ජමාල් ඛෂෝගි ලොව කළඹයි

එස්. නන්දලාල්

මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි පසුගිය 02දා පස්වරු 1.00 – 1.30ට පමණ තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි අරාබියේ කන්ස්‍යුලේට් කාර්යාලයට ඇතු`ඵ වූ බවත් ගියා ගියාම බවත් ඔහු ඉන් පිටතට නොපැමිණි බවත් පසුගිය සතියේ මේ පිටුවේ පළ කැරිණි. ඔහු ගැන විස්තරයක් ද එහි ඇතුළත් ය.

ජමාල් ඛෂෝගි ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි. ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වූවාට කාන්තාවක් අතින් මාරාන්තික රිය අනතුරක් සිදු වූ විට ඇය යට ඇඳුමක් ඇඳ සිටියේ ද, ඇඳ සිටියා නම් ඒ මොන ජාතියේ මොන පාට එකක් ද යන ඒවා සොයන තාලේ මාධ්‍යවේදියෙක් නොවේ. ඔහු ගවේෂණය කළේ සමාජයට බලපාන සිද්ධි හා ඒවායේ පසුබිම ය.

සෞදි අරාබිය මතු නොව සියලුම පාහේ ඉස්ලාම් ලබ්ධික රටවල එම ලබ්ධිය සමස්ත දේශය පුරා ම ‘හරිතාගාර ආචරණයක්’ ඇති කරන බව ප්‍රකට කරුණකි. මේ වියන වඩාත් බලවත් කරනු පිණිස තලේබාන්, ඉසිස්, බොකෝහරාම් වැනි සංවිධාන අවි අතට ගෙන සිටීම ද කරන විනාශ ද ඒ තරම්ම ප්‍රකට ය. එවැනි රටවල මාධ්‍යවේදින්ට එක්කෝ හෘදය සාක්ෂියක් නැත. සමහරවිට තිබුණත් යටපත් කැර ගෙන සිටිනවා විය යුතු ය.

ජමාල් ඛෂෝගි හෘදය සාක්ෂියක් සහිතව සිටි මාධ්‍යවේදියෙකි. තමාට මොන තර්ජන තිබුණත් සිය මව්බිම වූ සෞදි අරාබියේ හිඳිමින් එරට පාලනය සහ ආගමික ප්‍රධානීන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කරමින් සිය පෑන මෙහෙයැවූයේ එහෙයිනි. සෞදි රජයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වොෂින්ටන් පෝස්ට් වැනි ප්‍රබල මාධ්‍යයක විවේචනය කිරීම මගින් ඔහු සිය දිවි පරදුවට තැබී ය.

ඔහුගේ අතීතය සලකා බලන විට ඇත්තටම ඔහුට මහා බිතාන්‍යය හෝ අමෙරිකා එක්සත් ජනපදය වැනි රටක පුරවැසිභාවය ලබා ගත හැකි ව තිබූ බව පැහැදිලි ය. එහෙත් ඔහු එසේ කළේ නැත.

කෙසේවෙතත් බැරිම තැන වන්නට ඇත, ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මස තුර්කියට පලා ගියේ ය. ඒ වනවිට සෞදි අරාබියේ කිරුළේ හිමිකම මොහමඞ් බින් සල්මාන්ට (MbS) පවරා මාස කිහිපයක් ඉක්ම ගොස් තිබිණි. එරට තත්ත්වාකාර පාලකයා බවට පත් වූ MbS ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කෙමෙන් වැඩිවත් ම ඛෂෝගිගේ විවේචන ද දැඩි වන්නට විය. ඒ නිසා ජීවිතාරක්‍ෂාව පතා ඔහුට පලා යන්නට සිදු විය.

මේ වනවිට ඛෂෝගි නැත. සෞදි කොන්සල් කාර්යාලයය තුළ දී ඔහු ඝාතනය කරනු ලැබීයැ’යි තුර්කි රජය ස්ථිරව ම කියා සිටියේ ය. අමෙරිකා එක්සත් ජනපදයේ පාලනයත් සෞදි අරාබියත් හැර මු`ඵ ලොවම එකහෙළා තිර ලෙස කියන්නේ සෞදි නිලධාරීන් විසින් කන්ස්‍යුලේට් කාර්යාලය තුළ දී ඔහු ඝාතනයට ලක් කරන්නට ඇති බවයි. එහෙත් ඍජු සාක්ෂි නැති අතර වෝහාරික සාක්ෂි ද දුරස්ත ය.

