දුර්වල නායකයන්ගේ භාරකාර ආණ්ඩුවක් මොකටද?

මේ වනවිට මෛත්‍රී මහින්ද ප්‍රමුඛ භාරකාර ආණ්ඩුවක් ගැන නිරර්ථක සාකච්ඡාවක් ඇතිවී තිබේ. මෛත්‍රී-මහින්ද දෙදෙනා භාරකාර අර්ථයෙන් හෝ ආණ්ඩුවක් හදන්නට සැලසුම් කරන්නේ නම් 2014 නොවැ. 21 වැනිදා මෛත්‍රී පැවති ආණ්ඩුවෙන් පැන්නේ කුමකටද යන ප්‍රශ්නය විමසිය යුතුය. මන්ද ඒ වනවිට තිබුණේ මහින්ද හා මෛත්‍රී යන දෙදෙනාම නියෝජනය කරන ආණ්ඩුවකි. එකම වෙනස දැන් මේ දෙදෙනාට සුබ හා යස වැනි නාට්‍යයක් රඟදක්වන්නට හැකියාව ලැබී තිබීමය. මෛත්‍රී දැනට යසගේ භූමිකාවේ සිටියත් මහින්ද සමග හවුලකට ගියහොත් නොබෝ කලකින්ම යසගේ බෙල්ල යන්නට පුළුවන. දැනටත් රටෙහි සෑම ක්ෂේත්‍රයකම අර්බුද උත්සන්නවී තිබීමත් ඒවාට විසඳුම් පේන මානයක නොවීමත් නිසා කොහොමටත් හෙතෙම, තෙමේම දංගෙඩියට ගෙල තබාගෙන සිටින ආකාරයක් දැක්ක හැකිය.

අබල දුබල
මෛත්‍රී මහින්ද හවුලකින් රටට කළහැකි ඉටිගෙඩියක් නැත. එමගින් මෛත්‍රීට තව කෙටි කාලයක් ජනාධිපති ලෙස හිඳිමින් රාජපක්ෂලාගේ අතවැසියකු ලෙස දොන්ජුවන් පන්නයේ රූකඩ පාලකයෙක් විය හැකිය. රාජපක්ෂලා යහපාලනයේ අසාර්ථකබව පුන පුනා කියන්නේ ඊට විකල්පව 2015 ජන. 08 වැනිදාට පෙර පැවති පාලනය යළි ස්ථාපිත කිරීමේ අදහසිනි. ජනතාව වර්තමාන පාලකයන් පත්කර ගත්තේ පැවති රාජපක්ෂ පාලනය ගිය ගමන නතර කළ යුතුව තිබුණු නිසාය. එම පාලනය තුළ ඉහවහා ගිය දූෂණයත්, භීෂණයත්, ඝාතනයත් ගැන දත් රටේ ජනතාවට කෙළමෝලෙන් ඇණිය යුතු නැත. එසේ නම් සමුදුන් පාලකයාට යළි සමාජයේ ඉඩක් හදන්නේ කුමකටද? මෛත්‍රී එවැනි ක්‍රියාවකට අර අඳිනවා නම් ඊට පළමු නිමේෂයේදීම විරුද්ධවීමේ ශුද්ධ වූ අයිතියක් ජනතාවට තිබේ. රටේ ජනයාගේ ජීවිත ගැන ඒ ආකාරයට තීන්දු ගැනීමට මෛත්‍රීට ඉඩදිය යුතු නැත. වෙන කිසිවකුටත් ඉඩදිය යුතු නැත.

