ප්‍රතිශක්ති චිකිත්සාවේ නව ප්‍රවණතා

ප්‍රභාෂ්වර

ආක්‍රමණශීලී පියයුරු පිළිකාවකින් පෙළුණු, තරුණ ඇමරිකානු මවක් වූ හොලී කිචන්, තම රෝගය කිසිසේත්ම සුව කළ නොහැකි එකක් වග යූටියුබ් වීඩියෝවක් ඔස්සේ ලොවට ප්‍රකාශ කරනු ලැබුවේ 2015 ජූනි 04දාය. ඇමරිකාවේ සෙඩර් පාක්හි පදිංචිව සිටි ඇය 42 වැනි වියේදී, එනම් 2016 ජනවාරි 12 දින සිය ස්වාමියා හා පුතුන් දෙදෙනා මෙලොව තනි කොට අභාවප්‍රාප්ත වූවාය. හොලීගේ යූටියුබ් වීඩියෝව නැරඹූ සංඛ්‍යාව මේ වනවිට මිලියන 50 ඉක්මවා තිබේ. මිය යනවිට, පියයුරු පිළිකාවේ හතරවැනි අදියරයට පැමිණ සිටි ඇය, ඇමරිකාව තුළ ජනප්‍රිය චරිතයක් ව සිටියේ ‘ටෙක්සාස් කා වෝස්’ නමැති ටෙලිනාට්‍ය මාලාවේ බොහෝ කලක් රඟපෑ හෙයිනි. හොලීගේ වීඩියෝව නිකුත් වූ දිනයේ සිට හරියටම වසර 03ක් ගතවූ පසු, ඇය මෙන්ම 4 වැනි අදියරේ පියයුරු පිළිකාවකින් පෙළුණු 49 හැවිරිදි කාන්තාවක් එම රෝගයෙන් පූර්ණ සුවය ලැබූ බව ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය නිවේදන කර සිටියේය. කිසිසේත්ම සුව කළ නොහැකි යැයි 2015දී තහවුරු කොට තිබූ ව්‍යාධියක් 2018දී පූර්ණ ලෙස සුව කිරීමට වෛද්‍ය විද්‍යාව සමත් වූයේ කෙසේදැයි දැන් අපි සොයා බලමු.

ජූඩි පර්කින්ස්
ඇමරිකාවේ ෆ්ලොරීඩාහි පදිංචි දෙදරු මවක වන ජූඩි පර්කින්ස්, තමාට පියයුරු පිළිකාවක මූලික රෝග ලක්ෂණ පහළ වී ඇතැයි ප්‍රථමයෙන්ම දැනගත්තේ 2003 වසරේදී සිදු කළ වෛද්‍ය පර්යේෂණයකදීය. වෘත්තියෙන් ඉංජිනේරුවරියක වූ ඇයට ඇගේ වෛද්‍යවරයා කීවේ සැත්කමක් මගින් පියයුරු ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. මෙකී ‘මස්ටෙක්ටමි’ සැත්කමෙන් සති දෙකකට පසු ජූඩි සේවයට වාර්තා කළත් ඇයට දැනුණේ ඇගේ ශාරීරික ජවය හෙමි හෙමින් ක්ෂය වී යන බවයි. එහෙත් ඒ ගැන වැඩි තැකීමක් නොකළ ජූඩි, 2013 තෙක්ම සිය රැකියාවේ හා ගෙදර දොරේ වැඩ තම උපරිම ශක්තිය යොදවමින් ඉෂ්ට සිද්ධ කළාය. වම් පියයුර තිබූ තැන කුඩා ගෙඩියක් වැනි දෙයක් මතුව ඇතැයි දැනුණු සැණින් ජූඩි සිය වෛද්‍යවරයා හමුවූවාය. ඔහු සිදු කළ පර්යේෂණයෙන් හෙළිදරව් වූයේ, ජූඩි 04 වැනි අදියරේ ආක්‍රමණික පිළිකාවකින් පෙළෙන බවයි. ජීවත්වීමට ඉතිරිව ඇති උපරිම කාලය තව වසර 03ක් වග වෛද්‍යවරයා අවධාරණය කර සිටියේය. 2015 වනවිට ජූඩි තම මරණය සඳහා සූදානම් වෙමින් සිටියාය. පියයුරු පිළිකා පිළිබඳ ජාතික සන්ධානය (NBCC) විසින් මෙහෙයවූ වැඩමුළුවකට සිය මිතුරියකගේ පෙරැත්ත කිරීම මත ජූඩි පර්කින්ස් සහභාගි වූයේ 2015 ජූනි මාසයේදීය. පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා ‘ප්‍රතිශක්ති චිකිත්සාව’ නමැති නව ක්‍රමවේදයක් වෛද්‍ය ජේමිස් ඇලිසන් සහ වෛද්‍ය ටසුකු හොන්ජෝ විසින් සොයාගෙන ඇති බවත්, එම අත්හදා බැලීමේ සායනික වැඩසටහනට ජූඩිව ඇතුළු කළ හැකි බවත්, එම වැඩමුළුව මෙහෙයවූ වෛද්‍ය ස්ටෙෆ්නී ගොෆ් ඈ සමග කීවාය. මරණයේ දොරකඩට වී සිටි ජූඩි ඊට එක්වීම පිණිස තම කැමැත්ත ප්‍රකාශ කර සිටියාය. මේ වනවිට ජූඩි සිටියේ වේදනා නාශක පෙතිවලින් පවා සහනයක් ලබාගත නොහැකි