දේශපාලන අර්බුදයෙන් ප්‍රායෝගික නායකත්වයක් සෙවීම

චින්තක රණසිංහ

රටේ දේශපාලන අර්බුදය ක්‍රමයෙන් උග්‍ර තත්ත්වයකට පැමිණෙමින් පවතී. ප්‍රධාන පක්ෂ දෙකම ඉතාමත්ම අසීරු අර්බුදයකට මුහුණදෙමින් සිටින අතර ඒ ඒ පක්ෂවල නායකත්වය පළකරන දුබලතාව එම අර්බුදවලට මූලිකම හේතුව වී පවතියි.

ශ්‍රීලනිපය
ජනාධිපතිකමේ අනුහසයෙන් කුඩා දරුවකු කෙළි බඩුවක් බදා ගන්නාක් මෙන් ශ්‍රීලනිපය බදාගත් ජනපති පක්ෂ නායකයකු ලෙස යන එන මං නැත්තකු බවට පත්වී තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ඔහු මුහුණපාන උභතෝකෝටිකය වන්නේ එජාපය ඔහුට ඉදිරි මැතිවරණවලදී සහය නොදීමත්, ශ්‍රීලනිපය වශයෙන් කිසිදු මැතිවරණයක් ජයගැනීමට නොහැකි බව සක්සුදක් සේ පෙනී යෑමත්ය. මේ තත්ත්වය යටතේ පොහොට්ටුවේ සෙවණට දිවයෑම හැර ඔහුට වෙනත් පිළිසරණක් නැත. එජාපය සමග මුල සිට දේශපාලන සහයෝගීතාව ප්‍රබල ලෙස ඇතිකර ගනිමින් ජනතාව ඔහු වෙත තැබූ විශ්වාසය ආරක්ෂා කරගැනීම වෙනුවට තමා වෙත තැබූ බලාපොරොත්තු ඉතා කෙටි කලකින් සිඳ බිඳ දැමීමේ වන්දිය දැන් ඔහුට ගෙවීමට සිදුවී තිබේ. එහෙත් දැන් කළහැක්කක් නොමැත. ඔහු මහින්ද ඉදිරියේ අසරණවෙමින් සිටින අතර ඉදිරියේදී අන්ත අසරණවීමට නියමිතය. එය තමා විසින්ම නිර්මාණය කරගත් දේශපාලන අසරණභාවයකි. වගකීමක් දැරීමට ශක්තිය නොමැති නම් වගකීමක් නොගෙන රාජපක්ෂලාට බාල්දුවෙමින් හෝ ශ්‍රීලනිපයේ ඇමතිවරයකු ලෙස සිටියා නම් රටට මෙන්ම තමාටද යහපතක් වන්නට තිබුණේ යැයි දැන් සිතුවාට වැඩක් නැත. ඔහු තමා වෙත පැවරූ ජන බලය ශ්‍රීලනිපයට පාවා දුන් අතර දැන් ශ්‍රීලනිප නායකයා ලෙස අසරණව අනාථව මහජන පදනමකින් තොරව බලා සිටීමට සිදුවී තිබේ. ඒ අර්බුදයේ එක පැත්තකි.

එජාපය
අර්බුදයේ අනිත් පැත්ත වන්නේ එජාපය හා එහි නායකත්වයද දේශපාලන නායකත්වයක් ලෙස දුර්වල තත්ත්වයක පසුවීමයි. එජාපය මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ මැතිවරණයකදී සැලකිය යුතු බහුතරයක් ලබාගැනීමට දක්වන අසමත් බවයි. පක්ෂය සඳහා ක්‍රියාශීලී ශක්තිමත් නායකයකු නැතිවීම, ප්‍රතිසංස්කරණ කිරීමට ඇති මැලිකම හා නොහැකියාව මෙන්ම ගතානුගතික පෙළැන්තිය ක්‍රියාශීලී තරුණ පෙළැන්තියකට ඉඩ නොදීම, තමාව ආරක්ෂා කරන හා නිශ්චිත ඉලක්කයකට මෙහෙයවන නායකයකු නොමැතිකම නිසා තරුණ පෙළ ඉබාගාතේ යෑම එජාපය තුළ දැකිය හැකි වර්තමාන තත්ත්වයයි. වර්තමාන නායකත්වයට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ බලයේ රැඳී සිටීම මිස කය වෙහෙසා, සිත වෙහෙසා අවශ්‍ය ප්‍රතිසංස්කරණවල නිරතවීම නොවේ. එවැනි ප්‍රතිසංස්කරණ සඳහා විශාල ජවයක් හා කල්ලිවාදී නොවී ජාතික නායකත්වයක් ලෙස සිතන නිර්භීතභාවයක් අවශ්‍ය වන අතර මෛත්‍රීට මෙන්ම රනිල්ටද එවැන්නක් වෙත මේ ආත්මයේ නම් ළඟාවීමට නොහැකිය.

