යට ඇඳුම් ජනමාධ්‍ය හා එල්ලුම් ගස් දේශපාලනය

ලංකාව කටින් බතල හිටවන රටක් බවට මේ වනවිට පත්ව ඇතැයි සිතිය හැකිය. ගැමි ජන සමාජයේ ප්‍රකට යෙදුමක් වන එහි අරුත කිසිදු වැදගත් දෙයක් නොකොට කයිවාරු ගසමින් සිටීමය. හැමදාම කතා කරමින් සිටීම සඳහා සිදුවීමක් වාර්තා වනු පෙනෙයි. දේශපාලනඥයන්ට කිසියම් සිද්ධියක් මතුකර දීමට නොහැකි වුණු දවසක තෙබුවන පොලිස් නිලධාරියා ඒ වැඬේ කර දුන්නේය. හිට්ලර් කෙනකු අවශ්‍ය බවට කියවුණු සාකච්ඡාවේ සිට එල්ලුම්ගස, විජයකලා සිද්ධිය, නාමල් – නාලක කුමන්ත්‍රණය 20 වැනි සංශෝධනය, සභාග හෝ භාරකාර ආණ්ඩුව 2020 ජනපති කවුද යන්න සාකච්ඡා කිරීම, පිදුරංගලදී පශ්චාත් භාග ප්‍රදර්ශනය කිරීමේ සිද්ධිය ආදී මෙතෙක් කාලය කා දමන ලද බොහෝ සාකච්ඡා අතර තෙබුවන සැරයන්වරයාගේ සිද්ධියෙහි එක්තරා අවංකකමක් දක්නා ලැබුණි. එහි කුඩා හෝ පිරිසිදු චේතනාවක් දිස්වන්නේ හෙරොයින්කාරයන් එල්ලනවා එල්ලනවාමයි කියා ජනපති කළ ගෝරනාඩුව වැනි ව්‍යාජ සංදර්ශන සමග සසඳා බලද්දීය.

ජනමාධ්‍යයට විග්‍රහ ලියමින්, සංවාද පවත්වමින් කාලය ගතකිරීමට ඉහත කී ව්‍යාජ ඉස්මතු කිරීම් උපකාරී විය. ජනමාධ්‍ය ඒවාට මහත් උනන්දුවෙන් මැදිහත් වුවත් ඒ සෑම සිද්ධියක් දෙසම උණුසුම මැරී යන අවස්ථාවේ බැලූවිට ජනමාධ්‍ය අවංක නම් ඔවුන්ට මහත් හිස්කමක් දැනෙන්නට ඇත. කාලය කා දැමූ බවක් දැනෙන්නට ඇත. දේශපාලනඥයාට නම් මීළඟ ඡන්දය වනතුරු මෙවැනි නිරර්ථක උණුසුමක් අවශ්‍යව ඇත. ජනමාධ්‍යයත් එම ව්‍යාජ ඉස්මතු කිරීම් ප්‍රශ්න නොකර ඒවාටම නතුවී අපරිණතව ක්‍රියා කරනු දක්නා ලැබුණි. ඉන් පෙනීයන්නේ ජනමාධ්‍යයත් මේ වනවිට දේශපාලකයාගේ වැඬේම කරමින් සිටින බවය. වෙනස ඇත්තේ ජනමාධ්‍ය මේ ව්‍යාජ සංවාදයට එකඟ වී සිටින්නේ කාලය කා දැමීමේ පැත්තෙන් නොව හුදෙක් වෙළෙඳ අරුතිනි. අනෙක් අතට ජනමාධ්‍යයේ ඇතැම් මැදිහත්වීම් යට පටු දේශපාලන අරුත් ගැබ්වෙයි. වැදගත්ම දේ මහජන සේවා ජනමාධ්‍ය නොව වෙළෙඳාම හා දේශපාලන අවස්ථාවාදය වන විට සමාජය තුළ උද්ගතවනු ඇත්තේ මහත් විකෘතියකි.

