20 වන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් වෙනවා

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

20 වන සංශෝධනය පිළිබඳ ඔබගේ විග්‍රහය කුමක්ද?

20 වන සංශෝධනය මම දකින්නේ 19 වන සංශෝධනයෙන් ඉටු කර ගැනීමට බැරි වුණු ජනතා අපේක්ෂා ඉෂ්ට කළ හැකි සංශෝධනයක් ලෙසයි. වත්මන් ජනාධිපතිවරයාට ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තුව වුණේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමීමයි. මැතිවරණ වේදිකාවල සිරිසේන මැතිතුමා බොහෝම පැහැදිලිව කියලා තිබුණා මේක අවසාන ජනාධිපතිවරණය කියලා. එතුමා සමඟ මන්ත්‍රීවරු 30ක් 31ක් ඒවි කියලා බලාපොරොත්තුවක් තිබුණා. අන්තිමට එහෙම ආවේ නැහැ. අන්තිමට ආවේ දහයකට අඩු පිරිසක්. එම නිසා ජනාධිපති ඒ ඡන්දයෙන් දිනුවත් ඒ තියෙන පාර්ලිමේන්තුව තුළ 2/3 ක් තියා සරල බහුතරයක්වත් තියේවි කියලා හිතන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එම නිසා ඔහුට සහය දුන් පක්ෂ අතර එකඟතාවක් ඇති වුණා ජනමත විචාරණයකින් තොරව කරන්න පුළුවන් ව්‍යවස්ථා සංශෝධනය කරමු කියලා. එම එකඟතාවට හේතුවක් තිබුණා. අර බලාපොරොත්තු වූ පිරිස ආවේ නැති නිසා ඒ පාර්ලිමේන්තුවෙන් කිසිම දෙයක් කර ගන්න බැරි වෙන බව දැනගෙන හිටියා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් මහා මැතිවරණයකට යාමේ අවශ්‍යතාවක් තිබුණා. ජනමත විචාරණයක් තිබ්බා නම් 2/3 ක් ලබා ගැනීමට තව මාස තුනක් කල් ගත වෙනවා. එතකොට මහ මැතිවරණය තවත් මාස තුනකින් කල් යනවා. එම නිසා තමයි. ජනමත විචාරණයකින් තොරව කරවා ගන්න තීන්දුවක් ගත්තේ. ඒක මැතිවරණ ප්‍රකාශයේත් දැම්මා. මැතිවරණ ප්‍රකාශයේ ඉතා පැහැදිලිවම තියනවා එය අදාළ වන්නේ මෙම සංශෝධනයට පමණයි කියලා. මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දුන්න සමහර අයට ඇත්ත වශයෙන්ම ඕනෑකමක් තිබුණේ නැහැ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට. සමහරු ප්‍රතිපත්තියක් හැටියට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට සහය දුන්නත්, සම්පූර්ණයෙන් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට අකමැති අයත් එතැන සිටියා. ඒ සියලු කාරණා ජනමත විචාරණයකින් තොරව යන්නට ඕනේ කියලා තීරණය කිරීමට බලපෑවා.

