නාමල් එන්න මල් පිපීදැයි බලන්න

දිනක් වඳුරකු උළු වහලයක් මත රඟන්නේය. එය නරඹමින් අත්පොළසන් දෙමින් ප්‍රීති වූ ගෙහිමියෙක් දුටු බූරුවෙක් ඊට පසුදින උළුවහලයට නැග නටන්නට විය. එම බූරු රංගනයෙන් උළු බිඳෙන්නට වූ අතර එයින් කුපිත වූ නිවැසියෝ කෙවිටක් ගෙන ඌට තලා බිමට බැස්ස විය. එයින් ලත් වේදනාවෙන් හා ලැජ්ජාවෙන් පරිපීඩිත වූ බූරුවා තම ගෙහිමියා අමතා මෙසේ ඇසීය. ඊයේ වඳුරෙක් වහලයේ නටනවා දැක ප්‍රීති වූ උඹ අද එම රැඟුම මා කරනවිට තැලුවේ ඇයි?

ඒ යුරෝපානු ජනප්‍රවාදයකි. එහෙත් ලංකාවේ සමාජයට සිදුව ඇත්තේද ඒ කතාවේ ගෙහිමියාට වූ සන්තෑසියමය. එනම් වඳුරු රංගන ගෙන්වාගෙන ඒවා අත්පුඩි තලමින් නැරඹූ අපට දැන් කෙළවරක් නැති බූරු රංගන බලන්නට සිදුව ඇත. ඒවා කෙවිටෙන් තලා නතර කළ නොහැකි තැනට වර්ධනය වී ඇත. දැන් සිදුව ඇත්තේ වඳුරන්ට, බූරුවන්ට ඕනෑම නැටුමක් නටන්නට දී අහක බලාගෙන ඉන්නටය. එයින් හෙම්බත්ව මිනිසුන් වෘකයන් බදා ගන්නේ නම් අසන්නට පැනයක් ඉතිරි වේද?

මෛත්‍රී – ගෝඨා
සියලු ප්‍රශ්න නිර්මාණය වන්නේ ජනමාධ්‍යයෙනි. අලුත් ප්‍රශ්නයක් හෙට නිර්මාණය කිරීමට අවශ්‍ය නම් ඕනෑවන්නේ කෙටි වේලාවකි. මේසයක්, පුටු කිහිපයක් සහ මයික් කිහිපයකි. ඒ මයික් මෙරට විද්‍යුත් මාධ්‍ය කිහිපයේ වීම ඕනෑවටත් වඩා ඇතිය. එතැන් සිට එය රට ගිනි ගන්නා ප්‍රශ්නයකි. මෛත්‍රී, ගෝඨා ඝාතනය කුමන්ත්‍රණය කිරීමත් ඒ පන්නයේම වැඩකි. නොබෝදා සාමාන්‍ය හමුවකදී මේ ප්‍රශ්නය ජයට කතාබහ විය. එහිදී ගිලිහුණු කතා ටිකක් අහුලා ගත්තෙමි. “අමු බොරුවක් ඕක.”, “ජනාධිපතිව මරන්න හිටියලු. හැබැයි ඒක ඇහැව්වා කියලා ජනාධිපතිට ගාණක්වත් නැහැනේ.”, “අපිට තරම්වත් බයක් නැහැනේ.” “ඕක කතා කරන එකත් බොරු වැඩක්.” “ඔය මෛත්‍රී-ගෝඨා මරන්න හිටියා කියන එකා කොයින්ද ආවේ?” “පිස්සු කතා.” එතන මුළු සංවාදයම දිග හැරුණේ ඔවැනි කතාවලිනි. ඉන් එකක් හොඳටම පැහැදිලිය. එනම් ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීම ඇත්ත නැත්ත මොකක් වුව සමාජය ඉදිරියේ නාඩගම් බවට පෙරළී ඇති බවය.

