ඊටීඅයි වගකීමෙන් නිදහස් වීමට ඉඩ හරිමුද?

දිනී ජයසේකර

රටේ පවතින මූල්‍ය ගැටලු වලදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කළ යුතු මූල්‍ය ගැටලුවක් වන්නේ ඊටීඅයි මූල්‍ය අර්බුදයයි. තැන්පත්කරුවන් සී සීකඩය. සමහරුන් තම මුදල් ලබා ගැනීම වෙනුවෙන් මහ මගය. විටෙක කොළඹ මහ නගර සභාව ඉදිරිපිටය. තවත් විටෙක ඊටීඅයි ප්‍රධාන කාර්යාලය ඉදිරියේය. බැරිම තැන කපුරු දැල් වූ පොල් රැගෙන නවගමු දේවාලේ ඉදිරියේය. රටට කුමක් වීගෙන යනවාද රටේ පුරවැසියාට කුමක් වීගෙන යනවාද කියා සිතිය නොහැකි කාලවකවානුවක අපි ජීවත් වන බව හැඟේ. රටේ විසඳීමට මේ තරම් ගැටලු තිබියදීත් රටේ වගකිව යුත්තන් මර නින්දේය. නීතිය වගකිව යුත්තන්ගේ අවියක් කරගෙනය.

මේ ප්‍රශ්නයට තුඩු දී ඇති සෑම මූල්‍ය ආයතනයකටම ප්‍රධානීන් දෙනවායැයි කියූ මුදලවත් තවම තැන්පත්කරුවන් අත පත් කිරීමට සමත් වී නොමැත. එය කාගේ වරදක්ද? ඉදිරියට කුමක් සිදු වේද? තැන්පත්කරුවන්ට හිස නමාගෙන තම මුදල් පූජාකර අත පිහදමා ගැනීමට සිදු වේද? මේ සියලු ගැටලු කෙරෙහි වගකිවයුතු අංශවල අවධානය යොමු විය යුතුය.

ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම
ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩලයේම නව දෙනෙකි. ඔවුන් සෝමා එදිරිසිංහ, ජීවක හේමාල් එදිරිසිංහ, නාලක ප්‍රෙමාල් එදිරිසිංහ, අසංක ශ්‍රීමාල් එදිරිසිංහ, අංජලී දීපා එදිරිසිංහ, ඬේමියන් සුනිල් අබේරත්න, සුමතිපාල කාරියවසම්, සුජිත් දමින්ද ජයවර්ධන සහ රවින්ද්‍ර අජන්ත ජයවර්ධන යන පුද්ගලයන්ය. මේ සියලු දෙනා විසින් මහාධිකරණ නඩුවක් ගොනු කර ඇත. ඒ මගින් ඔවුන් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරීමට සූදානමකින් පසු වේ. මේ සඳහා තැන්පත්කරුවන්ගේ ස්ව කැමැත්ත ඉදිරිපත් කළ යුතු වේ. තවද ඒ සඳහා රුපියල් බිලියන 5ක මුදලක් ආයෝජනය කළ යුතුව තිබේ. ඉන් පසු ඊටීඅයි ආයතනය නැවත ආයතන ක්‍රියාවලියට හසු කිරීමේ හැකියාවක් තිබේ. එමගින් අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන පහක ආයෝජනය කර නැවත ඊටීඅයි මූල්‍ය ආයතනය පටන්ගැන්මට සූදානමක් දක්නට ඇත. ඒත් අවධානය යොමුකළ යුතු කාරණාව වන්නේ මොවුන්ට රුපියල් බිලියන 5ක් එකවර ආයෝජනය කිරීමට හැකියාව ලැබෙන්නේ කෙසේද යන්නයි. එහිදී පැහැදිලිවම මේ බිලියන පහක මුදල වන්නේ තැන්පත්කරුවන්ට පසු ගිය සැප්තැම්බර් මස ගෙවීමට නියමිතව තිබූ 10%යේ කොටසක් බවට යම් කිසි සැකයක් මතුවෙමින් පවතී. තැන්පත්කරුවන් සඳහා තම තැන්පත් මුදලින් තවම ලැබී ඇත්තේ 20% කොටසක් පමණි. මුදලින් 30%ක කොටසක් 10% බැගින් තුන් වරකට ලබා දෙන ලෙස අධ්‍යක්ෂවරුන් විසින් පවසා ඇති නමුදු තවම තැන්පත්කරුවන් සඳහා ලැබී ඇත්තේ කොටස් දෙකකි. එනම් 20% ප්‍රමාණයකි. එසේ නම් ඉතිරි 10% කොටස තවම ඔවුන්ට ලැබී නොමැත. ඒ 10% මුදල මෙම යෝජනාවලිය සඳහා බැර කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය සැරසෙමින් ඇති බව නිගමනය කිරීමේ වැඩි අවස්ථාව ඇත. නැවත ආයතන ක්‍රියාවලියට සූදානම් වූවද බිලියන පහක මුදලක් මගින් අවුරුදු දෙකක් තුළදීවත් ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා ප්‍රායෝගිකව හැකියාවක් නොමැත. ඒ මන්ද යත් ආයතන නිළධාරීන්ගේ පඩි නඩි මාසයක් පාසා ගෙවා, විදුලි බිල්, වතුර බිල්, වරිපනම් සහ ගොඩනැගිලි කුලී වියදම් අත හැර පාඩු නොලබා ලාභ ලබන ආයතනයක් බවට ඊටීඅයි මූල්‍ය ආයතනය පත් කිරීම පහසු කාර්යක් නොවේ. සහ එය ප්‍රායෝගික නොවේ. එයින් තැන්පත්කරුවන් බලාපොරොත්තු වන සහන පොළියක් හෝ ලබාදීමේ හැකියාවක්වත් ඊටීඅයි අධ්‍යක්ෂවරුන්ට ඇතැයි ද සිතිය නොහැකිය.

