පාරමී සුසන්තිකාගේ පාරේ යන්න එපා

ජීවිතයද බාධක දිවීමකි.

පාරමී වසන්ති මාරිස්ටෙලා ලංකාවට පැමිණි මොහොතේ සිට කියනුයේ එයය. ආර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ඇය ලෝකඩ පදක්කමක් දිනීය. යොවුන් ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකා නාමය සටහන් කළ පළමු අවස්ථාව එයය. එවන් හපන්කමක් කළ මේ පුංචි කෙල්ල ලංකාවට පය තැබූ සැණින් වටකර ගන්නා මාධ්‍ය හමුවේ කියනුයේ බාධක දිවීමෙන් ලබාගත් පදක්කමේ අසිරිය නොව, සිය ජීවන මගේ බාධක දිවීම ලේසි පහසු නැති බවය. එහි පදක්කමක් පේන මානයක නැති බවය.

මේ පුංචි කෙල්ල කියනුයේ කුමක්ද? තමාට රජයෙන් පොරොන්දු වූ මාසික දිරි දීමනාව හිමිවූයේ මාසයක් පමණක් බවය. ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදෙනවා යැයි කී පහසුකම් කිසිවක් තමන්ට ලබා නොදුන් බවය. ඉන්පසු අපට අසන්නට කියවන්නට ලැබෙන්නේ ඇගේ මව දිග හරින ඇගේ දුෂ්කර දිවි පෙවෙත ගැනය.

ලංකාව දුක කියන තරමට සැප ලැබෙනවා යැයි විශ්වාස කරන ජාතියක් වෙසෙන රටකි. එය හැම තැනකම හැම ක්ෂේත්‍රයකම ඇති දීනකමකි. මිනිස්සු බලා සිටිනුයේ තම දුක් පුවත දිගහරින්නට වෙලාවක් ලැබෙන තෙක්ය. ඉන්පසු එය කලාවට ඉදිරිපත් කරති. සියල්ල සපුරාගෙන සිටියා නම් පාරමී වුව ක්‍රීඩිකාවක් නොවන්නට ඉඩ තිබුණි. ඇගේ බාධක දිවීමේ රහසද මේ ජීවිතය තුළ ඇති බාධකමය. ඇය අද අමතක කරන සත්‍ය එයය. එයින් අදහස් වන්නේ ඇය එලෙසට දිවි ගෙවිය යුතුය යන්න නොව හෙට හදා ගැනීම වෙනකකි. එහෙත් ඊයේ ගැන කතා කිරීම පළක් නැති බවය. ඇගේ පියා ධීවරයෙකි. ඒ නිසාම ඇයට ජාන හරහාම ආ ශක්තිය මේ බාධක දිවීමට රුකුල් වූ බව ඇය සිතිය යුතුය. ඇයගේ දිවි පෙවෙත මේ බාධක දිවීමට තදබල වාසියක් වූ බව කිව යුතුය. ලංකාව නොව ලෝකයේ විශිෂ්ට ක්‍රීඩකයන් වූ සැවොම ළමා කාලය තරුණ කාලය ගතකර ඇත්තේ කටුක දිවි පෙවෙතකි.

උසේන් බෝල්ට් වුව එපමණකි. මේසීගේ පාපන්දු මුල් ගත්තද ඒ තුළ කියවන්නට ඇත්තf් කටුක දිවියකි. එහෙත් ඒ අය එය ජයගැනීම සඳහා කළේ ජයග්‍රහණ හඹා යෑමය.

පාරමී මාරිස්ටෙලා මීට පෙරද ජයග්‍රහණ ලැබුවාය. එහෙත් මෙතරම් ආඩම්බර කතා නොකීවාය. එයට හේතුව ඇතැම් දේ කියන්න තරම් ඇතැම් වේදිකා උස් නොවූ බැවිනි. මේ වේදිකාව ටිකක් උසය. හඬ ගොඩක් ඇසේ. ඇය එහි තැබූ කවුරු හෝ ඇයට වෙරෙන් හඬ නගන්නට කීවාය. එබැවින් කාගේ බසට හෝ ඇය අපට ඇගේ දුකම කීවාය. බනින්න ඕනෑ අයට බැන්නාය.

