ගැලවීම ඇත්තේ කොතැනද?

දැන් රටේ හැම දෙයක්ම තිබෙන්නේ ලොකු අවුල්සහගත තත්ත්වයකය. දේවල් සිදුවෙමින් තිබෙන්නේද විකාරරූපී ආකාරයකටය. රටේ ප්‍රධාන හා මූලික නීතිය ලෙස සැලකිය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු මනා අනුපිළිවෙළ හා ඒකාග්‍රතාව අහිමි කරනු ලැබූ පැටලිලිසහගත තත්ත්වයකය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටුවා තිබෙන සමස්ත ආයතන ක්‍රමය තිබෙන්නේද ජරපත්වූ ස්වරූපයකිනි.

ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයේ නියමු ආයතනය ලෙස සැලකිය හැකි ව්‍යවස්ථා සභාව තිබෙන්නේ මුළුමනින් අකර්මණ්‍ය වූ තත්ත්වයකය. සභාවේ සාමාජික සංඛ්‍යාව 10කි. ගණපූර්ණය 05කි. පුරප්පාඩු ගණන 06කි. ඒ සමග නව අගවිනිසුරුවරයාගේ සිට එම සභාවේ නිර්දේශ මත හෝ සභාව විසින් පත් කළ යුතු සියලු පත්කිරීම් සිදුවනු ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හිතුවක්කාරී ආකාරයකටය. පොලිස්පති සිටිය යුත්තේ පොලිස් කොමිසම යටතේ වුවත් පොලිස්පති ඉන්නේ කොමිසමට ඉහළිනි. එම තත්ත්වය පොලිස් කොමිසම විහිළුකාර ආයතනයක තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය. මෙම අවුල එක තැනක දෙතැනක නොව හැම තැනකම පාහේ දක්නට තිබෙන සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

ඡන්ද බලය මූලික අයිතිවාසිකමක් ලෙස අධිකරණය විසින් අර්ථ නිරූපණය කර ඇතත් පළාත් පාලන මැතිවරණ පැවැත්වූයේ වසර දෙකහමාරක් ප්‍රමාද කිරීමෙන් පසුවය. කල් ඉකුත් වූ පළාත් සභා තුනක මැතිවරණ වසරකට වැඩි කාලයක් තුළ පවත්වා නැති අතර එම පළාත් සභාවල හෝ කල් ඉකුක්වීමට ආසන්නයේ තිබෙන පළාත් සභාවල මැතිවරණ පැවැත්වීමේ වුවමනාවක් ආණ්ඩුවට තිබෙන බවක් පෙනෙන්නට නැත. පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටීමේ ක්‍රමයට විරුද්ධ පක්ෂ විරුද්ධවෙමින් තිබෙන්නේද නාමික වශයෙන් පමණය.

ආණ්ඩුක්‍රමය විකෘති කිරීම
78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දර්ශනය අනුව ජනාධිපතිවරයාට තිබෙන බලතල අහිමි කරන සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අතිරේක වශයෙන් ජනමතවිචාරණයක අනුමැතියද අත්‍යවශ්‍ය වේ. එහෙත් ඊට පටහැනිව 19 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කළ ආකාරයට ජනමතවිචාරණයක අනුමැතියෙන් තොරව ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉඩ දුන්නේ නැතත් ජනමතවිචාරණයක අනුමැතියෙන් තොරව ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කොට බොහෝ දුරකට ජනාධිපතිවරයා නාමමාත්‍රික ජනාධිපතිවරයකු බවට පත් කිරීමට අධිකරණය ඉඩ දුන්නේය. ව්‍යවස්ථාදායකය සකස් කළ එම නීති සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වනවා සේ ම ජනමතවිචාරණයක අනුමැතියෙන් තොරව ජනාධිපති සතුව තිබූ බලතල කප්පාදු කිරීමට අධිකරණය විසින් ඉඩදීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය. 19 වැනි සංශෝධනය මගින් පමණක් නොව ඊට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන කාලයේ නීතිගත කැරුණු 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින්ද ඊට පෙර ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදී නීති ගත කළ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින්ද, ඊටත් පෙර ජේ.ආර්. ජයවර්ධන කාලයේ නීතිගත කළ සමහර හිතුවක්කාරී හා ආත්මාර්ථකාමී ව්‍යවස්ථා සංශෝධන මගින්ද සමස්ත ආණ්ඩුක්‍රමය බෙලහීන කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු මනා පිළිවෙළ අවුල් ජාලයක් බවට පත් කැරිණි. දැන් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැලකිය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු මනා පිළිවෙළ හා ඒකාග්‍රතාව අහිමි කිරීමට හේතුවන ලෙස අණ්ඩ දමා මසන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වශයෙනි. එයට තිබෙන අවුල් උග්‍රකිරීමට මිස සමනය කිරීමේ හැකියාවක් නැත.