අවධියකය. මේරිලන්ඞ්හි ජාතික පිළිකා ආයතනයට ඇතුළත් වූ පසු පිළිකා රෝග විශේෂඥ ස්ටීවන් රෝසන්බර්ග් ජූඩිව පරීක්ෂා කරමින් කියා සිටියේ පිළිකාව ඇගේ අක්මාව ඇතුළු අනෙක් අවයව බොහොමයක් ආක්‍රමණය කර ඇති බවයි. පිළිකා සෛලවලට එරෙහිව සටන් කළ හැකි, ජූඩිගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ තිබෙන ‘ටී’ සෛල ඇගේ සිරුරෙන් සියුම්ව උකහා ගත් වෛද්‍යවරු, ඒවායින් බිලියන 81ක් විද්‍යාගාරය තුළ වගා කොට නැවත එන්නත් කරනු ලැබුවේ පිළිකා සෛල වටකොට විනාශ කර දැමීමේ හැකියාව මෙකී ‘ටී’ සෛල සේනාව සතුව ඇති බැවිනි. සිදුවූයේ විස්මයකි. 2016 මැයි වනවිට ජුඩි පර්කින්ස් පිළිකා රෝගයෙන් පූර්ණ සුවය ලබා ඇති වග තහවුරු කෙරිණි.

2018 නොබෙල් ත්‍යාගය
මිනිස් සිරුරේ ප්ලාස්මා සෛල විසින් නිපදවනු ලබන, ඉංග්‍රීසි y අකුරේ හැඩය ඇති ප්‍රෝටීන් හෙවත් ප්‍රතිදේහවල කාර්යභාරය වන්නේ, ශරිරයට අහිතකර වයිරස් හා බැක්ටීරියා ඊට ඇතුළු වන මොහොතේම ඒවාට පහරදී විනාශ කිරීමයි. එහෙත් සිරුරේ සාමාන්‍ය සෛල, පිළිකා සෛල බවට පත්ව වර්ධනය වනවිට අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒවාට එරෙහිව සටන් නොවදින්නේ එම සෛල ශරීරය තුළම පවතින, ඊට අයත් සෛල සේ සලකන හෙයිනි. පිළිකා සෛලවලට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ මිනිස් සිරුරෙන් උකහාගෙන එම සටන්කාමී ‘ටී’ සෛල යළිත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙත එන්නත් කිරීමේ මූලික පර්යේෂණ 1975දී අරඹන ලද්දේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් දෙපළක් වන ක්ලිබලර් සහ මිල්ස්ටීන් විසිනි. එතැන් සිට ගෙවුණු වසර 40 තුළ, විවිධ පිළිකාවලට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ වර්ග 50ක් පමණ නිර්මාණය කරන්නට වෛද්‍ය ප්‍රජාවට හැකියාව ලැබුණි. පිළිකා සෛල දුටු වහාම ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීමේ ශක්තිය සහිත ‘චෙක් පොයින්ට් නිශේධක’ නම් ඖෂධ ප්‍රථමයෙන්ම ලොවට හඳුන්වා දුන්නේ ඇමරිකාවේ ඇන්ඩර්සන් පිළිකා මධ්‍යස්ථානයේ වෛද්‍ය ජේම්ස් ඇලිසන් සහ ජපානයේ කියෝතෝ සරසවියේ වෛද්‍ය ටසුකු හොන්ජෝය. 1990 සිට මේ දක්වා, මෙම දෙපළ පිළිකා මර්දනයට සිදු කළ පර්යේෂණික සේවාව අගයමින් 2018 වසරේ වෛද්‍ය විද්‍යාව හා අදාළ නොබෙල් ත්‍යාගය ඔවුන් වෙත තිළිණ කෙරිණි. කෙසේ වෙතත්, මෙකී ප්‍රතිශක්ති චිකිත්සාව බොහෝවිට සාර්ථකව ක්‍රියාත්මක වූයේ චර්ම, පෙණහලු පිළිකා සහ ලියුකේමියා, ලිමිෆොමා වැනි ලේ පිළිකා යනාදියට එරෙහිව පමණි. නිතර දක්නට ලැබෙන ඝන පිළිකාවන් වන මහබඩවැලේ, ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ හා පියයුරුවල හටගන්නා පිළිකා ඉලක්ක කොටගෙන සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට ප්‍රතිශක්ති චිකිත්සාවට මෑතක් වනතුරුම හැකියාවක් නොලැබුණේ, මේ සියුම් පිළිකා සෛලවලට ප්‍රතිශක්තිකරණ පද්ධතියට හොරෙන් සැඟවී සිටීමට පුළුවන් වූ හෙයිනි. 2017 වසරේදී පමණක් ඉහත කී ඝන පිළිකාවලින් ඇමරිකානුවන් ලක්ෂ ලක්ෂ 06ක් මරණයට පත්විය.

