නත එක්වරක් පමණක් විදීම ප්‍රමාණවත්ය. ඒ සඳහා ලංකාවේ පාවිච්චි කරන්නේ Berikab නමැති එන්නතය. එහි මිල රුපියල් 6000කි. බල්ලන් සපාකෑ පුද්ගලයන්ට පමණක් නොව බල්ලන්ට පිස්සු බලු රෝගය වැළඳීම වැළකීම සඳහා වාර්ෂිකව පාවිච්චි කළ යුතු එන්නත් වෙනුවෙන් ලංකාව දරන වියදමේ තරම අතිවිශාලය.

ලංකාවේ අයිතිකාරයන් නැති දඩාවතේ යන බල්ලන්ගේ ප්‍රමාණය ලක්ෂ ගණනක් ලෙස සැලකිය හැකිය. දඩාවතේ යන බල්ලන් රටේ මෝටර් සයිකල් අනතුරු කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙසද සැලකිය හැකිය. උන් මැක්කන්, කිනිතුල්ලන් වැනි පරපෝෂිත සතුන් බෝ කරන වැදගත් මාර්ගයක් ලෙසද ක්‍රියා කරති. ග්‍රාමීය පාසල් දඩාවතේ යන බල්ලන් ලැගුම් ගන්නා ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත්ව තිබෙන අතර මැක්කන් හා කිනිතුල්ලන් නිසා සමහර පාසල් වසන්නට සිදුවූ අවස්ථාද විටින් විට වාර්තා විය.

දඩාවතේ යන බල්ලන් අල්ලා ගෙන ගොස් උන් විනාශ කරන ක්‍රමයක් සේ ම ඒ සඳහා අවශ්‍ය නීතියක්ද 1990 ගණන් දක්වා රටේ තිබුණි. ඒ ක්‍රමය අත්හරින ලද්දේ රාජකීය දරුවකුගෙන් එල්ල වූ විරෝධය නිසාය. ඒ සමග පළාත් පාලන ආයතන විසින් පවත්වාගෙන ගිය දඩාවතේ යන බල්ලන් අල්ලා ඔවුන් විනාශ කරන වැඩසටහනද අත්හරින ලදි. ඒ වරද ඉන්පසු බලයට පැමිණි කිසිම ආණ්ඩුවක් නිවැරදි නොකරන ලද අතර දැන් දඩාවතේ යන බල්ලන් ගණයට වැටෙන බල්ලන්ගේ ගහණය විශාල ලෙස වර්ධනය වී තිබෙන අතර ඒ වෙනුවෙන් රටට ගෙවන්නට සිදුවී තිබෙන වන්දිය අතිවිශාලය. බල්ලන්ට අයිතිකාරයන් සිටිය යුතු බවත්, අයිතිකාරයන් නැති බල්ලන් විනාශ කරනවා හැර තෝරා ගැනීමට අන් විකල්පයක් නැති බව කියා ඇත්තේ හොඳ අවිහිංසාවාදියකු වන මහත්මා ගාන්ධි විසින්ය. දඩාවතේ යන බල්ලන් වෙනුවෙන් රටට දරන්නට සිදුවී තිබෙන වැය බර කරගසන්නේ උන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ඔටාරා වැනි ධනවත් කාන්තාවන් විසින් නොව මහජනයාය. අනෙක් අතට උන්ගෙන් පීඩා විඳින්නට සිදුවී තිබෙන්නේද එවැනි අයට නොව සාමාන්‍ය මහජනයාටය. රටේ පවතින අවලස්සන චිත්‍රයේ වෙනසක් ඇති කළ හැකිවනු ඇත්තේ දඩාවතේ යන බල්ලන් අල්ලා උන් විනාශ කරන පිළිවෙතක් යළි ඇති කිරීමෙනි.