ඊළඟට පත්වන්නේ නාමමාත්‍රික ජනාධිපතිවරයෙකි

2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපති නාමමාත්‍රික ජනාධිපතිවරයකු වේද නැතිනම් තවදුරටත් විධායක බලතල ඇති ජනාධිපතිවරයකු වේද යන මූලික ප්‍රශ්නය සාකච්ඡාවට ලක් කෙරෙන සංවාදයක් පසුගිය රාවයේ පළවී තිබුණි. එම සංවාදයට සිව්දෙනකු එනම් ව්‍යාපාරිකයකු වන රොහාන් පල්ලෙවත්ත, ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයකු වන අජිත් පී. පෙරේරා, ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ හා නීති ක්‍රියාධරයකු හා නීතිඥයකු වන නාගානන්ද කොඩිතුවක්කු අදහස් පළ කර තිබුණි. අජිත් පී. පෙරේරා මහතා ඇමතිවරයකු වනවාට අතිරේකව නීතිඥයෙකි. ඔහු කියා තිබෙන්නේ 19න් විධායක ජනාධිපති ධුරයේ විධිමත් කිරීමක් සිදුවී තිබෙනවා මිස බලතල අහෝසි කිරීමක් සිදුවී නැති බවය. ‘මහා විධායක බලයක් සහිත ජනාධිපතිවරයෙක්’ තවදුරටත් සිටින බව ඔහු කියයි. වසන්ත සමරසිංහ ඒ ගැන විශේෂ විග්‍රහයක් කර නැතත්, ඊළඟ ජනාධිපතිවරයාට 19 අනුව ක්‍රියාකරන්නට සිදුවන බව කියා තිබේ. එම සංවාදයට අදහස් පළකර තිබෙන හතරදෙනා අතරින් මෙහිදී මා වඩා වැදගත් කොට සලකනුයේ ඊළඟ ජනාධිපතිවරණයට තමන්ද තරග කරන බවට දැනටම ප්‍රකාශ කර තිබෙන රොහාන් පල්ලෙවත්ත හා නාගානන්ද කොඩිතුවක්කු පළකර තිබෙන අදහස්ය.

ඕනෑම තනතුරකට ඉදිරිපත් වන හෝ තරග කරන පුද්ගලයකු ඒ තනතුරෙන් තමන්ට හිමිවන බලතල හා ඒවාට ආවේණික සීමා පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම තරගකරුවකු තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය වැදගත් කොන්දේසියක් ලෙස සැලකිය හැකිය. තනතුරට තරග කරන පුද්ගලයා තමන් එම තනතුරට පත්වුවහොත් කරන්නට අපේක්ෂා කරන්නේ මොනවාද යන්න ප්‍රකාශ කළයුත්තේ තනතුරට හිමි බලතල හා සීමාවන් හොඳින් සැලකිල්ලට ගෙන එම බල රාමුව තුළ ඇත්තටම කළහැකි දේවල් ගැන පමණය. ලැබෙන බලතල රාමුව තුළ තමන්ට කළ නොහැකි දේවල් කතා කරන්නේ නම් එවැනි පුද්ගලයන් සැලකිය යුත්තේ තනතුරට හිමි බලතල ගැන හරි අවබෝධයකින් තොරව කතා කරන්නන් ලෙස හෝ නිසි බලතල ගැන දැනගෙන මහජනතාව මුලා කිරීම සඳහා කතා කරන්නන් ලෙසය.

