මාධ්‍යයට පැවැසීම වරදක් වෙන්නේ කොහොම ද?

ජනිත ජයසිංහ – පුහුණුකරු

ජගත් ප්‍රේමචන්ද්‍ර

පසුගියදා ආජන්ටිනාවේදී පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට හලාවත, අඹකඳවිල පදිංචි පාරමී වසන්ති මාරිස්ටෙලා සමත් වූවා ය. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 17 වැනි වියේ පසුවෙන ඇය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව දිනා ගත් පළමු පදක්කමේ හිමිකාරිණියයි. මේ ඇයගේ පුහුණුකරු වන ජනිත ජයසිංහ රාවයට හමුවූ මොහොතකි.

ඔබට පාරමීගේ දක්ෂතා හමුවෙන්නේ කුමන කාලයේ දී ද?
පාරමී ව මට හමුවෙන්නේ මුහුදු වෙරළේ දුවද්දි. ඒ ඇයගේ අක්කා වන නිශාන්ති සමග පුහුණුවීම් කටයුතු කරද්දි. පාරමීට බොහොම හොඳ ජවයක් තියෙන ක්‍රීඩිකාවක් ලෙසින් මම දකින්නේ ඒ පළමු හමුවේදීමයි. ඇය අක්කට කියල දෙන දේ ඉතා ම හොඳින් ධාරණය කරගෙන තනිවම කරනවා. මම මුල් කාලයේ ඇයව ටාගට් කරගෙන ඉගැන්වීමක් කළේ නැහැ. ඒත් පස්සේ පස්සෙ ඇය අපිත් සමග හරි හරියට පුහුණුවීම්වලට සහභාගි වුණා. ඇය මලල ක්‍රීඩාවේ ගමනක් යයි කියන හැඟීම ආවා. පාරමී තමයි පස්සෙ කාලෙ අක්කවත් ඇදගෙන පුහුණුවීම්වලට ආවෙ.

ඔබේ ඉලක්කය වුණේ…..?
මට අවශ්‍ය වුණේ පාරමී දිගු දුර කඩුලු පැන දිවීමේ ඉසව්වේ නිපුණයෙක් කිරීම. ඇය මේ වෙනුවෙන් විශාල ලෙස කැපවුණා. ඊට පෙරහුරුවක් ලෙසින් ඇය මුල් කාලයේ කෙටි දුර ඉසව්වලට සහභාගි වුණා. ඊට පසුව ක්‍රම ක්‍රමයෙන් මේ ඉසව්වට යොමු කළා. ඒ අනුව ඇය රුසියාවේ දී පැවැති ආසියානු ළමා ක්‍රීඩා උළෙලේ දී මේ ඉසව්වෙන් රිදී පදක්කමත් මීටර් 400 සහාය දිවීමේ ඉසව්වට සහභාගිවෙමින් ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.
ඒත් ඊට පස්සෙ කාලෙදි පාරමී විශාල පසුබෑමකට ලක්වුණා. ඒකට හේතුවෙලා තිබුණේ ඇයගේ ශරීරයේ හිමොග්ලොබින් ඌනතාව තිබීම. මේක දුර දිවීමේ ක්‍රීඩිකාවකට දරාගන්න බැරි දෙයක්.

ඒත් ඇය යොවුන් ඔලිම්පික් උළෙලේ දී පදක්කම් දිනා ගන්නේ මේ ඉසව්වෙන් ?
ඇය මේ ඉසව්වේ දක්වන දක්ෂතා අනුව එතැනින් වෙනත් ඉසව්වකට මාරු කරන්න මගේ එතරම් කැමැත්තක් තිබුණෙ නැහැ. ඒත් ඇය මලල ක්‍රීඩා පිටියේ රඳවා ගන්න නම් අපිට ඉසව්වේ වෙනස්කමක් කරන්න සිදුවුණා. ඒ ඇයගේ අසනීප තත්ත්වයෙන් මුදවා ගැනීමත් ඉලක්ක කර ගනිමින්. මේ නිසා ම අපි පාරමීගේ ඉසව්ව වෙනස් කරනවා. ඇය මීටර් 400 සහ 100 කඩුලු පැනීමේ ඉසව්වට යොමු කළා. එහෙම කරමින් ක්‍රම ක්‍රමයෙන් ඇයව නැවැත දිගු දුර කඩුලු පැනීමේ ඉසව්වට හුරු කිරීමයි අපේ බලාපොරොත්තුව වුණේ.

ඇය එම ඉසව්වලින් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 තෙවැනි තැනත් මීටර් 100 ඉසව්වෙන් දෙවැනි තැනත් ලබා ගන්නවා. ඒක පාරමීගේ ලොකු වෙනසක්. ඒ වගේ ම ඇය පාසල් රගර් කණ්ඩායමේ පුහුණුවීම්වලට ද යොමු කරනවා. ඇය රග්බි ක්‍රීඩාවේ යෙදෙන්නේ ඉතා කෙටි කාලයයි. ඒත් ඒ කාලෙදි ඇය ශ්‍රී ලංකා යොවුන් බාලිකා රග්බි කණ්ඩායම නියෝජනය කරමින් ඩුබායි හි පැවැති සත් සාමාජික රග්බි තරගාවලියට ද සහභාගි වෙනවා.

