පිහිනුම් ප්‍රශ්නය වතුරේමය

සමීර රාජපක්ෂ

අපට ක්‍රීඩා ඇමැත්තකු ක්‍රීඩා අමාත්‍යාංශයක් කුමකටද? තවමත් එය බරපතළ ප්‍රශ්නයකි. අමාත්‍යාංශය ක්‍රීඩාව නගා සිටුවීමට වන මැදිහත්වීම දායකත්වය කොතෙක්ද? කාලෙන් කාලෙට ක්‍රීඩා ඇමතිවරු මාරුවන මුත් මේ නිලධාරීන් වසර විසි තිස් ගණන් අමාත්‍යාංශයටම සින්න වූ සින්නක්කර අය වෙත්. ඒ අය අලුතින් සිතන, ක්‍රීඩාව නගා සිටුවීමට ක්‍රියා කරන අය නොව, එන එන ඇමතිව අන්දවා තම වැඬේ කර ගන්නා කපටියෝ වෙති. එහෙව් ඉබ්බන්ගෙන් අපි කාලයක පටන් පිහාටු ඉල්ලමු. කුමක් කරන්නද? හැමදේම කරගත යුතුව ඇත්තේද ඒ හරහාමය. කොහේ ගියත් අන්තිමට රජයේ රෝහලට එනවා යැයි කියන්නා සේ ක්‍රීඩාව නගා සිටුවන්නැයි ඉල්ලන්න සිදුව ඇත්තේද ඇමති ප්‍රමුඛ අමාත්‍යාංශයෙන්මය. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නමට සංවර්ධන නොවී ක්‍රීඩාව සංවර්ධනය කරන්නට මාන බැලුවා නම් අප කොතෙක් දුර ගොස්ද? ජනපති, අගමැති ක්‍රීඩාව ගැන දක්වන උනන්දුවක් නැති නිසා ඒවා අමාත්‍යාංශයටම භාර දුන් භාරදූර වැඩ නිසාම අපි තවමත් ඉබි ගමනේය.

මෙරට ක්‍රීඩා හැටකට වඩා ඇතිමුත් අප කළයුත්තේ ඉන් දහයක් පමණ උපරිම වර්ධනය කිරීමය. අපට ගමනක් යා හැක්කේ දහයකටත් අඩු ක්‍රීඩා ස්වල්පයකිනි. අනෙක් ඒවා අපට ජයග්‍රහණ සඳහා ළංවිය හැකි හෝ මට්ටමේ ඇති ඒවා නොවේ. ඒවාද තිබිය යුතුය. ඒවායේද පිරිස් නියැලිය යුතුය. එහෙත් ජයග්‍රහණ වෙනුවෙන් ඊට උචිත ක්‍රීඩා තෝරා ගත යුතුය. එහිදී අපිට නිතර කතා කිරීමට සිද්ධ වන්නේ ක්‍රීඩා කිහිපයක් ගැනය. ඒ අතරින් ප්‍රධාන ඒවා ඇත. පිහිනුම් එවැනි ක්‍රීඩාවකි.

සාග්
අපට ඔලිම්පික් යනු සිහිනයකි. අප සතු උපරිමය පෙන්විය හැකි වේදිකාව සාග් ක්‍රීඩා උළෙලය. මලල ක්‍රීඩාවට පසු අප සාග්හි පදක්කම් දිනනුයේ පිහිනුම්වලිනි. එසේ නම් ලබන වසරේ සාග් ක්‍රීඩා උළෙලට අපගේ පිහිනුම් සූදානම ප්‍රමාණවත්ද?

චෝදනා
වත්මන් පිහිනුම් බලධාරීන්ට විරුද්ධව ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි කර ඇතත්, ඒ කිසිදු පැමිණිල්ලක් විභාගයකින් තොරව කුණු කූඩයට වැටෙන බව පිහිනුම් නිලධාරියෙක් අපට කී කතාවකි. ක්‍රීඩා අමාත්‍යාංශයට මෙවන් සුළු දෙයක් ගැන හෝ විධිමත් පරීක්ෂණයක් කොට විසඳුම් ලබාදිය නොහැකිද?