ඛෂෝගිගේ අතුරුදන්වීම මේ වනවිට ජාත්‍යන්තර තලයේ සාකච්ඡා වන ප්‍රශ්නයක් බවට පත්ව හමාර ය. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඒ ගැන දක්වන පෞද්ගලික උනන්දුවෙන් එහි ස්වභාවය හා ප්‍රමාණය ගැන කිසියම් අදහසක් ඇති කැර ගත හැකි ය.

ට්‍රම්ප් මුලින් ම කීවේ එය සත්‍යයක් ද කියා හරියට කිව නොහැකි බවයි. කෙසේවෙතත් ඔහු සිය රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ රියාද් අගනුවර වෙත පිටත් කොට හැරියේ ය. පොම්පියෝ එහි සිටිය දී ම සල්මාන් රජුට දුරකතන ඇමතුමක් ගත් ට්‍රම්ප් තත්ත්වය විමසා සිටියේ ය. පසුව ට්‍රම්ප් කීවේ සෞදි රජය චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරන බවත් ඔහු ඛෂෝගි කොන්සල් කාර්යාලයෙන් පිටව ගොස් ඇති බව හා ඉන් අනතුරුව දාමරික ප්‍රහාරයකට ලක්වන්නට ඇති බව ඔවුන් කී බවත් ය. පොම්පියෝ පින්තාරු කළ වාර්තාවක් රැගෙන එනු නිසැක ය.

සෞදි අරාබිය වරදක් කොට ඇත්නම් එය නොසලකා හැරිය නොයුතු බව ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවක අදහස් දක්වමින් පවසා ඇත. ඛෂෝගිට සිදුවූයේ කුමක්දැ’යි සෞදි රජය දන්නේ නම් එය නරක දෙයකි.

මේ වනවිට සෞදි අරාබියට එරෙහිව සම්බාධක පැනවිය යුතු යැ’යි මානව හිමිකම් සංවිධාන අදහස් පළ කොට ඇත. එහෙත් එය පහසු කටයුත්තක් නොවනු ඇති බව බීබීසී වාර්තාවක දැක්වේ.

ඊට හේතු පහකි.
1. මේ දක්වා අනාවරණය කැර ගෙන ඇති භූගත ෆොසිල ඉන්ධන සංචිතවලින් 18% ඇත්තේ සෞදි භූමිය තුළ ය. එරට ලොව වැඩිම තෙල් අපනයනකරු ය. සම්බාධක පැනෙව්වොත් වසරක් හෝ ඊට වැඩි කාලයක් වුවත් ගෝලීය වෙළෙඳපොළට ඉන්ධන නිකුත් නොකර සිටින්නට එරටට හැකියාව තිබේ. ඒ අනුව ලෝක තෙල් මිල ඉහළ යනු ඇත. ගණන කියන්නට නොහැකි ය. සමහරවිට බොරතෙල් බැරලයක මිල ඇඩො 200ක් පවා විය හැකි ය.
2. මේ වනවිට සෞදි අරාබිය අමෙරිකා එක්සත් ජනපදය සමග ඇඩො බිලියන 110ක අවි මිලට ගැනීම සඳහා ගිවිසුම් අත්සන් තබා ඇත. 2030 වනවිට මෙය ඇඩො 350 දක්වා ඉහළ නංවන්නට දෙරට ම කැමැත්ත පළ කොට ඇත.
3. මැදපෙරදිග කලාපයේ සාමය පවත්වා ගෙන යන්නේ සෞදි අරාබියයි. අමෙරිකාව ප්‍රධාන බටහිර ඇලිය ඒ සම්බන්ධව සෞදියට බොහෝ ප්‍රශංසා කොට තිබේ. සිය රටේ ජනයාට නිදහසේ වීදි බැස යන්නට අවස්ථාව ලබා දීම ගැන තෙරේසා මේ අගමැතිනිය සෞදි අරාබියට තුති පුදන්නී ය.
4. අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව පවත්වා ගෙන යන දැඩි ක්‍රියාමාර්ගවලට උදව් කරන්නේ සෞදි අරාබියයි. සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් බලයෙන් පහ කරන්නට කැරලිකාර කණ්ඩායම් දරන උත්සාහයේ දී සෞදි රජය ඔවුන්ට ආධාර කරයි. ඉරානය සහ රුසියාව එක්ව සිරියා රජයට ආධාර කරයි. මෙහි ඇත්තේ සුන්නි – ෂියා ප්‍රතියුක්ත යුද්ධයකි. (proxywar) අමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පැනෙව්වොත් එවිට සෞදි අරාබිය රුසියාව සමග සන්ධාන ගතවනු ඇත.
5. සෞදි අරාබියට එරෙහිව කටයුතු කරන කිසිම රටකට සිය වෙළෙඳපොළට පිවිසෙන්නට එරට ඉඩ නොතබනු ඇත. මේ වනවිට එරට සමස්ත ආනයනවලින් අටෙන් එකක් පමණ අමෙරිකා එක්සත් ජනපදයෙනි.