ඓතිහාසිකව වටහා ගැනීම
දැන් රට පසු කරමින් තිබෙන්නේ කුමන යුගයක්ද? රටේත්, ජනතාවගේත් සැබෑ අවශ්‍යතා කුමනාකාරද? ඒවාට පිළියම් සෙවිය යුත්තේ කුමනාකාරයෙන්ද යන්න පිළිබඳ අපේ අතිබහුතර දේශපාලනඥයන්ට පමණක් නොව උගතුන්ට හා වෘත්තිකයන්ගෙන් බහුතරයකටද නිශ්චිත අදහසක් හෝ ප්‍රායෝගික ක්‍රියාවලියක් තිබෙන බව නොපෙනේ. ඉතා පැහැදිලිව රට ගමන් කරමින් පවතින්නේ මධ්‍යම පන්තිය විශාල වශයෙන් පුළුල් වන මැදි ආදායම්ලාභී රටක් ලෙස ලෝකයට මුහුණ දිය යුතු නවීන ලෝකයක් වෙතය. එම නවීන ලෝකය තුළ වෘත්තීන් සකස් විය යුත්තේ පැරණි ධුරාවලී ක්‍රමයට නොව දක්ෂයාට ඉහළ යා හැකි, වැඩිය වැඩ කරන්නාට ඉහළ යා හැකි ව්‍යුහාත්මක සැකැස්මක්ද සහිතවය. දිනෙන් දින ප්‍රසාරණය වන මධ්‍යම පන්තියට සරිලන භෞතික හා වෙනත් සම්පත් සම්පාදනය කිරීම සඳහා රජය විශාල මැදිහත්වීමක් කළ යුතුව පවතින අතර එය හුදෙක් යටිතල පහසුකම් සැපයීමකට වඩා බුද්ධිමය මැදිහත්වීමකි. පැරණි සුභ සාධන ආකෘතිය තුළ අපිට තිබෙන අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වැනි විශිෂ්ට සේවා අප විසින් රැකගත යුතුමුත් ඒ පැරණි හිඟන අසරණ අර්ථයෙන් නොවේ. නිෂ්පාදන ආර්ථිකයක්, විශේෂයෙන්ම කාර්මික නිෂ්පාදන සහිත රටක ඇති ලාභ උපදවන මිනිසුන්ගේ සේවාවක් ලෙසය. පැරණි වාමාංශික අර්ථයෙන් සුභ සාධනය වනාහී යම් ආකාරයක හිඟන, අසරණ ව්‍යාපෘතියක් වූ අතර එජාපයද ඡන්ද ලෝභයෙන් එය තරයේ වැළඳ ගත් බව පෙනේ. අවසානයේ සිදුවූයේ ලාභ උපදවන කර්මාන්ත වෙනුවට රජයේ වැටුප් හා දීමනාවලින් යැපෙමින් සුභ සාධනයෙන් ජීවත් වන පරපුටු මානසිකත්වයෙන් යුත් මධ්‍යම පන්තියක් බිහිවීමයි. මොවුන්ගෙන් භෞතික ලෝකයට හෝ චින්තන ලෝකයට කිසිදු දායකත්වයක් සැපයෙන්නේ නැත. වරක් ශ්‍රේෂ්ඨ පරිවර්තකයකු වන පියතිස්ස හේරත් මහතා සඳහන් කළ ආකාරයට පසුගිය වසර පනහ තිස්සේ අප විසින් හදා වඩා ඇත්තේ ඉතා බිහිසුණු පඩිකාර වංශයකි. මේ පඩිකාර වංශය දිගින් දිගටම කරමින් සිටින්නේ විවිධ ආකාරයෙන් රාජ්‍යයේ මුදල් බෙදා ගැනීම පමණි. රට හෙම්බත් වී ඇත්තේ මේ ඛේදවාචකය නිසාය. මධ්‍යම පන්තිය මෙසේ බෙදාගන්නා මුදල් ඉපැයීමට සිදුව ඇත්තේ ගාමන්ට් මෙහෙකරුවන් මැදපෙරදිග ගෘහ සේවිකාවන් ප්‍රමුඛ ඇත්තටම වැඩ කරන පන්තියටය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින සීමා නිසා ඕනෑම මිනිසකුගේ දක්ෂකම් මනින්නේ O/L, A/L වැනි විභාගවලින් වීම නිසා අතිබහුතර දක්ෂයන්ට සිදුවී ඇත්තේ ඉතා කටුක වෘත්තීය ඉරණමකට මුහුණ දෙන්නටය. ඇත්තෙන්ම ඉහළම වෘත්තීය හැකියාවන් තිබෙන බහුතරය රාජ්‍යයේ එනම් නායකත්වයේ ඇති වැරදි නිසා උසස් ගණයේ වෘත්තීය පුහුණුවක් නොලබා කම්කරු හා ඒ සමාන වෘත්තීන්වල ජීවිතය දිය කරති. යම් හැකියාවක් තිබෙන අය රටින් පිට පනිති. රජය දිගින් දිගටම කරන්නේ රාජ්‍ය අංශය පුළුල් කරමින් ලෝකයට ණයවීමයි. එය රටේ නිෂ්පාදනයක් හෝ කිනම් ආකාරයක හෝ නවෝත්පාදනයක් ඇතිකරන ක්‍රියාවලියක් නොවේ. එජාපයට මෙන්ම ශ්‍රීලනිපයටද මේ සම්බන්ධයෙන් දැනට කිසිදු චින්තනමය සංවාදයක් නොමැති අතර කවුරු කවුරුත් මෙම රෝදය පෙරළමින් තම දේශපාලන බලය රැකගැනීමට තැත් කරයි.