පල්ලෙවත්තගේ දැක්ම
පල්ලෙවත්ත මහතා එම ප්‍රශ්නය ගැන කියා තිබෙන දේ මෙසේ සාරාංශ කළ හැකිය. 19 වැනි සංශෝධනයෙන් ජනමතවිචාරණයක අනුමැතියෙන් කළ යුතු දේවල් ජනමතවිචාරණයක අනුමැතියෙන් තොරව ව්‍යවස්ථාදායකයේ තුනෙන් දෙකක අනුමැතියෙන් පමණක් කරන්නට උත්සාහ කළේය. එහෙත් අධිකරණය අපේක්ෂා කළ සමහර දේවල් ජනමතවිචාරණයක අනුමැතියෙන් තොරව කරන්නට ඉඩ නුදුන්නේය. ඒ නිසා ජනමතවිචාරණයක අනුමැතියෙන් අදාළ සංශෝධනය නීතිගත කරනවා වෙනුවට අධිකරණය විරුද්ධ වූ දේවල් අත්හරිමින් සංශෝධනය නීතිගත කිරීම නිසා ජනාධිපතිවරයා භුක්ති විඳි සමහර බලතල එනම් කැබිනට් ඇමතිවරුන් ඉවත් කිරීම, අගමැතිවරයා අවශ්‍ය වේලාවක ඉවත් කිරීමට නොහැකිවීම වැනි බලතල කිහිපයක් ජනාධිපතිවරයාට අහිමි වී ඇතත්, ඒ මගින් ලොකු බල කප්පාදුවක් සිදුවී නැත. ඔහු අනියම් ලෙස කියන්නේ විපර්යාසයක් කරන්නට සූදානම් පුද්ගලයකුට ජනාධිපතිවරයාට දැන් තිබෙන බලතල ප්‍රමාණය වුවත් ප්‍රමාණවත් බවය.

රොහාන් පල්ලෙවත්ත මහතාට ව්‍යාපාර ගැන හොඳ දැනුමක් තිබෙනවා විය හැකි වුවත් රාජ්‍ය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විෂයයන් ගැන තියුණු අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. මා මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඒ මහතා සමග වාදයකට පැටලීමට නොවේ. රටේ මතුවෙමින් තිබෙන දේශපාලන අර්බුදයේ වැදගත් එක් ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකි 19 වැනි සංශෝධනය ඇති කර තිබෙන ජනාධිපතිගේ නියම ස්වභාවය ගැන රොහාන් පල්ලෙවත්ත පළ කළ අදහස් විචාරයට ලක් කිරීමය.

19 වැනි සංශෝධනයෙන් ඇති කර තිබෙන ජනාධිපති විධායක බලතල නැති ජනාධිපතිවරයෙක්ය යන තිසීසය රටට පළමුවැනි වරට ඉදිරිපත් කරන ලද්දේ පුනරුදය ව්‍යාපාරය වෙනුවෙන් මා විසිනි. එය පුනරුද ව්‍යාපාරයේ මධ්‍යම කාරක සභාව තුළත්, ක්‍රියාකාරී මණ්ඩලය තුළත් හොඳින් සාකච්ඡාවට ලක්වී තිබෙන දෙයක් ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථා විෂය පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ පමණක් නොව, උගතුන්ගේ පවා දැනුම් මට්ටම තිබෙන්නේ උසස් තත්ත්වයක නොව පහත් තත්ත්වයකය. නව ව්‍යවස්ථාව ඇති කර තිබෙන ප්‍රතිඵලවල හොඳ නරක ගැන මහජනයාට කරුණු ඉදිරිපත් කළ යුත්තේ ව්‍යවස්ථා සම්පාදන විෂයට සිටින ශ්‍රාස්තාලයීය උගතුන්ය. එහෙත් 19 වැනි සංශෝධනය ගැන පමණක් නොව ඊට පෙර ඉදිරිපත් වූ සංශෝධන ගැනද මහජන අවබෝධය වර්ධනය කිරීමට හේතුවන කිසිදු විචාරයක් එම විෂය ක්ෂේත්‍රයට සම්බන්ධ ශාස්ත්‍රාලයීය උගතුන් අතින් සිදු නොවීය. එය එසේ වූයේ එම උගතුන්ගේ අලසකම නිසාද? නැතිනම් දැනුමේ අඩුකමක් නිසාද යන්න මම නොදනිමි. එහෙත් එම විෂයේදී මහජනයා පමණක් නොව ලංකාවේ ජනමාධ්‍ය සිටින්නේද ඝන අන්ධකාරයකය.