නාමල් කුමාර
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණය මාධ්‍ය ලෝකය අවුළුවාලූ පුවතක් විය. එහි රස්නය රටම රත් කළේය. අප කතාව පටන් ගත් පරිදිම මේ හෙළිදරව්ව එළියට එන්නේ මාධ්‍ය හරහාය. සාමාන්‍යයෙන් තමන්ව හෝ තවකෙකුව මරන්න එනවා නම් වහා යායුත්තේ ඒ ගැන දැනුම්දීමට පොලිසියටය. ඊටත් එහා කුමන්ත්‍රණ හෙළිදරව්වක් නම් රහස් පොලිසියටය. එහෙත් මේ හෙළිදරව්ව සඳහා තෝරා ගන්නේ ඒ දෙකම නොව මාධ්‍යයය. මහනුවරදී පවත්වන මේ මාධ්‍ය සාකච්ඡාව හරහා ඝාතන ගින්න රටටම ඇවිලුණි. ඒ දූෂණ විරෝධී සංවිධානයේ අධ්‍යක්ෂ බව කියන නාමල් කුමාර නමැත්තෙක් මගිනි. තිස්තුන් කෝටියක් දෙවිවරු ගාණට මෙන්ම සංවිධානද පිහිටුවාගෙන ඇති මෙරට සංවිධාන මතුවන්නේ ඉබේටමය. මීට පෙර එවැනි සංවිධානයක් තිබුණේද එහි අධ්‍යක්ෂවරයෙක් ලෙස නාමල් කුමාරයෙක් සිටියේද කවුරු දනිත්ද? දැන් නාමල් කුමාර නාමල් රාජපක්ෂටත් වඩා ජනප්‍රියය.

අම්පාර මහඔය ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු නාමල් කුමාර දැනට පදිංචිය වරකාපොළ, කරඳ නමැති ගමේය. ඒ බිරිඳගේ ගමය. ඔහු එහි බින්න බැස ඇත. ඒ නිසා පදිංචිය එහිය. බිරිඳගේ ගමේ පදිංචි වන්නට පෙර නාමල් 2004දී අම්පාරෙන් කොළඹ පැමිණ ඇත්තේ කුමක් හෝ රැකියාවකටය. නාමල්ගේ සහෝදරයන් කිහිපදෙනෙක් ආරක්ෂක අංශවල රැකියාවේ නියුතු බව පැවසේ.

මේ නාමල් කවුද කින්ද මන්ද, රටට නොව ඔහුටවත් මීට පෙර අදාළ වූවාද යන්න අපි නොදනිමු. එහෙත් එකපාරටම සංවිධානයක් බිහිකරගෙන මාධ්‍ය හෙළිදරව්වක් කරමින් ජනපති සහ ගෝඨාභය ඝාතනය කරන්නට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව කීමත් සමග නාමල් එක දවසින් පොරක් විය. මීට පෙර නොදන්නා නාමල් දැන් රටම දන්නේය. අද දේශපාලනයේ රැව්දෙන නමක් බවට නාමල් පත්ව ඇත. නාමල්ගේ මාධ්‍ය හමුවට වුව කන්දෙන විට අප කුමක් කරමුද යන්න තවමත් හිතාගත නොහැක්කේ ඔහු රටේ ලෝකයේ සිදුවන දූෂණ විරෝධී ක්‍රියාවලට එරෙහිව නැගී සිටින ප්‍රබල චරිතයක් බව හඳුන්වාදීමත් සමගය. බුද්ධි අංශයට හෝ රහස් පොලිසියට හොයාගත නොහැකි කුමන්ත්‍රණයක් වරකාපොළ වෙසෙන නාමල් සොයා ගන්නේ නම් එයම විජ්ජාවක් නොවේද? සැබැවින්ම මේ කතාවම විජ්ජාවකි. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධය මෙය සෙප්පඩ විජ්ජාවක් බවට පත් කළේ නාමල් නොකී කතා ඒ පිටපතට එකතු කරමිනි. එනම් මෛත්‍රී ඝාතනය කළ පසු ඒ තැන යන්නේ අගමැතිටය. එනම් අගමැති කවුද? රනිල් වික්‍රමසිංහය. එසේ නම් ජනාධිපති පුටුවට ආශා කරන කෙනා ජනපති ඝාතනය කර ඒ පුටුවට එන්න බලන්නේය. ඒ රනිල්ය. ඒකාබද්ධයේ බද්ධ කොටස් සියල්ල ක්‍රියාත්මකවන්නේ මෛත්‍රී පිළිබඳ හදවතිනි. ඒ පුවත ඇසුණු කල ඒ අය තක්බීර්වන්නේ මෛත්‍රී පවුලේ උදවියටත් වඩා වේගයෙනි. දැන් බලපුවහම රනිල් මාර බඩුවකි. 2015දී මෛත්‍රීව ජනපති කර ඇත්තේ පසුව ඝාතනය කර ජනපති වන්නටය. විටක ඒකාබද්ධයට මෙලෝ රහක් නැති මුකුත් කරගන්නට බැරි යැයි කියන රනිල්, මෛත්‍රී මදිවට අනාගතයේ එතැයි සිතන ගෝඨාභයවද මෛත්‍රී සමගම පොළෝගත කරන්නට පිඹුරුපත් සකසා ඇත. මෙතරම් දරුණු හෙළිදරව්වක් මායිම් නොකර ඉන්න මේ රටේ මිනිස්සුන්ට සැබැවින්ම පිස්සුද? තම රටේ නායකයා ඝාතනය කරන්නට උත්සාහ කළා සේ ම අනාගත නායකයාද අහිමි කොට අපගේ අනාගතය පවා නැති කරන්නට ගිය කුමන්ත්‍රණය මේ තරම් හෑල්ලුවට ගන්නට මේ රටේ පොලිසියට, රහස් පොලිසියට පුළුවන් නම් ඔවුන් කරන්නේද? කුමන්ත්‍රණයක් නොවේද? නාමල්ගේ දූෂණ සංවිධානය මේ කතාවට කියන්න අටවා ගත් සංවිධානයක් යැයි කියමු. ඒත් වැදගත්වන්නේ සංවිධානයේ වයස නොව කියන දේ නම් රටේ ජනාධිපති මරන්න හිටියා යැයි කීමම හදවත හිරිවට්ටන පුවතක් නොවේද? මේ පුවතට රටේ ජනතාව කෙසේ වෙතත් ජනපති හෝ සලිත වූ බව නොපෙනේ.

