ඇසට්ලයින් අනුග්‍රහයෙන් පැවති කඩුවෙල නීතිඥ පාටියට තවත් විනිසුරුවරුන් 10ක්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

ඇසට්ලයින් ලීසිං සමාගම අනුග්‍රාහකත්වය දැක්වූ, පසුගිය 05 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති රාත්‍රී සුහද සාදයට, කඩුවෙල දිසා විනිසුරු අරවින්ද පෙරේරාට අමතරව තවත් අධිකරණ විනිසුරුවරුන් දසදෙනකුට ආසන්න පිරිසක් සහභාගි වී තිබේ.

ඇසට්ලයින් ලීසිං සමාගමට, නීත්‍යනුකූලව අයවිය යුතු මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් වන නඩුවලින් 95%කට අධික ප්‍රමාණයක් කඩුවෙල දිසා අධිකරණයේ පවරා ඇති අතර එම නඩු සංඛ්‍යාව 2000කට ආසන්න වේ.

මෙම වාතාවරණය මත කඩුවෙල දිසා විනිසුරු අරවින්ද පෙරේරා එම සාදයට එක්වීම කෙතරම් සදාචාරසම්පන්නද යන්න නීති ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබෙන අතර සහභාගි වූ අනෙකුත් ඇතැම් විනිසුරුවරුන්ගේ නම්ද සහිතව මේ පිළිබඳ වාර්තාවක් පසුගිය රාවය කලාපයේද පළවිය.

කළුතර මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම, මහාධිකරණ විනිසුරු ලක්මාල් වික්‍රමසූරිය, බදුල්ල මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක, කොළඹ අතිරේක දිස්ත්‍රික් විනිසුරු ජයනි ද අල්විස්, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණ ආටිගල, විශ්‍රාමික දිසා විනිසුරු අර්ලි කරලියද්ද, මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මෙන්ම කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් කීපදෙනෙක්ද ඒ අතර සිටි බවද දැනගන්නට ඇත.

කඩුවෙල පළමු දිසා විනිසුරුවරයාව සිටි මහනිල් ප්‍රසන්තද සිල්වා මෙන්ම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායකට මේ සඳහා ආරාධනා කර තිබුණද සහභාගි නොවූ බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට තරග කිරීමට අපේක්ෂාවෙන් සිටින කාලිංග ඉන්ද්‍රතිස්ස හා මහින්ද ලොකුගේ යන නීතිඥවරුද ඊට සහභාගි වූ බවත් දැනගන්නට ඇත. ■