ජනමාධ්‍ය ඉදිරියේ මහත් කාර්යභාරයක් තිබියදී ඔවුන් දේශපාලකයන් පත්තු කරන අහස්කූරු පසුපස යන ආකාරයක් දන්නට ලැබෙයි. අහස් කූරෙහි අලංකාරය ඇත්තේ ‘පුෂ්’ හා ‘ඩෝං’ ශබ්ද එන තෙක් පමණි. ලංකාවේ සමාජය තුළ ගෙවුණු මාස දහය පුරා ඉස්මතු වුණු සෑම සිදුවීමක්ම ‘පුෂ්’ හා ‘ඩෝං’ ශබ්දවලින් එහාට ගියේ නැත.

මේ පටු ක්‍රියාවලියෙන් මිදී දේශපාලකයන් මෙන්ම ජනමාධ්‍ය මහජනයාගේ ජීවිත පැවැත්මට අදාළ විෂය තත්ත්වයන් කෙරෙහි යොමුවන්නේ කෙදිනකද? සභාග හෝ භාරකාර ආණ්ඩු හැදීමේ උණුසුම් සාකච්ඡා අතරෙහි කවුරුත් නොදන්නා තෙල් මිල සූත්තරය වට ගණනාවකින් ඉහළට එසවේ. නොකෙරෙන විස්ස පස්සේ දුවන විට බඩු මිල අහස උසට නැග හමාරය. මුරුංගා කොළ සමග බත් කන සමාජයක් ලංකාවේ නැතැයි කියන්නට ජනාධිපති මාධ්‍ය අංශය සෑහෙන වෙහෙසක් ගත් බව පසුගිය දිනවල කළ ගවේෂණවලින් පෙනුණි. මුරුංගා කොළ සමග බත්කෑමේ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුවත් දෙවේලේ පමණක් කන හා එක වේලකට පමණක් බත් කන දරු පවුල් කීයක් ලංකාවේ සිටින්නේදැයි ජනාධිපති කාර්යාලය සමීක්ෂණයක් කර තිබෙනවාද? දුෂ්කර ගැමි දිවියක් ගත කරන මිනිසුන් කන ආකාරය ගැන ජනපති මාධ්‍ය අංශය සමීක්ෂණ කළ යුතු නැත. ජනපතිට ගැමියකු ලෙස ඒවා ගැන අවබෝධයක් තිබිය යුතුය. අවබෝධය තිබිය යුත්තේ බලයට පත්වීමට පමණක් නොවිය යුතුය. අවබෝධය වැඩි වර්ධනය විය යුත්තේ බලය හොබවන විටය.

රටේ යථාර්ථය හා දුප්පත්කම ගැන ඇත්ත තත්ත්වය සඟවනු පිණිස සැලසුම්සහගතව උපාය මාර්ග ක්‍රියාත්මක වනවා නම් ඒවා ගැන විචාරශීලීව බැලීම ජනමාධ්‍යයේ වගකීමකි. එක්තරා දේශපාලන විශ්ලේෂකයකු කීවේ පිදුරංගල තරුණයන් තිදෙනාගේ සිද්ධිය ව්‍යාජ පුවත් අවුළුවා තබා රටේ ප්‍රශ්න කේන්ද්‍රයෙන් විසුරුවා හැරීමේ වැඩසටහනක නිරත පිරිසකගේ සැලසුමක් බවය. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් එවැනි දේවල් කෙරෙහි ජනමාධ්‍ය අනවශ්‍ය අවධානයක් යොමු කරන බවද පෙනේ. පැපිලියානේදී පොලිස් නිලධාරියකු මරුමුවට පත් කළ වෛද්‍යවරිය පිළිබඳ සිද්ධියේ ප්‍රධාන කරුණු ඉස්මතු නොකර ඇගේ චර්යාවන් ඉස්මතු කරන මාධ්‍ය හරඹයක්ද දක්නට ලැබුණි. හොල්මං කතා කෙමෙන් යටපත්වූ පසු ඊට වඩා භයානක ලෙස එල්ලුම්ගස, පිදුරංගල, වෛද්‍යවරියගේ සිද්ධිය වැනි දේවල් ජනමාධ්‍ය මගින් සමාජයේ ඉස්මත්තට ආවේය. මේවා ගැන පුවත් පළ නොකර සිටිය යුතු නැත. එහෙත් මහජනයාගේ ජීවිතවලට අදාළ වැදගත්ම ප්‍රශ්න හැරගිය යට ඇඳුම් ජනමාධ්‍යයක් හා ව්‍යාජ එල්ලුම් ගස් දේශපාලනයක් රටට අනවශ්‍යය.