සුළු හෝ ප්‍රතිසංස්කරණයකට ඇති මහා බය
එජාපය විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහා ප්‍රතිසංස්කරණ සිදු කළ හැකි සුවිශේෂ ලිබරල් නායකයකු ලෙස රටේ පතුරා ඇති මතය පට්ටපල් බොරුවක් බව දැන් තහවුරු වී තිබේ. මහා ලිබරල් ප්‍රතිසංස්කරණ තබා කුඩා දරුවන්ට අතිමහත් පීඩනයක් එල්ල කරමින් ළමා පෞරුෂය වනසන 5 ශිෂ්‍යත්වයවත් අහෝසි කර දැමීමට ආණ්ඩුව අසමත් වී තිබේ. ජනාධිපතිවරයාද ‘දරුවන්ට වද දෙන්න එපා’ ආදී හොඳ කතා කියා මාපියන් ඉදිරියේ ලකුණු දමා ගැනීමට තැත් කළත් රනිල් හා අකිල සමග එක්වී ශිෂයත්වය අහෝසි කිරීමට අසමත්වීමෙන් පෙනී යන්නේ ප්‍රායෝගික පියවර ගැනීමට ඇති අතිමහත් නොහැකියාවයි.
මේ අනුව ඉතා පැහැදිලිව පෙනීයන්නේ ජනපති මෙන්ම අගමැතිද ශ්‍රීලනිප මෙන්ම එජාප නායකත්වයද අතිශය නිෂ්ක්‍රීය මහජන මතයට අතිශයින්ම බය, තම ඡන්ද පදනම හා නායකත්වය ගැන පමණක් හිතන පුළුල් චින්තන රාමුවකින් තොර අතිශය අප්‍රායෝගික නායකයන් දෙපොලක් බවයි. එයට හේතු ලෙස පැහැදිලිව වටහාගතයුත්තේ ශක්තිමත් ප්‍රතිසංස්කරණයකට අවශ්‍ය ජවය සහිත නිර්භීත පියවර ගතහැකි වයස් සීමාව ඉක්මවා යෑමත් ජීවිත කාලය තුළම නිර්භීත ප්‍රතිසංස්කරණ පිළිබඳ අත්දැකීම් නොමැතිවීමත් බව හඳුනාගත හැකිය. මේ අනුව වර්තමානයේ අප පසුකරමින් සිටින්නේ ප්‍රධාන පක්ෂ දෙකත් එහි නායකත්වයත් කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි අවස්ථාවක්ය.

