ප්‍රශංසා කර සූරා කන Dialog

සුඛෝපභෝගී භාණ්ඩ විකුණන වෙළෙන්දෝ රුපියල් දහස් ගණන් ඔබෙන් සූරා කති! මේ ඩයලොග් නම් වූ සුපිරි වෙළෙන්දා ඔබව රුපියල් දහස් ගණනින් සූරාකන ආකාරය පිළිබඳවය.

සූරාකෑම
“දේශයේ උන්නතිය වෙනුවෙන් ඉටු කළ අමිල මෙහෙවර අගය කරනු වස් Dialog ආයතනය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක් වී විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට ප්‍රශංසා නමින් සුවිශේෂ පසු ගෙවුම් ජංගම දුරකතන පැකේජයක් හඳුන්වා දෙයි.” ඩයලොග් ආයතනය සිය ‘ප්‍රශංසා’ නම් වූ දුරකතන පැකේජය හඳුන්වා දීමට සිය වෙබ් අඩවියේ පළකර ඇති හැඳින්වීම එසේය. එය ආකර්ෂණීයය. එසේම ගරු කටයුතුය, විශ්වසනීයය.

එහෙත් මේ පිටුපස ඉතා සියුම්ව සූරාකෑම සිදුවේ. ඒ සූරාකෑම නීතිමය වශයෙන් වරදක් නොවන තැනට සිදු කරන්නට ඔවුන් සූක්ෂ්මය.

මේ ‘ප්‍රශංසා’ නම් වූ මෙම දුරකතන සම්බන්ධතාව ලබාදෙනු ලබන්නේ විශ්‍රාමික රජයේ සේවකයන්ටය. ඒ අනුව මේ වැඩසටහනේ ඉලක්කගත පාරිභෝගිකයන් වන්නේ වයෝවෘද්ධ පිරිස්ය. සමස්තයක් ලෙස පොදුවේ ගත්විට ඔවුන් තාක්ෂණය පිළිබඳව මහා ලොකු දැනුමක් ඇති පිරිස් ලෙස සැලකිය නොහැකිය. ඒ නිසා බොහෝ විට දුරකථන සම්බන්ධව හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳව ඔවුන්ට අවබෝධයක් නැත. මේ අවබෝධයක් නැතිකම ඩයලොග් ආයතනය ඉල්ලමක් කරගෙන තිබෙනු පෙනේ. මෙය කෙතරම් ආචාර ධාර්මිකද? කිසිම නොදන්නාකම හරහා ඔහුට වංචාකර ඔවුන් ලාභ ලැබීම සාධාරණීකරණය වන්නේ කෙසේද?

මේ යටතේ වැඩි මිලක් ඇති ජංගම දුරකතනයක් ඉතා අඩු මිලකට ලබාදෙන අතර කතා කාලයක් සහිත මුදල් ගෙවිය යුතු දුරකතන සබඳතාවක් ද ලබාදෙනු ලබයි.

ඩයලොග් ආයතනය එම සූක්ෂ්ම සූරාකෑම සිදුකරන්නේ අගය එකතු කළ සේවාවන් (Value Added Serviecs) හරහායා. එම අගය එකතු කළ සේවාවන්ට ඇතුළත් වන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න සේවා, ජ්‍යෝතිෂ්‍ය සේවා, විනෝද කතා සේවා ආදී නොයෙකුත් ආකාරයේ මුදල් වැයවන සේවාවන් සඳහා බව 09/10/2018 දින මෙම සූරාකෑමට ලක් වූ පාරිභෝගිකයෙකු පුංචි බොරැල්ලේ ඩයලොග් සේවා ආයතනයෙන් විමසන විට ඔහුට දැනුම් දී ඇත. මෙහි සූක්ෂ්ම බව තිබෙන්නේ අදාළ ග්‍රාහකයාගේ දුරකතනයේ මෙය ක්‍රියාත්මක වීමේදීය. එහිදී සිදුවන්නේ අදාළ සේවාවට අදාළ කෙටි පණිවිඩයක් මුලින් ග්‍රාහකයාගේ දුරකතනයට ලැබීමයි. එහි විශේෂත්වය නම් දුරකථනයේ එක් යතුරක් එබූ සැණින්, නැතිනම් එක් ස්පර්ශයක් සිදුකළ සැණින් අදාළ සේවාව ක්‍රියාත්මකවීමය. ලියුම්කරු පෙර සඳහන් කළ ආකාරයට වයෝවෘද්ධ පුද්ගලයන්ට තාක්ෂණික දැනුම පිළිබඳව ඇති අල්ප දැනුම නිසා ඔවුන් අතින් එක් ස්පර්ශයකින් පවා මෙම සේවාවන් සක්‍රීය වීම බොහෝ විට සිදුවේ. මෙය වයෝවෘද්ධ පුද්ගලයන්ට පමණක් නොව තරුණ වේවා, මැදි වියේ වේවා ඕනෑම අයකුට පොදුය.

