ජාතික මහා ක්‍රීඩා බොරුව

ජාතික මහා ක්‍රීඩා උළෙල නම් ව්‍යාජය හතළිස් හතර වන වතාවටත් අවසන් විය. ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තමන් කරන එකම බරසාර රාජකාරිය මෙවරත් අහවර කොට ගිමන් හරිමින් සිටිති. වාර්ෂිකව සංවිධානය කරන ජාතික මහා ක්‍රීඩා උළෙල ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ගේ මංගල්‍යයයි. එහි සහතික පත්‍රයේ සිට කෑම පැකට් එක දක්වා ගසා කෑම ඉතිහාසයේ සිට සිදුවන්නකි.

වාර්ෂිකව ලක්ෂ සියයට වඩා මෙයට වෙන් කරනවා නියතය. එහෙත් ඉන් ඇති පළේ කුමක්ද? සැමදාම බස්නාහිර පළාත ශූරතාව දිනාගෙන උළෙල සමාප්ත වේ. ඉන්පසු නැවත පිඹුරු සකසනුයේ ලබන වර ක්‍රීඩා උළෙල පවත්වන්නටය. මෙයින් ක්‍රීඩාවට වන යහපත කුමක්ද? අපි ජාතික මහා ක්‍රීඩා උළෙල වැඩකට නැති බව කරුණු ඇතිව පෙන්වා දුන්නෙමු. එහෙත් එය පිළිගත්තද එයින් මිදෙන්නට බලධාරීන්ට සිත් නැත්තේ මේ ක්‍රීඩා උළෙල ඒ අයගේ ඉල්ලමක් නිසාය. යහමින් මුදලක් හම්බ කරගත හැකි මාර්ගයක් නිසාය.

අපගේ අදහස නම් මේ ක්‍රීඩා උළෙල දැන්වත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදාහළ යුතු බවය. එය මීට පෙරද අපි නිතර කීවෙමු. මෙයට නව අරුතක් ලබාදිය යුතුය. එනම් මේ ක්‍රීඩා උළෙල භාරගන්නා පළාත එයට පූර්ණ බර දැමිය යුතුය. දකුණු පළාත නම් එය පවත්වනුයේ දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශය එහි බර කරට ගත යුතුය.

පළාතක් ලෙස සෙසු අංශ සියල්ලම ඊට සහය දැක්විය යුතුය. පළාත් සභාවලද ක්‍රීඩා ඇමතිවරයෙක් ක්‍රීඩා අමාත්‍යාංශයක් ඇත. ඒවා නමට සීමා නොකළ යුතුය. තමන් බර දමන විට එම පළාත එවර උපරිමය කිරීමට දමන වෙර අපමණය. ශූරතාව වුව තමන් සතුකර ගැනීමට දක්වන කැපවීම අපමණය. ක්‍රීඩා අමාත්‍යාංශය කළයුත්තේ එය අධීක්ෂණය කරමින් ඊට පරිපාලනමය දායකත්වය සැපයීමය. එහි ආරාධිතයන් විය යුත්තේද එම පළාතේ මහ ඇමතිය. සෙසු සාමාජිකයන්ය. එම පළාත නියෝජනය කළ ක්‍රීඩා තරු වුව ඊට ඇතුළත් කරගත හැකිය.

එවිට හැම පළාතක්ම තම ක්‍රීඩා අභිවෘද්ධිය වෙනුවෙන් අප්‍රමාණ වෙහෙසක් දරනු ඇත. ලබන වර එය භාරගන්නා පළාත මෙවරට වඩා අභියෝගයක් දෙන්නට එය සංවිධානය කරන්නට උත්සුක වනු ඇත. එය පළාතේ අභිමානය විදහා දක්වන්නක් වනු ඇත. ඔලිම්පික් හෝ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී ජනප්‍රිය කරවනුයේ රට නොව එම උළෙල පවත්වන නගරයය. එය ආදර්ශය මොඩලයක් ලෙස ගෙන මෙරට ව්‍යාප්ත කළ යුතුය.