තිබුණු ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට යාමට අවශ්‍ය වී නම් කළ යුතුව තිබුණේ ජනාධිපති ක්‍රමයක් සඳහා සකස් කර තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සරල සංශෝධනයක් මගින් ක්‍රමය වෙනස් කරන්නට යෑම නොව විධිමත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් එසේ කිරීමය. තිබුණු ජනාධිපති ක්‍රමය සංශෝධනය කරගැනීමට අවශ්‍ය වී නම් තිබෙන ව්‍යවස්ථාවට සංශෝධනයක් ඉදිරිපත් කිරීම මගින් එසේ කිරීම නිවැරදිය. එහෙත් එක ආණ්ඩුක්‍රමයක් වෙනුවට ඊට මුළුමනින් වෙනස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගැනීම කළයුත්තේ ව්‍යවස්ථා සංශෝධනයයකින් නොව, නව ව්‍යවස්ථාවකිනි. එය ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි පිළිගත් මූලධර්මයකි. එසේ කරනවා වෙනුවට ජනාධිපති ක්‍රමයක් සඳහා සකස් කර තිබු ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද සරල සංශෝධනයක් මගින් ඊට මුළුමනින් වෙනස් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ඇති කිරීමට දරන මෝඩ උත්සාහය තුළ දැන් රටට ලැබී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක නාමයෙන් මහා විකෘතියකි. ව්‍යවස්ථාවේ තිබෙන එම විකෘතිය රටේ තිබෙන අර්බුදය උග්‍ර කිරීමට හේතුවීමෙන් නොනැවතී රට ලොකු අරාජකත්වයකටද තල්ලු කිරීමට හේතුවනු ඇත.

තටු කැපූ ජනාධිපති
ආණ්ඩුක්‍රමයේ සමහර විකෘතීන් තිබීයදීත් 19 වැනි සංශෝධනයට පෙර රටේ විධායක බලය තිබුණේ මුළු රටම එක ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා පැවැත්වෙන මැතිවරණයකින් බලයට පත් ජනාධිපතිටය. එහෙත් 19 වැනි සංශෝධනයත් සමග මුළු රට පුරා මහජන ඡන්දයකින් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයා විශාල ප්‍රමාණයකට බලතල අහිමි නාමමාත්‍රික ජනාධිපතිවරයකු බවට පත් කොට ඡන්ද කොට්ඨාසයකින් පත්වන අගමැති විධායක බලය ඇති අගමැතිවරයකු බවට පත්කර තිබේ. එය හරියටම පහළ උසාවියේ විනිසුරුවරයෙකු අගවිනිසුරු අසුනේ ඉන්දවා අගවිනිසුරුවරයා පහළ උසාවියේ අසුනක ඉන්දවීමකට සමානය. ජනතා පරමාධිපත්‍යය බලයේ අර්ථයෙන් ගතහොත් වැඩි බලයක් තිබිය හැක්කේ මුළු මහත් ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයකුට මිස පුංචි ඡන්ද කොට්ඨාසයකින් තේරී පත්වන අගමැතිවරයකුට නොවේ. මෙම විසමතාව දුරු කිරීම සඳහා ජනාධිපතිවරයා තේරී පත්වන ක්‍රමයේ ඊට ගැළපෙන වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකිය හැකි වුවද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එම කොන්දේසිය සම්පූර්ණ කර නැත. ඒ නිසා ඇතිවිය හැකි තත්ත්වය විකාරරූපී ස්වරූපයක් ගනු ඇතිවා සේ ම ඉතා විනාශකාරීද විය හැකිය.

ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණයක් පවත්වන්නට හැකිවී ව්‍යවස්ථා අර්බුදයක් ඇති කිරීමට හේතුවන ප්‍රතිඵලයක්ද ඇති නොවී, නව ජනාධිපතිවරයකු තේරී පත්වුවහොත් ඔහු තේරී පත්වන්නේ මුළු රටම ඡන්ද කොට්ඨාසයක් බවට පත්කර ගනිමින් පැවැත්වෙන ජනාධිපතිවරණයකින් වුවද ඔහුට හිමිවන්නේ විධායක ජනාධිපතිවරයකුගේ බලතල නොව නාමමාත්‍රික ජනාධිපතිවරයකුගේ බලතලය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේදී මේ වෙනස බරපතළ ලෙස පෙනෙන්නට නොතිබුණේ ඔහු තනතුරට තේරී පත්වූයේ විධායක බලය සහිත ජනාධිපතිවරයකු වශයෙන් නිසාය. 19 වැනි සංශෝධනයෙන් විධායක බලතල නමැති තටු කපා හැරීමක් සිදුවුවද යහපාලන ආණ්ඩුව ජනාධිපතිවරයාට මුළුමනින් නොවෙතත් කිසියම් ප්‍රමාණයකට පරණ බලතල භුක්ති විඳින්නට ඉඩ දුන්නේය. ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව කරන්නට බැරි දේවල් කරන විටත් විරුද්ධත්වයක් පළකිරීමකින් තොරව ඒවා කරන්නට ඉඩදී අගමැතිවරයා බලා සිටියේය. පළමු ධුර කාලය සඳහා පමණක් ජනාධිපතිවරයාට මහවැලි අමාත්‍යාංශයද තමන් යටතේ තබා ගන්නට ව්‍යවස්ථාවෙන්ම ඉඩදී තිබුණේය. ඒ නිසා මහජනයාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නාමමාත්‍රික ජනාධිපතිවරයකු ලෙස නොපෙනුණේය. ඒ නිසා පරණ ජනාධිපතිට හිමි මහේශාඛ්‍ය පෙනුම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටද පවත්වාගෙන යෑමට පුළුවන්කම ලැබී තිබුණේය.

එහෙත් ඒ සියල්ල අලුතෙන් තේරී පත්වන ජනාධිපතිවරයාගෙන් අවසන්වීමට නියමිතය. තමන්ට හිමි නියම බලතල මොනවාදැයි සොයා බලන්නට තේරී පත්වන නව ජනාධිපතිවරයාට සිදුවනු ඇත්තේය. ජනාධිපතිවරයා සතු බලතල මොනවාද යනුවෙන් විග්‍රහ කරන්නට අධිකරණයටද සිදුවනු ඇත්තේය. තමන් තරග කළේ විධායක බලතල සහිත ජනාධිපති ධුරයක් සඳහා වුවත් තමන්ට ලැබී ඇත්තේ විධායක බලතල රකින නාමමාත්‍රික ජනාධිපති ධුරයක් බව තේරීපත්වූ ජනාධිපතිවරයා සමහරවිට පළමුවරට තේරුම් ගනු ඇත්තේ පදවිප්‍රාප්තියට පසුවය. එය හරියටම එම්පීකමක් (M.P.) සඳහා තරග කොට ජයගත් පුද්ගලයකුට ජේපීකමක් (J.P.) ලැබීම හා සමානය.

යථාර්ථය තේරුම් ගැනීම
ඊළඟට තේරී පත්වන ජනාධිපතිවරයා විධායක බලතල සහිත ජනාධිපතිවරයකු නොව නාමමාත්‍රික ජනාධිපතිවරයෙකි. ඔහුට වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය. අගමැතිවරයා වෙනස් කළ නොහැකිය. ඇමති මණ්ඩලයද වෙනස් කළ නොහැකිය. දැන් පවතින ජනාධිපති ධුරයේ නියම තත්ත්වය තේරුම් නොගෙන ජනාධිපති ධුරයට තේරී පත්වන පුද්ගලයකු තමන්ට ලැබී තිබෙන්නේ විධායක බලය ඇති ජනාධිපති ධුරයක් නොව නාමමාත්‍රික ජනාධිපති ධුරයක් බව තේරුම් ගත් විට එය දරාගත නොහැකිවී ඒ නිසා ඇති කරගත් කම්පනයෙන් සමහරවිට මරණයට පවා පත්විය හැකිය. නැතිනම් පිස්සකුගේ තත්ත්වයකට පත්විය හැකිය.

