රාවය

පෝලිම් පැන්න DS

පෝලිම් පැන්න DS

මේ මොහොතේ ලංකාවේ සිනමාව පිළිබඳව කතාබහ ඇරඹී ඇත්තේ ඩී. එස්. ගැනය. ඒ එහි ඇති සිනමාත්මක ගුණය නිසා හෝ වෙනත් කලාත්මක භාවිතාවන් නිසා නොව ඩී. එස්. ප්‍රදර්ශනය කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදය හරහා ඉලිප්පෙන හිරිකිත දේශපාලන බලහත්කාරකම නිසාය. ඩී. එස්. යූඇන්පී යේය. ඩී. එස්. නිශ්පාදනය කළ විජයදාස රාජපක්ෂ යූඇන්පී ය. පවතින රජයද යූඇන්පී ය. ඉතින් ඩී.එස්. යනු යූඇන්පීයේ බළහත්කාරය යැයි කිව නොහැකිද?

දේශපාලකයන්ගේ බලහත්කාරයට සීමාවක් නොමැති තරම්ය. සංස්කෘතිය, කලාව, ආගම, සදාචාරය මෙකී නොකී ඕනෑම ඉසව්වක විලි ලැජ්ජා නැතුව අතපෙවීමට ඔවුන්ට ඒ හැකියාව ලැබුණේ අද ඊයේ සිට නොවේ. දේශපාලන අධිකාරිය ස්වකීය බලය තවදුරටත් පවත්වා ගැනීම හා ආරක්ෂාකරගැනීම උදෙසාද ස්වකීය දෘෂ්ඨිවාදය තව තවත් ජන මනසට එන්නත් කිරීම උදෙසාද කලාවට අත පෙවීම එදා සිට අද දක්වාම ප්‍රබලව එහෙත් සියුම්ව සිදු කරමින් පවතී. ඉතාලියේ බෙනිටෝ මුසෝලිනීලා ද White  Telephone Movies  (සුදු දුරකථන චිත්‍රපට) නිපද වූවේ ද, පහුගිය දශකයේ ලංකාවේ මහින්ද රාජපක්ෂලා රජ කතා නිපද වූවේ ද, වර්තමානයේ රනිල් වික්‍රමසිංහලා ප්‍රමුඛ විජයදාස රාජපක්ෂලා ඩී. එස්. නිපදවමින් පවතින්නේද ඒ සියුම් එහෙත් ප්‍රබල සමාජ විඤ්ඥාන පරිවර්තනය උදෙසා යැයි උපකල්පනය කළ හැකිය.

මුසලෝනිලාට ද, මහින්දලාට ද, රනිල්ලාට ද, කලාව භාවිත කිරීමට ඇති නිදහස අපි පිළිගන්නෙමු. එහෙත් ඒ හරහා කලාව සිය අධිකාරියට යටත්කර ගැනීම හෙළා දකිමු. මේ අධිකාරිමය ස්වභාවය උඩු දුවා මේ වන විට අධිකාරියේ දෘෂ්ඨිවාදය පෝෂණය කරන චිත්‍රපට පමණක් ප්‍රදර්ශනය වෙමින් පවතී. බොහෝ චිත්‍රපට ගණනක් තවමත් පෝලිම් වල පුස් කමින් පවතී. ඇමති විජයදාස රාජපක්ෂ නිශ්පාදකවරයකු ලෙස සහභාගීවූ “නිදහසේ පියා ඩී. එස්” සිනමාපටය ප්‍රදර්ශනයට පෙර ප්‍රදර්ශනය කිරීමට සූදානම්ව තිබූ සිනමාපට (අසූවකට අධික ප්‍රමාණයක්) අභිබවමින් ඩී. එස් ප්‍රදර්ශනය වීමට සූදානම්ය. සරත් ධර්මසිරිගේ ”සූවිසිවිවරණ”චිත්‍රපටය දැනට ඇති පිළිවෙළට ආවේනම් ඊළගට තිරගත කළ යුතු චිත්‍රපටය වේ.