ඇය නැවත මේ ඉසව්වට පිවිසෙන්නේ කුමන කාලයේ ද?
අපි වැඩි කාලයක් ඉසව්ව අතහැරල හිටියේ නැහැ. මට අවශ්‍ය වුණේ ඇය ක්‍රම ක්‍රමයෙන් මේ ඉසව්වට ම යොමු කරන්න. මොකද ඇයගේ දක්ෂතා තිබුණේ එතැන. ඒ නිසා ම මේ වසරේ මුල පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල සඳහා ඇයව මීටර් 800 සහ මීටර් 1500 ඉසව්වලට යොමු කළා. පාරමී එම ඉසව් සාර්ථකව නිමා කරනවා. එම තරගවලින් අනතුරුව තමයි පාරමි නැවතත් සුපුරුදු ඉසව්වට යොමු වෙන්නේ.

ඔබේ බලාපොරොත්තු සඵල වුණා?
ඔව්. පාරමී මේ සියල්ලට ම යොමු කළේ ඇයව යථා තත්ත්වයට පත්කර ගැනීම මූලික ම අරමුණු කර ගනිමින්. මොකද මගේ ඉලක්කය වුණේ පාරමී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ නිපුණයෙක් කරන්න. ඇයත් ඒ වෙනුවෙන් ඉතා කැමැත්තක් දැක්වූවා. මේ ඉසව්වට සහභාගිවීමේ අවශ්‍යතාව නිසා ම පාරමී විශාල කැපවීමක් කළා. අපි කාලසටහනක් අනුව ඉතාම අසීරු පුහුණු සැසි විශාල ප්‍රමාණයක් කළා. කෑම බීමෙන් පවා පාලනය වුණා. අවසානයේ ඇය ජය ගත්තා. ඇත්තට ම ඇය මේ වෙනුවෙන් විශාල කැපවීමක් කළා. එහෙම නොවෙන්න අද මේ ඉසව්වේ පදක්කමක් අපට නැතිවෙන්න තිබුණා.

පාරමී යොවුන් ඔලිම්පික් උළෙලේ දී දිනා ගත් පදක්කම් ජයග්‍රහණය ඔබ දකින්නේ කුමන ආකාරයකින් ද?
ඇත්තටම අපිට විශාල විශ්වාසයක් තිබුණා යම් පදක්කමක් දිනාගන්න පුළුවන් කියලා. අපි ඒ වෙනුවෙන් වූ මහන්සිය සහ කැපවීම ගැන විශ්වාසයක් තිබුණා. පාරමී කීවෙත් අනිවාර්යයෙන් ම පදක්කමකට යනවා කියලා. ඇය කියූ පරිදිම එය කළා. අපේ ගමන අපිට මෙතැනින් අවසන් කරන්න බැහැ. අපිට තවත් දුර යන්න තියෙනවා. පාරමී ඒ ගමන යන්න ඉතා කැමැත්තෙන් ඉන්නවා.

මේ ඉසව්ව ටිකක් ආගන්තුක ඉසව්වක් කියන හැඟීමක් ඇති වෙනවා….?
ඔව් සමහරු පාරමී ව මේ ඉසව්වට යොමු කළා කියන කොට අමුතු විදිහකින් මා දිහා බැලුවා. ඒත් මම දැනගෙන හිටියා පාරමීට සුදුසු මේ ඉසව්ව කියලා. ඇයත් ඉතා උනන්දුවෙන් මේ ඉසව්වේ පුහුණුවීම් කටයුතු කළා. යම් යම් බලපෑම් ආවා නම් ආවේ ඇයගේ ආර්ථික තත්ත්වයන් තමයි. ඒත් ඒ දෙමාපියන් ඇයට අවශ්‍ය හැම පහසුකමක් පුළුවන් ආකාරයෙන් ලබා දෙන්න කටයුතු කළා.

පදක්කමක් දිනාගෙන මව්බිමට ආ පාරමීට තිබුණ පිළිගැනීම ගැන ඔබට සෑහීමකට පත්විය හැකි ද?
පදක්කමක් දිනුවත් නැතත් අපි සහභාගි වුණේ රට නියෝජන කරමින්. කවුරුත් හිතල කිසිම තරගයක් පරාජය වෙන්නේ නැහැ. දිනුවට පස්සේ තත්ත්වය වෙනස්. පිළිගැනීම එක එක ආකාරයෙන්. ඒ ගැන එතරම් නොහිතන එකයි හොඳ.