දෙයක් කිව යුතුමය. නාමල්ගේ කතාවේ ඇත්ත නැත්ත අපි නොදනිමු. එය සොයා ගැනීම ඉතාම පහසුවෙන් ජනපතිටම බලය යොදා කරගත හැකිය. පොලිසියට හෝ රහස් පොලිසියට එයින් කර ඇරිය නොහැකිය. එබැවින් එය කඩනමින් සිදුවී නාමල් කී දේ සැබෑ නම් රටම නාමල්ට ණයගැති විය යුතුය. මන්ද ඒ වත්මන් ජනපති මෙන්ම අනාගත නායකයාද රටට ඉතිරි කිරීම වෙනුවෙනි. අපි ඔහු පොදු අපේක්ෂකයා කළාද වරදක් නොදකිමු.

නාමල් සහ නාලක
මේ කතාවේ නළුවා නාමල් වනවිට දුෂ්ටයා නාලකය. එනම් ඝාතන කුමන්ත්‍රණය සැලසුම් කොට ඇත්තේ නාලකය. නාලක සිල්වාය. නාලක සිල්වා යනු කවුද? ඔහු නියෝජ්‍ය පොලිස්පති කෙනෙකි. නියෝජ්‍ය පොලිස්පති කෙනකුට නාමල් කුමාර එක්ක ඇති ඇයි හොඳයිය කුමක්ද? නාමල්ට නාලක සමග පමණක් ලංකාවේ පොලිසිය සමගම සම්බන්ධයක් ඇත. එනම් ඔහුගේ වෘත්තිය පොලිසියට කේලම් කීම වන බැවිනි. ඒ සඳහා ඔහුට පොලිසිය ගෙවනු ලබයි. කේලම් යනු වෙන කිසිවක් නොව ගමේ කසිප්පු පෙරන, කුඩු විකුණන සහ විවිධ විෂමාචාරකම් ගැන පොලිසියට ඔත්තු සැපයීමය. ඒ ඔහුගේ රස්සාවය. වෘත්තිමය ලෙස කිවහොත් ඔහු පොලිස් ඔත්තුකරුවෙකි. නාමල් පොලිසිය තුළ ප්‍රබලවන්නේ දිගන මහසෝන් බලකායේ සිද්ධියට අදාළ තොරතුරු සැපයීම නිසා බව පැවසේ. සමාජ අහුමුළු පරීක්ෂා කළ නාමල් පොලිසිය ඇතුලේ රහස් පවා සොයන තැනට තල්ලු වුයේ ඔහු සතු ෂර්ලොක් හෝම්ස් ගති ලක්ෂණ නිසා විය හැකිය.