බිලියන පහේ ණයක්
ඊටීඅයි තැන්පත්කරුවන්ගේ බිලියන දහයක රක්ෂණයක් මහ බැංකුව සතුව ඇත. මෙහිදී ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩලයේ උත්සාහය වූයේ ඒ රක්ෂණය ඇපයක් ලෙස තබා රුපියල් බිලියන 5ක ණය මුදලක් මහ බැංකුවෙන් ලබා ගැනීමය. එහෙත් මහ බැංකුව ඊට අවසර නොදිම හේතුවෙන් නැවත වරක් ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩලය එය රුපියල් බිලියන 3.5 දක්වා අඩු කරමින් ණය මුදලක් ඉල්ලා සිටී. ඒ ඉල්ලීමත් මුලින් මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කර ඇත. එය ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධානතම හේතුව වන්නේ ණය මුදල් ලබා දී ආයතනය නැවත බිද වැටීමක් සිදු වූවහොත් තැන්පත්කරුවන්ට මහ බැංකුව යටතේ තිබෙන රක්ෂණයවත් ලබා ගැනීමට හැකියාවක් නොමැති වී යාම නිසාය. නිශ්චිතවම සෑම අවස්ථාවකදීම ඊටීඅයි අධ්‍යක්ෂවරු සැරසෙන්නේ තැන්පත්කරුවන් ආවරණයක් ලෙස භාවිත කිරීමට බව පැහැදිලිය.

