ක්‍රිකට් පාවාදීම

රජිඳු කාශ්‍යප

යම් යම් කාලවල දී අප කණ්ඩායම සහ ක්‍රීඩකයන් වෙත ද තරග පාවාදීම් ගැන තැන තැන කතා හැදුණි. එහෙත් ඒ කිසිදු කතාවක් නිල වශයෙන් චෝදනා ලෙස කිසිවෙකුටත් එල්ල කෙරුණේ නැත. ඒ එවැනි දේ සඳහා අප ක්‍රීඩකයන් සහභාගි නොවෙතැයි යන විශ්වාසය අනෙකුත් ජාතිකයන් තුළ ද පැවැති නිසා ය.

ඒ එකල ය. එහෙත් වර්තමාන තත්ත්වය අනුව ලොව දූෂිතම ක්‍රීඩකයන් සහිත ක්‍රිකට් කණ්ඩායම ලෙසින් හංවඩු ගැසී ඇත්තේ අප කණ්ඩායම ය. මේ කුමන නම් නවනිංගිරාවක්ද? අවමානයක්ද? මේ අවමානය ක්‍රීඩාවට පමණක් නොවේ රටට ම ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට ම ය. මෙහි වගකීම බාර ගන්නේ කවුද?

මෙයින් වඩාත් පීඩාවට පත්වන්නෝ මුදලට තරග පාවා නොදුන් ක්‍රීඩකයන් ය. මේ කිසිවක් නොදැන අදටත් පිට්ටනියක් පිට්ටනියක් ගාණේ ගොස් හුරේ දැමූ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ය. ක්‍රිකට් පරිපාලනයේ ගෞරවනීය ලෙසින් කටයුතු කළ මහත්වරුන් ය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ චෝදනා සම්බන්ධයෙන් කරනු ලැබූ පරීක්ෂණයන් හී නිමාවක් තවමත් නැත. කවුරු කවුරුන් වරදකරුවන් වේදැයි දන්නෝ ඔවුන් ම ය. එහෙත් මේ වනවිට නම් වශයෙන් ම චෝදනා ලැබූවන් රාශියකි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයෙන් එක්වරකට මෙවන් විශාල පිරිසක් වෙත චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය ය.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සිට නවක ක්‍රීඩක වනිඳු හසරංග දක්වා නම් මේ ලැයිස්තුවට ඇතුළත් ය. පුහුණු ප්‍රධානීන්, පුහුණුකරුවන්, තණතිලි භාර නිලධාරීන් මෙන් ම තේරීම් කමිටු ප්‍රධානීන් ද මේ ලැයිස්තුව අරා සිටිති. මේ කෙතරම් නම් නිංගිරාවක්ද? මේ අනුව පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තිබී ඇත්තේ ක්‍රීඩාංගණයකට වඩා බුකියක බැව් ය අපට නම් සිතෙනුයේ. අමතක කරන්න එපා, මේ විනාශ වී යන්නේ ලොව ජීවගුණයෙන් යුත් හොඳම ක්‍රිකට් කණ්ඩායම ලෙසින් අන් ජාතිකයන් වෙතින් බුහුමන් ලැබූ ගෞරවනීය නාමයක් ය.

දැන් ඉතිං මේ චෝදනාවලට ලක් වූ කාට කාටත් හිස අත් තබාගෙන මේ දෙස බලා සිටිය හැකි ය. චෝදනාලාභී ඇතැමුන් කණ්ඩායමේ ය. ඇතැමුන් එළියේ ය. ඔවුන්ට නම් වගේ වගක් නැත. නැතිවෙන්නට යන්නේ මෙරට ක්‍රිකට් ය. කණකොකා හඬමින් සිටින්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ය. මේ සියල්ලෝ ම කර ඇත්තේ මෙරට ක්‍රිකට් වංශකතාවට කළු පැල්ලමක් එක් කිරීම ය.

එහෙත් මෙරට ක්‍රිකට් වංශකතාවට කළු පැල්ලමක් එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන බැව් ද පැවැසිය යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට දූෂිතම ආයතන අතුරින් ඉදිරියෙන් ම පසුවෙන බැව් පැවැසූවේ මීට කලකට ඉහත හිටපු ක්‍රීඩා ඇමති සී. බී. රත්නායක ය. ඔහු ද එය පැවැසුවා පමණි. ඒ ගැන සෙවීමට උත්සුක වූයේ නැත. අනෙක් අතට ඔහුට එම දැනුම් දීම කර වැඩි කලක් එහි රැඳී සිටීමට අවකාශ ලැබුණේ ද නැත. වූයේ ක්‍රමය වෙනස්වීම නොව පුද්ගලයා වෙනස්වීමය. සී. බී. රත්නායකට සිදුවූයේ ක්‍රීඩා ඇමති තනතුරු බාර දී වෙනකක් බලා ගැනීමට ය.

ක්‍රිකට් ක්‍රීඩාවේ මහා පාවාදීම්වලට එරෙහිව කිසිදු රජයක් අවශ්‍ය තැන අවශ්‍ය තීරණය නොගත් බැව් ඒ අනුව සක්සුදක් සේ පැහැදිලි ය. අද මේ විපාක ලබන්නේ එකී තීරණය එම අවස්ථාවේ නොගත් බැවිණි. මෙකල සේ ම එකල ද ක්‍රිකට් ක්‍රීඩාව පැවැතියේ එක් එක් අයගේ අවශ්‍යතාවන් වෙනුවෙන් ම ය.