පසුගිය අගෝස්තු මාසයේ සෞදි අරාබිය සහ කැනඩාව අතර සමාර් බදාවි නම් මානව හිමිකම් ක්‍රියාධාරිනියක් නිසා අර්බුදයක් උද්ගත විය. කැනඩා රජය සිය රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අත පෙවී යැ’යි චෝදනා කරමින් එරට සිටි කැනේඩියානු තානාපතිවරයා පැය 24ක් තුළ නෙරපා හරින්නට සෞදි රජය කටයුතු කළ අතර කැනඩාවෙන් කෙරෙන ආනයන මු`ඵමනින්ම ම නවතා දැමී ය.

අමෙරිකා එක්සත් ජනපදය ලොව මහා බලවතා වුවත් ඒ බලපු`ඵවන්කාරකම්වලට නතු නොවී සිටින්නට තරම් ආර්ථික හයියක් සෞදි අරාබියට ඇත. ඔබාමා පාලනය සෞදිය සමග අමනාපකම් ඇති කැර නොගත් නමුත් තුරුළට ගත්තේ ද නැත. යේමනයේ පවත්නා විනාශකාරී යුද්ධයට අවි සපයන්නේ සෞදි අරාබිය නිසා ජනාධිපති ඔබාමා එරටට අවි විකිණීම කළේ සීමාසහිතව ය.

ජනාධිපති ට්‍රම්ප්ට අවශ්‍ය වෙළෙඳාම ය. එමගින් ‘අමෙරිකාව තමා 1’ යන සිය ආදර්ශ පාඨය තහවුරු කරන්නට ය. ඒ ඉලක්ක කරා යාමේ දී මානව හිමිකම්, පරිසර විනාශය වැනි ඒවා ඔහුගේ පොත්වලින් බැහැර ය.

ජනාධිපතිවරයා වශයෙන් දිව්රුම් දීමෙන් පසු ඩොනල්ඞ් ට්‍රම්ප් සිය මුල් ම විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ සෞදි අරාබියයි. අමෙරිකානු ජනාධිපතිවරුන්ගේ ආචාර ධර්මවලට පිටුපා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස පත් කැර ගෙන සිටින ඔහුගේ බෑනා වන ජාරෙඞ් කුශ්නර් MbS ගේ ව්‍යාපාරික හවුල් කරුවෙකි.

මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ ඛෂෝගි ඝාතනය මගින් සෞදි අරාබියේ මතු නොව සමස්ත මැද පෙරදිගම ලේඛකයන්ට, මාධ්‍යකරුවන්ට සහ සමාජ ක්‍රියාධරයන්ට අනතුරු හැඟවීමක් ගෙන එන බවයි.

ඔක්තෝබර් 23 සහ 24 යන දෙදින පුරා රියාද් නුවර පැවැත්වීමට සැලසුම් කොට ඇති සෞදි රජය සංවිධානය කරන ව්‍යාපාරික සමු`ඵවට තමන් සහභාගි නොවන බව අමෙරිකානු, ප්‍රංශ, බි්‍රතාන්‍ය, ජර්මානු වැනි රටවල ධනකුවේර සමාගම් බොහොමයක් මේ වනවිටත් දන්වා ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ලැගාරේඬේ ද ඊට සහභාගි නොවනු ඇතැ’යි එම බැංකුව නිවේදනය කළ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ අතර සෞදි අරාබියට අවි අලෙවිය නතර කරන ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ උභය මන්ත්‍රී මණ්ඩලවල සාමාජිකයන් කිහිප දෙනෙකු විසින් ම ඒ ඒ රටවල රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීම් කොට ඇත.

යට ඇඳුම් ගැන නොව නියම සමාජ ප්‍රශ්න ලියන මාධ්‍යවේදියකුට, පාලකයන්ට කළ හැකි බලපෑම ගැන මේ ඛෂෝගි සිද්ධිය හොඳ උදාහරණයකි,