ඊට අමතරව පහත නම්සඳහන් චිත්‍රපටද ඩී. එස්. ට කලින් ප්‍රදර්ශනය වීමට තිබෙන තවත් චිත්‍රපට කිහිපයකි. බහුචිතවාදියා, ගුරු ගීතය, ද හෝප්, තේජා, අනෝරා, මායා රාත්‍රිය, උලලේනී, මායාවී, බවතරණ, ශ්‍රී වික්‍රම, රතු සමනල හීනයක්, කළු සමනල්ලු, ඉක්කා, ඇවිලෙනසුළුයි, සෙවනැලි, පාංශු, Demons in Paradise යනු ඒවායි.

කෙසේ වෙතත් ”නිදහසේ පියා” සිනමාපටය අනෙක් චිත්‍රපට අභිබවා ප්‍රදර්ශනය කිරීම කිසිදු නීතිමය වරදක් වන්නේ නැත. ඒ ලංකාවේ සිනමාපට ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව කිසිදු නීතියක් හෝ ක්‍රියාපටිපාටියක් නැති තැන එහි වරදක් නැත. මෙහි ගැටලුව වන්නේ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා නිසික්‍රමවේදයක් සැකසිය යුතු සංස්කෘතික ඇමතිවරයා විසින් නිශ්පාදනය කළ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට තිබූ අනෙක් චිත්‍රපට අභිබවා ප්‍රදර්ශනය කිරීමය. එනම් මෙහි ඇත්තේ ආචාරධර්ම පිළිබඳව ගැටලුවකි. නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු ඇමතිවරයා මෙසේ ක්‍රියා කිරීම සිනමා කර්මාන්තයේ නොනිල ඒකාධිකාරියට බලය පවරා දීමකි. චිත්‍රපට පෙන්වීමට නිසි ක්‍රමයක් සෑදිය යුතු ඇමතිවරයා තම පුද්ගලික න්‍යාය පත්‍ර ඉටුකර ගනිමින් ජාතික ප්‍රතිපත්තියකට යොමුවීම මඟහරිමින් සිටින බව මනාව පැහැදිලි වේ.

ඕනෑම චිත්‍රපටකරුවකුගේ අභිලාෂය සිය චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාව උදාකර ගැනීමයි. ඩී. එස්. අධ්‍යක්ෂණය කළ සුනෙත් මාලිංගගේ ද අභිලාෂය එයයි. සිනමාකරුවකු ලෙස ඒ අභිලාෂයේ ගැටලුවක් නැත. නිශ්පාදකයකුගේ අභිලාෂය සිය නිර්මාණය ඉක්මනින් සිනමාලෝලීන් වෙත ගෙන යෑමය. එහෙත් “නිදහසේ පියා” චිත්‍රපටයේදී නිශ්පාදකයාගේ අභිලාෂය සාධාරණීකරණය කළ නොහැක්කේ ඔහු නිසි ප්‍රදර්ශන ක්‍රමවේදයක් සැකසීමට ප්‍රතිපත්ති සැලසුම් කළ යුතු ඇමතිවරයා වීම නිසාය. නිදහසේ පියා උඩින් පාත් වී පෙන්වීම අනෙක් චිත්‍රපට උඩින් පාත් වී පෙන්නනවාට වඩා හිරිකිත වන්නේ ඒ නිසාය.

ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ ගැටලුවක් නැති අධ්‍යක්ෂවරු සිටිති. සුනිල් ආරියරත්නලා, සෝමරත්න දිසානායක එවැන්නෝය. ඔවුන්ට ඇත්තේ චිත්‍රපටය නිශ්පාදනය කිරීමට යන කාලය පමණි. සුනිල් ආරියරත්නගේ යශෝදරා චිත්‍රපටය පසුගිය වසරේ නිපදවා මේ වසරේ ප්‍රදර්ශනයට අවස්ථාව ලැබෙන විට උපාලි ගම්ලත්ට සිය ගුරුගීතය චිත්‍රපටය පෙන්වීමට අවුරුදු හතරක් පහක් තිස්සේ බලා ගෙන සිටීමට සිදු වී ඇත. එසේ වී නම් සුනිල් ආරියරත්න, සෝමරත්න දිසානායකලා පෝෂණය කරන සිනමාව හුදු ඒකාධිකාරියක් බවට පෙරළාගෙන නැතිද? සුනිල්ට, සෝමරත්නට ක්ෂේත්‍රය ඩැහැගත් කාම චිත්‍රපට රැල්ලෙන් සිනමාහල් මුදා දුන් සිනමාහල් හිමියෝ සිටිති. ඒ නිසා ඔවුන්ට පහසුය, තනිවම සිටින සිනමාකරුවන්ට මේ අවස්ථාව අහිමිය.