මෙම අයකිරීම සිදුවන ආකාරය මෙම සේවාව ලබාගත් පාරිභෝගිකයෙකුට ලැබුණු බිල්පත අනුව මේ ආකාරයට වේ. අදාළ සේවාව ලබා ගැනීමෙන් පසු ඔහුට ලැබෙන පළමු බිල්පතට අදාළ කාලසීමාව වන්නේ 01/05/2018 සිට 24/05/2018 දක්වා කාලයයි එහිදී එම බිල්පතේ සඳහන් ගාස්තු, හඬ (Voice) සඳහා රුපියල් 259.91 ද රජයේ බදු සහ ගාස්තු (Government Taxes & Levies) සඳහා රුපියල් 247.21 ද වැට් (VAT) සඳහා රුපියල් 160.05 ද අගය එකතු කළ සේවාවන් (Value Added Services) සඳහා රුපියල් 560.00 ද ලෙස වේ. ඒ අනුව මුල් බිල්පතේ ගෙවිය යුතු මුදල රුපියල් 1227.17 කි.

ඉන් පසුව 25/05/2018 සිට 24/06/2018 දක්වා වූ කාලසීමාවට ලැබෙන දෙවන බිල්පතට අනුව එහි ගාස්තු හඬ (Voice) සඳහා රුපියල් 249.40 ද දත්ත (Data) සඳහා රුපියල් 21.18 ද රජයේ බදු සහ ගාස්තු (Government Taxes & Levies) සඳහා රුපියල් 339.89 ද වැට් (VAT) සඳහා 222.79 ද අගය එකතු කළ සේවාවන් (Value Added Services) සඳහා රුපියල් 875.00 ද වශයෙන් වේ. ඒ අනුව දෙවන බිල්පතේ සම්පූර්ණ වටිනාමක රුපියල් 1708.26 වේ.

 

25/06/2018 සිට 24/07/2018 දක්වා වූ කාලසීමාවට අදාළව ලැබෙන තුන්වන බිල්පතට අනුව එහි ගාස්තු, හඬ (Voice) සඳහා රුපියල් 251.00 ද රජයේ බදු සහ ගාස්තු (Government Taxes & Levies) සඳහා රුපියල් 202.31 ද වැට් (VAT) සඳහා රුපියල් 130.98 ද අගය එකතු කළ සේවාවන් (Value Added Services) සඳහා රුපියල් 5898.00 වශයෙන් වේ. එම බිල්පතේ රුපියල් 2518.64 බිල්පත් සංශෝධනයක් දක්වන අතර ඒ තුන්වන බිල්පතේ සමස්ත එකතුව ලෙස දක්වා සිටින මුදල රුපියල් 3963.65 කි.
මෙම තුන්වන බිල්පත ලැබෙන විට මෙම බිල්පතට අදාළ පාරිභෝගිකයා සිය සම්බන්ධතාව විසන්ධි කරගෙන ඇති අතර ඔහු පවසන පරිදි ඒ සඳහා ඔහු ගෙවා ඇති මුදල රුපියල් 9247.00 කි. මෙම බිල්පත් තුන පිළිබඳව සැලකීමේදී අදාළ පාරිභෝගිකයා වැඩිම මුදලක් ගෙවා ඇත්තේ අගය එකතු කළ සේවාවන් වෙනුවෙන්ය. එසේ ඔහු අගය එකතු කළ සේවාවන් සඳහා ගෙවා ඇති සම්පූර්ණ මුදල රුපියල් 7333.00 කි.