රහස්‍ය ඡන්ද විමසුමක්
ඊටීඅයි මුල්‍ය ආයතනයේ පාඩු ලැබූ තැන්පත්කරුවන් 24126ක ප්‍රමාණයක් සිටින අතර මේ 24126න් බොහොමයක් තැන්පත්කරුවෝ තම තමන්ගේ තැන්පතු වලට සිදු වී ඇති අගතිය තවමත් නොදනිති. ඉහත දැක්වූ ආකාරයට ප්‍රතිව්‍යුහගත සැලැස්මක් ක්‍රියාවට නැංවීමේදී තැන්පත්කරුවන්ගේ ස්ව කැමැත්ත ඒ සඳහා ඉදිරිපත් කළ යුතු වේ. එහිදී මොවුන් රහස්‍යය ඡන්ද විමසුමක් ඉදිරිපත් කර ඇත. එය ඊටීඅයි අධ්‍යක්ෂවරුන්ගේ තවත් කූට උපක්‍රමයක් ලෙස උලුප්පා තිබීම වරදක් නොවේ. තැන්පත්කරුවන් 24126 සමගම නිසියාකාරව සංවිධානගතව කිසියම් ආකාරයකින් සන්නිවේදන ක්‍රියාවලියක් සිදු නොවීම හේතුවෙන් මෙවැනි රහස්‍යය ඡන්ද ක්‍රමයක් පැවැත්වීමෙන් සිදු වන්නේ අසාධාරණයකි. ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩලයට උදා වන්නේ ඉතා වාසි දායක තත්ත්වයකි. එයින් තැන්පත්කරුවන්ට ලොකු අසාධාරණයක් සිදුවන බව පැහැදිලිය.

ඊටීඅයි අධ්‍යක්ෂවරු තැන්පතුකරුවන් වෙත ඉදිරිපත් කරන ලිපියකින් ඡන්ද ක්‍රියාවට නැංවීමට සූදානමින් සිටින අතර එහි අවුරුදු දෙකකින් ගෙවා නිම කළ යුතුය සහ අවුරුදු හතරකින් ගෙවා නිම කළ යුතුය කියන පාඨයන් දෙක ඇතුලත්ව ඡන්ද විමසුම පැවැත්වීමට සූදානමක් ඇත. තැන්පත්කරුවන් මෙයට කෙසේ ප්‍රතිචාර දැක්වූවද ඊටීඅයි අධ්‍යකෂවරු මෙයින් තමන්ට ගෙවිය හැක්කේ අවුරුදු හතරකින් බව ස්ථිර කරගතහොත් තැන්පත්කරුවන් අවුරුදු දෙකෙන් මුදල් ලබාදිය යුතුය කියන පාඨයට ස්ව කැමැත්ත ප්‍රකාශ කර තිබුණත් එයින් ඵලක් නොමැත. එසේනම් රහස්‍ය ඡන්ද විමසුමක් අවශ්‍ය නැත. මෙම රහස්‍යය ඡන්ද සූදානම ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩලයේ තවත් කූට උපක්‍රමයක් වග පෙන්වා දිය හැක. ඔවුහු ඇති තරම් තම තැන්පත්කරුවන්ව හෙම්බත් කරමින් රස්තියාදුවේ යවති. තැන්පත්කරුවෝද කෙතරම් හෙම්බත් වුවත් තම තමන්ගේ මුදල් වෙනුවෙන් පෙනී සිටිති. ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩලයේ උත්සාහය අනුන්ගේ මුදල් තමන්ගේ අනෙකුත් ව්‍යාපාර වලට ආයෝජනය කර නිහඩව කිසිත් නොවූවා සේ බලා සිටීමය.

එදිරිසිංහ 4න් 2ක් ඉවතට
දැනට ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින්නාවූ එදිරිසිංහලාගෙන් හතරෙන් දෙදෙනෙක් ඉවත්වීමට තීරණය කර ඇත. ඉතිරි 10%ක මුදල තැන්පත්කරුවන්ට ලබා දීමට තියා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ රුපියල් බිලියන 5ක මුදලවත් තවම ආයෝජනය කර පෙන්වීමේ හැකියාවක් නොවූ නිසා මොවුන් ඉවත්ව යාමට හේතු දක්වා ඇති බව දැන ගැනීමට ඇත. පසුව ඉදිරි අවුරුදු දෙකක කාලයක් තුළ අනෙක් දෙදෙනාත් ඉවත්ව කුලියට හිරේ යන පුද්ගලයකු අත ඊටීඅයි පත් කිරීමට සූදානමකින් පසු වන බව පැහැදිලි වෙමින් පවතී.