එක් පිරිසකට සිය සිනමාපටය ඉක්මනින් පෙන්වා ගැනීමටත්, තවත් පිරිසකට සිය සිනමාපටය පෙන්වා ගැනීමට අවුරුදු ගණනක් බලා සිටින්නට වීමත් ඛේදජනකය. ජාත්‍යන්තරයේ සම්මාන ලැබෙන සිනමාපට පවා මෙරටදී වසර ගණනාවක් තිස්සේ පෝලිමේ තිබෙන්නේ මේ කියන විනිවිද බවක් නොමැති චිත්‍රපට පෙන්වීමේ ක්‍රමය නිසාය. මේ සඳහා ක්‍රමවේදයක් හැදිය යුතු ඇමතිවරයද එයම අනුගමනය කරත්නම් ඉහත සිනමාකරුවන්ට කාගේ සරණක්ද?

උපාලි ගම්ලත් සිය චිත්‍රපටය නිශ්පාදනය කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලක්ෂ 30 ක මුදලක් ලබාගෙන ඇත. චිත්‍රපටයක් නිෂ්පාදනයට ලබා ගන්නා මුදල් සංස්ථාවට ගෙවන ක්‍රමවේදය ඇරඹෙන්නේ එම චිත්‍රපටය ප්‍රදර්ශනය වූවාට පසුවය. එහෙත් උපාලිගේ චිත්‍රපටය අවුරුදු ගණනාවක් පෝලිමේ ඇති නිසා ඔහු සංස්ථාවට මේ වන විට ගෙවීමට ඇති මුදල පොලී වැල් පොලී වී ලක්ෂ හැත්තෑවකට ආසන්න වී ඇත. චිත්‍රපට සංස්ථාව මෙහි ඉටු කරන්නේ පොලී මුදලාලිගේ කාර්යය දැයි ගැටලුවක් මතුවේ. චිත්‍රපටයක් සෑදීමට මුදල්දී ඒ චිත්‍රපටය සෑදූ පසු එය පෙන්වීමට අවස්ථාව සලසා නොදී තමන් ලබාදුන් මුදල පොලීවෙමින් පවත්වා ගැනීම කෙතරම් අශීලාචාරද? කලාවේ නාමයෙන් එය කෙතරම් පහත් ක්‍රියාවක්ද?

අනෙක් පැත්තෙන් මේ තිබෙන වාතාවරණය මත චිත්‍රපට සංස්ථාවට කළ හැකි මහලොකු දෙයක්ද ඇත්තේ නැත.ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් එකදු සිනමාශාලාවක් හෝ ඇත්තේ නැත. සිනමාශාලා සියල්ලම පාහේ අයත්වන්නේ පෞද්ගලික ව්‍යාපාරිකයන්ටය. රජයේ හෝ චිත්‍රපට සංස්ථාවේ මැදිහත්මක් ඊට නොමැති නිසා ව්‍යාපාරිකයෝ ඔවුන්ට උවමනා පරිදි චිත්‍රපට තෝරා ගනිති. ඒ නිසා ඔවුහු තමන්ගේ චිත්‍රපට පෙන්වීමට තෝරාගෙන අනෙක්වා පැත්තකින් තබති. පවතින මේ ක්‍රමය තුළ ලංකාවේ ස්වාධීන සිනමාකරුවන්ට සිදුවී ඇත්තේ සිය චිත්‍රපටය අවුරුදු ගණන් අවස්ථාව ලැබෙන තුරු බලා ඉන්නටය. නැතිනම්, චිත්‍රපටයක් පෙන්වා ගැනීමට බලය ඇති අයෙකුට චිත්‍රපටය කුණු කොල්ලයට විකුණාදැමීමටය.

