ක්‍රීඩාවේ විනාශයට අත වැනීම

ඒ. වික්‍රමසූරිය

යකඩ ගිනිගත් නිවසක පුළුන් ඉතිරි විය හැකිද? රටේ සමස්තයම කඩා වැටෙන පිරිහෙන මොහොතක ක්‍රීඩාව වැනි ක්ෂේත්‍රයක් පමණක් නොපිරිහී පැවතිය හැකිද?

ගෙවුණු දස වසරක් ආපස්සට බැලුවහොත් ක්‍රීඩාවෙන් ඉතිරි වූයේ පිලුණු කතාන්දරමය. ක්‍රිකට් ක්‍රීඩාව අන් කවරදාටත් වඩා පිරිහෙන්නට විය. පෙර නොඇසූ චෝදනා, අපහාස අද ක්‍රිකට් ගැන අසන්නට ලැබේ. ඒ අතරට නොනවතින පරාද රැල්ලද ක්‍රිකට් කෙරෙහි ඇති සියලු ආශාවන් ප්‍රේක්ෂකයන් තුළින් නසා දමා ඇත. එහෙත් රටේ ක්‍රීඩා පරිපාලකයන්ට අවැසි එකම වුවමනාව ක්‍රිකට් නොව ක්‍රිකට් පරිපාලනය කරන තිලංග සුමතිපාල ගලවා ගැනීමය. ඔහුට කෙසේ හෝ ක්‍රිකට් බිස්නස් එක දිගටම කරගෙන යෑමට ඉඩ හැරීමය. මේ බූදලය අතහැරීමටද තිලංග කැමති නැත. චෝදනා කුමක් වුව ක්‍රිකට් කොතරම් පිරිහුණද රටේ පරිපාලකයන්ට වගේ වගක් නැත. ක්‍රීඩා ඇමතිට ක්‍රීඩා බලධාරීන්ටද ගාණක් නැත.
ඒ ක්‍රිකට්වල තත්ත්වයයි. හැටකට අධික ක්‍රීඩාවන් ඇති මෙරට ක්‍රීඩා අටක් දහයක්වත් මතකයේ නොපවතී. බොහෝ ක්‍රීඩා නමට පමණය. ඒවා ගැන වැඩි කතා කිරීමද වැඩකට නැති වැඩක් වී ඇත. එහෙත් මෙරට කතා කළ හැකි මට්ටමේ ක්‍රීඩා ප්‍රමාණයක් අතේ ඇඟිලි ගාණට විය. එහෙත් මෑත දශකය වන විට ඒ සියල්ලද පණ අදින තැනට තල්ලු වී ඇත.
මලල ක්‍රීඩාව අපට තිබූ ඉහළම බලාපොරොත්තුවකි. එහෙත් අද එය පාලිත ප්‍රනාන්දුගේ සහ ප්‍රේමා පින්නවලගේ විවේකාගාරය බවට පත්වී ඇත. වසර ගාණක් මලල ක්‍රීඩාව අතනොහරින ඔවුන්ට වුව ලැජ්ජාවක් නැතිද? අප අද මලල ක්‍රීඩාවෙන් කෙතරම් පහත් අඩියකට වැටී ඇත්ද? මහන්සි වී උපරිම කැප කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගන්නට හෝ ඔවුන්ට වැඩපිළිවෙළක් නැත. එබැවින් මලල ක්‍රීඩාව අද වනවිට මළ ක්‍රීඩාවක් වී ඇත. මේ අපරාධය ඉක්මනින් නිවැරදි කර ගත හැකි යැයි සිතිය හැකිද?

