මාලිමාවට පෙර හෘදය සාක්ෂ්‍යය අහිමිවීම

ඉන්දීය සංචාරය ගැන අගමැතිවරයා ජනපතිට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදීම ජනපති හා ඉන්දියාව අතරත්, ජනපති හා එජාපය අතරත් මතුවෙමින් තිබුණු එකිනෙකා පිටුදකින තත්ත්වය සමනය කරගැනීමට යම් පමණකට ඉවහල් වනු ඇතැයි සිතිය හැකිය. රෝ ඔත්තු සේවය තමා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට ජනපති විසින් කරන ලදැයි කියන ප්‍රකාශය හේතුවෙන් ඉන්දීය අගමැතිවරයා නොසන්සුන් වී සිටි බවද දක්නට ලැබිණි. විශේෂයෙන්ම කැබිනට්ටුව තුළ රෝ ඔත්තු සේවය සමග සබඳතා පැවැත්වූ සිව්දෙනකු සිටින බවත් ඉන් දෙදෙනකු ඉක්මනින් හෙළිදරව් කළ හැකි බවටත් ඇමති අමරවීර විසින් කරන ලද ප්‍රකාශයත් සමග එජාපය හා ජනපති අතර පැවති සීතල ගැටුම මතුපිටට එන සැටියක් දිස්විය. ජනපති මෝදි අමතා එක්තරා ආකාරයක පාපෝච්චාරණයක් කිරීමත්, අනතුරුව අගමැති මෝදි හමුවීමට යාමත් තුළ නිසැක ආරාවුලක සේයාවක් මතුවිය. මෙම උණුසුම් වාතාවරණය ඇතිවූයේ කිසිසේත්ම දෙරට අතර ප්‍රතිපත්තිමය කාරණාවක් සම්බන්ධයෙන් නොවේ. ඔත්තු බැලීමක් හෝ කුමන්ත්‍රණයක ඡායාවක් වැනි මෙරට ජනයාගේ ජීවිත පැවැත්මට කිසිසේත්ම අදාළ නැති කාරණයක් සම්බන්ධයෙනි. කිසිවෙක් ශාරීරිකව ඝාතනය කිරීමට අප සපුරා විරුද්ධ වුවත් ඝාතනය කිරීමට නායකයන් නැති, ඔවුන් සිය ක්‍රියාවලිය තුළ තෙමේම ඝාතනය කරගෙන ඇති පසුබිම තුළ තටු ලබා ඉගිළෙන ඔත්තු හා කුමන්ත්‍රණ කතා නිරර්ථක කාලය කා දැමීම්වලින් එහාට නොයයි.

ශ්‍රී ලංකාවට ඉමහත් අනුග්‍රහයක් දක්වමින් හා මිත්‍රත්වය පාමින් සිටියදී ලංකාව ඉන්දියාව කෙරෙහි දක්වන ප්‍රතිචාරය යහපත් නැති බව මෝදි මෙරට අග්‍රාමාත්‍යවරයාට කී බවත් මාධ්‍ය වාර්තා කර තිබුණු අතර සමීප රටවල් අතර මතුපිටට නොපෙන්වන හා නොපැමිණෙන ඇතැම් නොරුස්නා තත්ත්වයක් තිබෙන්නට හැකි වුවත් ඒවා ඉක්මනින් සමනය කරගැනීම දෙපාර්ශ්වයේම හොඳ හිත පිණිස වන බව කිවයුතු වෙයි. ජනාධිපතිවරයා තුළ ඉන්දියාව පිළිබඳව රළු ආකල්පයක් ඇතිවීමට ආසන්න සිදුවීම වූයේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ සිද්ධියයි. පර්යන්තය ඉන්දියාවට බදුදීමට පක්ෂව හා විපක්ෂව එකම ආණ්ඩුවක නායකයන් දෙදෙනා ක්‍රියාකිරීම ඉන්දීය නායකයා භාරගනු ඇත්තේ කෙසේද? ඕනෑම රාජ්‍ය නායකයකු සේ මෙහිදී මෝදි තම රටට අත්වන ලාභය බලනු ඇත. එය ඔහුගේ පැත්තෙන් සාධාරණය. මෙරට නායකයන් කළයුත්තේ ආසන්න රටට එවැනි ආයුධ සපයා නොදීමට බුද්ධිමත්ව ක්‍රියා කිරීමය.