අනෙක් පැත්තෙන් ලංකාවේ සිනමාකර්මාන්තය මේ තරමට අගතිගාමී වීමට හේතු කාරණා වී ඇත්තේ සිනමාව යනු කර්මාන්තයක් සහ කලාවක් යන්න පැහැදිලිව අවබෝධ කරගෙන නොමැති නිසාය. සංස්කෘතික ඇමති විජයදාස රාජපක්ෂ පසුගිය ජූනි මස විසි නවවනදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කරන්නේ ”කොහොමහරි මේ ක්ෂේත්‍රය අපි ගොඩ ගන්ඩ ඕනෙ, මොකද මේක බිස්නස් එකක් නොවේ”යනුවෙනි. ඇමතිවරයාම මෙසේ සිතන්නේ නම් මේ කපේට ලංකාවේ සිනමාව ගොඩ ගැනීමට හැකිවේද? ලෝක සිනමාව අද සිටින තැනට පැමිණ තිබෙන්නේ සිනමාව යනු කර්මාන්තයක් බව හඳුනාගත් නිසාය. සිනමාව අද අප දකින දියුණු තත්ත්වයට ගෙන ආ තෝමස් අල්වා එඩිසන්ලා සහ ලුමියර් සහෝදරයෝ වැන්නවුන් සිනමාව දුටුවේ ව්‍යාපාරයක් ලෙසය. එසේ වූවා කියා සිනමාවට සිදූවූ පාඩුවක් නැත.

දැනට පවතින සිනමාහල් ඒකාධිකාරිය නිසා මූලික වශයෙන්ම අවශ්‍ය වන්නේ රජයේ මැදිහත් වීමකි. ඒ සඳහා චිත්‍රපට සංස්ථාව හරහා හෝ වෙනත් කමිටුවක් හෝ ඕනෑම අයුරකින් මැදිහත් විය හැකිය. එසේ මැදිහත් වී සුදුසු හා ගැලපෙන වැඩ පිළිවෙළක් හඳුන්වා දී නිවැරදි හා සාධාරණ ලෙස චිත්‍රපට නිපදවා ඇති පිළිවෙළට එය ප්‍රචාරය වන ලෙස ක්‍රමයක් සැකසීමය.
චිත්‍රපට පේක්ෂකයන් ලෙස අප මෙසේ කල්පනා කරන විට ක්ෂේත්‍රය තුළ සිටින කර්මාන්තයේ නියැලෙන්නන් මේ පිළිබඳව දරන අදහස කුමක්ද? අපි මේ පිළිබඳව ඔවුන්ගෙන් විමසුවෙමු.

සංස්ථාවට කොන්ද පණ නැහැ
චිත්‍රපට අධ්‍යක්ෂ සරත් ධර්මසිරි
චිත්‍රපටි සංස්ථාවට එදා ඉඳලම කොන්ද පණ තිබුණේ නෑ තීරණයක් ගන්ඩ. ඉස්සර මේකට තිබ්බ ක්‍රමවේදය තමයි රැඟුම් පාලක මණ්ඩලයට චිත්‍රපටිය පෙන්නල ගන්න සහතිකේදි ණය අනුව චිත්‍රපටිය පෙන්නන්ඩ අවස්ථාව දෙන එක. ඒක නොබිඳිය හැකි තර්කයක්. මේක මත තමයි ඉස්සර ලංකාවෙම ෆිල්ම් පෙන්නුවේ.

