මෙමත්‍රී – රනිල් උග්‍ර ගැටුමක

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ/ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සිය බලතල භාවිත කර යහපාලන ආණ්ඩුව තුළ එජාපය යටපත් කරමින් කටයුතු කිරීම හරහා එජාපය ප්‍රමුඛ පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමාව තහවුරු කරගැනීමට උත්සාහ දැරීමත්, එජාපය ජනපති අපහසුතාවට පත් කෙරෙන අභ්‍යන්තර තොරතුරු ප්‍රසිද්ධ කිරීමක් නිසා පෙර නොවූ විරූ අර්බුදයක් ආණ්ඩුව තුළ උද්ගතව තිබේ.

එජාපයේ තීරණ වෙනස් කරමින් පරිපාලන, ආර්ථික ක්ෂේත්‍රයේ පවා විවිධ තීන්දු ගනිමින් සිටින ජනාධිපතිවරයා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කළ බොහෝ කරුණු එජාපය නියෝජනය කරන අමාත්‍යවරුන් හරහා ප්‍රසිද්ධ වී ඇති බව දැනගන්නට ඇත.

ජනාධිපතිවරයා කෙරෙහි ඉන්දියාවේ විශ්වාසය බිඳවන්නට එජාපය කටයුතු කරමින් සිටින බව ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය චෝදනා කරන අතර එජාපය ප්‍රමුඛ කඳවුරේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා ඔහු මෙලෙස හැසිරෙතැයි, එජාපය තුළ සංවාදයක් මතුව ඇත.

තමා ඝාතන කුමන්ත්‍රණයට ඉන්දියාවේ රෝ ඔත්තු සේවයද සම්බන්ධ බවට ජනපති, කැබිනට් මණ්ඩලයේදී පැවසූ බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබූ අතර අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා එය ප්‍රතික්ෂේප කළද හින්දු පුවත්පත යළි එය තහවුරු කර තිබුණේ තම පුවත්පත අමාත්‍යවරුන් 4 දෙනකුගෙන් එය විමසූ බව සඳහන් කරමිනි.

පසුව ඉන්දීය අගමැතිවරයා හා ජනපති අතර දුරකතන සංවාදයක් පැවති බවත් එහිදී සංවර්ධන කටයුතු ගැන කතා කළ බවත් ජනපති මාධ්‍ය අංශය පවසා තිබිණි.

රෝ ඔත්තු සේවයේ කතාව හෝ වරාය පර්යන්තය පිළිබඳ එහිදී සාකච්ඡා වූ බව ඉන්දීය මාධ්‍ය හෝ වාර්තා කර නොතිබුණත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඊට වඩා ගැඹුරු සාකච්ඡාවක් එහිදී සිදුවන්නට ඇති බවය. ■