සියලු ජනාධිපති අපේක්ෂකයන් සිටින්නේ යථාර්ථවාදී ලෝකයක නොව, මනෝරාජික ලෝකයකය. එය වඩාත්ම අදාළවන්නේ ජනාධිපති ධුරයට තරග කරන්නට අපේක්ෂා කරන ගෝඨාභය, නාගානන්ද, පල්ලෙවත්ත වැනි නවකයන්ටය. ඒ සියලුදෙනා ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසුව කරන්නට යන දේවල් පිළිබඳව ඔවුන් කියන ලස්සන සුරංගනා කතා දෙස බලන විට පැහැදිලිවම පෙනෙන්නේ ඔවුන් ජනාධිපතිවරණයක් සඳහා කල්තියා අමුඩ ගසාගෙන සිටියද 19 වැනි සංශෝධනය විසින් ජනාධිපතිවරයාගේ තටු කපා ඔහු විධායක බලය රහිත ජනාධිපතිවරයකු බවට පත්කර තිබෙන්නේය යන කටුක යථාර්ථය තේරුම් ගැනීමට ඔවුන් අසමත්ව තිබෙන බවය. ඒ මූලික සරල දේ ගැනවත් හරි අවබෝධයක් නැති කෙනකු රට ගලවා ගන්නේ කෙසේද?

ජනාධිපතිවරණයක් සඳහා රජය පැත්තෙන් වැය කළ යුතු ලොකු මිලක් තිබෙනවා සේ ම ඊට තරග කරන්නන්ටද ඒ සඳහා වැය කරන්නට ලොකු මිලක් ඇත්තේය. එය මෙතෙක් සලකන ලද්දේ රාජ්‍ය බලය හිමිකර ගන්නා ප්‍රධාන දේශපාලන තරගය ලෙසය. එහෙත් මේ ජනාධිපතිවරණයේදී ලොකු වැය බරක් දරා තෝරා ගන්නේ රාජ්‍ය බලයේ සුක්කානම හසුරුවන ප්‍රධාන නායකයා නොව, විධායක බලයක් නැති නාමමාත්‍රික ජනාධිපතිවරයෙකි. තෝරා ගන්නට යන්නේ නාමමාත්‍රික ජනාධිපතිවරයකු නම් එවැනි නොවැදගත් තනතුරක් සඳහා රට එවැනි දැවැන්ත ධනස්කන්ධයක් වැය කළයුත්තේ ඇයි? එවැනි නොවැදගත් තනතුරක් සඳහාද ඊට තරග කරන අපේක්ෂකයින් පරණ ජනාධිපති ධුරයට තරග කළ අපේක්ෂකයන් මෙන් බිලියන ගණනක් වැය කරයි නම් ඔවුන් සැලකිය යුත්තේ මෝඩයන් ලෙස නොවේද?

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් තේරීපත්වන්නේ රාජ්‍ය යන්ත්‍රයේ සුක්කානම හැසිරවීමට බලය ඇති ජනාධිපතිවරයකු නොව විලියම් ගොපල්ලව ජනාධිපති වැනි නාමමාත්‍රික ජනාධිපතිවරයකු බව ජනතාව තේරුම් ගත් විට එම ජනාධිපතිවරණය සඳහා වන මහජන උද්යෝගයේ විශාල බිඳ වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකිය. එම තත්ත්වය සළුවීමට අවශ්‍ය කරන ඡන්ද අනුපාතිකය ලබාගැනීමට දුෂ්කර කිරීමට හේතුවනවා ඇත. එය එසේ වුවහොත් පහසුවෙන් ලිහාගත නොහැකි ව්‍යවස්ථා අර්බුදයක් ඇති කිරීමට හේතුවිය හැකිය. එසේ නොවී මහජන ඡන්දයෙන් නව ජනාධිපතිවරයකු තේරී පත්වන තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්පසු රටේ සේ ම දේශපාලන ක්‍රමයේද ඇතිවිය හැක්කේ මහා අවුල්සහගත තත්ත්වයකි. මුළු රටේම ජනතාවගේ ඡන්ද බලයෙන් තේරී පත්වන ජනාධිපතිවරයෙක් 19 වැනි සංශෝධනයෙන් ඇතිකර තිබෙන නාමමාත්‍රික තත්ත්වය නිහතමානී ලෙස පිළිගනු ඇතැයි සිතිය නොහැකිය. තමන් ඡන්දය දුන්නේ නාමමාත්‍රික ජනාධිපතිවරයකුට බව නොදැන ජයග්‍රාහී ජනාධිපතිවරයාට ඡන්දය දුන් මහජනතාවද එම තත්ත්වය තමන්ගේ නොදන්නාකම නිසා සිදුවී ඇති වරදක් ලෙස සලකා නිහඬව භාරගනු ඇතැයි සිතිය නොහැකිය. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව නොසලකා ක්‍රියාකරන තැනකට ගියහොත් ඔහුගේ හිතුවක්කාරී ඒකාධිපති ප්‍රවේශය ලොකු දේශපාලන අර්බුදයක් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.