අපිට සාධාරණයක් පුද්ගලික අංශයේදි බලාපොරොත්තු වෙන්ඩ බෑ. අදටත් චිත්‍රපටි බෙදාහැරීම ගැන සම්පූර්ණ බලතල තියෙන්නේ සංස්ථාවට. හැබැයි සංස්ථාව හරියට ඒ වැඬේ කරන්නේ නෑ. සංස්ථාව තමන්ගේ යාලුමිත්‍රයන්ට සලකන්ඩ ඕනේ හින්දා ඒ ගොල්ලන්ගේ මිනිස්සුන්ට අවස්ථාව දෙනවා. සංස්ථාවම තමයි විධිමත් ක්‍රමවේදය අවුල් කරන්නේ.
මගේ නිශ්පාදකය මාව අතඇරියා. මොකද එයාට සල්ලි දාල බලාගෙන ඉන්ඩ බෑනෙ. මට දැන් චිත්‍රපටියට ආයෝජනය කරන්ඩ සල්ලිත් නෑ. ණයක්හරි අරන් කරන්ඩ බෑ පහුගිය කාලේ ෆෙල්. සන්තොසේ කියන්නෙ ඔහොම උඩින් පැනපුව සේරමත් පහුගිය කාලේ ෆෙල්. තරුණ සිනමාකරුවෝ, මහා සිනමාකාරයො කියලා ඉන්න කට්ටියත් අගමැති කාර්යාලෙන් එක එක අයගෙන් ලියුම් ගෙනල්ල උනුත් පැන්න. ධර්මසේන පතිරාජගේ චිත්‍රපටිය මගේ චිත්‍රපටියට අවුරුදු පහකට පස්සේ හැදුවේ. එයා වම්ඉවුර කීවට එයත් ලියුමක් අරගෙන පැන්න අනිත් පැත්තට. හැබැයි අපි තවමත් ආචාර ධාර්මිකව ඇමතිලාගෙන් ලියුම් ගන්නේ නැතුව නිහඩව තාමත් පෝලිමේ ඉන්නවා.

ස්වාධීන සිනමාකාරයන්ට දැන් අවස්ථාවක් නෑ. හැබැයි එහෙම අයත් යටින් පොඩි පොඩි බල්ටි ගහනවා. එයාලත් අරඟල කරනව කියලා කරන එක තමයි හොරෙන් ඇමතියෙක් හම්බවෙලා ඉස්සරහට පයින එක. එහෙම අය අතරේ හොඳ අයත් ඉන්නවා.