දැන් සිදුව ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය ගොස් අනුන්ගේ මඟුල් ගෙවල් තමන්ගේ කරගෙන ජෝගී නැටීමය. මේ නිසා ජන සහභාගිත්වයක් හෝ දක්නට නොමැතිය. තම පළාතේ සංගීත සංදර්ශනයක් බලන්නට ඇති උනන්දුව ක්‍රීඩා උළෙලක් බලන්නට නැත. එයට හේතුව ඒ පළාතේ සහභාගිත්වය අවම නිසාය. වැඬේ තමන්ගේ වූ කල සැවොම දායකත්වය සපයති. එවිට ඒ පළාතේ ව්‍යාපාරිකයන්ට වුව තම ප්‍රදේශයේ ක්‍රීඩා සම්පත් රැකගන්නා තැනට තල්ලු කරන ක්‍රමවේදයක් සැකසිය හැකිය. තම ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගන්නා යාන්ත්‍රණයක් එම පළාතට වුව ආරම්භ කළ හැකිය. එම ක්‍රීඩා උළෙල හරහා ක්‍රීඩා පිටි, ක්‍රීඩාගාර සකස් කර ගැනීම උත්සුක වනු ඇත. එය ව්‍යාප්ත කළහොත් ක්‍රීඩා ගම්මාන නිර්මාණය කරන තැනට තල්ලු විය හැක. පළාත් මට්ටමින් සංවර්ධිත එක ක්‍රීඩා ගම්මානයක් තිබුණා නම් ක්‍රීඩා පාසල් 500 වැනි ගොඩනැගිලි අවශ්‍ය නොවේ.

මේවා කොතෙක් කීවද ක්‍රීඩා ඇමතිවරුත් වාර්ෂිකව තම අමාත්‍යාංශය කරන බොරුවට කැමතිය. ඔහු ආරාධිතයා ලෙස සහභාගි වී ජනපති හෝ අගමැති ගෙන්වාගෙන තම හපන්කම පෙන්වීමට ඔහුද කැමතිය. හිටපු ක්‍රීඩා ඇමතිට වඩා තමා හපන්කමක් කළා කියන්නට සතුටුය. එහෙත් අවසානයේ ඉන් ක්‍රීඩාවට ඉතිරි වූයේ කුමක්ද?

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේදී දස්කම් පාන්නෝ ලබන වර නැත. ගියවර මාතරදී තරග වාර්තා දෙකක් පිහිටවූ අතර මෙවර එය එකකි. එසේ නම් ජාතික මහා ක්‍රීඩා උළෙල හරහා ක්‍රීඩාව ඉදිරියට යන්නේද? මීට පෙර පොළොන්නරුවටම දුන් ජාතික මහා ක්‍රීඩා උළෙල හරහා ක්‍රීඩාව ඉදිරියට යන්නේද? මීට පෙර පොළොන්නරුවේම ජාතික මහා ක්‍රීඩා උළෙල දෙවරක්ම පවත්වා ඇත. මේ තෙවැනි වරය. එහෙත් පොළොන්නරුව ක්‍රීඩාවෙන් ඉහළට පැමිණ ඇත්ද?

ජාතික මහා ක්‍රීඩා උළෙල කියා හැම වර්ෂයකම පවත්වන ක්‍රීඩා උළෙල දැන් දැන් පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලකට එහා අරුතක් නොගනී. එය වසරේ අනිවාර්ය අංගයක් විනා ක්‍රීඩාවේ ප්‍රගමනයක් වී නැත. ඒ කිසිදු අධ්‍යාපනයක්ද ක්‍රීඩා බලධාරීන්ට නැත. ඔවුන් ක්‍රීඩා උළෙල පවත්වා අත්පිසදා ගත්තේ සාක්කු පුරවාගෙනය. දැනට සිදුවන එකම දේ ක්‍රීඩා බලධාරීන්ගේ සංවර්ධනයය. පාරමී යොවුන් ඔලිම්පික් උළෙලෙහිදී ලෝකඩ පදක්කමක් දිනාගෙන විත් කියුයේ තම ජීවිතයේ කඨෝරකමය. නොදිනන තාක් සිය ජීවිතය වුව විවර කළ නොහැකිය. දින්න පසු කියන්න ඇත්තේද මෙවැනි දුඃඛිත කතාන්දරයකි. එසේ නම් මෙරට ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩකයා වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද?

ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක මොවුන් හඳුනා ගන්නේ දිනූ පසුවද? සුසන්තිකා රැකගත යුතු යැයි කියන ඇමති දැන් දිනන අය රැකගන්නේ ඔවුන් විශ්‍රාම ගිය පසුවද?

ජාතික මහා ක්‍රීඩා උළෙල පමණක් නොව, මෙරට ක්‍රීඩා රටාවම වෙනස් විය යුතුය. ක්‍රීඩා ඇමතිකමක් ක්‍රීඩා අමාත්‍යාංශයක් කුමටද යන පැනය අද බරපතළව විමසිය යුතුය. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවර්ධනය කළ ක්‍රීඩාව කුමක්ද? ක්‍රීඩාව වෙනුවෙන් දැන්වත් දැනෙන යමක් කරන්න නම් මුලින්ම එය ආණ්ඩුවක් ලෙසට බරපතළව සිතිය යුතුය. ඇමත්තකුට එය භාරදී කරබාගෙන සිටීමෙන් පළක් නැත. ෆයිසර් යනු හිටපු ඇමතිවරු මෙන්ම තවත් එක් ක්‍රීඩා ඇමැත්තෙක් පමණි.