කෆ්කා (Kafka)

එරික් ඉලයප්ආරච්චි

විශ්ව සාහිත්‍යයේ මහා පුරුෂයකු වෙනුවෙන් ඉදි කළ මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිමාව ඔහු දුටු නූතන සමාජ, දේශපාලන හා සංස්කෘතික ජීවිතයේ මෙන්ම එහි ජීවත් වීමේ අවාසනාවට ලක්වුණු නූතන මිනිසාගේ මානසික දෛවයේ අසහාය මූර්තිමය නිරූපණයකි. අන්නාසි මලක් මෙන් මිනිසකු මත නැගුණු මිනිසෙකි මේ! කුඩා මිනිසා නැගී සිටින කරතලය සහිත තැනැත්තා සැබෑ මිනිසෙක්ද? ඔහුගේ සවිමත්භාවය, හැඩරුව හා පෞරුෂය ගැන සැකයක් නැත. ඔහු සිරුරක් තිබුණත් නැතත් ඇඳ පැලඳ ඇවිදීමේ යෙදී සිටියි. කුඩා මිනිසා ඔහුගේ කරේ වාඩි වී සිටියි. සමහරවිට ඔහුට පාර කියන්නේ කර උඩ සිටින කුඩා මිනිසා විය හැකි ය. ඔහු ආස්ථිත්වයක් නැත්තකු නොවන්නේ කුඩා මිනිසා සිය පැවැත්ම මගින් ඔහුගේ පැවැත්ම සනාථ කරන බැවිනි. කුඩා මිනිසා මහා අනෙකා මත පරායත්තව සිටින්නෙකි. නැතහොත් ඔහුට ගමනක් නැත. ඔහු නැතත් අනෙකාට ගමනක් ඇත. එය ඔහුගේ ගමන් විලාසයෙන් ද, යෝධ ශක්තියෙන් ද පැහැදිලි වේ. එනමුත් එවිට ඔහුගේ ගමන අමානවීය ගමනක් හෙවත් අමිනිස් ගමනක් වේ. එය ඇත්ගොව්වෙක් නැතිව නගරයේ පාරක ගමන් කරන හස්තියකුගේ ගමනකට සමාන ය.

හිට්ලර්ගේ මහා ජන සංහාරයට පෙර එවකට පැවති චෙකොස්ලොවැකියාවේ ප්‍රාග් නුවර විසූ ජර්මන් භාෂික අප්‍රකට යුදෙව් ලේඛකයකු වූ ෆ්රාන්ස් කෆ්කාගේ සාහිත්‍යය නවකථා, කෙටිකථා, ප්‍රහේලිකාත්මක ලඝු ගද්‍ය කාව්‍යය හා ලියුම් කියුම්වලින් සමන්විත වේ. තමා විසින් ලියන ලද සියල්ල විනාශ කර දමන ලෙස සිය කල්‍යාණ මිත්‍රයාට මරණ මංචකයේ දී ඔහු විසින් කරන ලද නියමය ඔහුගේ මිතුරා පිළිපැද්දේ නැති බැවින් ඒ මිත්‍රද්‍රෝහී සාහිත්‍යය විසිවැනි සියවසෙහි ගමන් මග තීරණය කළ හැකි තරම් බලසම්පන්න තත්ත්වයකට පත් විය. ඔහුගේ සාහිත්‍ය නිරූපණ සාමාන්‍ය ඒවා නොවේ. පුද්ගලයකු සිය ජීවිතය තුළ දීම තමාගේ මනුෂ්‍යභාවයට සමුදෙමින් කුරුමිනියකු ලෙස පියා-මව-නැගෙනිය- මෙහෙකාරිය සහිත පවුල තුළම ඉතිරි දිවිය ගෙවා කසළ පොත්තක් ලෙස අතුගා දැමීමට ලක්වීම, තමා කළ වරද නොදැන අත්අඩංගුවට පත්වූවකු තමාට එරෙහි චෝදනා නොදැන යුක්තිය පතා නඩු මගට එළඹෙමින් ඇති තරම් රස්තියාදු වී අන්තිමේදී බල්ලකු සේ ඝාතනයවීම, විවිධාකාර සමාජ සංස්ථාපිතයන් තුළ නිර්මිත වංකගිරිවල නන්නත්තාර වුණු පොදු මිනිසාගේ ඛේදජනක ඉරණම, අතාර්කික සමාජ – දේශපාලනික – නෛතික – පරිපාලන – ආගමික – කුටුම්භ යනාදි දහසකුත් එකක් යාන්ත්‍රණයන්ගේ පීඩාව හා මර්දනය වැනි එතෙක් සාහිත්‍යකරුවන් නුදුටු බියකරු සමාජ යථාර්ථයන් ලොමුදැහැ ගන්වන අන්දමේ සාහිත්‍යයික චතුරත්වයකින්, යථාර්ථවාදයකින් හා විස්මිත අධිඅලංකාරයකින් යුතුව ඔහුගේ සාහිත්‍යයෙහි නිරූපණය විය.

