මහින්ද හිර වෙයි

කෝසල කුරුවිට බණ්ඩාර

භාරකාර තාවකාලික ආණ්ඩුවක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ සාකච්ඡා කළ ද ඉන් අනතුරුව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී හෝ ඒ පිළිබඳ සාකච්ඡා නොවීම හේතුවෙන් සහ ඒකාබද්ධ විපක්ෂය තුළ උද්ගතව ඇති මත ගැටුම් නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බරපතළ දේශපාලන අර්බුදයක පැටලි ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් දැඩි වුවමනාවකින් කතා කළ 15 දෙනාගේ කණ්ඩායම පසුගියදා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට සහභාගී නොවූ අතර එමනිසා ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන ඔවුන්ගේ යෝජනාවද සාකච්ඡාවට ලක් වී නැත. එජනිස විධායක සභාව පත් කළ කමිටුවේදී පමණක් ඒකාබද්ධ කටයුතු පිළිබඳ යම් සාකච්ඡාවක් ඇති වූ බව ශ්‍රීලනිප ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා සිටි පොදු ජන පෙරමුණේ මහනුවර රැස්වීමකදී මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ යන මන්ත්‍රිවරුන් කුමාර වෙල්ගම මන්ත්‍රිවරයාව දැඩි ලෙස විවේචනය කිරීමෙන් පසු ඔහු පළමු වතාවට රාජපක්ෂවරුන්ගෙන් පිට ජනාධිපති අපේක්ෂකයකු පිළිබඳ කතා කිරීමද මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.

මහනුවර රැස්වීමෙන් පසු පැවති ඒකාබද්ධ විපක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු පැවසුවේ, මේ වන විට සිදුව ඇත්තේ ජනාධිපතිවරයා කරන දෙයක් බලාසිටීම පමණක් බවය.

පක්ෂ ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒම, ප්‍රචාරණ යන්ත්‍රණය වැඩි දියුණු කිරීම ආදී තීරණ ඇරුණු කොට භාරකාර ආණ්ඩුවක් පිළිබඳ කිසිදු නිල සාකච්ඡාවක් ශ්‍රීලනිපය තුළ නොමැති බව පක්ෂ මහලේකම්වරයාද අවධාරණය කළේය.

තාවකාලිකව නවතා දමා තිබූ ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා ගැන නම් ඉදිරිපත් කිරීම යළි ඇරඹී ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණ හරහා නොගොස් වෙනම කටයුතු කරමින් සිටීමද ඒකාබද්ධ විපක්ෂය තුළ ව්‍යාකූලත්වය උග්‍ර කිරීමට හේතු වී තිබේ. ■