නව අගවිනිසුරු අධිකරණයට පෑයූ රිදී රේඛාවක්ද? කළු වලාවක්ද?

තවත් අගවිනිසුරුවරයකු විශ්‍රාම ගොස් අලුත් අගවිනිසුරුවරයකු ඒ තනතුරට තේරී පත්වී තිබේ. ලංකාවේ අධිකරණයේ විවිධ අඩුපාඩුකම් තිබුණද සරත් නන්ද සිල්වා 1999දී එම ධුරයට පත්වන තෙක් අධිකරණය සිය ගෞරවය හා ස්වාධීනත්වය කිසියම් විශාල ප්‍රමාණයකට ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගියේ යැයි කිව හැකිය. අධිකරණයේ ස්වාධීනත්වයේ හා ගුණධර්මවල ලොකු බිඳ වැටීමක් ඇතිවී එය හිමිකරගෙන තිබූ ස්වාධීනත්වයේ හා ගෞරවයේ ලොකු බිඳ වැටීමක් ඇතිවීම ආරම්භවන්නේ සරත් නන්ද සිල්වාගේ පාලන කාලයේදීය. ඉන්පසු එම තනතුරට පත් කිසිම අගවිනිසුරුවරයකු අධිකරණයේ ඇතිවී තිබුණු පිරිහීම නැති කොට නැවත අධිකරණයට අවශ්‍ය ස්වාධීනත්වය හා ගෞරවය හිමිකර දීමට ක්‍රියා කළේ නැත.

ව්‍යවස්ථා සභා ක්‍රමයක් හා ඒ යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇතිකර ගන්නා ලද්දේ අධිකරණයද ඇතුළුව වැදගත් තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේදී පාලකයන්ට හිතුවක්කාරී ලෙස ක්‍රියා කිරීමට තිබෙන හැකියාව නැති කිරීම සඳහාය. ඒ ක්‍රමය ඇති කොට පවත්වාගෙන යෑම සඳහා ලොකු අතිරේක වියදමක් දරන්නට සිදුවී ඇතත් ඒ මගින් අපේක්ෂා කළ අරමුණ සපුරා ගැනීමට හැකිවී තිබෙන බවක් පෙනෙන්නට නැත. නව අගවිනිසුරුවරයාගේ පත්වීමද විවාදයට හේතුවී තිබෙන බව පෙනේ.

මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සලකා බලන ලද්දේ ඔවුන් අධිකරණ සේවයට එකතු වූ දිනය පදනම් කොටගෙන නොව, ශ්‍රේෂ්ඨාධිකරණයට තේරී පත්වූ දිනය පදනම් කොටගෙනය. අගවිනිසුරු ධුරයේ සිටි පියසත් ඩෙෆ් මහතා විශ්‍රාම යනවිට අගවිනිසුරු ධුරයට තේරී පත්වී සිටින නලින් පෙරේරා මහතා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ සකස් වී තිබුණේ පහත සඳහන් ආකාරයටය.

1. ගරු ඊවා වනසුන්දර මහත්මිය. ශ්‍රේෂ්ඨාධිකරණයට තේරී පත්වූයේ 2012 ජූනි 07 වැනිදාය.
2. ගරු බුවනෙකබාහු අලුවිහාරේ මහතා 2013 දෙසැම්බර් 04 වැනිදා.
3. ගරු සිසිර ආබෲ මහතා 2014 මැයි 07 වැනිදා.
4. ගරු ප්‍රියන්ත ජයවර්ධන මහතා. 2014 මැයි 07 වැනිදා.
5. ගරු නලින් පෙරේරා මහතා. 2016 මාර්තු 3 වැනිදා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨත්වය අනුව බලතොත් අගවිනිසුරු ධුරයට පත්වී සිටින නලින් පෙරේරා මහතා සිටියේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පස්වැනි ස්ථානයේය. ඒ අනුව බැලූ බැල්මට පෙනෙනුයේ වඩා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් සිව්දෙනකු අබිබවා යන ආකාරයට ඒ මහතා පත්කර තිබෙන බවය. ඒ මගින් එළැඹිය හැකි නිගමනය වනුයේ ඒ මහතා අගවිනිසුරු ධුරයට පත් කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වයට අදාළ නිර්ණායකය නොසලකා ක්‍රියා කර තිබෙන බවය.

නව අගවිනිසුරු
ව්‍යවස්ථා සභාව පුද්ගලයන් තනතුරුවලට පත්කිරීමේදී වරදක් සිදුවීම වැළකීම සඳහා යොදාගත යුතු නිර්ණායකයන් ව්‍යවස්ථා සභාවට තිබිය යුතුය. එවැනි නිර්ණායක ක්‍රමයක් ව්‍යවස්ථා සභාවට තිබෙන්නේද? ලංකාවේ මෑත කාලයේ සිටි විශිෂ්ටතම ගණයෙහිලා සැලකිය හැකි නීතිවේදියකු අවංක පුද්ගලයකු හා නොබියව අදහස් පළ කළ පුද්ගලයකු ලෙස සැලකිය හැකි එච්.එල්. ද සිල්වා මහතා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකුව සිටියදී ව්‍යවස්ථා සභාව විසින් වැදගත් තනතුරුවලට පුද්ගලයන් තෝරා පත්කිරීමේදී ප්‍රයෝජනයට ගත යුතු නිර්ණායකයන් පද්ධතියක් සකස් කළ බව ප්‍රකාශ වී තිබුණි. එම නිර්ණායකයන් මොනවාද? ඒ මහතා එම තනතුර අත්හැර ගිය පසු ඒ නිර්ණායකයන්ට කුමක් වීද?