විධායක බලතල
19 වැනි සංශෝධනයට පෙර රාජ්‍යයේ සකලවිධ විධායක බලය තිබුණේ ජනාධිපතිවරයාටය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් හෝ විධායක බලය සහිත ජනාධිපති ක්‍රමයක් ක්‍රියාත්මක වන ඕනෑම රටක කැබිනට් මණ්ඩලය රාජ්‍යයේ විධායක බලය හසුරුවන ප්‍රධාන බලමණ්ඩලය ලෙස සැලකිය හැකිය. ආණ්ඩුක්‍රමවල වෙනස්කම් තිබුණද එය ඇමරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන සියලු රටවල්වලට ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ඇමරිකන් කැබිනට් මණ්ඩලය සතු විධායක බලය හසුරුවන ප්‍රධානියා ජනාධිපති වන විට බි්‍රතාන්‍යයේ අගමැතිය. ඩිගෝල් හදන ලද ආණ්ඩුක්‍රමය යටතේ ප්‍රංශයේද ජනාධිපතිවරයාය. ඉන්දියාවේ අගමැතිවරයාය. 19 වැනි සංශෝධනයට පෙර ලංකාවේද ජනාධිපතිවරයාය.

ඕනෑම වර්ගයක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් පවත්නා රාජ්‍යයක විධායක බලය හසුරුවන ප්‍රධාන බලමණ්ඩලය කැබිනට් මණ්ඩලය වේය කියන අදහස හෝ සමස්ත දේශපාලන පද්ධතියම මෙහෙයවන්නේ කැබිනට් මණ්ඩලය වේය කියන අදහස වැඩිදුර සලකා බැලීම වැදගත්ය.

ඇමරිකන් ක්‍රමයේදී හැර ජනාධිපති ක්‍රමයක් හෝ අගමැති මුල් කරගත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් පවත්නා රටවල කැබිනට් මණ්ඩලය සතු ප්‍රධාන කාර්යභාරයන් තුන මෙසේය.

1. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ප්‍රතිපත්ති තීරණය කිරීම.
2. රාජ්‍ය දෙපාර්තමේන්තුවල අධිකාරී බලය තීරණය කිරීම හා ඒවා සම්බන්ධීකරණ කිරීමේ බලය.
3. ජාතික විධායකයේ පරමාධිකාරී පාලනය
සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයක් වෙත පැවරෙන ප්‍රධාන වගකීම් මේවාය.
1. එය පාර්ලිමේන්තුවේ කටයුතු අනියම් ලෙස පාලනය කරයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස්වන්නේ කවදාද, සලකා බැලිය යුත්තේ කුමන කරුණුද යන්න සලකා බලයි.
2. කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරන ලද පාර්ලිමේන්තුව විසින් අනුමත කළ සියලු ප්‍රතිපත්තීන් දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක කරවන ප්‍රධාන බලමණ්ඩලය ලෙස ක්‍රියා කරයි.
3. සියලු දෙපාර්තමේන්තු සම්බන්ධීකරණය කරන ආයතනයක් ලෙස ක්‍රියා කරයි.
4. පැනවිය යුතු බදු තීරණය කරයි. වාර්ෂික අය-වැය පිළියෙළ කිරීමේදීද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
5. ව්‍යවස්ථාදායකයේ අධිකාරී බලය හා පරිපාලනයේ විනිශ්චය බලය ක්‍රියාත්මක කරයි.
6. එය අවසාන වශයෙන් ප්‍රතිපත්ති තීරණය කරන, නීතිය ක්‍රියාත්මක කරන හා සියලු කටයුතු අවසාන වශයෙන් පාලනය කරන ආයතන වශයෙන් ක්‍රියා කරයි.