තැන්පත්කරුවන්ට මරණ තර්ජන
අසාධාරණය සිදු වී ඇත්තේ ඊටීඅයි හි මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ටය. අධ්‍යක්ෂවරු විසින් බොරැල්ල පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර තම තැන්පත්කරුවන්ව මට්ටු කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය කළේ මීට මාස එකහමාරකට ඉහතදීය. ඒ ආයතනයට පැමිණ අධ්‍යක්ෂවරුන් කරදර කරනවායැයි පවසමින් තැන්පත්කරුවන් පස් දෙනෙකුට විරුද්ධව මෙම පැමිණිල්ල බොරැල්ල පොලිසියේ ගොනු කර තිබීමය. පසුව මෙම පැමිණිල්ලට අදාළ තැන්පතුකරුවන් පස් දෙනාගෙන් සතර දෙනෙක් අගෝස්තු මස 15 වන දින පොලිසිය ඉදිරියේ පෙනී සිටියහ.

තැන්පත්කාරිණියක වන අනූෂා ඒ ගැන කීවේ මෙවැනි අදහසකි.

“පළමු වරට තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි කමිටුවේ ප්‍රධානියා වශයෙන් වැඩ කළ නිරෝෂන් නමැති පුද්ගලයා ඇතුළුව තව පුද්ගලයන් විසිපස් දෙනකු බොරැල්ල පොලිසියට ගිහිල්ල තියෙනවා. ඒ ගිහිල්ල තියෙන්නේ අනූෂා ඒ කියන්නේ මාව අගෝස්තු 16 වෙනිද පැවැත්වූ රැස්වීමට සහභාගී වෙන්න දෙන්න එපා කියලා පොලිසියෙන් ඉල්ලීමක් කරන්න. එහිදී බොරැල්ල පොලිසියෙන් කියලා තියනවා නීතියට අනුව එහෙම කිසිවක් ඔවුන්ට සිදු කරන්න බැහැ කියලා. ඊටීඅයිලට උවමනාව තියෙන්නෙ මාව එයාලගෙ රැස්වීම් වලට එන එක නවත්තන්න. අනික මට දුරකථන ඇමතුම් ඔස්සේ මරණ තර්ජන පවා ඇවිත් තියෙනවා. අනික ඒ තර්ජනය කරලා කියන්නේ රැස්වීම් වලට එන එක නවත්තපන් කියලා. මොකද එයාල දන්නවා මා ගාව හැම විස්තරයක්ම තියෙනවා කියලා. ඒවා අපේ මිනිස්සුන්ට කීවම එයාලගෙ හෙළුව පේනවනේ.”

ඉතිරි 80% මොකද වෙන්නේ
තැන්පත් කරුවන් තම තැන්පත් මුදලින් 20% ලබා හමාරය.30% ලබා දෙනවායැයි පැවසූවද ඉතිරි 10% ලබාදීම පිළිබඳ තවමත් විශ්වාසයක් නොමැත. එසේනම් ඉතිරි 80%වම දෙන්නේ කවදාද? අද දෙන්නම් හෙට දෙන්නම් සැප්තැම්බර් අග දෙන්නම් යන තැටිය ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිතර නිතර කරකවන්නකි. මේ තැටිය දවසක ගෙවී ගියද දත් හිරි වට්ටන තුරු ඔවුන් මෙය කැරකවීමට සැදී පැහැදී සිටින බව සත්‍යය. මේ කාරණාව සම්බන්ධව ඔවුන්ගේ රැස්වීම් වලට සහභාගී වන තැන්පත්කරුවන් වුවද තේරුම් ගෙන හමාරය. මේ නිසා තැන්පත්කරුවෝ නොයෙක් නොයෙක් විදි යොදා තම මුදල් අතට ගැනීමට මේ ගෙවීගිය දින සහ ගෙවීයන දින වල පොරකමින් සිටිති. ඉතිරි 80% ලබා දිමට සුදුසු වැඩ පිළිවෙළක් ඉක්මනින් යෙදීම ඊටීඅයි මූල්‍ය ආයතන අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමකි. 1988-05-12 දින මුදල් සමාගම් පාලන පනත යටතේ මහබැංකුවේ ලියාපදිංචි ආයතනයක් වශයෙන් මහබැංකුව සතුවත් යම් සේ වගකීම් ප්‍රමාණයක් ඇත.