අගවිනිසුරු ධුරයේ පුරප්පාඩුවක් ඇතිවී එම පුරප්පාඩුව පිරවීමේදී විශ්‍රාම යන අගවිනිසුරුවරයාගේද අදහස සැලකිල්ලට ගන්නා සම්ප්‍රදායක් ඉන්දියාවේ ක්‍රියාත්මක වේ. එම සම්ප්‍රදාය ලංකාවටද අදාළ කරගන්නා බව යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රකාශකයකු යහපාලන ආණ්ඩුව බලයට පත්වූ මුල් කාලයේදී කී බව මට මතකය. පුරප්පාඩුව පිරවිය යුතු පුද්ගලයා පිළිබඳව විශ්‍රාම යන අගවිනිසුරුවරයාගේ නිර්දේශ ලබාගැනීමක් සිදුවීද? එය එසේ වී නම් ඔහු අගවිනිසුරු ධුරයට නිර්දේශ කළ පුද්ගලයා කවුද?

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වූ අවස්ථාවේදී ඔහු 78 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආයුධයක් කරගනිමින් හිතුවක්කාරී ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙනස් කළේය. පරණ ආණ්ඩුවට පක්ෂපාතව ක්‍රියා කළ අය ලෙස පෙනුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ තත්ත්වය පහත් කොට තමන්ට පක්ෂපාත ලෙස පෙනුණු අයට උසස්වීම් ලබා දුන්නේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එම විනාශකාරී ක්‍රියාදාමය පිළිබඳව ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, 1978 වසරේදී Socialist Nation පත්තරයට කදිම ලිපි 4ක් ලියන ලද අතර එම ලිපි හතර එකතු කොට සමසමාජ පක්ෂයේ අධ්‍යාපන බියුරෝව Monkeying with the Judiciary නමින් පොත් පිංචක්ද පළකර තිබේ. ජේ.ආර්. ජයවර්ධන අගවිනිසුරු ධුරයට පත් කළේද අධිකරණයේ කෙනකු නොව නීතිඥයන් අතර සිටි ඔහුගේ හිතමිතුරකු ලෙස සැලකිය හැකි නෙවිල් සමරකෝන්ය. එහෙත් නෙවිල් සමරකෝන් මහතා එම තනතුරට පත් මොහොතේ සිටම ජනාධිපතිවරයාට තිබුණු හිතවත්කම අතහැර අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය වෙනුවෙන් පෙනී සිටින හා ඒ වෙනුවෙන් සටන් කරන පුද්ගලයකු බවට පත්විය. මෙම ඓතිහාසික මොහොතේ ලංකාවේ අධිකරණයේ පවතින ගරා හැලීම ජයගැනීම සඳහා අවශ්‍ය වන්නේද නෙවිල් සමරකෝන් වැනි අගවිනිසුරුවරයෙකි.

නව අගවිනිසුරුවරයා ගැන විවිධ අදහස් පළවෙමින් තිබෙන අතර ඒ අදහස් මහජනයා දැනගත යුතුය. අධිකරණ නිලධාරීන්ට ඔවුන් ක්‍රියාවට නගන අධිකරණ බලය ඔවුන්ට ලැබී තිබෙන්නේ මහජනයාගේ පරමාධිපත්‍යය බලයෙනි. ඒ නිසා අධිකරණයේ සිදුවන දේවල් දැනගැනීමේ හා පරීක්ෂා කිරීමේ බලය මහජනයා සතුය. ඒ නිසා නව අගවිනිසුරුවරයා ආශ්‍රයෙන් මතුවී තිබෙන ප්‍රශ්න දැනගැනීමේ අයිතියක් මහජනයාට ඇත්තේය.

නව අගවිනිසුරුවරයා පිළිබඳව විචිකිච්ඡාවක් ඇති කිරීමට හේතුවන මුහුණුපොතේ පළවී තිබුණු සඳහනක් මෙසේය. එය ලියා තිබුණේ කැෆේ ආයතනයේ ප්‍රධානියා වන කීර්ති තෙන්නකෝන්ය.

ඒ සඳහන මෙසේය.
“1994දී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සමග එකම කණ්ඩායමේ නීති විද්‍යාලයට ඇතුළත් වුණු නලින් පෙරේරා මහතා නීතිඥයකු ලෙස 1997දී දිවුරුම් දෙන්නේද මහින්ද රාජපක්ෂ මහතා සමගය.

1980 මුල්කිරිගල අතුරු මැතිවරණයේදී (ආනන්ද කුලරත්න මහතා ඡන්ද පෙත්සම පරාජයෙන් පසුව) ඡන්දපොළේදී ද්විත්ව මිනීමැරුමක් සිදුවන්නේය. එම නඩුව අසන්නට නියමිතව තිබුණේ නලින් පෙරේරා මහතාටය. එජාපය එදා මහින්ද රාජපක්ෂ හා විනිසුරු නලින් පෙරේරා අතර සම්බන්ධයක් ඇතැයි කියා ඒ නඩුව අසන එකට විරෝධය පළ කළේය. ඒ නිසා චමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ නඩුවේ විනිසුරු ධුරයෙන් නලින් පෙරේරා මහතා ඉවත් වූ බව මැතිවරණ ගැන අසා දැන ඇති මට යන්තමට වාගේ මතකය.”
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව විනිසුරු නලින් පෙරේරාගේ නම ඇත්තේ හයවන ස්ථානයේය. මා දන්නා ඉතිහාසයේ නම් ජ්‍යෙෂ්ඨත්වයෙන් හයවැනි ස්ථානයේ සිටි විනිසුරුවරයකුට මෙයට පෙර අගවිනිසුරු ධුරය ලැබී නැත.”