19 වැනි සංශෝධනයට පෙර පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබුණේ ජනාධිපතිවරයාගේ පක්ෂයට නම් තමන් කැමති අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත්කිරීමේ බලය ජනාධිපතිට තිබුණි. තමන් කැමති ඇමති ධුර සංඛ්‍යාවක් තමන් වෙත හිමිකර ගැනීමේ බලයද ජනාධිපතිවරයාට තිබුණි. කැබිනට් මණ්ඩලයට පත් කළයුතු ඇමති සංඛ්‍යාව තීරණය කිරීමේ බලයද තිබුණි. කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමේ බලයද තිබුණි. අගමැතිවරයා හෝ ඇමතිවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමේ බලයද තිබුණි. පාර්ලිමේන්තුව තේරී පත්වී අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසු තමන් කැමති ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයද තිබුණි. කොටින්ම ජනාධිපති 19 වැනි සංශෝධනයට පෙර රාජ්‍යයට සම්බන්ධ සකල විධ විධායක බලය හිමිව තිබුණේ ජනාධිපතිවරයාටය. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෝ ඔහුගේ හුදු උපදේශක කණ්ඩායමක් වූහ.
ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ජනාධිපතිවරයාට ලැබී තිබෙන සකලවිධ බලය අනුව ජනාධිපතිවරයාට ඇමති මණ්ඩලයකින් තොරව රට පාලනය කළ හැකිද යන ප්‍රශ්නයද සලකා බලා තිබුණි.

ඔහු ඒ ගැන මෙසේ ලියා තිබේ.

“නීත්‍යනුකූල හා ව්‍යවස්ථානුකූලව නම් එසේ කළ නොහැකිය. 45 වන වගන්තිය ස්ථිර ලෙස මෙසේ කියයි. “අමාත්‍ය මණ්ඩලයක් තිබිය යුතු අතර, ජනාධිපතිවරයා එහි සාමාජිකයකු මෙන්ම ප්‍රධානියාද විය යුතුය.” එම නිසා එකී කාර්යයන්හී මුලසුන දැරිය යුතුය. 44 වැනි වගන්තියේ විධි විධාන අනුව පත් කළ යුතු ඇමතිවරුන්ගේ සංඛ්‍යාව ඔහු විසින් නියම කරනු ලැබේ. ඔවුහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විය යුත්තාහ. මෙම නීතිය හේතු කොටගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන කිසිවකුට ඇමතිවරයකුවීමට ඉඩක් නැත. 44 වැනි වගන්තියේ දෙවැනි අනු වගන්තිය තරමක් පුදුමඑලවන සුලුය. මෙයින් ජනාධිපතිවරයා ඇමතිවරුන් පත්කිරීමේ බලය ඇති තැනැත්තා පමණක් නොව, තමා වෙතද තමා අනුමත කරන ඇමති ධුර පවරාගත හැකි තැනැත්තකුද වෙයි. තමා වෙත පවරා ගත හැකි ඇමති ධුර ගණන සීමා කොට නැත. අනාගතයේ පහළ වන හිතුවක්කාර ජනාධිපතිවරයකුට ව්‍යවස්ථාවට අනුකූලව සියලු ඇමති ධුර තමා වෙත පවරාගෙන තනි පුද්ගල කැබිනට්ටුවක් ඇති කරගත හැකිය. එය මේ ශතවර්ෂයේ විහිළුව බවට පත්විය හැකිය.”

ජනාධිපතිගේ තටු කැපීම
රාජ්‍යයේ විධායක බලය තිබෙන්නේ කැබිනට් මණ්ඩලයට නම් රාජ්‍යයේ ප්‍රතිපත්ති තීන්දු කරන්නේද, නීති ක්‍රියාත්මක කරන්නේද, පරිපාලන කටයුතු තීන්දු කරන්නේද කැබිනට් මණ්ඩලය නම් ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය කෙරෙහි පැවති පරමාධිකාරී බලය 19 වැනි සංශෝධනය මගින් අහෝසි කොට ජනාධිපතිවරයාට තිබූ එම බලයෙන් වැඩි කොටසක් අගමැතිට ලබාදී කැබිනට් මණ්ඩලය තුළ ජනාධිපතිවරයා නාමමාත්‍රික නායකයකුගේ තත්ත්වයට පත්කර තිබෙන්නේ යැයි කිව හැකිය.