කෙසේ වෙතත් ඩයලොග් ආයතනය අදාළ පාරිභෝගිකයාට දැනුම් දෙනු ලබන්නේ තම ආයතනය ඔහුගෙන් රුපියල් 5275.09 මුදලක් වැඩියෙන් අයකරගෙන ඇති බවත් එම මුදල නැවත ඔහු වෙත ලබාදෙන බවත්ය. ඒ ජූලි මාසයේදීය. මේ ගෙවෙන්නේ ඔක්තෝබර් මාසයයි. අදාළ වැඩියෙන් අයකරගත් මුදල් නැවත ගෙවන බවට ඩයලොග් ආයතනය පොරොන්දු වී දැනට මාස තුනක් ගෙවී ගොස් ඇතත් තවමත් ඔහුට එම මුදල ඩයලොග් ආයතන ගෙවා නැත.

රාජ්‍ය අනුග්‍රහය
ඩයලොග් ආයතනය මේ ‘ප්‍රසංසා’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව සමග එකතු වය. විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව රජයට වගකියන ආයතනයක් නිසා මේ වැඩපිළිවෙළ පිළිබඳව යම් විශ්වාසයක්ද පාරිභෝගිකයක් තුළ ඇතිවේ. ඩයලොග් ආයතනය එම විශ්වාසය අපූරු ලෙස ප්‍රයෝජනයට ගනී. ඩයලොග් ආයතනය ‘ප්‍රශංසා’ නම් පැකේජයට අදාළ සිය ප්‍රචාරක දැන්වීම සෑම එකකම පාසා ශ්‍රී ලංකා විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ නිල ලාංඡනය භාවිත කරනු ලබයි. ඔවුහු මේ හරහා සිය පාරිභෝගිකයන් තුළ මේ ව්‍යාපෘතිය සම්බන්ධව රාජ්‍ය මැදිහත්වීමක් ඇති බව හා රාජ්‍ය වගකීමක් ඇති බව සනාථ කරනු ලබති. එසේම මෙම පැකේජයට අදාළ මුදල් කැපීම් ද විශ්‍රාම වැටුප හරහාම සිදුවනු ලබයි.

හප කිරීම
ලංකාවේ බොහෝ විශ්‍රාමිකයෝ ජීවත් වන්නේ තමාට ලැබෙන විශ්‍රාම වැටුපෙනි. එයින් තමාද බොහෝ විට සිය බිරිඳ ද ජීවත් කරවීමට ඔවුන්ට සිදුවේ. ඊට අමතරව වෙනත් එදිනෙදා වියදම්, උත්සව වියදම් ආදී එකී නොකී බොහෝ වියදම් ප්‍රමාණයක් ඔවුන්ටද වැයකිරීමට සිදුවේ. ඒවා සියල්ල විශ්‍රාමිකයන් බොහෝ දෙනා පියවාගත යුත්තේ සිය විශ්‍රාම වැටුපෙනි. එබැවින් විශ්‍රාමිකයන්ට වියදම් කිරීමට සිදු වන්නේ සීරුවටය. එසේ ජීවත් වන ඔවුන් මෙම දුරකතන සබඳතාව ලබාගන්නේ එහි සඳහන් වන ආකාරයට දුරකථනය සඳහා මාසිකව රුපියල් 149.00 ගෙවීමටත් සබඳතාව සඳහා මාසිකව රුපියල් 249.00 ගෙවීමටත් ලෙස මාසිකව රුපියල් 398.00 ක ගාස්තුවක් ගෙවීමේ අභිලාෂයෙනි. එහෙත් ඔවුන්ට ඩයලොග් ආයතනයේ උප්පර වැට්ටිවලට හසුවී මාසිකව රුපියල් දහස් ගණන් ගෙවීමට සිදු වේ. එසේම මෙම සේවා ගිවිසුමට අනුව පාරිභෝගිකයා මාස 24 ක් එනම් අවුරුදු දෙකක් මෙම සේවාව භාවිත කළ යුතුය. මාසික බිල්පතක අවමය රුපියල් 1000.00 ලෙස සැලකුවහොත් ඔහු මාස 24ක කාලය තුළ රුපියල් 24000.00ක් ගෙවිය යුතුය. එහෙත් ඉහත පාරිභෝගිකයාගේ බිල්පත සමග සසඳන විට මාසික ගාස්තුව නිසැකවම රුපියල් දහසට වඩා වැඩි වේ. ගාස්තු නොගෙවුවහොත් ඩයලොග් ආයතනය නඩු මගට පිවිසෙන නිසා කෙසේ හෝ එම ගාස්තු ගෙවිය යුතුය.