6 වැනි ස්ථානයේ සිට 1 වැනි ස්ථානයට යෑම ගැන කීර්ති තෙන්නකෝන් පළකර තිබෙන කනස්සල්ලේ ඇත්ත පදනමක් ඇතත්, මහින්ද රාජපක්ෂ මහතා සමග එකට නීති විද්‍යාලයේ ඉගෙනීම, එකම දිනක දිවුරුම් දීම, මීට වසර 28කට පෙර අසන්නට නියමිත නඩුවක රාජපක්ෂ මහතාට තිබෙන හැඳුනුම්කම පදනම් කොටගෙන නලින් පෙරේරා මහතාට විරෝධයක් පළවීම හා ඒ මහතා එම විරෝධය පිළිගෙන එම නඩුව ඇසීමෙන් ඉවත්වීම යන කාරණා පමණක් පදනම් කොටගෙන නව අගවිනිසුරුවරයා ගැන තීරණයක් ගැනීම සාධාරණ නැත. නලින් පෙරේරා මහතා රාජපක්ෂ පාලන සමයේ අයුතු ලාභ ප්‍රයෝජන ලබා ඇත්නම් හෝ ඒ කාලයේදී අධිකරණ නිලධාරියකු වශයෙන් දේශපාලන වශයෙන් පක්ෂපාතී ආකාරයකට නඩු තීන්දු දී ඇත්නම් අගවිනිසුරු ධුරයට තබා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ තත්ත්වයකටවත් ඒ මහතා සුදුසු නැතැයි කිව හැකිය. එසේ නැතිව එකට ඉගෙනීම, දිවුරුම් දීම හා මීට වසර 28කට පෙර මහින්ද රාජපක්ෂ මහතාට අදාළ නඩුවක් ඇසීමෙන් ඉවත්වීම වැනි කාරණා මත නව අගවිනිසුරුවරයා පිළිබඳ විනිශ්චයක් ඇතිකර ගැනීම සාධාරණ නැත.

අගවිනිසුරුගේ කාර්යභාරය
අගවිනිසුරුවරයකු තෝරාපත් කරගැනීමේදී හොඳම පුද්ගලයා තෝරාගැනීම සඳහා විධිමත් ක්‍රමයක් නැතිකමේ ප්‍රශ්නයක් අපේ රටේ පවතී. එය අධිකරණයට පමණක් සීමාවූ ප්‍රශ්නයක් නොව, රටේ සමස්ත ආයතන ක්‍රමයටම පොදුවේ බලපාන ප්‍රශ්නයක් ලෙසද සැලකිය හැකිය. ඒ සමග අගවිනිසුරුවරයා හෝ එම ආයතන ප්‍රධානීන්ගේ කාර්යභාරය ගැන හා එම තනතුරුවලට ගැළපෙන විධිමත් අර්ථකථනයක් නැතිකම, සියලුදෙනාට පොදුවේ බලපාන ලෙස මිස, එම තනතුරුවලට අදාළ කාර්යභාරයන්ට ගැළපෙන ආකාරයේ දිවුරුමක් නැතිකම, මුදුනේම සිටින නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය නිරන්තර පරීක්ෂාවන්ට ලක් කරන විධිමත් ක්‍රමවේදයක් නැතිකම, මුදුනේම සිටින තනතුරුලාභීන් වැරදි කරන අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන ක්‍රමයක් නැතිකම, බරපතළ වැරදි සිදුවන අවස්ථාවලදී ඒවා ගල්ගැසෙන්නට ඉඩ නොදී ඒවා නිවැරදි කරන ක්‍රමයක් නැතිකමද ලංකාවේ ආණ්ඩු පාලනයේ දක්නට තිබෙන දෝෂ ලෙස සැලකිය හැකිය.

තිබෙන ආණ්ඩුක්‍රමයේ දෝෂ තිබියදී වුවද හොඳ අධිකරණයක් රටට තිබෙන්නේ නම් පාලකයන් හෝ නිලධාරීන් අතින් සිදුවන බොහෝ වැරදි පාලනය කළ හැකිය. හොඳ අගවිනිසුරුවරයකු සිටී නම් ලංකාවේ අධිකරණයේ ඇතිවී තිබෙන පරිහානිය බාහිර බලපෑමෙන් තොරව අභ්‍යන්තරික වශයෙන්ම විසඳාගත හැකිය යන්න මගේ විශ්වාසයයි. යථා දැක්මක් හා අධිෂ්ඨානයක් ඇති නම් අධිකරණයේ ඇතිවී තිබෙන කුණුවීම අවසන් කොට එය යහපත් හා නිරෝගී තත්ත්වයකට ගැනීමට අවශ්‍ය කරන වෙනස්කම් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන බලය අගවිනිසුරුවරයාට තිබෙන්නේය. අපට මේ මොහොතේ අවශ්‍ය වන්නේ නෙවිල් සමරකෝන් පන්නයේ අගවිනිසුරුවරයෙකි. එහෙත් නෙවිල් සමරකෝන් කළ වැඬේ සඳහා නොව අධිකරණයේ ඇතිවී තිබෙන ජරාජීර්ණභාවය නැති කොට එයට නව ජීවිතයක් ලබාදෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වන අගවිනිසුරුවරයෙකි. අධිකරණයේ තිබුණු ගෞරවය, අභිමානය හා අපක්ෂපාතභාවය නැති භංග කොට එය නරකාදියක් බවට පත් කළ අගවිනිසුරුවරයා ලෙස සැලකිය හැක්කේ සරත් නන්ද සිල්වාය. ඊට පෙරද අධිකරණයේ වැරදි සිදුවුවද අධිකරණයකට තිබිය යුතු ගෞරවය, අභිමානය හා ස්වාධීනත්වය මුළුමනින් අහිමි කරගැනීමක් සිදු නොවීය. එය කණපිට හැරවූ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ සරත් නන්ද සිල්වාය.