පුද්ගලික මූල්‍ය අර්බුද වලදී ආයතන විසින් මුදල් කොටස් ක්‍රමයකට ලබා දීමේ පටිපාටිය එදා සිට පැවත ආවකි. මුලින්ම ගෝල්ඩන් කී අර්බුදයෙන් පටන් ගත් මේ අවුල විටින් විට කීපතාවක්ම ජනතාවට මේ සාමාන්‍යය ජනතාවට අමතරව මේ ඉහළ නිළධාරීන් කිසිවකුත් දේශපාලනඥයන් කිසිවකුත් තම මුදල් ඊටීඅයි හි තැන්පත් කර ඇති බවත්, කෝ අපේ මුදල් යනුවෙන්වත් තර්කයක් නොගෙනෙන්නේ මන්ද? එයින් නිශ්චිතවම පැහැදිලි වන්නේ ඊටීඅයි බිඳ වැටීම සම්බන්ධව ඔවුනොවුන් මුල සිටම දැන සිටීමත් පසුව තමන්ගේ මුදල් ආපසු ලබා ගැනීමත්, එයින් ජනතාවගේ මුදල් ලබා දීමේ හැකියාව ඊටීඅයි මූල්‍ය ආයතනයට දැරීමට අපහසු වීමත්ය. කිසිවක් තැන්පත්කරුවන්ට අදාළ වන්නේ නැත. තැන්පත්කරුවන් තමන්ගේ මුදල් මිස අනෙකාගෙන් සොරාගත් මුදල් ඊටීඅයි හි තැන්පත් කර නැත. මේ නිසා පුද්ගල මහන්සියෙන් හරි හම්බකරගත් මුදල් ඊටීඅයි හි සින්න වීමට තැන්පත්කරුවන් කිසිවෙක් කැමති නොවෙති.

වැඩි පොළිය මරු කැදවයි
රටේ වැඩිහරියක් පෞද්ගලික මූල්‍ය බැංකු මගින් අතේ ඇති මුදලට වැඩි පොළියක් ලැබෙනු ඇතැයි යනුවෙන් දැන්වීම් පුවරු පෙන්වයි. මේ හේතුවෙන් ඕනෑම කෙනකු තමන්ගේ මුදලට එවැනි පොළියක් ලබාදෙන ආයතන වලට ඉබේම වාගේ ඇදෙන්නේය. ඊටීඅයි ආයතනයත් 15% පොළියක් ඉදිරියට පෙළගස්වාගෙන ඉදිරි ගමන ආරම්භ කළේය. එහෙත් නැවතුන තැන අසුබය. 24126ක් තැන්පත්කරුවෝ අවදානමේය. ඒ වගේ අනෙකුත් මූල්‍ය බැංකු වලටත් මෙවැනි දේ සිදු විය හැකිය. ඒ මදිවාට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ ලියාපදිංචි ආයතන මේවාය, මෙවාගේ පමණක් මුදල් තැන්පත් කරන්න යනුවෙන් මහ විශාල පුවත්පත් දැන්වීම්ද නිකුත් කරයි. සිදු වී ඇති ගැටලු හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසයත් ගිලිහී ගොස් හමාරය. අඩුම තරමේ තැන්පත්කරුවන්ට වගකියන තත්ත්වයක් අවශ්‍යය. ඔවුන් වගකියන්නේ ආයතනයට පමණක්ද?