ඉන්පසු කැබිනට් මණ්ඩලය මේ ව්‍යවස්ථා සංශෝධනය හදන්න කමිටුවක් පත් කළා. එහිදි හැම පක්ෂයකම නියෝජනයක් තිබුණා. ඒකෙදි තමයි තීන්දුව ගත්තේ සංශෝධනයක් ඉදිරිපත් කරන්න. ඒ අනුව අපට උපදෙස් දුන්නා 19 වන සංශෝධනයට ඇතුළත් විය යුතු දේවල් ගැසට් කරන්න. කෙටුම්පත් ගණනාවක් තිබුණා. මම කෙටුම්පත් කරන කමිටුව එක්ක වැඩ කළා. ආණ්ඩුව තීරණය කළා නීති කෙටුම්පත්කරණයට පෙර ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම, කීර්තිමත්, ඒවගේම ජාත්‍යන්තර අද්දැකීම් තිබෙන විශ්‍රාමලත් කෙටුම්පත්කරුවන්ගෙන් උපදෙස් ගන්න. ඔවුන් එක්ක මම කිට්ටුවෙන් වැඩ කළා. ඒ නිසා මේ ජයම්පතිට ඕනැ විදිහට නම් 19 වන සංශෝධනය හැදුවේ නැහැ. හදන්නත් බැහැ. මගේ පරිගණකයේ සියලු කෙටුම්පත් තියනවා. ඒ කෙටුම්පත් වරින් වර කමිටුව ඉදිරියට ගිහිල්ලා සාකච්ඡා කරලා අවශ්‍ය වෙනස්කම් කළා. සමහර කාරණා ගැන අපිට යෝජනා කරන්න පොඩි නිදහසක් ලැබුණා. උදාහරණයක් වශයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් හැටියට ඇතුළත් කරන්න කියලා කවුරුවත් කියා තිබුණේ නැහැ. ඒක ගෙනාවේ මමයි. ඒත් මට ඕන විදිහට ඒක දැම්මේ නැහැ. මම ගිහිල්ලා අර කමිටුවෙන් අනුමත කර ගත්තා. ඒ වගේම අල්ලස් කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව පිළිගැනීමක් කරන්න ඕනේ කියන කාරණය. අලුත් කොමිසමක් පිහිටෙව්වා ජාතික ප්‍රසම්පාදන කමිටුව කියලා. ඒවා ඔක්කෝම කමිටුවට ගිහිල්ලා මමයි යෝජනා කළේ. මම ඒ කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුත් නෙවෙයි. මම ඒ කාලයේ ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථා කටයුතු උපදේශක. කෙටුම්පත් සාදා අවසන් කළ පසු ඒ කෙටුම්පත සාකච්ඡා කෙරුණා. මට හොඳට මතකයි. එදා ඉරිදා දවසක්. එදාට සාමාන්‍යයෙන් කැබිනට රැස්වීම් තියන්නේ නැහැ. ඒත් එදා හදිසි රැස්වීමක් කැඳවා තිබුණා. එදා උදේ විපක්ෂයේ සිටින පක්ෂත් ඇතුළුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවත් තිබුණා. එහිදී අප ඒ වන විට සාදා තිබූ කෙටුම්පත් තවත් සැර බාල කරනු ලැබුවා. ඒකේ සැර බාල කරන්න කියලා එම රැස්වීමට සම්බන්ධ වූ එවකට විපක්ෂයේ සිටි අය, සිරිසේන මහතාට උදව් කළ අයත් එහි සාමාජිකයන් හැටියට වාඩි වුණා ඒකේ සැර බාල කරන්න. එම ක්‍රියාව නිසා අපි ඉතාමත් කළ කිරීමට පත් වුණා. 19 වන සංශෝධනයේ මුල් කෙටුම්පතේ තිබු බොහෝ ප්‍රතිපාදනවල සැර බාල වුණා. ඉතිං 19 වන සංශෝධනයෙන් අප බලාපොරොත්තු දේ කර ගැනීමට බැරිවුණා.

කවුරු බලයට පත් වුවත් විධායකය අහෝසි කළ යුතුයි. මම 20ට පක්ෂ වෙන්නේ ඉන් පාර්ලිමේන්තු බල තල වැඩි කර ගැනීමේ අරමුණ පෙරදැරිවයි. මෙතන දුර්මතයක් තිබෙනවා මේ 20 සංශෝධනයෙන් ගේන්නේ රනිල් වික්‍රමසිංහ ශක්තිමත් කරන්න කියලා. මේකේ බොහෝම පැහැදිලිව තියනවා. විවේචකයෝ මේක කියවන්නේ නැහැ. කියවලත් නැහැ. එහි 37 වගන්තියේ ‘ඇ’ යන්නෙහි තියෙනවා 2020 ජනවාරි 9 වන දිනයේ සිට ක්‍රියාත්මක වන්නේය. ඊට පස්සේ මාසයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වෙනවා. මේකෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට කිසි වාසියක් වෙන්නෙ නැහැ. මේ බලතල එන්නේ ඊළඟ පාර්ලිමෙන්තුවට. ඉන්න ජනාධිපතිවරයාගේ බලතල අඩු වෙන්නෙත් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ශක්තිමත් කරනවා කියන ප්‍රකාශය සහමුලින්ම වැරදියි.