නාමමාත්‍රික ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නේ මුළු රටම එක ඡන්ද කොට්ඨාසයක් ලෙස ගෙන මහජන ඡන්දයෙන් නම් ඒ ආකාරයෙන් තේරී පත්වන ජනාධිපතිවරයකුට ලැබෙන බලය පුංචි ඡන්ද කොට්ඨාසයකින් තේරී පත්වී එන දේශපාලන පක්ෂයක නායකයකු වීම නිසා හා පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර තිබෙන වැඩි බලය නිසා ලැබෙන අගමැතිට ලැබෙන බලය ජනාධිපතිට ලැබෙන බලයට වැඩි නම් නාමමාත්‍රික ජනාධිපති හා අගමැති අතර සමනය කිරීමට අමාරු ගැටුම් ඇති කිරීමට හේතුවන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. එම ගැටුම මුළු රාජ්‍යතන්ත්‍රයේම ක්‍රියාකාරීත්වය අඩපණ කොට රට අරාජක තත්ත්වයකට තල්ලුවීමට හේතුවිය හැකිය. පරණ ක්‍රමයේ බරපතළ සීමාසහිතකම් තිබුණද පරණ ක්‍රමය සකස් වී තිබුණේ මුළු රාජ්‍ය යන්ත්‍රයම එක්සත්භාවයේ දාමයෙන් එකට වෙලී තිබෙන ආකාරයටය. 19 වැනි සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් ක්‍රමයේ ගැබ්ව තිබෙන අවුල්සහගත නිමාව රාජ්‍ය යන්ත්‍රයේ පැවති එම එක්සත්භාවය නැතිකොට මුළු රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවී තිබේ.

විය හැක්කේ කුමක්ද?

පුනරුදයේ මතය අනුව ලංකාවේ රාජ්‍යය තිබෙන්නේ හොඳටම කුණුවූ තත්ත්වයකය. ප්‍රතිනිර්මාණය කරගැනීමකින් තොරව එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි තත්ත්වයකය. රාජ්‍යයේ පරමාධිපත්‍යය බලය තිබෙන්නේ මහජනයාටය. ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ගොඩ නගා තිබෙන ආයතන ක්‍රම මගිනි. ඒවා අතර විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ප්‍රධානය. රාජ්‍යයේ එම ප්‍රධාන බලමණ්ඩල තුන සේ ම ඒවා යටතේ තිබෙන අනෙකුත් ආයතන ක්‍රමද තිබෙන්නේ මහජන පරමාධිපත්‍යය බලය නිසි ලෙස ක්‍රියාත්මක නොවන දූෂණයෙන් කුණුවූ තත්ත්වයකය. රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවූ තත්ත්වය කෙරෙහි බලපා තිබෙන හේතු මීට පෙර විග්‍රහ කර ඇති බැවින් මෙහි ඒ ගැන කරුණු ඉදිරිපත් කිරීමක් කරන්නේ නැත. 19 වැනි සංශෝධනය කුණුවී තිබුණු රාජ්‍ය යන්ත්‍රයේ ඒකාබද්ධභාවය නැති කොට එහි මන්දගාමී ක්‍රියාකාරීත්වයද අවුලක් බවට පත් කිරීමට හේතුවිය.