ශ්‍රී ලංකන් අනාවරණය
ඔක්. 08 වැනිදා ශ්‍රීලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේදී අනාවරණය වූයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ගුවන් සමාගමේ සේවිකාවකට නිසි ක්‍රමවේදය නොසලකා සිංගප්පූරුවේ අලුත් තනතුරක් පිරිනැමීමත්, වසරක් පුරා එම නිලධාරිණිය සිංගප්පූරුවේ නවාතැන් ගෙන සිටි නිවාස ඒකකයට ශ්‍රීලංකන් ගුවන් සමාගම ලක්ෂ 24ක් ගෙවා ඇති බවත්ය. ඇයට අතිරේක දීමනා වශයෙන් රු. අට ලක්ෂයකට අධික මුදලක් ලබාදී තිබුණි. සභාපතිවරයාගෙන් කරන ලද පුද්ගලික ඉල්ලීමක් මත ඇයට මෙම විශේෂ වරප්‍රසාදය හිමිව තිබෙන බවද ජනාධිපති කොමිසමේ සාක්ෂ්‍යවලින් දැක්විණි. නායකකාරකාදීන් කළ මහා පරිමාණ අත්තනෝමතික ක්‍රියාවල හැටියට මේවා සරල වුවත් මේ ආකාරයට රාජපක්ෂලාගේ අන්තේවාසිකයන් සෑම ක්ෂේත්‍රයකටම අත්කර දෙන ලද පරිහාණික තත්ත්වය සුළුපටු නොවන බව පෙනේ. රාජපක්ෂලා තම අන්තේවාසිකයන්ටත් රටේ ධනය රිසි පරිදි පරිහරණය කිරීමට ඉඩ සලසා තිබුණු අතර අන්තේවාසිකයෝ එම අවස්ථා පැහැර නොහැරියහ. රාජපක්ෂලා ගෙදර ගියත් ඔවුන්ගේ සිරුරුවල වසා සිටි ඉහඳ පණු කැළ ඔවුන් අත් නොහැර සිටින්නේ ඒ රසයට අධික ලෙස ලොල් කරන නිසාය. මෛත්‍රී භාරකාර ආණ්ඩු හදන්නට නිහඬ අනුග්‍රහයක් දක්වන බව පෙනෙන්නේ මේ යටගියාව හා යථාර්ථය නොදැන නොවේ. ලංකා දේශපාලනය තුළ සැබෑව කවර ස්වරූපයක් ඉසිලුවත් අවස්ථාවාදය ඒ සියල්ලටම වඩා බලවත් නිසා වර්තමානයේ දේශපාලනයේ නියැලෙන කාටත් ඉන් ගැලවිය නොහැකි වී තිබේ. ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රීලනිපයත් එක්වී හදන බව කියන ආණ්ඩුව භාරකාර යන නමින් හැඳින්නුවත් එය කුප්‍රකට ප්‍රයත්නයක් වන බව නම් සහතිකය. එවැනි ප්‍රයත්නයකට ඉඩ හැරීමට මෛත්‍රී නිහඬ අනුග්‍රහයක් දක්වතොත් එය ඔහු විසින් කරන නින්දාසහගතම පාවාදීමක් වනු ඇත.