ඊට අමතරව ජනමත විචාරණයක් තියන්න බැහැ කියා කවුරු හරි කියලා තියනවා මම දැක්කා. ඒ වගේම ජනමත විචාරණයක් තියන එකටත් මේකෙන් බාධාවක් සිදු වන බව කියලා තිබුණා. ඒත් ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදියි. මෙම 20 සංශෝධනයේ තියෙන්නේ ජනමත විචාරණයක් තියන්න අවශ්‍ය වූ වේලාවක ජනාධිපතිවරයා එම පනත් කෙටුම්පත ජනපතිවරණයකට ඉදිරිපත් නොකර සිටියහොත් සාමාන්‍ය විදිහට නම් උසාවි ගිහිල්ලා පියවර ගන්න ඕනේ. දැන්නම් උසාවි යන්නත් පුළුවනි. ඉස්සර නම් උසාවි යන්නත් බැහැ. මෙහි තියෙනවා ජනාධිපතිවරයා දින 28ක් තුළ එසේ කිරීමට අපොහොසත් වුවහොත් එම කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් කළා කියා සලකා බලනවා කියලා. ඉතිං මේකේ තියන වැරැද්ද කුමක්ද? මෙම 20 සංශෝධනයෙන් ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වෙනවා. ඒ වගේ සංශෝධනයක් 19 වන සංශෝධනයෙත් තියනවා. ජනාධිපති කොමිසම් සභාවට කෙරෙන පත් කිරීම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කළ නිර්දේශ අනුව පත්වීම් කළේ නැතිනම් එය ඔවුන් පත් වූ ලෙස සලකනවා කියලා. යම් තැනකදී ජනාධිපති කටයුතු කළේ නැතිනම් එහෙම කටයුතු කළා සේ සැලකෙනවා කියලා තිබෙනවා. මම නම් දකින්නේ මේ 20 වන සංශෝධනයෙන් ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වෙනවා කියලා.

20 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ බලතල මොනවාද? ඔහුට ආරක්ෂක අමාත්‍ය ධූරය ලැබෙනවාද?
2020 ජනවාරි 09 වෙනිදායින් පසු පත්වන ජනාධිපතිවරයා රටේ ආරක්ෂක ඇමතිවරයා නොවෙයි. ඒත් ඔහු සේනාධිනායකයා ලෙස කටයුතු කරනවා. ජනාධිපතිවරයාට තානාපතිවරු පත් කිරීමේ බලතල මෙන්ම අපරාධකරුවන්ට සමාව දීමේ බලතල තිබෙනවා. ඒත් ඔහු ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුයි. ඒ අනුව ඔහුට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුව සමඟ වැඩ කරන්න. අමාත්‍ය මණ්ඩලයේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට නිසා මෙම සංශෝධනය හොඳ දෙයක් හැටියට මා සලකනවා.

20 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයා තෝරා ගනු ලබන්නේ පාර්ලිමේන්තුව විසින්. ඒ සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113 දෙනකුගේ කැමැත්ත ලැබිය යුතුයි. යම් හෙයකින් එවැනි ප්‍රමාණයක් ඡන්ද නොලැබුණොත් ඇති වන තත්ත්වය කුමක්ද?
113 ඡන්ද ගැනීමට බැරි වුවහොත් එය සරල බහුතරයක් වශයෙන් වෙනස් කරනවාට මම විරුද්ධ නැහැ. ජනාධිපතිවරයා තෝරා ගන්නා දිනයේදී පාර්ලිමේන්තුවේ 255 දෙනාම සිටින්නේ නම් සරල බහුතරය 113 වශයෙන් යොදා ගත යුතුයි. 113 යන වචනය වෙනුවට සරල බහුතරය යන වචනය යෙදීම ගැන විරුද්ධ නැහැ. 113 දෙනකු යන වචනය සඳහන් කිරීම තුළ දෙපැත්තටම වාසි තිබෙනවා. එවිට උත්සාහයක් දරනවා වැඩි දෙනකුගේ පුළුල් එකඟතාවක් ඇතිව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට.

ජනාධිපතිවරයා සේනාධිනායකයකු පමණක්ව සිටියදී තවත් කෙනකු රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයකු සිටියදී රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ වලදී මත ගැටුම් හට ගැනීමට පුළුවනි. හමුදා අතර ගැටුම් ඇති විය හැකියි. ඒ පිළිබඳ ඔබ දකින්නේ කොහොමද?
මනඃකල්පිත තත්ත්වයන් ඕනෑ තරම් තියනවා. පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් බලයට පත්වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව සමඟ සුසංයෝගයෙන් වැඩ කරනවා කියලා බලාපොරොත්තු වෙන්න පුළුවනි. ජාතික ආරක්ෂාවේදී කවුරුද අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේ ? එම කාරණයේදී එක්කෝ ජනාධිපතිවරයා වැඩ කරනවාද? නැත්නම් පාර්ලිමේන්තුව වැඩ කරනවාද? මෙහදී පාර්ලිමේන්තුව වගකීමෙන් කටයුතු කරන්නේ නැහැ. ජනාධිපතිවරයා වගකීමෙන් කටයුතු කරනවා කියලා ඇතැම් දෙනා උපකල්පනය කරනවා වෙන්න පුළුවනි. ඒකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ පාර්ලිමේන්තුවට වගකීමෙන් වැඩ කරලා ජනාධිපතිවරයා වගකීමෙන් තොරව වැඩ කරන්නත් පුළුවන් නේද? ඔය විදිහට ව්‍යවස්ථා හදන්න බැහැ. අපි පිළිගන්න ඕනේ මේ රටේ ආරක්ෂාව සම්බන්ධ කාරණාවේදී ජනතාව තෝරාගත් මන්ත්‍රීවරු සහ ඔවුන්ගේ මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන් පත් වන ජනාධිපතිවරයා වගකීමෙන් කටයුතු කරන බව.