රට වෙනුවෙන් අවුරුදු ගණනක් කැපකර, ජීවිතයේ සැඳෑ සමයද බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ගෙවන විශ්‍රාමියකන්ගෙන් සූරාකන ඩයලොග් ආයතනයේ මේ ක්‍රියාව අශීලාචාරය. එයට හවුල් වී සිටින විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවද මේ පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදුකරන්නේ නැතිවීම කනගාටුදායකය. ඔවුන් මේ පිළිබඳව සොයා නොබලන්නේ මේ සූරාකෑම ඔවුන් ද අනුමත කරන නිසා විය යුතුයැයි නිගමනය කළ හැකිය.

මේ සූරා කෑම ‘ප්‍රශංසා’ පැකේජය හරහා පමණක් නොව වෙනත් පැකේජ හරහාද සිදුවනු ලබයි. ඔවුන් එවන ක්ෂණික පණිවිඩයකදී එම පැකේජය එක් ස්පර්ශයකින් සක්‍රීය වී මුදල් කැපීම සිදුවේ. එහෙත් එය සක්‍රීය වන තරමේ පහසුවෙන් එය අක්‍රීය කරගත නොහැකිය. ඔබ මිතුරෙකු සමග යන විට ඔහු ඔබව වෙළෙඳ සැලකට ගෙන ගොස් ඔහුම කෑම ඇණවුම් කර කා බී අවසානයේ එයට මුදල් ඔබෙන් ඉල්ලා සිටීම වැනි ක්‍රියාවක් ඩයලොග් ආයතන සිදු කරයි. ඔබ කෑම අනුභව කර ඇති නිසා ඔබට මුදල් ගෙවීමට සිදුවේ. එහෙත් එය ඔබේ අවශ්‍යතාව මත නොවේ. ඔබ ඩයලොග් ආයතනයේ අමතර පහසුකම් භුක්ති විඳ ඇති නිසා ඔබ ඩයලොග් ආයතනයට මුදල් ගෙවිය යුතුය. නීතිමය අතින් ඩයලොග් ආයතනය වරදක් කර නැතුවා විය හැකිය, එහෙත් ආචාරධාර්මිකව එය වරදක් නොවන්නේ කෙසේද?

සේවාව සක්‍රිය කිරීමට පෙර අපි දැනුම්දෙනවා
මාධ්‍ය සම්බන්ධීකාරක ඩයලොග් ආයතනය.
අපි සේවාව සක්‍රීය කරන්ඩ කලින් පාරිභෝගිකයාට කෙටි පණිවිඩයකින් දැනුම් දෙනවා. එහෙම නැතුව වෙන තැනක (අන්තර්ජාලයේ) තියන ලින්ක් එකක් එබිලා ක්‍රියාත්මක වෙන පැකේජ්වලට ආයතනයේ සම්බන්ධතාවක් නෑ. අපේ සාමාන්‍ය අගය එකතු කළ සේවාවන් විදිහටම තමයි අපි ප්‍රශංසා පැකේජ් එකේදිත් අගය එකතු කළ සේවාවන් ක්‍රියාත්මක වෙන්නේ.