මේ නරක පුරුද්ද බිහි කළ ලාංකීය ක්‍රීඩිකාව සුසන්තිකා ජයසිංහය. ඇය අදටත් ඇගේ දුක විකුණයි. පාරමී තම දුක කියන විට සුසන්තිකා පරල වී ඇත. ඇය කියනුයේ තමා මේ හැමෝටම වඩා දුක් විඳි බවය. පාරමීට වඩා ඇගේ ජයග්‍රහණය ඉහළ බවය. ඇයට රුපියල් 75,000 ලැබුණේ ඔලිම්පික් ගිය පසුව බවය. ඇයට මුදල් හෝ උදව් කළයුත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය නොව අධ්‍යාපන අමාත්‍යාංශය බවද ඇය කියයි. මේ ඇය හඬ නගනුයේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා වෙනුවෙනි. ඇය ඔහුගේ උපදේශිකාවය. ඒ වෙනුවෙන් 80,000ක පමණ වැටුපක්, වාහනයක් සමග රියදුරෙක් ලබන්නීය. එබැවින් පාරමීගේ දුක හෑල්ලුවට ලක් කරන සුසන්තිකා එය කරන්නේද ෆයිසර් ගාණක් ගෙවන නිසාය. දුක විකුණා කෑමේ පදක්කම්ලාභිනියක් වන සුසන්තිකා පාරමීට ගැරහීම අපාගත වැඩකි. ඔයකටින්ම හෙට තම මුදල් අහිමි කළහොත් ෆයිසර් මුස්තාපාටද ලුණු ඇඹුල් ඇතිව අසාගත හැකිය.

හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකරද ඇයට මුදල් ගෙවා උපදේශිකාවක ලෙස ළඟ තබා ගත්තේය. එහෙත් මුදලට සරිලන සේවය විමසූ විට පරළු වූ ඇය දයාසිරි ජයසේකරව විනාශ කළාය. සුසන්තිකා ඔලිම්පික් පදක්කමක් දින්න නිසා අප ඇය මියෙන තෙක් රැක ගත යුතුද? ඇයට ඔලිම්පික් පදක්කමින් පසු කොතරම් දේ ලැබුණාද? ඒවා ගැන අද ඇයට වගක් නැත. සුසන්තිකා ඇමරිකාවේ නොයන්නට ඔලිම්පික් පදක්කම් ලාභිනියක් නොවනවා සහතිකය. කුමන හෝ හේතුවකට සුගත් තිලකරත්නට එම අවස්ථාව නොලැබුණි. ලැබුණේ නම් ඔහුටද යා හැකිව තිබූ ගමන මීට වඩා වෙනස් විය හැකිව තිබුණි. තමා පමණක් නොව, සුගත්, ශ්‍රියානි, දර්ශා ද පාරමීලට වඩා දුක් විඳි බව සුසන්තිකා කියා තිබුණාය. එහෙත් කිව යුතුම දෙයක් ඇත. දර්ශා, ශ්‍රියානි, සුගත් කවදාවත් තම දුක විකුණමින් කල් නොගෙවූ බවය. අද වනවිට ඔවුන් ඉතා හොඳ ජීවිත ගත කරති. පාරමී වුවද උගෙන ගත යුත්තේ ඔවුන්ගෙනි. එහෙත් කරුමයට ඇය යන්නේ සුසන්තිකා ගිය පාරේය. යැදීමේය.