නාමල් සමග නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධකම් පවත්වා ඇතත්, පසුව ඔහුව ඈත්කොට ඇත. එයට හේතු දන්නේ ඒ දෙපළමය. නැතහොත් නාලක සිල්වාය. මේ විරසකය කුමක් වුවත් ඉන්පසුව සිදුවන්නේ නාමල්, නාලකට එරෙහිව අවි අමෝරා ගැනීමය. නාමල් මහනුවරදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්නේ ඉන්පසුවය. එම මාධ්‍ය හමුවේදී ඔහු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට දැඩි චෝදනා එල්ල කරන අතර එහි ඇති බරපතළම චෝදනාව නම් ජනපතිව සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව ඝාතනය කරන්නට නාලක සිල්වා කුමන්ත්‍රණය කළ බවද ප්‍රකාශ කළේය. එය ඔප්පු කිරීමට නාලක සිල්වා තමන් සමග කතා කළ හඬ පටයක්ද මාධ්‍යයට මුදාහැරියේය. එම හඬපටය හරහා නාලක සිල්වා පමණක් නොව රාජ්‍ය බුද්ධි අංශයේ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ්, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යනාදීන්ගේ නම්ද කියැවිණි. ඒ නම් කියැවුණේ නාලක සිල්වා කියනුයේ ඉහත අය එම තනතුරුවලින් ඉවත් කළ යුතු බවට හැඟවෙන කතාය. මේ නාමල් කුමාරගේ දුරකතනයේ ඔහු රෙකෝඞ් කරගෙන ඇති කතාය. ඒ නාලක සිල්වාගේ බව ඔහු කියයි. මේ හඬපටය මගින් එළියට එන අනෙක් කරුණ නම් 2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ඉදිරියට ගතයුතු බවය. ඒ නිසා ඒකාබද්ධයට කතා ගොතන්නට ඒ ටිකම ප්‍රමාණවත් විය. රනිල් පුම්බන අතරම 2020දී මෛත්‍රී-ගෝඨාභය සමග එකතුවීමේ ඉඩ ප්‍රස්ථාවක් ඇති බැවින් එලෙස එකතු වුවහොත් රනිල්ට අවාසි බැවින් ඔවුන් කොන් කර රනිල් ඉදිරියට ගන්නා වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතු බව හැඟවෙන කතාවක් එහි ඇත. දැන් ඇති ප්‍රශ්නය නම් මේ කතාබහවල හඬපට නාමල් සතු වුවද ඔහු කියන ප්‍රධාන චෝදනාව වන මෛත්‍රී-ගෝඨා ඝාතනය කරන සැලසුම ගැන හඬ පටයක් ඔහු සතුව නොවීමයි. ඔහු මේ හඬපට හරහාම රෙකෝඞ් නැතත් තමන්ට කීවාය යන්න ඔප්පු කරන්නට දඟලති. ඝාතන කුමන්ත්‍රණය නාමල්ගේ වාචික ප්‍රකාශනයකි. එය සත්‍ය ලෙස ගන්නේ කෙසේද? අනෙක් හඬ පටවල ඇත්තේ නාලක සිල්වාගේම හඬ වුවත් ඝාතන කුමන්ත්‍රණයක් ගැන ඔහු කීවා යැයි අප නාමල් මත පිහිටාම පිළිගත යුතුද? එලෙස පිළිගන්නට තරම් නාමල් කවුද? මාධ්‍ය හරහාම භයානක වීරයකු බවට පත්වූ මාකඳුරේ මධුෂ් ලවා මේ ඝාතන සිදුකිරීමට සැලසුම් කළ බව නාමල් කියන දෑය.

ඡන්ද ඕනද?
මේ කතා දෙස බලන කල සැබැවින්ම මින් ඉදිරියට මැතිවරණ වුවමනාද? තමන්ට බලය වුවමනා නම් ඒ කොන්ත්‍රාත්තුව පාතාලයට භාරදී බලයේ ඇතිවුන් මරා බලය ගැනීම ලේසි පහසු වැඩක් නොවේද?