පිහිනුම්, බැඞ්මින්ටන්, වොලිබෝල්, හොකී, ටෙනිස්, ජිම්නාස්ටික්, රගර්, පාපන්දු වැනි ක්‍රීඩා අතළොස්ස යනු අදටත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරව යෙදෙන ක්‍රීඩාවන්ය. මේවා මීට පෙර අතීතයේ යම් සංවර්ධනයක් උද්යෝගයක් ලද ක්‍රීඩාවන්ය. ලෝකයේ එක දෙක නොවූවද රටේ විශාල ජන ආකර්ෂණයක් ජන සහභාගිත්වයක් ලබාගෙන තිබුණි. එයම කෙතරම් වටිනාකමක්ද?

මීට වසර දහයකට පහළොවකට පෙර මෙරට පිහිනුම් තටාක පහක් තිබුණාදැයි සොයා බැලිය හැකිය. අද එය සියයක් වුව අබිබවා ඇත. එහෙත් එදා පිහිනුම් ක්‍රීඩකයන් කොතෙක් සිටියද, අද එය පස්දෙනෙක්වත් බිහිකරගත නොහැකි තැනක් බවට පත්වී ඇත. එහි පරිපාලනමය අවුල් ටික හෝ විසඳීමට ක්‍රීඩා අමාත්‍යාංශයට නොහැකි වී ඇත.
හොකී ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව යම් වර්ධනයක් ලබා සිටි බව ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලිය. එහෙත් අද එහි ඇත්තේ පරිහානියමය. හොකී ක්‍රීඩාව පොලිස් අත්අඩංගුවට පත්වූදා සිට එය සිරකුටියක් තරමට පටුවිය. අද පරාජයන්ම වලඳනවා හැර ජයක් ගැන සිතිය නොහැකි අංශ භාග ක්‍රීඩාවක් බවට හොකී පත්වී ඇත.

රාජපක්ෂ පුත්තු පිනවීමට රගර් ක්‍රීඩාව එරට පසුගිය කාලයේ ඔසවා තබන්නට උපරිම උත්සාහය ගත්තද? එය ඉහළට නොඑසවිණි. එය රාජපක්ෂ පුත්තුන්ගේ ආශාවට සරිලන විනෝදාංශයක් පමණක් විය. අද රගර් ක්‍රීඩාව සීමිත පිරිසකගේ විනෝදාස්වාදයක් වී ඇත.

සුරාජ් දන්දෙණියලා හප කරන්නට පටන් ගත් බැඞ්මින්ටන් ක්‍රීඩාව අදටත් හපයකි. එහි තිබූ ජවය අද වනවිට නැත්තටම නැත්තේය. වසර ගණනාවක් එකම ක්‍රීඩක පිරිසක් ඇරුණු කොට එහි තව දක්ෂතා නැත්තේමය.

වොලිබෝලය ඩිලාන් පෙරේරා නම් කයිවාරු දේශපාලකයා මුළුමනින් විනාශ කළේය. අදටත් ඒ විනාශය ඔහුගේ කයියටත් සෙලවිය හෝ නොහැකිය.
ටෙනිස් ක්‍රීඩාව එක පන්තියකට සීමාවී තිබුණද එය ක්‍රියාශීලී ක්‍රීඩාවක් බවට පසුගිය දශකය දෙස බලන කල පෙනේ. එහෙත් අද එයද හුදු ව්‍යායාමයක් ලෙස කරන ක්‍රීඩාවක් බවට පෙරළී ඇත. අද ජයග්‍රහණ වෙනුවට බොහෝ අය ක්‍රීඩා කරනුයේ ව්‍යායාම ලෙසය. පිරිහෙනුයේ වතුරට වැටුණහොත් ගැලවෙන්නට මිස ක්‍රීඩකයකු ලෙස ජයගන්නට නොවේය.
පාපන්දු ක්‍රීඩාව මනිලාල් ව්‍යාපාරයක් කරගත් අතර අද එහි මළගමේ වැඩත් ඔහුම මැදිහත් වී කරමින් සිටී. පාපන්දුවේ සංවර්ධනයට ආ විදෙස් මුදල් කන්දරාව දෙස බලන කල එයින් පාපන්දු පමණක් නොව මෙරට සමස්ත ක්‍රීඩාවම ගොඩ දැමිය හැකිව තිබුණි. එහෙත් එයින් මනිලාල් ගොඩ ගියා මිස පාපන්දු ක්‍රීඩාව ඉහළට නොගියේය. එය අඩියටම පිරිහිණි. වැළලී ගියේය.