දැන් ලංකාවේ රාජ්‍ය තිබෙන්නේ ව්‍යුහමය වශයෙන් ඇතිකර ගන්නා ප්‍රතිසංස්කරණ මගින් පූර්ණ ප්‍රතිනිර්මාණයකට ලක් කිරීමකින් තොරව එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි අවුල්සහගත තත්ත්වයකය. සමාජය තිබෙන්නේද ඒකාග්‍රතාව අහිමි කරගත් භේදභින්න වූ තත්ත්වයකය. රාජ්‍යයේ ඒකාග්‍රතාව සමාජය කෙරෙහිද සමාජ ඒකාග්‍රතාව රජය කෙරෙහිද බලපායි. සමාජයේ සේ ම රාජ්‍යයේද යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සමාජ ඒකාග්‍රතාව ඇතිකර ගැනීමට හැකිවන ලෙස ජාතිය ගොඩනගා ගනිමින් සමාජයද පූර්ණ ප්‍රතිනිර්මාණයකට ලක් විය යුතුයි.

රටේ අර්බුදය ගමන් ගනිමින් තිබෙනුයේ ඉක්මන් පූර්ණ බිඳවැටීමක් කරා යන ගමනකය. බිඳ වැටීමක් ඇති කිරීමට හේතුවන දේවල්වල හා සිදුවීම්වල ප්‍රමාණය මෙම සංක්‍රමණීය කාලවකවානුව තුළ වේගයෙන් ඉහළ යනු ඇත. සාම්ප්‍රදායික දේශපාලන නායකයන් සේ ම දේශපාලන පක්ෂද මහජනයාට මුළුමනින් එපා කරන තත්ත්වයක් එම සිදුවීම් නිසා ඇතිවනු ඇත. ආර්ථිකයේ ඇතිවන කඩා වැටීම වර්ධනය වී ජීවන බර දරාගත නොහැකි තත්ත්වයකට වර්ධනය වනු ඇත. ගොවීන්, ධීවරයන්, කම්කරුවන්, විශ්‍රාමිකයන්, ශිෂ්‍යයන් හා විවිධ මහජන කණ්ඩායම් විසින් කරන විරෝධතා ව්‍යාපාර හා වැඩ වර්ජනවලින් රට ඇළලී යන තත්ත්වයක් ඇතිවනු ඇත.

මෙම විශේෂ වටාපිටාව තුළ ජනාධිපතිවරණයක් පැවැත්වුවද එය මහජන උද්යෝගයට හේතු නොවන ජනාධිපතිවරණයක් බවට පත්විය හැකිය. ජනාධිපතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කරන ජනයාගේ අනුපාතිකය සියයට 50කට වඩා අඩුවීම නිසා හෝ ජයග්‍රාහී ජනාධිපතිවරයා පාවිච්චි කළ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට අසමත්වීම නිසා ලොකු ව්‍යවස්ථා අර්බුද ඇතිවන තත්ත්වයක් ඇතිවිය හැකිය.

ඒ කිසිවක් සිදු නොවී ජනාධිපතිවරයකු ජයග්‍රහණය කළද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විසින් ඇතිකර තිබෙන සීමා ජනාධිපතිවරයාගේ බලවත් කෝපයට සේ ම ජනාධිපතිවරයා බලයට පත්කිරීමට ඡන්දය දුන් ජනතාවගේද බලවත් කෝපයට හේතුවී ව්‍යවස්ථාව නොසලකා ක්‍රියාකරන තත්ත්වයක් තුළ සමස්ත රාජ්‍ය යන්ත්‍රයට අවුල් කිරීමට හා අකර්මණ්‍ය කිරීමට හේතුවිය හැකිය. විකට රූප ස්වරූපයකින් සේ ම වෙනත් ආකාරවලින්ද ඇතිවන්නට නියමිත සියලු අවුල් රාජ්‍ය හා සමාජය පූර්ණ ප්‍රතිනිර්මාණයකට ලක්කිරීමේ අවශ්‍යතාව මහජනයාට ඒත්තු ගැන්වීමට හේතුවනු ඇති අතර, අවසාන විග්‍රහයේදී රාජ්‍ය හා සමාජය ප්‍රතිනිර්මාණය කරගැනීමේ අරමුණ සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ අවශ්‍යතාව නැතුවම බැරි අත්‍යවශ්‍යම කොන්දේසියක් බව සියලුදෙනාගේ පිළිගැනීමට හේතුවන ප්‍රධාන කරුණක් බවට පත්වනු ඇත.