ආචාර ධාර්මික ප්‍රශ්නයක්
චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර
මං තුළ ඇති වෙන පළවැනි ප්‍රශ්නය තමයි පෝලිම පැනල චිත්‍රපට පෙන්නනවා කියන චෝදනාව කොහොමද “නිදහසේ පියා” කියන චිත්‍රපටයට පමණක් අදාළ වෙන්නේ කියලා. නිදහසේ පියා චිත්‍රපටයට කලින් කරපු ෆිල්ම් ගණනාවක් තියන බව ඇත්ත. හැබැයි අපට ඒක පෝලිමක් කියල කියන්ඩ බෑ. හේතුව කොහේවත් චිත්‍රපට ඕඩර් එකක් හදල නෑ. තියෙන එකම දේ තමයි රැඟුම් පාලක මණ්ඩලයෙන් නිකුත් කරල තියෙන බලපත්‍රයේ තියෙන අනු අංකය. දැන් බලන්න සිරස ආයතනයේ “ගෝල්”චිත්‍රපටය වැඩ ඉවර කළේ මේ අවුරුද්දෙ ඒත් ජුලි මාසේ සෙල් (CEL) සමාගමෙන් චිත්‍රපටය පෙන්නුවනෙ. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයගේ “ඝරසරප” චිත්‍රපටිය හැදුවෙ මේ අවුරුද්දෙ නේ. ඉතින් EAP සමාගම චිත්‍රපටිය පෙන්නුවනෙ. දැන් මීළඟට EAP සමාගම ප්‍රදර්ශනයට සැළසුම් කරන්නේ සිරස ආයතනයේම “උදුම්බරා” කියන චිත්‍රපටිය. සෙල් (CEL) ආයතනය නිදහසේ පියාට පසු ප්‍රදර්ශනයට සූදානම් කරල තියෙන බවට ආරංචි වෙන්නෙ චන්ද්‍රන් රත්නම් මහත්මයගේ එකෝඩින්ටු මැතිව් According to Matthew මේ හැම චිත්‍රපටියකටම පෙර හදපු චිත්‍රපටි නේ “දැකල පුරුදු කෙනෙක්”, “ගුරු ගීතය” සහ “බහුචිතවාදියා” කියන චිත්‍රපට. මෙතන තියන ප්‍රශ්නෙ තමයි සිනමාකරුවො විදිහට අපි හිතනව අපේ චිත්‍රපටි වල වගකීම චිත්‍රපටි සංස්ථාව දරන්ඩ ඕනෙ කියල. ඒ තැන ඉඳල තමයි අපි “ඩී. එස්. ”චිත්‍රපටියේ ප්‍රදර්ශනය ප්‍රශ්න කරන්නෙ. “ඩී. එස්. වෙන මණ්ඩලයකින් ප්‍රදර්ශනයට ආවනම් ප්‍රශ්න කරනවද? අනෙක් මණ්ඩලවලින් චිත්‍රපට භාර නොගන්න කොට චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකයින් වන අපට තියෙන එකම විසඳුම තමයි චිත්‍රපටි සංස්ථාවට ගිහිල්ල චිත්‍රපටිය බාර දෙන එක. ඒත් චිත්‍රපටි සංස්ථාවෙ රිද්මා මණ්ඩලෙන් චිත්‍රපටි ගැන වගකීමක් දරන්න දැන් තියෙන තත්ත්වය මත බැඳිල නෑ. රිද්මා මණ්ඩලය කරන්නෙත් අනෙක් මණ්ඩල කරනව වගේම ඒ ගොල්ලන්ට හිතෙන චිත්‍රපටිය පෙන්නන එක. චිත්‍රපට සංස්ථාව සහ සෙල් මණ්ඩලය වරින් වර එකම සිනමාශාලා ටික තමයි පාවිච්චි කරන්නේ. සෙල් එකේ මුලින් පෙන්නපු චිත්‍රපට ආර්ථිකමය වශයෙන් පාඩු නම් සිනමා ශාලාවලට පවතින්න බෑ. එතකොට සංගම් සාකච්ජා කරනව තමන්ට වැඩි ප්‍රේක්ෂක පිරිසක් ගෙන්න ගන්න පුළුවන් චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරන්න. “සරිගම” වගේ චිත්‍රපටියක් ඉක්මනින් ප්‍රදර්ශනය කිරීමේ ඇත්ත කතාව තමයි මේක. අප බොහෝ දෙනෙක්ගෙ තර්කය වෙලා තියෙන්නෙ සංස්ථාවේ රිද්ම මණ්ඩලයට අනෙක් ප්‍රදර්ශන මණ්ඩල වගේ හැසිරෙන්න බෑ ඔවුන්ට වගකීමක් තිබෙන බව. මේ තර්කය ඇත්ත. ඒ සඳහා අප කළ යුත්තෙ ක්‍රමයක් සඳහා සටන් කිරීමයි. විජයදාස රාජපක්ෂ එක් නිෂ්පාදකයෙක් වුණ කියල “ඩී. එස්. ”ට විරුද්ධ වීම ප්‍රබල තර්කයක් නෙවෙයි. එතන තියෙන්නේ කිසියම් අයුරක සදාචාරාත්මක ප්‍රශ්නයක්. ඒත් මෙය තමයි හැම තැනම තියෙන තත්ත්වය. මං හොඳටම දන්නවා විජයදාස රාජපක්ෂ සංස්ථාව බාරගත්තත් නැතත් ඊළඟට කොහොමත් “නිදහසේ පියා” එන්න තමයි තිබුණේ. මොකද සිනමාශාලා හිමියො හිතනව මේ චිත්‍රපටියට කිසියම් ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා කියලා. මම මෙතනදී “නිදහසේ පියා” චිත්‍රපටයට කරන කෙනෙහිලිකම්වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි පෙනී ඉන්න ඕන “නිදහසේ පියා” සිනමා පටයට එරෙහිව නෙවෙයි සමස්ත බෙදාහැරීමේ යාන්ත්‍රණය සකස් කර ගැනීම වෙනුවෙනුයි.