භාරකාර ආණ්ඩුවක් කුමටද?
මහින්ද සමග ඇතිකර ගන්නා භාරකාර ආණ්ඩුවක් පවතින තත්ත්වයට සාර්ථක විකල්පයක් යැයි කියන්නේ මහින්ද පාර්ශ්වයට මුල සිටම මුක්කු ගසාගෙන සිටියවුන් මිස අන් කවරකුවත් නොවේ. යහපාලන රජය අවසානයේදී ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති උපාය මාර්ගික සංවර්ධන කළමනාකරණ ආයතනය (සෙමා) අහෝසි කරන ලද බව වාර්තා විය. එම ආයතනය ජනපතිගේ සංකල්පයක් වූ ‘වස විස නැති රටක්’ වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටි අතර අරමුණ ජය නොගෙනම ආයතනය වසා දැමීමට සිදුවීම අරුමයක් නොවන්නේ වත්මන් රජය පටන් ගත් සෑම වැඩසටහනකම කරටිය ඒ ආකාරයට කඩාගෙන වැටුණු නිසාය. යහපාලන ආණ්ඩුවට පටන් ගත් එක වැඩක්වත් තාර්කික අවසානයක් කරා ළඟා කරගත නොහැකි විය. ප්‍රබන්ධිත වොක්ස්වැගන් කම්හලේ සිටම ඔවුහු රටට තම අකාර්යක්ෂම බව හා නොසූදානම පෙන්නුම් කළහ. වර්තමාන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ගතහොත් එයත් දුර්වල ප්‍රබන්ධයක් වන ලකුණු දැනටමත් පෙන්නුම් කර තිබේ. කේම්බි්‍රජ් ටෙරසයෙන් මතුවූ ගම්පෙරළියත් ලියන්නට නොදන්නා වාහේ කෙනකු අධම පාඨකයකු සඳහා ලියන දුෂ්-ප්‍රබන්ධයක් බවට පත්වනු නොඅනුමානය. මේ ගිලා බැසීම තුළ භාරකාර ආණ්ඩුවකට යාම වඩා උචිත බව මැදහත්ව සිතන අය තීරණය කරන්නට පුළුවන. රුපියල අව ප්‍රමාණ වී ආර්ථිකය කඩා වැටීම ඊට තවත් හේතු ප්‍රත්‍ය සපයයි. සැබැවින්ම රටක යම් පාලනතන්ත්‍රයක් ඉදිරියට ගමන් නොකර එකතැන පල්වනවා නම් පළමු පියවර ලෙස භාරකාර ආණ්ඩුවක් යටතට රට පත්කිරීම උචිතය. ඒ ශක්තිමත් අලුත් ආණ්ඩුවක් ඇති කරගනු පිණිස අවශ්‍ය මූලික වැඩසටහන් සම්පාදනය කරගැනීමටය. එහෙත් භාරකාර ආණ්ඩුවක් මහින්ද සමග ගොඩනැගීම යන්න කවර මට්ටමකින්වත් පිළිගත හැක්කක් නොවේ. භාරකාර ආණ්ඩුවක් මහින්ද වැනි ප්‍රතික්ෂේප කැරුණු නායකයකුගේ හා මෛත්‍රී වැනි අසාර්ථක නායකයකුගේ ප්‍රධානත්වයෙන් හදන්නේ කුමකටද? හොඳ සිහිය ඇති මිනිසුන් ඊට ඉඩ තැබිය යුතුද? භාරකාර ආණ්ඩුවකට අවශ්‍ය සංක්‍රාන්ති කාලයක තත්ත්වය කළමනාකරණය කරගත හැකි හා බහුතරයක් දේශපාලන පක්ෂ හා සංවිධානවලටත් පිළිගත හැකි නායකයෙකි. වැදගත් වන්නේ ඔහු වෘත්තීය දේශපාලනඥයකු නොවූවත් විෂය අවබෝධය හා මේ සංකීර්ණ මොහොත පිළිබඳ වගකීම්සහගත හැඟීමක් ඇති පුද්ගලයකු වීමය.

එජාපයත් අසාර්ථකයි
මෛත්‍රී අසාර්ථක වූයේ එජාපය නිසා නොවේ. රනිල් අසාර්ථක වූයේ ශ්‍රීලනිප නිසා නොවේ. දෙපිරිසටම විඳින්නට වී තිබෙන්නේ වැඩ සැලැස්මක් නොතිබීමේ විපාකයය. එජාපය හා රනිල් සමග භාරකාර ආණ්ඩුවක් හදන්නට කිසිවකුත් කල්පනා නොකරන්නේ ඇයි? මෛත්‍රී පමණක් එජාපය සමග හවුල අසාර්ථක වූ නිසා භාරකාර ආණ්ඩු හදන්නට සුදුසුකම් ලබන්නේ කෙසේද? එසේ වන්නට විදියක් නැත. මෙහිදී පෙනී යන වැදගත් කරුණක් වන්නේ උග්‍ර අවස්ථාවාදීහු දුර්වල නායකයකුගේ කර ඇඹීමට දරන ප්‍රයත්නය මිස අනෙකක් නොවේ. අප කිවයුත්තේ මෛත්‍රී-රනිල් යන නායකයන් දෙදෙනාම අසාර්ථක බැවින් භාරකාර ආණ්ඩු හදන්නට ඒ දෙදෙනා පෙරමුණ ගැනීමෙහි ආචාර ධාර්මික බවක් නැති බවය. නුසුදුසු බවය.