පැරණි අර්ථයෙන් දේශපාලන පක්ෂ පවතීද?
තවදුරටත් පැරණි අර්ථයෙන් දේශපාලන පක්ෂ නොපවතින අතර යූඇන්පී, ශ්‍රී ලංකා ආණ්ඩු බලාපොරොත්තු විය හැකි හෝ විය යුතු නොවේ. දැන් නැගී එන මධ්‍යම පන්තිය අලස බවින් පුබුදුවා ලෝකය සමග යා හැකි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කළහැක්කේ බුද්ධිමය පිරිස් හා දියුණු වෘත්තියමය කණ්ඩායම් තමා වෙත කේන්ද්‍ර ගතහැකි නායකයකුට පමණි. ප්‍රධාන පක්ෂ දෙකෙහි වඩාත් දියුණු කොටස් ඔහු වටා ඒකරාශී කරගත යුතුව පවතින අතර ඔහු නිශ්චිතවම ප්‍රජාතන්ත්‍රවාදය පවතින ඉබාගාතේ යන අර්ථයෙන් නොව ශික්ෂිත විනයකින් යුතුව හසුරුවා ගත හැකි අයකු විය යුතුය.

වඩාත් ප්‍රායෝගික භාවිතයක් ඇති කළහැක්කේ චින්තනමය විප්ලවයකට සමාන්තරව ප්‍රායෝගිකව පවතින ප්‍රශ්න හඳුනාගෙන ඒවාට පිළියම් සෙවීමට උනන්දු වන නායකත්වයකට බව කිව හැකිය. මෙයට වර්තමානයේ පවතින එක් උදාහරණයක් වන්නේ වික්ටර් අයිවන් මහතාගේ ප්‍රමුඛත්වයෙන් පවත්වාගෙන යන පුනරුද ව්‍යාපාරයයි. මෙය සංවේදී හා බුද්ධිමය වශයෙන් දැනුවත් පුරවැසියකු නිර්මාණය කිරීමට යම් සංකේතයක් සමාජගත කරන අතර වර්තමානයේ මිනිසුන් ඇත්තටම මුහුණ දෙන ප්‍රශ්න (උදාහරණ ලෙස බල්ලන්ගෙන් හා වන සතුන්ගෙන් වන තර්ජනය.) පිළිබඳ යථාවබෝධයකින් පසුවන බව පෙනේ. එහෙත් ඛේදවාචකය වන්නේ එම ව්‍යාපාරයට බලය නැතිවීමත් බල ව්‍යාපෘතියක් නොමැතිවීමත්ය.

මෙවැනි තත්ත්වයක් යටතේ සිදුවිය යුත්තේ පුනරුද ව්‍යාපාරයට සමාන්තරව ගමන් කළ හැකි දේශපාලන නායකත්වයක් නිර්මාණය වී අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමයි. මෙම බලවේග දෙක ජනප්‍රිය අර්ථයෙන් සන්ධානගතවීම අවශ්‍ය නොව නමුත් එකක් අනෙකින් අන්තර් පෝෂණය ලැබිය යුත්තාහ. ලංකාව වෙනස් කළ හැක්කේ මෙබඳු සත්‍ය ප්‍රායෝගික පියවරවලින්ම පමණි.