උපාය මාර්ගික දැක්ම
පුනරුදය ව්‍යාපාරය මෙම සංක්‍රමණීය අවස්ථාවේදී ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නට හෝ තරග කරන කවර අපේක්ෂකයකුට හෝ ආධාර කරන තැනකට යන්නේ නැත. දේශපාලන සුනාමියක් ඇතිවන්නට නියමිත බව තේරුම් ගෙන මිනිස්සු හදන ඒ මගින් නූතන ජාතිය හා රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරගැනීමේ අවශ්‍යතාව මහජනයාට අවබෝධ කරදෙන වැඩසටහන ඉදිරියට ගෙනයන අතර මහජන සංවිධාන එකට ඒකරාශී කරමින් මහජන බලමණ්ඩලයක් තනන වැඩසටහනද ඉදිරියට ගෙනයෑමට අපේක්ෂා කරයි. ඒ මගින් ඇතිවන්නට නියමිත දේශපාලන සුනාමියෙන් සිදුවන හානිය අවම කරගනිමින් ඇතිවන්නට යන අර්බුදයට බුද්ධිමත්ව විනයගරුකව හා නිර්මාණශීලී ලෙස මුහුණ දිය හැකි දියුණු මහජන ව්‍යාපාරයක් ඇතිකර ගැන්මට අපේක්ෂා කරයි.

ඒ සමග කුණුවී තිබෙන රාජ්‍ය හා හිරවැටී කැබලි වී තිබෙන සමාජය ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉලක්ක කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට අවශ්‍ය කරන පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට අපේක්ෂා කරයි. එහෙත් අපේක්ෂා කරන්නේ පරණ ක්‍රමයට හදන ව්‍යවස්ථාවක් නොව ව්‍යවස්ථාවේ කාලසටහන, න්‍යාය පත්‍රය හා අන්තර්ගතය තීරණය කිරීමේ වැඩි බලයක් මහජනයාට ලැබෙන ආකාරයේ ව්‍යවස්ථා සම්පාදනයකි. රාජ්‍ය බලයේ පරමාධිපත්‍යය බලය ඇත්තේ මහජනයාටය. දැන් රටේ ව්‍යවස්ථාදායකය තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තබා සරල නීති සම්පාදනයක්වත් හරිහැටි කිරීමට බැරිතරම් අන්ත බංකොළොත් තත්ත්වයකය. ඒ නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීමේ පූර්ණ වගකීම භාරගැනීමේ හැකියාවක්ද ව්‍යවස්ථාදායකයට නැත. ඒ වගකීමෙන් කිසියම් ලොකු පංගුවක් මහජනයා භාරගත යුතුය. කිසියම් ප්‍රමාණයකට ව්‍යවස්ථාදායකයද තවත් කිසියම් ප්‍රමාණයකට මහජනයාද සම්බන්ධ කරගනිමින් මහජනයාගේ පරමාධිපත්‍යය බලය අභ්‍යාස කෙරෙන ව්‍යවස්ථා සම්පාදනයකට රට යොමු කිරීම පුනරුද ව්‍යාපාරය අපේක්ෂා කරයි.

මහජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය උපරිම තත්ත්වයකට ගෙනඒමට හේතුවන එවැනි ව්‍යවස්ථා සම්පාදනයක් ව්‍යවස්ථා සම්පාදනයේ මූලික දර්ශනයට අනුකූල වන අතර එය දේශීය නීිතියට සේ ම ජාත්‍යන්තර නීිතියටද අනුකූලය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වුවත් පරමාධිපත්‍යය බලය ඇත්තේ මහජනයාටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු මහජන පරමාධිපත්‍යය බලය රාජ්‍යය තුළ ක්‍රියාත්මක වන ආකාරය විස්තර කරන නෛතික ලියවිල්ල ලෙසද සැලකිය හැකිය. ඒ නිසා මහජනයාට අවශ්‍ය නම් එම නෛතික ලියවිල්ල තමන් තෝරා පත් කරගන්නා මහජන නියෝජිතයන් ලවා සකස් කරවා ගත හැකිවනවා සේ ම එවැනි නෛතික ලියවිල්ලක් සකස් කරවා ගැනීමට අවශ්‍ය තරමේ අවංකභාවයක් හෝ පරිකල්පනයක් ව්‍යවස්ථාදායකයට නැති බව පැහැදිලිව පෙනෙන ඓතිහාසික අවස්ථාවකදී ඒ බලය තමන් අතට ගනිමින් ව්‍යවස්ථාදායකයද ඊට දායක කරගනිමින් ව්‍යවස්ථා සම්පාදනයක යෙදීමේ පූර්ණ බලය මහජනයාට ඇත්තේය. එවැනි මහජන ක්‍රියාවක් සිවිල් දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 25 (4) වගන්තියට අනුකූලය. තවදුරටත් එම අයිතිය මහජනයාට ඇති බව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය යටතේ පිහිටුවා පවත්වාගෙන යන මානව අයිතිවාසිකම් කොමිසම විසින් රටවල් දෙකකට අදාළව ලබාදෙන තීන්දුවලින්ද සනාථ කර තිබෙන අතර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 25 වැනි වගන්තිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය 1996 ජූලි 12 වැනිදා දී තිබෙන අර්ථකථනය අනුවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තෝරා ගැනීමේ හෝ වෙනස් කිරීමේ ක්‍රියාවකට ඍජු ලෙස මහජනයාට සහභාගිවීමට තිබෙන අයිතිය, (Citizens also participate directly in the conduct of public affairs when they choose or change their constitution) පිළිගෙන තිබේ.

දකුණු අප්‍රිකාව සිය ව්‍යවස්ථා සම්පාදනය ආරම්භ කරන විට කල්ලන් නියෝජනය කළ දකුණු අප්‍රිකානු කොංග්‍රසයට පාර්ලිමේන්තු නියෝජනයක් තිබුණේ නැත. ඒ වන විට කල්ලන්ට අඩුම වශයෙන් ඡන්ද බලයක්වත් තිබුණේ නැත. ගොඩනැගෙන නව ව්‍යවස්ථාව සඳහා වන මූලධර්ම හඳුනා ගැනීම හා එකඟතාවක් ඇතිකර ගැනීම, සංක්‍රමණීය ව්‍යවස්ථාව කෙටුම්පත් කරගැනීම සිදුවූයේ පාර්ලිමේන්තුවෙන් පිටස්තරය. ව්‍යවස්ථාවේ ඉතිරි කොටස සම්පූර්ණ කෙරුණේ කල්ලන්ට ඡන්ද බලය දී මැතිවරණයක් පවත්වා කල්ලන්ගේද නියෝජනයක් සහිත ව්‍යවස්ථාදායකයක් මගිනි. පුනරුදය කල්පනා කරන විදිය ව්‍යවස්ථා විරෝධී හෝ සම්ප්‍රදාය විරෝධී නොවන බව දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථා සම්පාදනය ආශ්‍රයෙන්ද තේරුම් ගත හැකිය. පුනරුද ව්‍යාපාරයේ අපේක්ෂාව වන්නේ එක්තරා ප්‍රමාණයකට දකුණු අප්‍රිකාවට සමාන ලෙසද, තවත් ප්‍රමාණයකට ඊට වෙනස් ලෙසද ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට මහජනයා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගන්නා ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනක් බවට පත්කර ගැනීමය. දැන් රටේ පවතින්නේ ඊට සුදුසු ඓතිහාසික වටපිටාවකි.

පුනරුද ව්‍යාපාරය එම වැඩසටහනින් සමාජයේද, රාජ්‍යයේද, දේශපාලනයේද පූර්ණ විපර්යාසයක් අපේක්ෂා කරයි. පරණ රාජ්‍යය, පරණ සමාජය, පරණ ආණ්ඩුක්‍රමය, පරණ බලදරන්නන් සාමකාමී ලෙස චිත්‍රයෙන් ඉවත් කොට මහජනයාට වගකියන නව බලදරන්නන් සහිත රාජ්‍යයක් හා ආණ්ඩු ක්‍රමයක් සමග වර්ග භේද, කුල භේද, ආගම් භේද අහෝසි කිරීමට හේතුවන ලෙස නූතන ජාතියද ගොඩනගා ගනිමින් රටේ දූෂිත පරණ ගමන්මග වෙනස් කොට රට නව මාවතකට යොමු කිරීමට අපේක්ෂා කරයි.