සාහිත්‍යමය යථාර්ථවාදයේ සාම්ප්‍රදායික සීමාවන් මෙන්ම චරිතාපදාන කලාවේ සීමාවන් ද අතික්‍රමණය කළ ෆ්රාන්ස් කෆ්කාගේ නිරූපණාත්මක බලපෑම ඔහුගේ සාහිත්‍යය නිසාම ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් වුණු ‘කෆ්කේස්’ (Kafkaesque) යන රෞද්‍ර හා භීභත්ස්‍ය රසය ඇති කරන නාමවිශේෂණයෙන් පැහැදිලි වේ. ඔහු සහ ඔහුගේ සාහිත්‍යය තේරුම් ගැනීමට දීර්ඝ කාලයක් ද, දේශපාලනික හා සාහිත්‍ය මතවාදයන්ගේ විපර්යාසයක් ද ලෝකයට අවශ්‍ය විය. මේ ප්‍රතිමාව පවා ඔහු සැරිසැරූ නගර චතුරස්‍රය තුළ ඉදි වෙන්නේ ඔහුගේ මරණයෙන් වසර 80 කට පසු ය. 1924 දී ඔහුගේ අකල් මරණය සිදුවුණු අතර ඔහුගේ එකතු කළ කෘතීන් ඔහුගේ රටේ පළවන්නේ 2007 දී, එනම් වසර 83 කට පසු ය. ඒ කාලය තුළ දී ඔහුගේ සාහිත්‍යය විවිධ නොසලකා හැරීම්, තහනම් කිරීම් හා ඒකපාර්ශ්වික තත්කාලීන අර්ථකථනයන්වලට භාජනය විය. ශ්‍රී ලංකාවේ ඊනියා සමකාලීන සාහිත්‍ය හා සිනමා කලා සංස්ථාපිතය තවමත් ඒ ගමනේ යෙදී සිටින බව පැහැදිලි වන්නේ ඔහුගේ වඩාත් ප්‍රකට කෙටි නවකථාවේ දේශීය අර්ථකථනයක් ලෙස ධර්මසේන පතිරාජ විසින් නිර්මාණය කරන ලද ‘ස්වරූප’ චිත්‍රපටය, එම ශ්‍රේෂ්ඨ සිනමාකරුවාගේ කූටප්‍රාප්තිය බව නොසලකා චිත්‍රපට උළෙලවල් තුනක් මගින් සපුරා ඉවත් කළ ආකාරය දෙස බැලීමේ දී ය. මේ ප්‍රතිමා මූර්තියේ පාදම ද කුරුමිනි අඩු දැක්වෙන මොසයිකයකි.

චෙක් දේශයේ ප්‍රාග් නගරයේ උපන් මූර්ති ශිල්පියකු, චිත්‍ර ශිල්පියකු, නළුවකු, ලේඛකයකු හා අධ්‍යාපනඥයකු වූ ජරොස්ලාව් රෝනා විසින් නිර්මාණය කරන ලද මේ ලෝකඩ මූර්තිය සදහා වූ තේමාත්මක සංකල්පනය ඔහු ගොඩනගන්නේ ෆ්රාන්ස් කෆ්කාගේ සාහිත්‍ය නිරූපණයන් දෙකක් ඇසුරෙණි. යෝධයකු පිට නැගී නගරයේ වීථිවල සැරිසරණ මැතිවරණ අපේක්ෂකයකු ෆ්රාන්ස් කෆ්කාගේ ‘ඇමරිකා’ නවකථාවෙහි නිරූපණය වේ. එනමුත් මූර්ති ශිල්පියා සිය මූර්තිධර සංකල්පනය හා මූර්තිධර අර්ථ මීමංසාව (sculptural semantic) හෙවත් මූර්ති භාෂාත්මක අර්ථ සංඥාකරණය සඳහා පාදක කරගෙන ඇති බව පෙනෙන්නේ කෆ්කාගේ ‘අරගලයක විස්තරය’ (Description of a Struggle) නම් කෙටිකථාවේ ඇතුළත් සිද්ධියකි. යෝධ මිනිසකුගේ හිස් ඇඳුම් කට්ටලය පාරේ ගමන් කරන සැටිත්, ඔහුගේ කරතලය මතට නගින තමා ඔහු මෙහෙයවමින් ඉදිරියට ගමන් කරන සැටිත් කෆ්කා සිහිනෙන් දකියි. කෆ්කා ඔහු මෙහෙයවන්නේ ශාරිරීක සංඥා මගිනි. විටක සිය අතින් ඔහුගේ පිටට ගසයි. ගමන අලස වූ කල්හි සිය පාදයෙන් කෝට්කාරයාගේ පපුවට ගසයි. මේවා අසරුවන්ගේ හා කරත්තකරුවන්ගේ කායික ඉංගිත බව කිව මනා නොවේ. බලය හා එහි නිර්මානුෂික (dehumanized) චර්යාව පිළිබද සංකල්පනයක් ද, බලය සතු දූෂණ විභවතාව පිළිබද සංකල්පනයක්ද, කිසියම් අනිර්ණිත විභවතාවක් සංයුක්ත බලරාමුවක් හැටියට සංස්ථාපිත වීමේ දී දූෂණය ජනනය වීමේ ප්‍රවණතාව පිළිබද තර්මිඩෝරියානු සංකල්පනයක් ද එහි තිබේ.