ඇති කර තිබෙන නව ක්‍රමය යටතේ අගමැතිවරයා පත්කරන්නේ පාර්ලිමේන්තුව විසිනි. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් තීන්දු කරන්නේද අගමැතිවරයාය. අගමැතිවරයා ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට ජනාධිපතිවරයාට නොහැකිය. කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමටද ජනාධිපතිවරයාට බැරිය. කැබිනට් මණ්ඩලයේ සුක්කානම හසුරුවන පුද්ගලයා වන්නේද ජනාධිපතිවරයා නොව අගමැතිවරයාය. පරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබෙන බලතල විස්තර කරන VIII පරිච්ඡේදය (විධායකය හා අමාත්‍ය මණ්ඩලය) යන පරිච්ඡේදය 19 වැනි සංශෝධනයෙන් ඉවත් කොට ඒ නමින්ම ඊට අලුත් පරිච්ඡේදයක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව

(42 (4) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය.

43 (2) අනුව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරෙන් අමාත්‍යවරුන් පත් කළ යුත්තේය.

46 (2) අනුව අග්‍රාමාත්‍යවරයා

(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත්; හෝ

(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුවහොත් හෝ මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද, ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.

(3) අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු නොවන අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්

(අ) අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවනු ලබන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත්; හෝ

(ආ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබන ලිපියක් මගින් ස්වකීය ධුයෙන් ඉල්ලා අස්වුවහොත්; හෝ

(ඇ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුවහොත් හෝ
මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.
අග්‍රාමාත්‍යවරයා හෝ ඇමති මණ්ඩලය හෝ ඇමති මණ්ඩල සාමාජිකයන් ජනාධිපතිවරයාට වෙනස් කළ නොහැකි ගල් ගැසුණු දෙයක් බවට පත්කිරීම සඳහා ඇතිකර තිබෙන විධි විධාන මෙසේය.

47 (1) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන තෙක් ක්‍රියා කළ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවද, දිගටම ක්‍රියාකළ යුතු අතර මහ මැතිවරණය අවසාන වූ විට එසේ ක්‍රියාකිරීම නතර කළ යුත්තේය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාද, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෝද 46 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාවේ (4) ඡේදයේ සහ 3 වන අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදයේ හෝ (ආ) ඡේදයේ විධිවිධාන සලසා ඇති පරිදි ධුර දැරීම නතර වුවහොත් මිස දිගටම ක්‍රියා කළ යුතු අතර එසේ ධුර දැරීමේදී ඔවුහු මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියම කරනු ලබන නිර්ණායකයන් පිළිපදිමින් මැතිවරණයට අයුතු බලපෑමක් නොවන පරිද්දෙන් ක්‍රියා කළ යුත්තෝය.

(2) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත්, මහ මැතිවරණය අවසන්වීමත් අතර කාලය තුළ අග්‍රාමාත්‍යවරයා මියගියේ වුවද, ධුරයෙන් ඉවත් වනු ලැබුවේ වුවද, අස්වූයේ වුවද අමාත්‍ය මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරුන්ගෙන් සමන්විතව මහ මැතිවරණය අවසානය තෙක් ක්‍රියා කළ යුත්තේය. තවද අග්‍රාමාත්‍යවරයාගේ බලතල, කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා සහ ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එකී අමාත්‍යවරුන් අතුරෙන් යම් අමාත්‍යවරයකු පත් කරනු ලැබිය හැක්කේය.