පිහිනුම් සංගමයට එරෙහිව ඇති චෝදනාව එහි බලතල දරනුයේ පිහිනුම් පුහුණුකරුවන් බවටය. නීතියට අනුව එය බරපතළ වරදකි. පුහුණුකරුවන් පරිපාලනය කිරීම සදාචාරාත්මකවද අවුලකි. එසේ වුවද දැනට පරිපාලනය හොබවන කිසිවකුට දොස් කිව නොහැකිය. ඒ වෙන කිසිවක් නිසා නොව පිහිනුම් සංගමයේ නිලතල දැරූ මහත්වරු මෙහි කෝටියකට පමණ විද මාරු වෙද්දී පිහිනුම් සංගමය කප්පිත්තන් නැති නැවක් බවට පත්වෙද්දී එහි සුක්කානම ගත්තේ අද සිටින පරිපාලකයන් බැවිනි.

එම අවස්ථාව ඔවුන්ද හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකරට දැන්නුවද ඔහු හැමදාම කළේ ඒ ගැන සොයා බලා තීන්දු ගන්නවා යැයි කියමින් කල් මැරීමය. ඒ කල් මැරීම අතරතුර සංගමය ඉදිරියට ගියේ වත්මන් බලධාරීන්ගේ වුවමනාවටය. නිවැරදි ක්‍රමයට අනුව ක්‍රීඩා ඇමතිට ඒ සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ඉඩ තිබුණද ඔහු ඒ කිසිවක් නොකළේය.
එදා නොවිසඳූ ගැටලුව අද කොතෙක් දුර දිග ගියේද යත් වැඩ බැලූ අය නීත්‍යනුකූලවම බලය ඉල්ලන තැනට මෙවර පත්විය. සියලු පරිපාලනය පසුගිය කාලයේ ඔවුන්ට කළ හැකි නම් දැන් එය නොහැකි මන්ද යන්න ඔවුන් සිතනවා විය හැකිය. කවුරුත් තරග නොකරන්නේ නම් ඔවුන් හෝ ඉදිරිපත් වනවා යන්න ඔවුන් සිතුවා විය යුතුය. ඒ අනුව බලන කල ඔවුන් වැරදි නැත. වැරදිකරුවන් ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා බලධාරීන්ය. ෆයිසර් මුස්තාපා පොළොන්නරුව ජාතික මහා ක්‍රීඩා උළෙල අතරමගදී මාධ්‍යයට කීවේ පිහිනුම් ප්‍රශ්නය කඩිනමින් විසඳන බවය. එහෙත් තවමත් ප්‍රශ්නය එතනමය.

අදටත් එකම පරිපාලනය ඔහේ යයි. ක්‍රීඩා අමාත්‍යාංශය මර නින්දේය. අපගේ අදහස එක්කෝ මේ නීති වෙනස් කළ යුතු බවය. නැතහොත් නීති අමතක කොට යන්නම් වාලේ යා යුතු බවය. එක් සංගමයකට එක් නීතියකුත් තවත් සංගමයකට තවත් නීතියකුත් තිබිය නොහැකිය. ක්‍රීඩා ඇමතිවරයාගේ උදාසීනභාවයත් සමග මේ පිරිස් පාඩුවේ වැඩ කරගෙන යති. ඒ නිසාම ඒ අයටත් පාඩුවේ යන්නට ඉඩ හැර කල් මැරීම ක්‍රීඩා බලධාරීන්ගේ උපායක් නම් අප කියනුයේ ඔය විදිහටම යන්න කියා පමණි. අපට මේ පරිපාලනය සමග කිසිම ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය ඇත්තේ ක්‍රීඩා ඇමති සහ ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධයෙනි. ඔවුන්ට සංගමයක ගැටලුවක් විසඳිය නොහැකිව තව ක්‍රීඩාව ගැන ලොකු වැඩ කරනුයේ කෙසේද? ෆයිසර් මුස්තාපා යනු වැඩකට නැති බොරු කයිකාරයෙකි. ඔහුට සාපේක්ෂව දයාසිරි ගව් ගාණක් ඉදිරියෙන් බවද කිව යුතුය. රටේ ඡන්දයක් කරන්නට බැරි පළාත් පාලන ඇමතිද ෆයිසර්ය. ඔහුට ක්‍රීඩා සංගමයකවත් ඡන්දයක් පැවැත්විය නොහැකය. එවැනි නිකමෙක්ගෙන් ක්‍රීඩා සංවර්ධනයක් බලාපොරොත්තු වීම මෝඩකමකි.