සරත් නන්ද සිල්වා විශ්‍රාම යෑමෙන් පසු වර්තමාන අගවිනිසුරුවරයා දක්වා අගවිනිසුරුවරුන් 5 දෙනකු පත්වී ඇතත්, ඒ කිසිම අගවිනිසුරුවරයකු අධිකරණයට අහිමිවී තිබුණු ගෞරවය, අභිමානය, ස්වාධීනත්වය නැවත හිමිකර දීම වෙනුවෙන් ඒ සඳහා ඇති කළ යුතු අත්‍යවශ්‍ය වෙනස්කම් ඇති කරන තැනකට ගියේ නැත. අයහපත් පැවැත්ම නිසා අහිමි කරගත් ගෞරවය, විශ්වාසයට හා ගෞරවයට හේතුවන පැවැත්මත් ඇතිකර ගැනීමෙන් මිස වෙනත් ආකාරයකින් ඇතිකර ගත නොහැකිය. ගෞරවය අහිමිකර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන්නේ අධිකරණ වෘත්තියට පමණක් නොව එය ලංකාවේ සියලු වෘත්තීන්ට අදාළ පොදු ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඒ සියලු වෘත්තීන් අතර රටක සමාජ, දේශපාලන ජීවිතය කෙරෙහි වැඩියෙන්ම බලපාන වෘත්තීය ලෙස සැලකිය හැක්කේ අධිකරණ වෘත්තියයි. අධිකරණයේ ගැඹුරු වෙනසක් ඇතිකර ගැනීමට හැකිවේ නම් ලංකාවේ ඇතිවී තිබෙන කුණුවීමේ ප්‍රශ්නය ජයගැනීමට තිබෙන දුෂ්කරතාවද සැහැල්ලු කිරීමට එය හේතුවනු ඇත.

තේරී පත්වී සිටින නව අගවිනිසුරුවරයාගේ හොඳ නරක අවසාන වශයෙන් උරගා බැලෙන උරගල වනු ඇත්තේද එයයි. නෙවිල් සමරකෝන් මහතා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ සමීප මිත්‍රයකු වුවත් ඔහු තනතුරට පත්වූ මොහොතේ සිට ප්‍රමුඛ වැදගත්කමක් දුන්නේ ජනාධිපතිවරයා සමග තිබෙන මිත්‍රත්වයට නොව අගවිනිසුරුවරයා වශයෙන් තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම කෙරෙහිය. ඒ වගකීම ඉටු කිරීම සඳහා ඔහු තමන්ට මුහුණ දෙන්නට සිදුවන සංකීර්ණ ප්‍රශ්නවලට නිර්භීත ලෙස මුහුණ දුන්නේය. ඒ මගින් අධිකරණයේ ගෞරවය, අභිමානය හා ස්වාධීනත්වය ආරක්ෂා කළේය. මෙම විශේෂ ඓතිහාසික මොහොතේදී ලංකාවට අවශ්‍ය වන්නේද එවැනි අධිකරණ නායකයෙකි. බාහිරින් එල්ල වන බලපෑම්වලට යට නොවන අධිකරණ නායකයකු පමණක් නොව, අධිකරණය අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන පරිහානිය නැති කොට අධිකරණයට නව ජීවිතයක් ලබාදෙන අධිකරණ නායකයෙකි. අධිකරණය යහපත් හා කාර්යක්ෂම කොට අධිකරණය නැවත මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන අධිකරණයක් බවට පත්කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතිකරනවාට පක්ෂපාත සැලකිය යුතු තරම් විනිසුරුවරුන් පිරිසක් අධිකරණයේ සිටින බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ. අධිකරණයේ නැතිවී තිබෙන ගෞරවය, අභිමානය හා ස්වාධීනත්වය යළි ඇතිකර ගැනීමකින් තොරව අධිකරණයට යහපත් අනාගතයක් නැති බව ඔවුන්ගේ පිළිගැනීම වන බවද පෙනෙන්නට තිබේ.

සැබෑ වෙනසක්
අධිකරණයේ සැබෑ වෙනසක් ඇති කිරීම අවශ්‍ය නම් අධිකරණයේ සිදුවී තිබෙන බරපතළ වැරදි මොනවාද? ඒවා ගල් ගැසෙන්නට ඉඩ නොතබා එම වැරදි නිවැරදි කරන තැනකට නොගියේ ඇයි කියන මූලික ප්‍රශ්න දෙක ගැන කරුණු සොයා බලන තැනකට යා යුතුය. අධිකරණයේ ඇතිවී තිබෙන පරිහානිය කෙරෙහි බලපා තිබෙන ඇත්ත හේතු හඳුනා ගැනීමට හැකිවනු ඇත්තේ එවිටය. එවිට ප්‍රතිකාර අවශ්‍යවන්නේ කවර රෝගවලටද යන්න තේරුම් ගැනීමට හැකිවනු ඇත.