මෙතරම් නිර්භීත නාමල් කුමාර දැන් කියනුයේ මේ කුමන්ත්‍රණ පිළිබඳවද කතාද තමා රහසේ පටිගත කළමුත් පසුව ඒවා බයට මකා දැමූ බවය. එහෙත් දැන් මකා දැමූ දෙයක් සත්‍යය ලෙස කියන්නට ඔහු එඩිතර වූයේ කෙසේද? ආණ්ඩුවෙන් වැටුප් ලබන ඔත්තුකරුවකු වන නාමල් මේ තරම් සුවිශේෂී සාක්ෂියක් මකා දැමුවේ ඇයි? බයට නම් දැන් බය නැතිව ඒ ගැන කියන්නේ ඇයි? අනෙක් අතට එය මකා දැමුවා වුව නැවත ලබාගත හැකි ක්‍රමය අධිකරණය හරහා මොරටුව හෝ කොළඹ සරසවියේ ඉංජිනේරු අංශ හරහා කරගත හැකිය. ඒ නිසා නාමල් ඒ ගැන වුව බියවිය යුතු නැත. මේවා ඉදිරි මැතිවරණ සඳහා යොදාගත යුතු නැත. කළයුත්තේ නාමල් කුමාර එකවර කඩා පැන කියන කතාව සත්‍යයද යන්න සොයන එකය. ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව පහළොස් දෙනාගේ කණ්ඩායමද මෛත්‍රී ඝාතනය ගැන අසා ඩෙඟා නැටුවේය. එයින් නොනැවතී මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්නැයි මේ ආණ්ඩුවට බල කළ යුතුය.

බය මේ ආණ්ඩුව මෙවැනි කතා සමාජගත වන්නට ඉඩදී රටේ ප්‍රශ්නවලින් මිනිසුන් මුදාගන්නේ මෙවැනි කතා හරහාය. ජනපති වුව තමාව ඝාතනය කරන්න කුමන්ත්‍රණයකළා නම් ඒ ගැන හෙළිකර ගත යුතු නැද්ද? ජනපති පවා ඒ ගැන විශ්වාස කරන බව නොපෙනේ.

කුමන්ත්‍රණ
අනෙක් අතට මේ කුමන්ත්‍රණ කතා ජනපති මෛත්‍රීටත් අලුත් ඒවා නොවේ. 2015 ජනාධිපතිවරණ මොහොතේදී එජාපයේ ලේකම් තිස්ස අත්තනායක මැතිවරණ කට ළඟ තබාගෙන මහින්දට එකතු වූයේ මෛත්‍රී-රනිල්ගේ දැවැන්ත කුමන්ත්‍රණයක් හෙළිකරමිනි. ඒවායේ ඇත්ත නැත්ත දැන් හෙළිවී හමාරය. මේ ඝාතන කුමන්ත්‍රණත් එලෙසමැයි අපි නොකියමු. එහෙත් එහි ඇත්ත නැත්ත හෙළි කළ යුතුය. එය මේ ආණ්ඩුවේ වගකීමකි.

කුමන්ත්‍රණ, සුදු වෑන්, ඝාතන හුරු සමාජයකට ඝාතන උදේ හවා දකින අහන සමාජයකට ඝාතනය කරන්නට සිටියා යන්න පුවතක් නොවේ. අප අතරමගදී අනතුරකට ලක්වන්නට ගොස් දශමයෙන් බේරුණා යැයි සිතමු. එය අප අපගේ කිට්ටුම අයකුට කීවද ඔහු තිගැස්සෙන්නේද? කොටින්ම අප වුව එයින් තිගැස්සෙන්නේද? එසේම කුමන්ත්‍රණ තිබුණා කීම මේ සමාජයට සාමාන්‍ය කතාවක් වී ඇත. ජනපතිට වුව මෙය සාමාන්‍ය කතාවක් වී ඇතිවාට සැක නැත. එසේ නොවූවද මෙය රටේ ජනතාවට නම් වගේ වගක් නැති කතාවක් බව කිව යුතුය. මන්ද ජනතාව වඳුරු නැටුම්වලට අත්පුඩි ගසා බූරු නැටුම්වලින් මට්ටු වී ඇති බැවිනි. වඳුරු නැටුම්වලින් බූරු නැටුම්වලින් හෙම්බත්වී අප වෘක්කයන්ට බිලිවීමට සූදානම් නම් කුමක් කරමුද?