එබඳු නායකත්වයක් නිර්මාණය කළ හැකිද?
දේශපාලනය දිගුකාලීන පුහුණුව සහිත රැකියාවකි. අමුතුම තාලයේ වෘත්තියකි. එනිසා ඒ සඳහා දිගුකාලීනව වෙනත් වෘත්තියක නියැලෙනවුන්ට පැමිණිය හැකි වෙනත් මෙබඳු මොහොතක එහි සාර්ථකත්වය අවමය. තවම ලංකාව පවතින්නේ එබඳු වෘත්තිකයකුට පැමිණි බලය හැසිරවිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක නොවේ. එසේ නම් ප්‍රායෝගික බුද්ධිමය නායකයා තවමත් සෙවීමට සිදුවන්නේ මේ සිටින පිරිස ඇතුළතින්මය. මෙය පිරිසිදු ලිබරල්වාදී පොතේගුරුවාදීන් කුපිත කරවන ප්‍රකාශයක් වන නමුත් ප්‍රායෝගික සත්‍යවන්නේ මෙයයි.

මේ අනුව රනිල්, මහින්ද, මෛත්‍රී වැනි නායකයන් නොව ප්‍රායෝගික නායකයකු සෙවීමට සිදුවේ. එවිට ඇත්තෙන්ම ප්‍රායෝගික නායකයන් ඉතිරිවන්නේ දෙදෙනෙකි. ඒ ගෝඨාභය හා චම්පික රණවකය. දැන් බැලිය යුත්තේ මේ දෙදෙනාගේ තත්ත්වයයි. ගෝඨාභය දක්ෂ කෙනකු වුවද රාජපක්ෂ රෙජීමයේ විසීම නිසා ඔහුට එම රෙජීමයට එල්ල වී ඇති චෝදනාවලින් ගැලවිය නොහැකිය. අනෙක් අතට පොහොට්ටුව තුළ පවතින රාජපක්ෂ බලතරගය තුළ ඔහුට ඒමට තිබෙන හැකියාව අඩුය. ඔහුට මෙරට මහින්ද – විරෝධී ප්‍රජාතන්ත්‍ර ළැදි බලවේගවල සහය කිසිසේත්ම ලබාගත නොහැකිය.

මට පෙනෙන හැටියට චම්පිකට ඊට වඩා පැහැදිලි සම්භාවිතාවක් තිබෙන අතර පැරණි අන්තගාමී තැනින් වඩාත් ලිබරල් භූමිකාවට එළැඹීමේ විවෘත සංඥා ඔහු මේ වනවිට පළ කොට තිබේ. ඔහුට ඇති වාසිදායක සාධක නම් මහින්ද හා මෛත්‍රීපාල යන ආණ්ඩු දෙකෙහෙිම කටයුතු කර ලැබූ පළපුරුද්ද හා නියමාකාරයෙන් නිදහස් අධ්‍යාපනය ඔස්සේ ඉහළට පැමිණි මා පිය උරුම පැළැන්තියකින් තොර බුද්ධිමය පදනමක් සහිත අයකුවීමයි. ඔහුට තිබෙන බරපතළම අවාසිදායක සාධකය වන්නේ සිංහල ජාතිකවාදී කණ්ඩායම් සමග බැඳී ඔහුගේ අතීතය හා එම නිසාම ලංකාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව ඔහුට දක්වන විරෝධයයි. එහෙත් මෑත සිට ඔහුගේ ක්‍රියා කලාපය විමසා බලන විට පෙනීයන්නේ ඔහුගේ පැරණි අන්තගාමී හිතවතුන් ශීඝ්‍රයෙන් ඔහුට එරෙහිවෙමින් සිටින බවත් ඔහු වඩා ලිබරල් ආර්ථික දේශපාලන පද්ධතියක් වෙත ගමන් කරමින් සිටින බවයි. එහෙත් ඔහු තම චින්තනාත්මක විපර්යාසය වඩා ප්‍රායෝගිකව පෙන්නුම් කළ යුතු අතර ඒ සමගම ජාතිකවාදී පදනම අන්තවාදයෙන් මුදවා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ පුළුල් කරගත යුතුය.