කුමන බාධක ජිවිතය තුළ තිබුණද කතා කළයුත්තේ තම අධිෂ්ඨානය, ජයග්‍රහණය ගැනය. ඒ සඳහා මෙතෙක් ලද පන්නරය ගැනය. අනාගත ක්‍රීඩා පරපුරට අවශ්‍ය එයය. දුකක් නොවී නම් පාරමීට වුව ජයග්‍රහණය නොලබන්නට ඉඩ තිබුණි. හැමෝම ජයග්‍රහණ සඳහා වෙහෙසීමේදී විඳිනුයේ කටුක අත්දැකීම්ය. ක්‍රීඩාව තුළ එය සාමාන්‍යයය. ජයග්‍රහණයෙන් පසු එය අසාමාන්‍ය කළ යුතු නැත. ක්‍රීඩකයෝ යනු අශ්වයෝ නොව ඔවුන්ට ඔට්ටුවට තබා පරම්පරාව දිනිය යුතු නැත.

පාරමීගේ ජයග්‍රහණය ගැන නිසි වටිනාකම කතා කරනු වෙනුවට අවසානයේ කතා කළේ කුමක්ද? ඇගේ අම්මා, තාත්තා ගැනය. ජීවිතයේ කටුකකම ගැනය. ඉන්නට නිවසක් නැති එකය. දැන් ඒවා ඉටුවෙමින් පවතී. එහෙත් බරපතළව කතා කළයුතුව තිබුණේ ඇය ලද යොවුන් ඔලිම්පික් පදක්කම ඔලිම්පික් පදක්කමක් කරනුයේ කෙසේද යන්නය. පිඹුරු සැකසිය යුත්තේ එයටය. එහෙත් අභාග්‍යයට අපේ රටේ ක්‍රීඩා පරිපාලනයටද කිසිදු විටක එවැනි සූදානමක් නොමැත. ඔවුන් දන්නේ ජයග්‍රහණ ලබාගෙන ආ කල මල්මාලා දමා පිළිගැනීමටත්, ඒ මොහොතේ පොරොන්දු කන්දක් ලබාදීමටත් පමණය. ඉන්පසු සියල්ල අමතකය.

අඬන්න ඕනෑ කිරි එරෙන්න කියන්නා සේ සැවොම දන්නේ ජයගත් මොහොතේ ලබාගත යුතු සියල්ල දිනාගන්නටය. මේ සිද්ධවන්නේ එයය. පොරොන්දු කඩ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය උපන් හපනුන්ය. දැන් ක්‍රීඩා බලධාරීන් කළයුත්තේ සුසන්තිකා රැක ගැනීම නොව පාරමීව රැකගැනීමය. සුසන්තිකාට කළ යුතු සියල්ල රටක් ලෙසද කර හමාරය. අප හොඳ වෙලාවට ඔලිම්පික් පදක්කම් දුසිම් ගණන් නොගත්තේය. ඇමරිකාව, චීනය වගේ වී නම් අපිට රටම පදක්කම්ලාභීන් වෙනුවෙන් විකුණන්නට සිදුවනු ඇත. සුසන්තිකාට උඩ පැනිය හැක්කේ තව කෙනෙක් ඔලිම්පික් පදක්කමක් දිනන තෙක්ය. ඇය අද ඩන්කන් වයිට් අමතක කොට ඇය පමණක් දිනූ ගාණට කතා කරන්නීය. හැම අතින්ම පාරමී සුසන්තිකා නම් නොවිය යුතුය.

පාරමීටත් කිවයුත්තේ දුක විකුණා ගන්නා දේ ගන්න. එහෙත් අපට වැදගත් ඔබගේ දුක නොව දිනුම බවය. රටට වැදගත් එයය. ඔබ පන්නයේ ජීවිත ඕනෑතරම් ඇත. එයින් ඔබ වෙනස් වූයේ දිනූ නිසාය. එබැවින් වැඩි බර ඉදිරි ජයග්‍රහණ සඳහා යොදවන්න. සුසන්තිකා වෙනුවට දර්ශා, ශ්‍රියානි, සුගත් වැනි ජ්‍යෙෂ්ඨයන් ගිය මග යන්න. ඔවුහු දුක ජයගත් අය මිස දුක විකුණමින් ජය සෙවූ අය නොවන බැවිනි.