1. ලංකාවේ වාර්ගික අර්බුදය ලේ වැගිරෙන තත්ත්වයකට පත්කිරීමට දෙමළ ජනතාවට ඔවුන්ගේ කටයුතු ස්ව භාෂාවෙන් කරගැනීමට ඉඩ නොලැබෙන ලෙස නීතිගත කළ සිංහල රාජ්‍ය භාෂා නීතිය වැදගත් හේතුවක් ලෙස බලපෑවේය. එම ප්‍රශ්නය අධිකරණය ඉදිරියට ආ අවස්ථාවේදී ඔවුන්ට තිබිය යුතු භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රවේශයක පිහිටා ක්‍රියාකිරීමට අධිකරණය සමත් වී නම් එම ප්‍රශ්නය ලේ වගුරුවන ප්‍රශ්නයක් දක්වා වර්ධනය නොවන්නට ඉඩ තිබුණි. ඉන් පෙනෙන්නේ ජනප්‍රිය මහජන රැලිවලට අසු නොවී ක්‍රියාකරන්නට අවශ්‍ය පරිචය හා ධෛර්යය ඒ කාලයේ සිටම අධිකරණයට නොතිබුණු බව නොවේද?

2. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිගත කිරීමෙන් පසුව ඊට ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා සංශෝධනවලින් වැඩි හරියක් ආණ්ඩු ක්‍රමය, වඩා සාධාරණ, විධිමත් හෝ කාර්යක්ෂම කිරීමේ අරමුණින් නොව, පටු දේශපාලන අභිලාෂ සපුරා ගැනීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා සංශෝධන ලෙස සැලකිය හැකිය. අධිකරණයේ අනුමැතිය ඇතිව නීතිගතවූ එම ව්‍යවස්ථා සංශෝධන ආණ්ඩු ක්‍රමයක තිබිය යුතු මනා පිළිවෙළ හා ඒකාග්‍රතාව නැති කොට අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවී මේ වනවිට රට විධිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති රටක් බවට පත්කිරීමට හේතුවී තිබේ. රටේ ඇතිවී තිබෙන කුණුවීම කෙරෙහි එයද වැදගත් සාධකයක් ලෙස බලපා තිබේ. දේශපාලකයන්ට හිතුවක්කාරී ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට තිබෙන හැකියාව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මුළුමනින් නැතිකර තිබෙන අතර ඒ දේ කිරීමට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමත් වී නැත.

(3) ජිනීවා මානව හිමිකම් කමිටුව විසින් සිංහරාසා සම්බන්ධයෙන් ලබාදෙන ලද තීරණයන්ට අදාළව ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවත්වන ලද විමර්ශනයේදී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය හා ඊට අදාළ ප්‍රොටකෝලය යටතේ පිහිටුවා පවත්වාගෙන යන මානව හිමිකම් කමිටුව පිළිබඳව ඊට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී තිබුණ නඩු තීන්දු දෙකක් විධිමත් ලෙස නිෂ්ප්‍රභ කිරීමෙන් තොරව එම තීන්දු දෙකේ දර්ශනයට මුළුමනින් පටහැනි මානව හිමිකම් කමිටුව දෙන තීරණයන් ලංකාවට බලනොපාන ආකාරයට තීන්දුවක් දෙන ලද අතර එය ලංකාවේ අන්තර්ජාතික සම්බන්ධතා අවුල් කිරීමට හේතුවිය. යුරෝපා සංගමය ලංකාවට ලබාදෙමින් තිබූ ජීඑස්පී සහනය අවලංගු කිරීමට බලපෑ ප්‍රධාන හේතුව එය විය. එය ශ්‍රේෂ්ඨාධිකරණය තුළ සිදුවූ ලොකු නෛතික වංචාවක් ලෙස සැලකිය හැකිය.

ඉහත සඳහන් අංක 1, 2 සහ 3 යන ඡේදවලින් විස්තර කෙරෙන කරුණු අනුව ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවුල් කොට ලංකාවේ රාජ්‍ය කුණුවූ තත්ත්වයකට පත්කිරීමට ව්‍යවස්ථාදායක හා විධායකය පමණක් නොව අධිකරණයද ක්‍රියාකාරී ලෙස දායක වී තිබෙන බව ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම ප්‍රධාන කොට පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. එම වගකීම හරියාකාරව ඉටුකිරීමට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමත් වී නැත. ඒ ගැන විමර්ශනයක් කොට සිදුවී තිබෙන බරපතළ වැරදි ගැන විග්‍රහයක් කිරීම අවශ්‍ය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හේතුවන නඩු තීන්දු අනාගතය කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවන ආකාරයට නිෂ්ප්‍රභ කිරීමක් සිදුකිරීමද අත්‍යවශ්‍යය.

හරි දැක්මක් නැතිකම
ලංකාවේ අධිකරණයට නිදහසේ සිටම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන රටක අධිකරණයේ කාර්යභාරය පිළිබඳව හරි අවබෝධයක් හෝ නිසි දැක්මක් තිබී නැත. තනි පුද්ගලයන්ට හා කණ්ඩායම්වලට අදාළ ආරාවුල්වලදී සාධාරණ ලෙසත්, කාර්යක්ෂම ලෙසත් යුක්තිය පසිඳලනවාට අතිරේකව සුළු ජනවර්ග පීඩාවට පත් කිරීමට හේතුවන ලෙස මහ වර්ගයෙන් එල්ල වන බලපෑම්වලදී සුළු ජන වර්ගවල අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර ජාතික සමගිය ඇති කිරීමට හේතුවන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීම අධිකරණයේ වගකීමකි. එසේම පාලකයන්ට හිතුවක්කාරී ලෙස ක්‍රියා කරන්නට ඉඩ නොදීම, මහජනයාට තිබෙන පරමාධිපත්‍ය බලය, නිදහස හා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, රට නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක තත්ත්වයක තබා ගැනීමද අධිකරණය වෙත පැවරෙන ප්‍රධාන සමාජ වගකීමක් ලෙස සැලකිය හැකිය.