(3) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත්, මහ මැතිවරණය අවසන්වීමත් අතර කාලය තුළ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු මියගිය විට හෝ ධුරයෙන් ඉවත් කරනු ලැබූ විට හෝ ඉල්ලා අස්වූ විට ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය භාරව කටයුතු කිරීම හෝ ඒ අමාත්‍යවරයාගේ බලතල, කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට වෙනත් කවර හෝ අමාත්‍යවරයකු ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පත් කරනු ලැබිය හැක්කේය.

(4) (1) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත්, මහ මැතිවරණය අවසන්වීමත් අතර කාලය තුළ ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට 70 වන ව්‍යස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. එසේ වූ විට ජනාධිපතිවරයා විසින් 42 වන, 43 වන, 44 වන සහ 45 වන ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයකුද, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක්ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයෙක්ද, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ද පත් කළ යුත්තේය.

එසේ වුවද ඉහත කී පරිදි අග්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතරවීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත් අමාත්‍ය මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරුන්ගෙන් සමන්විතව මහ මැතිවරණය අවසාන වන තෙක් ක්‍රියා කළ යුත්තේය. තවද අග්‍රාමාත්‍යවරයාගේ බලතල, කාර්යය සහ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීම සඳහා ඉටුකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එකී අමාත්‍යවරයන් අතුරින් යම් අමාත්‍යවරයකු පත් කරනු ලැබිය හැක්කේය. තවද 47 වන ව්‍යවස්ථාවේ විධි විධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව මේ සම්බන්ධයෙන් අදාළ වන්නේය. විශේෂ වශයෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා සම්බන්ධයෙන් 19 වැනි සංශෝධනයට ඇතුළත් විධිවිධාන ක්‍රියාත්මකවන්නේ කවර දිනක සිටද යන්නද ව්‍යවස්ථාවෙන් විස්තර කර ඇත්තේය. 49 (1) (ආ) අනුව 2015 අප්‍රේල් මස 22 වැනි දිනට පෙර පිළිවෙළින් ජනාධිපති ධුරය සහ අග්‍රාමාත්‍ය ධුරය දරන තැනැත්තන් එම දිනෙන් පසු, මෙම පනත මගින් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට යටත්ව එම ධුරය දැරිය යුතු වන්නේය.

කතාව දෝලාවෙන්
ගමන පයින්
ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හා ඇමති මණ්ඩලයට අදාළ විෂයේදී පරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති සතුව තිබූ බලය මුළුමනින් ඉවත් කොට ජනාධිපතිවරයාට කිසිදු ඇඟිලි ගැසීමකට ඉඩක් නොලැබෙන ආකාරයට අගමැතිවරයාට ලබාදී තිබෙන ආකාරය 19 වැනි සංශෝධනයෙන් ලබාගත් ඉහත උපුටා දැක්වීම් ආශ්‍රයෙන් පැහැදිලිව තේරුම් ගත හැකිය.

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හා එහි ක්‍රියාකාරීත්වයට අදාළ කාරණාවලදී ජනාධිපතිවරයාට තිබූ විධායක බලය මුළුමනින් අහිමි කොට රජයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හී සේනාධිනායකයාද යන පදවි නාම සහිත නාමමාත්‍රික ජනාධිපතිවරයකු බවට පත්කර ඇත්නම් රාජ්‍යයට අදාළ ප්‍රතිපත්ති තීන්දු කිරීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේ විධායක බලය දැන් ඇත්තේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට නම් ඊළඟට තේරී පත්වන ජනාධිපතිවරයා තේරී පත්වන්නේ මහජන ඡන්දයකින් වුවත් ඔහු මහේශාඛ්‍ය පෙනුමකින් යුතු නාමමාත්‍රික ජනාධිපතිවරයකු වශයෙන් මිස විධායක බලයක් සහිත ජනාධිපතිවරයකු ලෙස සැලකිය හැක්කේ කෙසේද?