පාපන්දුව මෙන්ම පාපැදි ක්‍රීඩාවත් විනාශ විය. දැල්පන්දුව කලාපයේ ඉහළ ආ නිසා උඩපනිමින් සිටියද එය පාලනය කරන සහ එයට ගෑවුණු කාන්තා පිරිසේ කෙස්වලු පටලවා ගැනීම් දෙස බලන කල එම පිරිස දක්ෂතම නෙට්බෝල්වලට වඩා කෙස්වලු පටලවා ගැනීමට බව තහවුරුය.

ජිම්නාස්ටික් වැනි ක්‍රීඩාවක එදා කතා කළ හැකි බොහෝ දේ විය. අද එම ක්‍රීඩා චූල ගණයටම ඇද වැටෙමින් තිබේ.

මේ ක්‍රීඩාව ගැන ඉතා කෙටි සිහිකැඳවීමකි. එහෙත් ක්‍රීඩා බලධාරීන් කරනුයේ කුමක්ද? ක්‍රීඩා ඇමතිවරු කරනුයේ කුමක්ද? ක්‍රීඩාව පිරිහෙන්නේ නම් එහි වගකීම ක්‍රීඩා ඇමතිවරයා මෙන්ම ක්‍රීඩා පරිපාලනය වගකිව යුතුය. එහෙත් ඒ වගකීම ඔවුහු භාර නොගනිති. ක්‍රීඩා සංගම් දියුණු කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමකි. එසේ නොවේ නම් ඒ සඳහා අමාත්‍යාංශයක් වෙනම පිහිටවා ඊට ප්‍රතිපාදන වෙන් කරනුයේ කුමකටද? ඇමතිවරයෙක් පත් කරනුයේ ඇයිද?

ලොව අනෙක් රටවල් ක්‍රීඩාව පැත්තෙන් ශීඝ්‍ර දියුණුවක් ලබමින් සිටිති. එහෙත් අපි පතුළටම ඇද වැටෙමින් සිටිමු. එයට හේතුව ක්‍රීඩාව කරනවුන්ගේ නොහැකියාවය. ලෝකයේ නව දැනුම, තාක්ෂණය අපට අහිමිය. ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවන් මෙරටට ගෙන්විය යුතු නැද්ද? ලොව සුපිරිතම වාහනය ගන්නට පොර කන දේශපාලකයන්ට ලොව අලුත් දැනුම, තාක්ෂණය අපේ විෂයයන්වලට එක්කර ගත යුතු යැයි නොවැටහේද?

ක්‍රීඩාවේ කඩා වැටීම උග්‍රවූයේ ක්‍රීඩා ඇමතිවරු සහ ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන්ගේ නොහැකියාව නිසාය. එහෙත් එය නිවැරදි වනු නොපෙනේ. වරද එයය. ක්‍රීඩා අමාත්‍යාංශය කලක පටන් කරන එකම වැඬේ කෞතුකාගාරයක් නිර්මාණය කිරීමය. එය මේ මොහොතේ ප්‍රායෝගිකය. මන්ද මේ ක්‍රීඩා සියල්ල එහි දමා සුරක්ෂිත කළ හැකිය.

ක්‍රීඩාවට ස්වාභාවිකවම මියැදෙන්නට ඉඩ නොහැර දැන් හෝ ප්‍රාණයක් දෙන්නට වැඩ පටන් ගන්නැයි ඉල්ලිය හැකි වුවත් ඉල්ලනුයේ කාගෙන්ද? ඒත් කාට හෝ දැනෙතැයි සිතා මේ ටිකත් ලියූවෙමු.