කෙසේ වෙතත් අද වෙන විට ශ්‍රී ලංකාවේ සිදුවෙන ක්‍රිකට් දූෂණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද අගමැතිවරයා ද යන යහපාලන රාජ්‍යයේ ප්‍රමුඛයන් දෙදෙනා දැනුවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ දූෂණ මර්දන නිලධාරීන් කටයුතු කර ඇත. ඔවුන් මේ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අනතුරකට පත්වීමේ අවදානමක් ඇති බැව් ඇඟවීමක් නොවේ ද? එහෙත් ඔවුන් දෙදෙනා ද මේ දක්වා ම නිහඬ ය. එක් අතකට ඔවුන්ට ද දැන් කරන්නට සිදුව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකයේ වාර්තාව ලබාදෙන තුරු නිකටට අත තබා බලා සිටීම ම පමණක් විය හැකිය. ඒ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ලෝකයේ ම ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වන බැවිණි.

හෙට අනිද්දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් එළිදක්වනු ලබන තමන් විසින් සිදු කරනු ලැබූ දූෂණ චෝදනා විමර්ශන වාර්තාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීන් වැරදිකරුවන් වේ නම් එහි ප්‍රතිඵලය කුමක් වේ ද? මෙහිදී එකිනෙකාට දඬුවම් දීමේ ක්‍රමවේදයක් නම් ක්‍රියාත්මක නොවන බැව් සහතික ය. සිදුවේ යැයි සිතෙන එක ම අවදානම වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන දඬුවමයි.

එහෙත් මේ සා කලබැගෑනියක් සිදුවෙමින් පවතිද්දීත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පවසන්නේ තවමත් දූෂිතයන් නිශ්චිතව ම කවුදැයි යන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර නැති බවයි. සැබෑය. ඔවුන් තවමත් එසේ පවසා නැත. එහෙත් මහා ව්‍යසනයක පෙර නිමිති පහළවෙමින් පවතින බැව් ඔවුන් ට නොතේරෙන්නේ ද? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් මෙරට ට පැමිණියේ මෙරට සංචාරයක නිරත එංගලන්ත තරග බලන්නට නොවන බැව්වත් ඔවුන්ට නොතේරෙන්නේ ද?
එළිදැක්වෙන වාර්තාවෙන් ශ්‍රී ලංකාවට අගතියක් වේ නම් ඒ සම්බන්ධයෙන් අපට රටක් ලෙස ගත හැකි ඉතාම ඉක්මන් සහ හොඳම විසඳුම වියහැක්කේ කුමක්දැයි ඔවුන් මේ වනවිට තීරණයක සිටිය යුතුය. එහෙත් එවැන්නක සේයාවක් වත් නැත.

මේ ශ්‍රී ලාංකික ක්‍රිකට් නිලධාරීන් තවදුරටත් සිදුකරමින් සිටිනුයේ චූදිතයන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයේ නිරතව සිටීම ය. එසේ කිරීමේ කිසිදු ප්‍රශ්නයක් නැත. එහෙත් ඒ, ලත් චෝදනා බොරු යැයි අපට ඔප්පු කළ හැකි නම් ය. ඔවුන් නිවැරදිකරුවන් යැයි ලොවට පැවැසීමට තරම් සාක්ෂි අප සතු ව පවතී නම් ය.

මේ සුදුහුණු ගෑම ම හිටපු ක්‍රිකට් සභාපති මෙන් ම එළැඹෙන නිලවරණයේ දී ක්‍රිකට් මහ පුටුවට මාන බලමින් සිටින තිලංග සුමතිපාල ද කර තිබේ. ඔහු මාධ්‍ය වෙත පවසන්නේ පසුගිය වසර 10 ක කාලයේ දී කිසිදු ක්‍රීඩකයෙක් තරග පාවාදුන් බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකයෙන් චෝදනා කර නැති බවයි. එහෙත් ඔහුට අමතක වූ තැනක් ඇත. ඒ මේ දූෂණ මර්දන නිලධාරීන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සේ ම අග්‍රාමාත්‍යවරයා ද හමුවී මේ සම්බන්ධයෙන් සැලකර ඇති බවයි. වසර 10ක කාලයක් තිස්සේ එවන් කිසිදු චෝදනාවක් නොවේ නම් තමන්ගේ ද ක්‍රිකට් සභාපති ධුර කාලය අභියෝගයට ලක් කරමින් මේ කරනු ලබන විමර්ශනයන් හී තේරුම කුමක්දැයි සුමතිපාල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ප්‍රශ්න කළ යුතු නොවේ ද?

දී කිරට සාක්ෂි දෙන ගමන් ම බළලා මල්ලෙන් එළියට පනින්නට නොදී හිර කරගෙන සිටීමට කරනු ලබන මේ උත්සාහයත් හරි අපූරු ය. මේ ක්‍රමවේදයන් මෙරට ට බලගතු වූවාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වලංගු වන්නේ නැත. මේ අවස්ථාවේ ක්‍රිකට් පාලකයන් සේ ම සෑම කෙනෙක් ම කළ යුත්තේ මෙරට ක්‍රමවේදයට අනුව වංගු ගැසීම නොවේ. එළිදැක්වෙන වාර්තාවෙන් ශ්‍රී ලංකාවට අනතුරුක් වේ නම් ඉන් ගැලවීමට හැකි මගක් සොයා යෑම ය.