එජාපය ශ්‍රීලනිපයේ අමාත්‍යවරුන් කිහිපදෙනකු එකතු කරගෙන මෛත්‍රී-මහින්ද භාරකාර ආණ්ඩුවට හෝ සභාගයට විකල්පව ආණ්ඩුවක් හදන බව ඉඳුනිල් තුෂාර මන්ත්‍රීවරයා කියා තිබුණි. ඒ ගැනත් කිවයුත්තේ භාරකාර ආණ්ඩුව හා සමාන කතාවමය. එනම් ඉකුත් වසර තුනහමාර තුළත් තිබුණේ මේ කියන වර්ගයේ ආණ්ඩුවකට වඩා වෙනස් තත්ත්වයක් නොවේ. එහි ශ්‍රීලනිප ඇමතිවරු සිටියහ. ඒ අය සමග එජාපය අලුතින් ආණ්ඩු කරන බව කිවයුත්තක්ද? දැනටත් කරන්නේ එය නොවේද?

අර්බුදයේ තරම
රට ගිලී තිබෙන අර්බුදයේ සංකීර්ණත්වය කොපමණදැයි කියනවා නම් කවුරු කොහෙන් ගියත් වැටෙන්නේ එකම තැනකටය. ඒ සෑම මාර්ගයක්ම අබලි වී හමාරය. එම අබලි මාර්ගවල ගොස් වැටෙන මංසන්ධි මඩගොහොරු බවට පත්වී හමාරය. තනිව ගියත්, එක්ව ගියත්, තෝරාගත් කිහිපදෙනකු සමග ගියත් මේ තත්ත්වයෙහි වෙනසක් නොවන බව එක මාර්ගයකටවත් නොවැටී මාවත අද්දර සිට මේ දෙස බලන්නකුට පෙනේ. කිසිම දේශපාලනඥයකුට මේ තත්ත්වය දෙස ප්‍රභේද ඉක්මවා බැලිය නොහැකිය. කුඩා දේශපාලන කණ්ඩායම් වුව සිටින්නේ ප්‍රධාන පක්ෂ නඩත්තු කරන අබලි මංමාවත්වලය. බොහෝවිට හුදෙකලාවේය. ඇතැම් විටෙක ප්‍රධාන පක්ෂ විසින් ජවිපෙ වැනි කුඩා පක්ෂ මේ අබලි මාර්ගවල ගල්අතුරා පිළිසකර කරන වැඩකටයුතුවලට යොදා ගන්නා අයුරු දක්නා ලැබේ. අරමුණු පටු නිසා මේ හැම කෙනකුගේම ගමන පටුවී ඇති බවක් දිසේ. දේශපාලන පක්ෂවලට වෙන වෙනම හෝ එක්ව ගමනක් අහිමි වී තිබෙන්නේ ඒ කිසිවකුටත් රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳව විෂයගත හා තාර්කික වැඩපිළිවෙලක් නැති නිසාය. ජාතික සංවර්ධන වැඩසටහනක් සකස් කර එය අනලස්ව අඩුම තරමින් වසර පහක්වත් ක්‍රියාත්මක කළහොත් රටට හුස්ම ගැනීමට හැකිවනු ඇත. ප්‍රශ්නය වන්නේ මේ ක්‍රියාවලියේ විශ්වසනීය මැදිහත්කාරක භූමිකාව ඉටු කරන්නේ කවුද යන්නය. ඊට උත්තරයක් නැති විට මහින්දට ගෝඨාභයට හෝ වෙනත් බලාධිකාරි පුද්ගලයකුට රට භාර කිරීමෙන් ප්‍රතිඵලයක් අත් නොවේ. ජනතාව කරන්නටම දෙයක් නැති වුවත් බ්‍රසීලයේ බොල්සොනොරෝ පන්නයේ උත්තරයකටද නොයා යුතුය. යම් දවසක පිළිතුර බිහිවන්නේ මේ තත්ත්වය පිළිබඳ සවිඥානිකව සිතන ජනතාව අතරිනි. ඔවුන් අතරින් පක්ෂ හා ක්‍රමවේද බිහිවෙයි. බලය ලැබිය යුත්තේ වියුක්ත ජනයා අතට නොව සංවිධිත ජනයා අතටය. සංවිධිත ජනයා හමුවිය හැක්කේ නව ජනතා මූලස්ථානයක් තුළින්ම පමණි. එබැවින් අප ඇතුළුවීමට උත්සාහ කළයුත්තේ යම් දැනුම් අවකාශයක් තුළ හැදෙන ජනතා මූලස්ථානයකටය.