යහපාලන රජය අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලාපොරොත්තුවක් ඇති කළා. එහෙත් දැන් ව්‍යවස්ථාව ගෙන ඒමට වඩා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ප්‍රබල උත්සාහයක් ගෙනෙන බවක් පෙනී යනවා.
මා නියෝජනය කරන පක්ෂය 20 වන සංශෙෘ්ධනයට සහය දෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන්නේ නැත්නම් පමණයි. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ එකඟත්වයක් ප්‍රධාන පක්ෂ දෙක අතර නැහැ. ඒ නිසා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ප්‍රමාද වෙනවා. ඒක කෙරෙන්නේ නැත්නම් කිසි දෙයක් නොකර ඉන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි 20 වන සංශෝධනයට සහය දෙන්න කැමතියි. ජනතා විමුක්ති පෙරමුණත් පැහැදිලිව කියා තිබුණා අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් ඒගොල්ලෝ 20 වන සංශෝධනය හකුලා ගන්නවා කියලා.

අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට ප්‍රමාද වීම සඳහා බලපාන ලද කරුණු මොනවාද?
මම නම් මූලික කාරණා දෙකක් දකිනවා. පළමුවන කාරණය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේදී එකඟ වුණා. අපි එදා බොහෝම සතුටින් ගෙදර ගියා. අවසාන අතුරු වාර්තාව එනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වන විට දරපු තමන්ගේ ස්ථාවරය වෙනස් කර ගත්තා. ඔවුන් ප්‍රධාන වෙනස්කම් වලට විතරයි එකඟ වුණේ.

හොඳම යෝජනා ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් හතේ මහ ඇමතිවරු. ඔවුන් ඉතාමත් හොඳ ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළා. ඒ පළාත් සභා ක්‍රමය තුළ ඔවුන්ගේ අවුරුදු 30 අද්දැකීම් මත. ඒවා තමයි ඇතුළු කළේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට. එසේ නොමැතිව උතුරු නැගෙනහිර පළාත්වලින් ඉදිරිපත් කළ යෝජනා නොවෙයි. පළාත් සභා මහ ඇමතිවරු ඉදිරිපත් කළ එම යෝජනා අලුත් දේවල් ද නොවේ. මහ ඇමතිවරුන්ගේ සම්මේලනය විසින් වසර ගණනාවක් ඉදිරිපත් කළ යෝජනා තමයි ඔවුන් ගෙනාවේ. එහෙම වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ස්ථාවරය ඔවුන්ගේ මහ ඇමතිවරු වගේ ප්‍රගතිශීලි වුණේ නැහැ. ඒ නිසා තමයි දෙමළ ජාතික සංධානය විසින් වෙනම තමන්ගේ අදහස් ඉදිරිපත් කළේ. ඒත් ඔවුන් කියා සිටියා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන ප්‍රධාන පක්ෂ දෙක අනු කමිටු සහ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට එකඟ වෙනවා නම් ඒගොල්ලෝ එකඟයි කියලා. ඒ අනුව එම කාරණා දෙක මූලිකව බලපෑවා කියලා මා හිතනවා.

20 වන සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වුණත් එය මහින්ද රාජපක්ෂ මහතාට වාසිදායකයි යන අදහසක් බොහෝ අවස්ථාවන්හිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා තිබුණා. ඒ පිළිබඳ ඔබගේ අදහස?
මම නම් බලන්නේ එන්. එම්. පෙරේරා සහෝදරයා කිව්ව ආකාරයට, මේකෙන් කාටද ? කුමන පුද්ගලයාට උදව් වෙනවාද කියලා අපි බලන්නේ නැහැ. ඒ නිසා මහින්දට උදව් වෙනවා කියන විදිහට අපි සහභාගි වෙන්නේ නැහැ. 20 වන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් කර ගැනීම කරන මෙවලමක් ලෙසයි අපි දකින්නේ. පුද්ගලයෝ හැටියට වාසි වෙනවාද? නැද්ද? කියන එක ගැන අපි හිතන්නේ නැහැ. මහින්ද රාජපක්ෂට වාසි වෙන්නත් පුළුවනි. ඒ වගේම වෙනත් කෙනකුටත් වාසි වෙන්න පුළුවනි.