චිත්‍රපටිශාලා හිමියන් හොයන්නෙ හොඳට දුවන්ඩ පුලූවන් චිත්‍රපටි. එතකොට කලාත්මක චිත්‍රපටවලට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. මේ අවුරුද්දෙ මුල සෙල් සහ රිද්මා ආයතන පෙන්නපු චිත්‍රපට සියල්ලම වගේ ආර්ථිකමය වශයෙන් අසාර්ථක වුණ. අපි ඒ ආයතන පැත්තෙන් හිතන්නත් ඕන. දැන් ඔය තියෙන සිනමාශාලා ටිකත් කඩාගෙන වැටුණොත් තත්ත්වය අන්තිම විනාශකාරි වෙනව. ඒ හින්ද අපි සිනමාවවේ කලාත්මක අංශය වෙනුවෙන් පෙනී සිටින ගමන්ම කර්මාන්තයක් ලෙස ආරක්ෂා කරගැනීම වෙනුවෙනුත් පෙනී ඉන්න වෙනවා.

රජ කතා මොකද, ඩී එස් මොකද
චිත්‍රපට අධ්‍යක්ෂක කෞෂල්‍ය මාධව පතිරන
වෙන මණ්ඩලයකින් අරගෙන දානව නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක රජයේ මණ්ඩලයට වැටෙනව කියන්නේ ප්‍රශ්නයක් තියනවා.
හෑගොඩගෙ සහ මාලකගෙ ෆිල්ම් දෙක ගත්තහම ඒ දෙක ඇත්තටම හොඳ ෆිල්ම් දෙකක්. ඒවගේ චිත්‍රපටි දෙකක් ලංකාවේ මිනිස්සුන්ට අනිවාර්යෙන්ම පෙන්නන්ඩ ඕනේ. ඒවගේ දේවල් අත ඇරල පරණ රජ කතායි ජඩ කතායි චරිතාංග කතන්දරයි දාන එක හරි කියල මම හිතන්නෙ නෑ. ඉතින් අර වගේ හොඳ ෆිල්ම් තියෙද්දි මේවගේ ෆිල්ම් එකක් ඉස්සරහට එන්නෙ කොහොමද කියන ප්‍රශ්නය තියනවා.

විජයදාස රාජපක්ෂ එයාගේ ෆිල්ම් එක දාගන්ඩ රජයට චිත්‍රපටි බෙදා හැරීම ගන්නව කියල නඩුවක් දාගෙන තමන්ගෙ ෆිල්ම් එක දාගත්තා. මේව ප්ලෑන්. ඩී. එස්. ඉවර වුණාට පස්සේ සමහර විට බෙදා හැරීම ඉස්සර තිබ්බ විදිහටම තියෙන්ඩ පුලුවන්. එයාල එහෙම දාගන්න එක සාධාරණද? මගේ ෆිල්ම් එක හින්ද මගෙ අම්මගෙ මාලෙ තාම බැංකුවේ. මගේ නිශ්පාදකයත් දැන් බොහොම අමාරුවෙන් ඉන්නේ.

මහින්දල රජ කතා ටික ගෙනල්ල කරන්ඩ හදපු දේම තමයි දැන් ඩී. එස්. ගෙනල්ල යූ.එන්.පී. එක කරන්ඩ හදන්නෙත්. මේ ඒ කැලේම තමා කොටිය විතරයි මාරු වුණේ. රජ කතා මොකද? ඩී. එස්. මොකද?

මම ආයෝජනය කළා. එච්චරයි.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, නිදහසේ පියා ඩී. එස්. චිත්‍රපටයේ සම නිශ්පාදක විජයදාස රාජපක්ෂ
චිත්‍රපටයට මමත් ආයෝජනයක් කරල තියනව. ඉන් ඔබ්බට ඕක මොනව වෙනවද කියලවත් මම හොයල නෑ. මම ඔයගැන කිසිම ආයතනයක කිසිම කෙනෙක්ට ඔය ගැන කතා කරලත් නෑ. අධ්‍යක්ෂකවරු තමා ඕකෙ සියලු කටයුතු කරන්නේ. මට මේ චිත්‍රපටිය නිර්මාණය කරපු පිරිස දිගින් දිගටම ඉල්ලීම් කරපු නිසා තමයි මම මේ චිත්‍රපටිය නිශ්පාදනය කරන්ඩ සම්බන්ධ වුණේ. එහෙම නැතුව මට වෙන උවමනාවක් තිබ්බෙ නෑ.