19 වැනි සංශෝධනය විසින් ඇතිකර තිබෙන එම කටුක යථාර්ථය ඊළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට දැනටත් තීරණය කරගෙන සිටින තත්ත්වයක සිටින ජනාධිපති අපේක්ෂකයන් පවා තේරුම් ගෙන නැතිනම් එය කොතරම් ඛේදජනක තත්ත්වයක්ද? ඔවුන් සැලකිය යුත්තේ මන්ත්‍රීකමක් (MP) ලෙස සලකා සමාදාන විනිශ්චයකාර (JP) කමකට තරග කරන්නන් වශයෙන් නොවේද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කෙරෙන් ධුරයේ නාමමාත්‍රික ස්වභාවය හොඳින් විෂද නොවූයේ ඔහු පරණ ක්‍රමයෙන් තේරී පත්වී බලතල කප්පාදුවකට ඉඩදීම තුළ යහපාලන ආණ්ඩුව ධුරයට ආවේණික පරණ මහේශාඛ්‍ය පෙනුම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට ඉඩදීම නිසාය. යහපාලන ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සතුටු කිරීම සඳහා තනතුරට අයිති නැති බලයක්ද භුක්ති විඳින්නට ඉඩ දුන්නේය. ඔහුගේ පළමු නිල කාලයට පමණක් බලපාන ආකාරයට ව්‍යවස්ථාවේ 51 වන වගන්තියෙන් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය හා පරිසරය යන විෂයන්ට අදාළ ඇමති ධුරද හිමිකර ගැනීමට ඉඩ දුන්නේය. එහෙත් ඊළඟට තේරී පත්වන ජනාධිපතිවරයාට ඒ කිසිවක් හිමිවන්නේ නැත.

පරණ ක්‍රමය යටතේ ජනාධිපතිවරණයකට තරග කරන අපේක්ෂකයකුට එම රට යහපත් රටක් කරනවා යන පොරොන්දුව දීමේ අයිතියක් තිබුණද, අලුත් ක්‍රමයට තරග කරන්නකුට එසේ කීමේ අයිතියක් නැත. මක්නිසාදයත් අලුත් ක්‍රමයට තේරී පත්වන්නේ ගාම්භීර පළඳනා තිබියදීත් තේරී පත්වන්නේ කිසිදු විධායක බලයක් නැති නාමමාත්‍රික ජනාධිපතිවරයකු වන නිසාය.

ඇතිකර තිබෙන නව ක්‍රමයට ආවේණික හාස්‍යජනක හා ලොකු අවුල් ඇති කිරීමට හේතුවන ලක්ෂණයක් වනුයේ නාමමාත්‍රික ජනාධිපතිවරයා රට එක ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමය.

මෙම සංවාදයට නාගානන්ද කොඩිතුවක්කු පළ කර තිබෙන අදහස්ද විවේචනාත්මකව සලකා බැලීම අවශ්‍ය වන්නේය. තමන් ජනාධිපතිවරණයට තරග කරන්නේ ව්‍යවස්ථාවක්ද හදාගෙන බවත් එය ජනාධිපතිවරණයේදී මහජනයාට ඉදිරිපත් කරන බවත් තමන් ජනාධිපතිවරණය ජයගතහොත් එය තමන්ගේ ව්‍යවස්ථාවටද ලැබුණු මහජන අනුමැතියක් ලෙස සලකා එම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන බවත් ඔහු කියයි. ව්‍යවස්ථාවට අදාළ ඒ සමාන කතාවක් ඇතුළත් ඔහුගේ වීඩියෝ පටයකටද මම සවන්දී ඇත්තෙමි. ඔහු අදහස් කරන දේ කිරීමේ ඇත්ත හැකියාවක් තිබේද? එය නීතියට හා ව්‍යවස්ථා සම්ප්‍රදායන්ට අනුකූලද? ව්‍යවස්ථා සම්පාදනයට අදාළ ජාත්‍යන්තර නීතියට අනුකූලද යන ප්‍රශ්නය ඊළඟ ලිපියෙන් සලකා බැලීමට අපේක්ෂා කරමි.