අධිකරණය වෙත පැවරෙන එම සමාජ වගකීම නිසි ලෙස ඉටුකිරීමට නම් අධිකරණයට විධිමත් යාන්ත්‍රණයක් තිබිය යුතුවා සේ ම තමන් වෙත පැවරී තිබෙන වගකීම් පිළිබඳ මනා අවබෝධයක් ඇති, නීතියට අනුකූලව හා කාර්යක්ෂමව ක්‍රියාකරන අධිකරණ නිලධාරීන් සමූහයක්ද සිටිය යුතුය. අපේ රටේ අධිකරණ සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී සුදුසුම පුද්ගලයන් බඳවා ගැනීම සඳහා උචිත ක්‍රමවේදයක් නැත. ලෙනින් රත්නායක වැනි වංචාකාරී ඉතිහාසයක් ඇති පුද්ගලයකුට අධිකරණ සේවයට එකතුවීමට හැකිවූයේ ඒ නිසාය. අධිකරණ සේවයට එකතුවන ආධුනිකයන්ට ලබාදෙන පුහුණුවද ප්‍රශස්ත තත්ත්වයක පවතින බව පෙනෙන්නට නැත. පුහුණුවෙන් පසු විනිසුරුවරුන්ගේ ක්‍රියාකාරීත්වය හා ඔවුන් ලබාදෙන නඩු තීන්දුව නිසි ප්‍රමිතියට තිබෙනවාද යන්න සොයා බලන විධිමත් ක්‍රමවේදයක් පවා ලංකාවේ අධිකරණයට නැත. විධිමත් ස්ථාන මාරු ක්‍රමයක්ද නැති අතර, කාර්යක්ෂම විනය පාලන ක්‍රමයක්ද නැත. ලෙනින් රත්නායක අධිකරණ සේවයට එකතු වී තිබුණේ තම වංචාකාරී ඉතිහාසය වසන් කොට බව තහවුරුවීමෙන් පසුත් ඔහු අධිකරණ සේවයෙන් ඉවත් කළේ ඔහුට ගෙවන ලද වැටුප් හා වෙනත් දීමනා ආපසු අයකර ගැනීමකින් තොරවය. ඔහුට එරෙහිව එල්ල වී තිබුණු ස්ත්‍රී දූෂණ චෝදනාවලට නඩු පැවරීමකින් තොරවය.

ඉහළ අධිකරණයට විනිසුරුවරුන් තෝරා ගැනීමේදී ඔවුන් පරීක්ෂාවට ලක් කරන ක්‍රමයක් නැත. නිසි පරීක්ෂාවට ලක්වීමක් සිදු නොවේ. උපාලි අබේරත්න වැනි අපකීර්තිමත් අධිකරණ ඉතිහාසයක් ඇති පුද්ගලයකුටද ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම ඉහළ නැගීමට පුළුවන්කම ලැබුණේ ඒ නිසාය. අධිකරණ සේවය තුළ සිදුවන වංචා හා දූෂණ ගැන සොයා බලන විධිමත් ක්‍රමයක්ද නැත. තමන්ගේ පුද්ගල යහපත හෝ වාසි පිණිස තමන්ට තිබෙන බලය පාවිච්චි කරන විනිසුරුවරුන් ගැන නිතර නිතර අසන්නට ලැබේ. නඩුවක් අසා නිම කිරීමට ගතවන දීර්ඝ කාලය මහජනයා පීඩාවට පත් කරන බලවත් සාධකයක් බවට පත්වී තිබෙන්නේ යැයි කිව හැකිය. සාමාන්‍ය නඩු පමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කාලය නියම කර ඇති මූලික අයිතිවාසිකම් නඩු පවා වසර ගණනක් දිග්ගැස්සෙන අවස්ථා දුලබ නැත. නීතිඥයන් නඩු කියන්නන්ගෙන් ගාස්තු අය කරන්නේද ඉතාමත් හිතුවක්කාරී ආකාරයකටය. නීතිඥයන්ගේ විනය පාලනය සඳහා ඇති කොට තිබෙන ක්‍රමවේද තියෙන්නේ මුළුමනින් අක්‍රිය තත්ත්වයකය.

සදාචාරාත්මක පරිහානිය
අධිකරණය වසාගෙන තිබෙන බිහිසුණුම පිළිකාව බවට පත්ව ඇත්තේ සදාචාරමය වශයෙන් දක්නට තිබෙන දරුණු පිරිහීමය. මේ ගැන අධිකරණයට ලොකුම අනතුරු ඇඟවීම කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ එච්.එල්. ද සිල්වාය. ඔහු මෙම විෂයට බර තබන ලද ප්‍රසිද්ධ දේශනයක් පවත්වන ලද්දේ දීර්ඝ කාලයක් තිස්සේ මා විසින් කරන ලද හඬ නැගීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එමෙන්ම අගවිනිසුරුවරයා (ජී.පී.එස්. ද සිල්වා) ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා එල්ල කරන ලද චෝදනා සොයා බලන්නට අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත් කොට ඒ කමිටු දෙක විසින්ම එම විනිසුරුවරුන් දෙදෙනා චෝදනාවලට වරදකරුවන් බවට පත්කිරීමෙන් පසු මෙම දූෂිත විනිසුරුවරුන් දෙදෙනාට ආරක්ෂාව ලබාදීමෙන් නීතිපති සරත් නන්ද සිල්වා බරපතළ වරදක් කර ඇති බව චෝදනා කරමින් ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව ඒ ගැන සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසුවය.