අනිත් කාරණය චිත්‍රපටි පෝලිමක් සංස්ථාවෙ නෑ. ආදායමක් ලබන්ඩ පුලුවන් චිත්‍රපටි පෞද්ගලික මණ්ඩල වලින් ගන්නව. ආදායමක් ලබන්ඩ බැරි චිත්‍රපටි ඒ ගොල්ලො බාරගත්තෙ නෑ. ඒ ඔක්කොම චිත්‍රපටි සංස්ථාව කුණුගොඩක් කියල හිතාගෙන එතනට තල්ලු කරනව. එහෙම චිත්‍රපටි තමයි දැන් ඔය අසූ පහක් තියෙන්නේ. තීන්දුවක් අරගෙන තියනව ඔය චිත්‍ර පටි අසූගාන කමිටුවක් දාල බලල පෙන්නන්ඩ සුදුසු ඒව පෙන්නන්ඩත්, නැති ඒව රිටර්න් කරන්ඩත්. ඒ තීන්දුව අරගෙන තියෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්නලත් එක්ක ජනාධිපති තුමා මීට මාස පහ හයකට ඉස්සල්ල කරපු සාකච්ඡාවකදි. මම දැන් ඒක ක්‍රියාත්මක කරන්ඩ විශේෂඥ මණ්ඩලයක් පත්කළා. දැන් ලංකාවේ කොහෙවත් චිත්‍රපටි පෝලිමක් නෑ. දැන් හෝල් වල උදවියට පෙන්නන්ඩ හොඳ චිත්‍රපටි නැතුව ඉන්නේ.

ඉදිරියේදි අනිවාර්යෙන්ම චිත්‍රපටි ප්‍රදර්ශනය පිළිබඳව නිසි වැඩපිළිවෙළක් හැදෙනවා.

සිතේන්ද්‍ර සේනාරත්න, සභාපති ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව.
චිත්‍රපට ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගින්නෙ රජය සතුව පැවති චිත්‍රපට බෙදා හැරීමේ බලතල පෞද්ගලික මණ්ඩල හතරකට පැවරීම හරහා. එතකොට එතන චිත්‍රපටි බෙදා හැරීමේ ඒකාධිකාරියක් ඇති වුණා. දැන් නැවත චිත්‍රපට බෙදා හැරීමේ බලතල නැවත සංථාවට පවරගන්ඩ යද්දි තමයි අධිකරණය හමුවට ඒ වැඩපිළිවෙල ගිහිල්ලා තියෙන්නේ. අපට අධිකරණය ගැන ලොකු විශ්වාසයක් තියනව අපි නැවත බලාගෙන ඉන්නවා චිත්‍රපටි සංස්ථාවට චිත්‍රපටි බෙදා හැරීමේ බලතල ලැබෙයි කියලා.

අනිත් කාරණය තමයි මට කොයිම වෙලාවක වත් විජයදාස රාජපක්ෂ ඇමතිවරයා කියලා නෑ එයාගේ චිත්‍රපටිය පෙන්නන්ඩ කියල. හැබැයි මගෙන් චිත්‍රපටියෙ නිෂ්පාදකයෝ ඉල්ලීමක් කළා පෙබරවරි මාසෙ නිදහස් උළෙල ඉලක්ක කරල චිත්‍රපටිය පෙන්නන්ඩ, මම ඒක ප්‍රතික්ෂේප කළා. දැනට තියන ක්‍රමවේදය අනුව අපි අලුත් චිත්‍රපටියක් හා පරණ චිත්‍රපටියක් බැගින් තමයි පෙන්වීම සිද්ද කරන්නේ. ඩී. එස්. කියන චිත්‍රපටිය වෙන මණ්ඩලයකට දැම්මත් කොහොමත් ඉක්මන්ට පෙන්නන චිත්‍රපටියක්. අපි පිළිගන්නව දැන් යන ක්‍රමය ගැටලු සහගතයි කියලා. අපි ඒ ක්‍රමය වෙනස් කරන්ඩ තමයි. මේ උත්සහ කරන්නේ.