පාරමී මාධ්‍යයට පැවැසුවා යැයි කියන දේවල් සම්බන්ධයෙන් මේ වනවිට විශාල කතාවක් පැතිරිලා තියෙනවා?
පාරමී කිසිම තැනක නොවැදගත් යමක් මාධ්‍යයට කිව්වේ නැහැ. ඇය ඉතාම අවංකව තම අදහස් ප්‍රකාශ කළා. මම පුහුණුකරු ලෙසින් පාරමීට උපදෙස් දුන්නේ ජයග්‍රහණය ගැන කතා කරන්න. කාටවත් දොස් කියන්න එපා. අපි අපේ ඉලක්කයට ගියා. ඒ ගැනයි කියන්න ඕන කියලා. ඇය ඇත්තට ම පැවැසුවේ ඒ දේවල්.

පාරමී කිසිම තැනක කිසිවෙක්ටත් දොස් කියල කතා කළේ නැහැ. බොරු තොරතුරු දුන්නේ නැහැ. ඇය මාධ්‍යයට පැවැසූ සියල්ල සත්‍ය. ක්‍රීඩා අමාත්‍යාංශයවත් අධ්‍යාපන අමාත්‍යාංශයවත් මලල ක්‍රීඩා සංගමයවත් හෙළා දකිමින් කතා කළේ නැහැ. ක්‍රීඩිකාවක් ලෙසින් ඇය විඳි දුක් ගැහැට මාධ්‍යයට පැවැසීම වරදක් වෙන්නේ කොහොම ද?

සුසන්තිකා ජයසිංහ පාරමීගේ නමවත් නොකියා දැඩිව විවේචනය කරනවා?
පාරමී, සුසන්තිකාට දක්වන්නේ ඉතා ම ගෞරවයක්. ඒ ගෞරවයේ වෙනසක් අදටත් නැහැ. ඇය ඉතාම ගරු කරන චරිතයක්. සුසන්තිකා දැක් වූ අදහස් එයාගෙ පෞද්ගලික අදහස්. ඒ නිසා අපි ඒකට කලබල වුණේ නැහැ. ඒත් පාරමී ඉතාම ගරු කරන මලල ක්‍රීඩිකාවක වන සුසන්තිකාට පුළුවන් වුණා නම් ඇයගේ දක්ෂතාව අගය කරන්න. එක වචනයකින් ඇය ව දිරිමත් කරන්න. ඒක කොච්චර වටිනව ද? පාරමී උනන්දුවෙන විදිහට ඇය කතා කළේ නැහැ. අපි කාලයක් සුසන්තිකා ගැන ආඩම්බරයෙන් කතා කළා. ඒ ඇගේ දක්ෂතා නිසා. අදටත් ඒ දක්ෂතාවට අපි ගරු කරනවා. එයා මොනදේ කිවුවත් ඇය ගැන වැරදි ආකල්පයක් අපි තුළ නැහැ. අපි අපේ ගමන නිදහසේ යන්නයි කැමැති.

පාරමීට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබුණ දීමනා ගැනයි ඇය කතා කළේ?
ඇත්තට ම පාරමීට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පසුගිය ජුලි මාසයේ රුපියල් 75000ක ගෙවීමක් කළා. පුහුණුකරු ලෙසින් මට රුපියල් 20000ක දීමනාවක් ලැබුණා. පාරමීට ලැබුණ මේ මුදල අපි ඇයගේ පුහුණු කටයුතු වෙනුවෙන් කළමනාකරණය කරමින් වියහියදම් කළා. ඒත් මේ මුදල ඊට පස්සේ ලැබුණේ නැහැ. පසුව හිඟ මුදල් ඊයෙ පෙරේදා ලැබුණා කියල ආරංචියි.

මේ මුදල පාරමීට ලබාදීම ගැන කිසිවකුත් ප්‍රශ්නයක් කරගත යුතු නැහැ කියලයි මගේ මතය. මොකද මේ දේවල් ඇයට හිමිවිය යුතු දේවල්. ඇය මේ දේවල් ඉල්ලගෙන පස්සෙ ගියේ නැහැ. ඇයගේ මාපියන් ගෙවල් උකසට තබමින් සල්ලි පොලියට අරගෙන ඇයගේ ක්‍රීඩා දිවියට වියදම් කළේ මේ කිසිවක් බලාපොරොත්තුවෙන් නොවේ. ඔවුන් මේ දරුවට වියදම් කළේ රට වෙනුවෙන් පදක්කම් දිනන ක්‍රීඩිකාවක් ජාතියට දායාද කරන්න. සමහරවිට පාරමීට මේ පදක්කම දිනාගන්න බැරි වුණා නම් මේ කිසිවක් ගැන කිසි කෙනෙක් කතා කරන එකක් නැහැ. එතකොට අර දුප්පත් අම්ම තාත්ත වූ ණය බරින් කවුද මුදව ගන්නෙ.

පාරමීගේ අනාගතය ඔබ දකින්නේ කෙසේ ද?
පාරමීට තවත් තරග අත්දැකීම් ලැබිය යුතුයි. මේ ගමන අපි හෙමින් ඒත් ස්ථීරව ම යන ගමනක්. අපේ බලාපොරොත්තුව 2024 පැවැත්වෙන ඔලිම්පික් උළෙල.