මෙහි උපුටා දක්වන්නේ එම උණුසුම් වටපිටාව තුළ එච්.එල්. ද සිල්වා කරන ලද ප්‍රසිද්ධ දේශනයකි.

“විනිශ්චයකාරවරයාගේ ස්වාධීනත්වය ඔහුගේ සදාචාරාත්මක අවංකභාවය මත රඳා පවතින්නේය. ඒ සමග ඍජුවම බැඳී පවතින්නේය. නීතිය පිළිබඳව ඔහුට ඇති නිපුණතාවටත්, විනිශ්චය සඳහා අවශ්‍ය විශ්ලේෂණ ශක්තියටත් එක් අතකින් හිමිවන්නේ දෙවැනි තැනය. වැදගත්කම අතින් සදාචාරාත්මක අවංකභාවයට වඩා පහළ තැනකි. විනිශ්චයේදී දක්ෂ කථිකයෙකුට වඩා අවංක සාමාන්‍ය මිනිසකුට වැඩි අභිමතයක් ලැබෙන්නේය. විනිශ්චයේදී බුද්ධිමතකුගෙන් පළවන වංකභාවය ගර්හාවට ලක්විය යුතු අතර දුරාචාරය හා දූෂණය ඒකාන්තයෙන්ම හෙළා දැකිය යුතු වෙයි.”

ලෙනින් රත්නායක තමන් ඉදිරියේ ඇසෙන නඩු දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු දූෂණය කළේය. ඒ සිද්ධීන් දෙකේදීම විනිසුරුවරයාට ගැහැනුන් සපයන පිම්පියන් ලෙස ක්‍රියාකර තිබුණේ ඒ කාන්තාවන්ගේ නඩු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දෙදෙනකි. එක් කාන්තාවක් දූෂණය කර තිබුණේ ලෙනින් රත්නායක සිය චේම්බරයේදීය. එම සිද්ධියේදී චේම්බරයට ඇතුළු වන දොර මුරපල්ලා ලෙස ක්‍රියාකර තිබුණේද නීතිඥයෙකි.

ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඉහළ ගිය උපාලි අබේරත්නගේ සදාචාරාත්මක කැරැට්ටුවද ඉතාමත් අවලස්සනය. ඔහු ගැන මට ඔහු ඇසුරු කළ මහාධිකරණ විනිසුරුවරයකුගෙන් මාගේ නීිතිඥයාගේ නිවසේදී මට අසන්නට ලැබුණු මීට පෙරද මා ලියා ඇති කතාවක් මෙසේය.

මහාධිකරණ විනිසුරුවරයා තමන්ගේ මිත්‍රයකු වූ උපාලි අබේරත්නගේ නිවසට ගිය අවස්ථාවකදී එහි සිදුවූ අප්‍රසන්න සංවාදයක් නරඹන්නට ඔහුට සිදුවී තිබේ. උපාලි අබේරත්නගේ බිරිඳ නිවසේ වැඩ කරන සේවිකාවකට කෝපයෙන් බැණ වදිමින් උඹව බඩ කළේ කවුදැයි උපාලි අබේරත්න ඉදිරියේම ප්‍රශ්න කර තිබෙන අතර සේවිකාව උපාලි අබේරත්න වෙත හැරී දී තිබෙන පිළිතුර වී ඇත්තේ ‘මහත්තයා’ වන බවය. මහාධිකරණ විනිසුරුවරයා එම සිද්ධියෙන් පසු උපාලි අබේරත්න සමග එම සේවිකාව කළුතර ගබ්සාවන්ට ප්‍රසිද්ධ වෛද්‍යවරයකු වෙත ගෙන ගොස් ඇතත්, කාන්තාවගේ ගර්භාෂය පරීක්ෂා කළ වෛද්‍යවරයාගේ මතය වී ඇත්තේ ගැබ ඕනෑවට වඩා මෝරා ඇති බැවින් ගබ්සාවක් කළ නොහැකි බවය. ඉන්පසු උපාලි අබේරත්න වෙනත් තැනකට ගොස් ඒ වැඬේ කරවාගෙන තිබුණු බවද එම මහාධිකරණ විනිසුරුවරයා මා සමග කීවේය. කතාවට සවන්දීමෙන් පසු මා එම මහාධිකරණ විනිසුරුවරයාට කීවේ විනිසුරුවරයකු වශයෙන් ඔහු කළ යුතුව තිබුණේ උපාලි අබේරත්න හා එම කාන්තාව වෛද්‍යවරයකු වෙත රැගෙන යෑම නොව, එම සිද්ධිය අධිකරණ බලධාරීන්ට දැනුම්දීම වන බවය. එසේ නොකිරීමෙන් ඔබ බලවත් වරදක් කර තිබෙන බවද මම කීවෙමි.