ස්ටීවන් රෝසන්බර්ග්
ඇමරිකාවේ බෙතෙස්ඩාහි පිහිටි ජාතික පිළිකා ආයතනයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා ලෙස වත්මනෙහි කටයුතු කරන්නේ මහාචාර්ය ස්ටීවන් රෝසන්බර්ග්ය. පිළිකා මර්දනය හා අදාළව සමස්ත වෛද්‍ය විද්‍යාවට ඔහු සිදුකළ සේවය අගයමින්, ඇමරිකන් ඩොලර් ලක්ෂ 05ක් සමග පිරිනැමෙන ඇල්බනි වෛද්‍ය මධ්‍යස්ථානයේ 2018 විශිෂ්ටතම සම්මානය ස්ටීවන් රෝසන්බර්ග්ට හිමිවිය. 80 දශකය වෙනතුරුම වෛද්‍යවරු සිතා සිටියේ ඝන පිළිකාවලට එරෙහිව මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කිසිදු සෛලයක් සටනක් දීම සඳහා ඉදිරිපත් නොවන බවයි. මිනිස් සිරුරේ සාමාන්‍ය සෛල පිළිකා සෛල ලෙස දිගින් දිගටම විපරීතකරණය වන විට ඒවාට විරුද්ධව සටන් වැදීමට ප්‍රතිදේහ අතළොස්සක් ක්‍රියා කරන බවත්, එම සුළුතරය රෝගකාරක සෛල බහුතරය අබියස අක්‍රිය වන බවත් 1980දී මුලින්ම සොයාගත්තේ වෛද්‍ය ස්ටීවන් විසිනි. පිළිකා සෛලවලට එරෙහිව සටන් කළ හැකි මෙම ‘ටී’ සෛල සිරුරෙන් උකහාගෙන ඒවා විද්‍යාගාරය තුළ බිලියන ගණනින් වගා කොට නැවතත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙත එන්නත් කිරීම මගින් මෙලනෝමා නමැති චර්ම පිළිකාව වැළඳී සිටි රෝගීන් 58ක් පමණ සම්පූර්ණයෙන් සුව කිරීමට වෛද්‍ය ස්ටීවන් සමත් විය. ඝන පිළිකාවක් හා අදාළව මෙම ප්‍රතිකාර ක්‍රමවේදය වෛද්‍ය ස්ටීවන් ප්‍රථම වරට අත්හදා බැලුවේ ජූඩි පර්කින්ස්හට වැළඳුණු පියයුරු පිළිකාව ආශ්‍රයෙනි. මේ වනවිට ඇය පූර්ණ සුවය ලබා ඇති හෙයින් ‘ටී’ සෛල ප්‍රතිකාරය අනෙක් ඝන පිළිකා සඳහාද සාර්ථකව උපයෝගී කරගත හැකිවනු ඇතැයි වෛද්‍ය ස්ටීවන් අවධාරණය කරයි. ලියුකේමියා රෝගයේ විවිධ ප්‍රභේදවලට ගොදුරු වූ රෝගීන්, සාම්ප්‍රදායික ප්‍රතිකාර ගෙන සිය ව්‍යාධීන් තාවකාලිකව මැඬලුවද, ටික කලකට පසුව යළිත් රෝගය ඉස්මතුවීම නොවැළැක්විය හැකිවිය. එහෙත් ප්‍රතිශක්ති චිකිත්සාවට බඳුන් කළ ලියුකේමියා රෝගීන්ගෙන් 90%කටම නැවත පිළිකා රෝග ලක්ෂණ පහළ නොවූ වග, වෛද්‍ය ස්ටීවන් රෝසන්බර්ග් සිය පර්යේෂණ හරහා ඔප්පු කර තිබේ.

