සනත් තරමට පාරමී විශාලය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

සනත් සහ පාරමී නම් දෙකකි. එහෙත් ඒ අකුරු අතර ඇති කතාව ගැඹුරුය.

සනත් ජයසූරිය, ලෝකය, ශ්‍රී ලංකාව හඳුනාගත් නම් අතලොස්ස අතර එකකි. විටෙක ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව තරඟයක් දිනීම, ලෝක ක්‍රිකට් බලවතුන්ගේ සිහින අතරට එක් කළේය. ක්‍රිකට් නම් මේ යැයි කියා පිටියේ කෙළවරේ සිට ක්‍රිකට් නැරඹු මහත්වරුන්ට පිටිය මැද සිට ක්‍රිකට් නරඹන්නට අවස්ථාව සලසා දුන්නේද ඔහුය.

දැන් ඔහුගේ කරේ රතු මල් මාලයක් දමා ඇත. දං ගෙඩිය ඉතා ළඟ සේය. තේරීම් කමිටු සභාපති කල, ඔහු ක්‍රිකට් පාවා දී තිබේ.

එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කියා ඇත්තේ කුමක්ද? සනත්, ක්‍රිකට් දූෂණ විමර්ශන සඳහා සහය නොදැක්වූ බවය. ඊට බාධා කළ බවය. ඒවා ප්‍රමාද කළ බවය. දැනට එපමණය. එහෙත් පොල් ගෙඩි අකුරින් උලුප්පා පෙන්වන්නේ ඔහුට කට උත්තර නැතිවා සේය. ඔහුටද කතාවක් ඇත. එය කීමට ඔක්තෝබර් 28 වනදා වනතුරුම කල් තිබේ. අයි සී සී යට කියන්නට පෙර සිය කතාවෙන් කොටසක් 16 වනදා ඔහු රටට කීවේය.

සිදුව ඇත්තේ කුමක්දැයි කිසිවකු තවම හරියටම දන්නේ නැත. ඒවා දන්නේ සනත් ඇතුළු චෝදනා එල්ල වන්නන්ය. හෙට- අනිද්දා වන විට තවත් නිලධාරීන්ට, ක්‍රීඩකයන්ට චෝදනා ගොනු කිරීමද පුදුමයක් නොවනු ඇත.

එහෙත් රටේ බහුතරයකට විනෝදාස්වාදය ගෙන දෙන ලෝකය පුරා රටේ ලකුණු පැළ කළ දරුවන්- තරුණයන්- වැඩිහිටියන්ගේ ක්‍රීඩාව වූ ක්‍රිකට්, සැහැල්ලුවෙන් අතහැර දැමීමට ඉඩ දිය යුතුද?

ක්‍රිකට් ළඟට මුදල් මෙන්ම ක්‍රිකට් ළඟට පක්ෂ දේශපාලනය ගෙන ආවේ ක්‍රීඩකයන් නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික වීමට දඟලන්නේද ක්‍රීඩකයන් නොවේ. එම ආයතනයේ සිදුව ඇති වංචා, දූෂණ කප්පරකුත් තවත් ටිකකි.

මුදල් බලය, දේශපාලනයේ බලය ක්‍රිකට් වෙත ගෙන ආ ව්‍යාපාරිකයන්, ක්‍රීඩා ඇමති පමණක් නොව රටේ අගමැති – ජනාධිපති පවා දණ ගැස්සවූයේ මුදල් ආකරයක් මත හිඳගනිමිනි. අද මහන්සි විය යුත්තේ දේශපාලනයෙන් ක්‍රිකට් නොගසන දිනයක් සහ ක්‍රිකට් වලින් දේශපාලනය නොකරන දිනයක් වෙනුවෙනි. ඒ සඳහා බිඳ දැමිය යුතුව ඇත්තේ ජයසූරියලාගේ ලෝකයට වඩා සුමතිපාලලාගේ ලෝකයයි.

ඊළඟට පාරමීය. පාරමිට සනත් සමඟ හෝ ක්‍රිකට් සමඟ සම්බන්ධයක් නැත. එහෙත් රටත් සමඟ තිබේ. ඇය කළුය. පුංචිය. දාහත් හැවිරිදිය. ඉතිහාසයේ නම ලියවා ගත්තේ පළමු යොවුන් ඔලිම්පික් පදක්කම ශ්‍රී ලංකාවට ගෙන ආ දියණිය ලෙසය. ඒ මීටර් 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කමය. එම පදක්කම වසර 11ක මෙරට මලල ක්‍රිඩා ඉඩෝරය නිමා කළ මොර සූරන වැස්සක් සේය.

කුලියාපිටිය මධ්‍ය මහා විiාලයේ ඉගෙන ගන්නා පාරමී වසන්ති මාරිස්ටෙලා, සුසන්තිකාගේ මුල් අවධිය සිහිපත් කරමින් දිව යයි. කතා කරයි. සිනාසෙයි. වෙරළ සුන්දර වුවත් හලාවත අඹකැඳවිල – සරප්පුවත්තේ ධීවර ජීවිතය ඇයට සුව පහසු විය නොහැකිය. එහෙත් අපට පෙනෙනවාට වඩා පාරමී විශාලය.

පසු සටහන-
මේ සටහන ලියුවේ අයි සී සී ය සනත්ට චෝදනා ගොනු කළ දිනයේම ආජන්ටිනාවේදී පාරමී පදක්කම දිනූ නිසා නොවේ. ජනමාධ්‍යවලින් සනත්ට විශාල ඉඩක් දී පාරමීට පුංචි ඉඩක් දුන් නිසාද නොවේ. සනත්ලා වගේම පාරමීලාද රටකින් ලොවක් වැසිය හැකි තරම් ක්‍රිඩකයින් වන නිසාය.