අධිකරණයේ තිබිය යුතු සදාචාරාත්මකභාවය මුළුමනින් නැතිභංග කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. මා ඔහු ගැන අසා තිබෙන ජුගුප්සාජනක කතා මෙහි කියන්නට බලාපොරොත්තු නොවෙමි. එහෙත් ඔහු එක අවස්ථාවක් මෝටර් රථයක් තුළ කාන්තාවක් සමග අඩනිරුවතින් දියවන්නා ඔය අසල සිටින අවස්ථාවකදී මිරිහාන පොලිසියේ සංචාරක පොලිස් කණ්ඩායමකට කොටුවිය. රටේ අගවිනිසුරුවරයාගේ ටයිපටිය පැළඳි කමිසය ඇඟේ තිබුණද කලිසම ඇඟේ නොතිබුණි. රටේ ජනාධිපතිනිය ඇතුළු ව්‍යවස්ථාදායකයේ සියලුම නායකයන් මේ සිද්ධිය ඉක්මනින් දැනගත්තේය. ඒ සියලුදෙනාට එය විනෝදයට හේතුවූ රස කතාවක් බවට පත්වුණා මිස ඒ මගින් රටේ අගවිනිසුරුවරයා අධිකරණයට ඇති කරන ලද අවමානය සලකා එම පුද්ගලයා එම ගරු කටයුතු තනතුරෙන් පහකිරීමේ වැදගත්කම ඒ කිසිවකු සැලකිල්ලට ගත්තේ නැත. අපේ රටේ ව්‍යවස්ථාදායකය ඒ වනවිටත් කුණුවී තිබුණු තරම පෙන්වීමට එය හොඳ නිදර්ශනයකි.

සදාචාරමය අර්ථයෙන් අධිකරණයේ ඇතිව තිබූ පිරිහීමේ ගැඹුරු වෙනසක් අද දක්වා සිදුවී නැත. ඉතාමත් මෑතකදී අසන්නට ලැබුණු කතාවක් මෙසේය. අධිකරණයේ ලිපිකාර සේවයට අලුතෙන් බැඳුණු තරුණ කාන්තාවක් එම අධිකරණයේ විනිශ්චයකාරවයා සිය චේම්බරයට ගෙන්වා ගෙන කලිසමේ බොත්තම් ගලවා විනිශ්චයකාරයාගේ පුරුෂ ලිංගය එම කාන්තාව අතට දී තිබේ. එම නින්දාසහගත තත්ත්වය භාරගැනීමට නොකැමති වූ එම තරුණ කාන්තාව විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර තිබෙන අතර වහාම ක්‍රියාත්මක වන පරිදි කාන්තාව වෙනත් අධිකරණයකට මාරු කොට විනිසුරුවරයාටද දඬුවම් මාරුවක් ලබාදී තිබේ. වර්තමාන අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා සේ ම ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරය හොබවන කාලයේ සිටි එම කොමිසමේ ලේකම්වරයාද විනිසුරුවරුන්ට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි යටපත් නොකොට ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට ප්‍රශස්ත කාර්යභාරයක් ඉටු කළ හෝ ඉටුකරමින් තිබෙන බව ඔවුන්ගේ ගෞරවය පිණිස කිව යුතුය. අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයකු ලෙස ක්‍රියාකරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ආබෲ මහතාද විනිසුරුවරුන්ගේ විනය පාලනය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකරන බවද අසන්නට ලැබුණි. ඒ සියල්ල එසේ තිබියදී අවසානයේ කී විනිසුරුවරයා කර තිබෙන වරදට දඬුවම් මාරුවක් දීම උචිත ප්‍රතිකර්මයක් ලෙස සැලකිය නොහැකිය.

අවසානයට කී විනිසුරුවරයාගේ නිදර්ශනය මා ගෙනහැර දැක්වූයේ අධිකරණයට අවමානයක් කිරීමේ අදහසින් නොව, ගෞරවය අහිමි කරගෙන තිබෙන අධිකරණයට ගෞරවය හිමිකරදීම සඳහා ප්‍රතිසංස්කරණ වැඩසටහනක ඉක්මන් අවශ්‍යතාව අධිකරණ බලධාරීන්ට සේ ම දේශපාලන බලධාරීන්ටද ඒත්තු ගැන්වීම සඳහාය. අධිකරණයේ සිටින සියලු විනිසුරුවරුන් නරක විනිසුරුවරුන් ලෙස සැලකිය නොහැකිය. හොඳ විනිසුරුවරුන්ද සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින බව කිව යුතුය. ඔවුන් ඉන්නේ සතුටින් නොව කනස්සල්ලෙනි. ඔවුන් අපේක්ෂා කරන්නේ මෙම චිත්‍රයෙහි යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඉක්මනින් සිදුකළ යුතු බවය.

නව අගවිනිසුරුවරයා උරගා බැලීමකට ලක් කෙරෙන ප්‍රධානම දේ වනුයේද එයයි. අධිකරණය යහපත් හා ගරු කටයුතු තැනට ගැනීමට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ හඳුනාගෙන ඒවා ක්‍රියාවට නැගීමට අවශ්‍ය හැම බලයක්ම අගවිනිසුරුවරයාට තිබෙන්නේය. ඔහු එක්කෝ ප්‍රතිසංස්කරණ මාවත තෝරාගෙන අධිකරණය මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන අධිකරණයක් බවට පත් කොට ලංකාවේ අධිකරණය ගොඩ දැමූ පුද්ගලයකු ලෙස ඉතිහාසයට එකතු විය යුතුය. නැතිනම් සරත් නන්ද සිල්වාගෙන් පසු එම තනතුරට පත් අනුප්‍රාප්තික සෙසු අගවිනිසුරුවරු මෙන් යහපත් වෙනසක් සඳහා කිසිවක් නොකළ තවත් අගවිනිසුරුවරයකු ලෙස ඉතිහාසයට එකතු වනු ඇත. නව අගවිනිසුරුවරයා තෝරාගනු ඇත්තේ එම මාවත් දෙකෙන් කුමන මාවතද?