ලංකාවේ මේ වනවිට උද්ගතව තිබෙන දේශපාලන අස්ථාවරත්වය අන්තර්ජාතික දේශපාලනය තුළ ලංකාවේ ස්ථාවරත්වයට බලපාන බව නොරහසකි. ‘රෝ’ ගැන චෝදනා කළ බවට හෝ නොකළ බවට වාද කිරීමට සිදුවී තිබෙන්නේ ජනපතිගේ පැත්තෙන් විවාදයට තුඩු දෙන අදහසක් පළවී තිබෙන නිසාය. එබැවින් වඩා වැදගත් වන්නේ නායකයන් ආවේගශීලී වදන් බිණීමෙන් වැළකී සිටීමය. බලවත් රටවල් තමා වටා සිටින සෙස්සන්ගේ කටයුතු ගැන ඔත්තු බලන එක අමුතු දෙයක් නොවේ. එහෙත් වර්තමානයේ අන් සියලු රටේ දැවෙන ප්‍රශ්න යටපත් කොට සමාජයේ ඉස්මත්තට ගෙන ඇති ඝාතන කතාවෙහි තර්කානුකූල තත්ත්වයක් ඇති බවක් නොපෙනේ. දැන් සිදුවී තිබෙන්නේ මෙරට අන් සියලු ජීවන ප්‍රශ්න ඝාතන ප්‍රබන්ධයෙන් වැසී තිබීමය.

ජනපති ඝාතනයට දුරකතන සාකච්ඡාවක නිරත වුණු බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් ඔත්තුකරුවකු ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා ජනපති ඝාතන සතරකන්මන්ත්‍රණය ගැන සාක්ෂ්‍යය දීමට උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එති. යළි සවසට ගෙදර යති. එම යාම් ඊම් කිරීම ඔවුන් දැන් කරන බව පෙනෙන්නේ උදේ රැකියාවට පැමිණ සවස ගෙදර යන අන්දමට බව පෙනේ. ඝාතන කතා හුදු ප්‍රබන්ධ යැයි පෙනෙන්නේ කිසිදු වග විභාගයකින් තොරව ජනපතිවරයෙක් ඝාතනයට කුමන්ත්‍රණය කිරීම වැනි රට සසැලී යායුතු සිද්ධියක් පවා පත්ව ඇති විගඩම් ස්වරූපය දෙස බලනවිටය.

මාස ගණනාවක සිටම ආණ්ඩුවටත්, ජනමාධ්‍යයටත් සතියෙන් සතිය, සතිය විරහිතව වුවත් උණුසුම් ආකාරයකට කාලය ගෙවා ගැනීමට රෝ සිද්ධිය දක්වාම සිදුවීම් හිඟ නොවීය. එහෙත් මෙහිදී උද්ගතවූ ප්‍රශ්නය වූයේ හැමවිටම මහජනයාගේ ජීවිත ප්‍රශ්න නාලක-නාමල් දුරකතන සාකච්ඡාව, රෝ ඝාතන ප්‍රයත්නය ආදී කෙටිකාලීන නිරර්ථක ඉස්මතුවීම් තුළ දියවී යාමය. ආණ්ඩුව මුහුණ පා සිටින අර්බුදය ගැන මෙරට මැදහත් ජනයාට ඇති සානුකම්පිත බැල්ම පෙරළා ආණ්ඩුවෙන් ජනතා ප්‍රශ්න දෙසට යොමු නොවීම අප මුහුණ දී සිටින කනගාටුදායක තත්ත්වයක් බවද මෙහිදී නිරීක්ෂණය කළ හැකිවෙයි. මෙම ව්‍යාජ ඇවතුම්-පැවතුම් වලට තිත තබා අප රටක් ලෙස තත්‍ය ලෝකයේ ප්‍රශ්නවලට යථාර්ථවාදී අරුතකින් මුහුණ දෙන්නේ කෙදිනකද?

ලංකාව මාලිමාව අහිමි රටක් බව අලුතින් කිව යුතු නැත. එනිසා යන දිසාවකුත් නැත. මාලිමාවට පෙර අපට අහිමි වූ දෙයක් තිබේ. එය නම් හෘදය සාක්ෂ්‍යයි.