මේ නිර්මාණය ස්ථාපිත කර තිබෙන්නේ භාෂාත්මක වශයෙන්, ජනවාර්ගික වශයෙන් හා ජාතිකත්වය වශයෙන් ත්‍රිත්ව ඛේදනීය පරත්වාරෝපණයකට ලක්වුණු ලේඛකයකු ලෙස ඔහු ජීවත් වුණු නගර කලාපයෙහි ය. චෙක් භාෂික, ජර්මන් විරෝධී චෙකොස්ලොවැකියාවේ ඉතා කුඩා සුළුතර ප්‍රජාවක සාමාජිකයෙක් වූ කෆ්කා චෙකොස්ලොවැකියානු නීතිඥයෙක් හා නිලධාරියෙක් විය. නීතිය පිළිබද ආචාර්ය උපාධියක් ලබා සිටි ආචාර්ය කෆ්කා, කර්මාන්ත ව්‍යාප්තිය සිදුවෙමින් පැවති වකවානුවක කර්මාන්තශාලා අනතුරු පිළිබද රක්ෂණ ක්ෂේත්‍රයේ කැපවුණු සේවයෙහි යෙදී සිටියේය. චෙකොස්ලොවැකියාවේ ජීවත් වූවත් ඔහු ලීවේ චෙක් භාෂාවෙන් නොව ජර්මන් භාෂාවෙනි. ඔහුගේ භාෂාත්මක පිටස්තරභාවයේ මුල එතැනය. ඔහු චෙක් පුරවැසියකු වූ නමුත් සුළුතර ජනවර්ගයක උගත් හා අතිශයින් ශිෂ්ටසම්පන්න සාමාජිකයෙක් විය. එකී සුවිශේෂ අනන්‍යතාව අනුව ඔහු චෙකොස්ලොවැකියානු, ජර්මන් භාෂික, අධිඋගත්, නිරාගමික යුදෙව්වෙක් විය. මේ නිසා ඔහු සිටියේ චෙක් ජාතිකත්වයේ ජාතික පරාමිතීන් ඉදිරියේ ගැටලුසහගත තත්ත්වයක ය. චෙකොස්ලොවැකියාවේ ජාතික ආගම සත්‍ය ලබ්ධිය ක්‍රිස්තියානිය වූ අතර ඔහු යුදෙව් ධර්මය ඇසුරේ වැඩුණු පුද්ගලයෙකි. ස්වකීය කුටුම්භගත යුදෙව් සමාජය හා ව්‍යාපාරිකයකු වූ සිය පියාගේ විවේචනාත්මක ප්‍රතික්ෂේපය මධ්‍යයේ සාහිත්‍යකරුවකු වීමෙන්ද, සිය කබායේ රතු මලක් පළදින්නට පුරුදුව සිටි ප්‍රගතිශීලියකු හා සමාජ විවේචකයකුව සිටීමෙන් ද ඔහු සිය පවුල තුළ පිටස්තරයකු විය. සිය නීතිමය නිලධාරි වෘත්තිය තුළ නිශාචර ලේඛකයකු වීමෙන් ඔහු ඒ වෘත්තීය සමාජයේ ද පිටස්තරයකි. සිය ආසන්න සාහිත්‍ය සමාජය තුළ බොහෝ දුරට අප්‍රකටව සිටීමෙන් හා සිය සාහිත්‍යය ස්වයං-වාරණය කරගැනීමෙන් ඔහු ඒ සමාජයෙහි ද පිටස්තරයෙක් විය. මේ සියල්ලට වඩා ඔහු භාෂා ප්‍රවීණත්වය හා අසහාය සාහිත්‍ය ප්‍රවීණත්වය ලබා සිටියේ නොබෝ කලකින් තම ප්‍රජාව සමූල ඝාතනයට ලක් කරනු ලබන පරම සතුරාගේ සම්භාව්‍ය භාෂාවෙනි. ඔහු මෙන්ම ඉහළ මැද පංතික උගත් සංස්කෘතික දිවියක් ගෙවූ ඔහුගේ දයාබර සොහොයුරියෝ නාසි කඳවුරුවල මියගියෝ ය. ජන ඝාතකගෑස් කඳවුරුවල මියයන්නට තරම් සවිසම්පන්න නොවූ ඒ කෆ්කානු සමනළියෝ කඳවුරු කරා පැමිණීමේ දී මියගියෝය (died on arrival). ඊට පෙර ක්ෂය රෝගයට ගොදුරු වුණු ලේඛකයා උගුර, ස්වාසනාල ආදිය ආසාදනය වීමෙන් නිරාහාරව හා අප්‍රකටම මියගියේ ය. ඔහු ‘ආහාර වර්ජිත කලාකරු’ (Hunger Artist) නම් කෙටිකථාව රචනා කර තිබුණේ සිය ඉරණම පෙරදුටු අයුරිනි.