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC)
පෞද්ගලික අංශයේ හා ශ්‍රී ලංකා රජයේ හවුල් ආයතනයක් ලෙස රුපියල් මිලියන 450ක ප්‍රාග්ධනයකින් ආරම්භ වුණු SLINTEC හෝමාගම පිහිටි අක්කර 50ක් වන භූමි ප්‍රදේශය තුළ ස්ථාපිත කරන ලද්දේ 2012 වසරේදීය. ලංකාවේ දැවැන්ත සමාගම් 06ක්, සිය ක්ෂේත්‍රයන්ට අදාළ ඉදිරිගාමී පර්යේෂණ කටයුතු සිදුකිරීමේ අරමුණින් SLINTEC පරිශ්‍රය තුළ විවිධ විද්‍යා පර්යේෂණාගාර රැසක් ගොඩ නගා ඇත්තේ මේ ආයතනය තුළ ආචාර්ය උපාධිධාරීන් 25කට වැඩි ප්‍රමාණයක් සේවය කරන හෙයිනි. 2018 ජූලි මාසයේ දවසක මේ ලියුම්කරු සේවය කරන පෞද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තැන, ලියුම්කරු අමතා කියා සිටියේ, ප්‍රතිශක්තිකරණ චිකිත්සාව හා අදාළ අති නවීන විද්‍යාගාරයක් ගොඩනැගීම පිණිස SLINTEC අප සමාගමෙන් මූල්‍ය ආධාරයක් අපේක්ෂා කරන බවයි. එම යෝජනාව ගැන ගැඹුරින් සාකච්ඡා කිරීම සඳහා SLINTEC හි අධ්‍යක්ෂ මණ්ඩලය නොපමාව හමුවන්නැයි මගේ ප්‍රධානියා මගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ජූලි මැදදී මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවට බි්‍රතාන්‍යයේ කේම්බි්‍රජ් සරසවියේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කීර්තිමත් මහාචාර්ය ගිහාන් අමරතුංග හා SLINTEC හි ප්‍රධාන විධායක ඇතුළු අනෙකුත් ඉහළ නිලධාරීහු සහභාගි වූහ. ප්‍රතිශක්ති චිකිත්සා විද්‍යාගාරය අප ආයතනයේ නමින්ම SLINTECතුළ ස්ථාපිත කළ හැකි බවත්, ඉනික්බිති පළමු වසර පර්යේෂකයන් පුහුණු කිරීම, දෙවන වසර සතුන් යොදාගෙන අත්හදා බැලීම් සිදු කිරීම හා තෙවන වසරේදී ඍජුවම ශ්‍රී ලාංකික පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ඇරඹීම යනාදිය ක්‍රියාත්මක කළ හැකි බවත්, මහාචාර්යවරයා අවධාරණය කර සිටියේය. මීට වසර 43කට පෙර ඇරඹුණු ප්‍රතිශක්ති චිකිත්සාව හා සම්බන්ධ පර්යේෂණවල ප්‍රතිඵල, වත්මනෙහි සංවර්ධිත රටවල පුරවැසියන් භුක්ති විඳිමින් සිටින නමුත් දුප්පත් රටවල පිළිකා රෝගීන්ට මෙවැනි වේදනා රහිත ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව තවමත් උදාවී නැත. පේටන්ට් 32ක අයිතිය හිමි, පර්යේෂණ පත්‍රිකා 500කට වැඩි ප්‍රමාණයක් පළ කොට ඇති මේ නිහතමානී මහාචාර්යතුමා, ප්‍රතිශක්ති චිකිත්සාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ වැදගත්කම පිළිබඳව සිදු කළ සරල එහෙත් බරසාර විස්තරයට මම සාවධානව සවන් දුන්නෙමි. සාකච්ඡා මේසයෙන් මා නැගිට්ටේ, මෙම සත්කාර්යය වෙනුවෙන් අප සමාගමේ සමාජ සත්කාරක භාරයේ මූල්‍ය දායකත්වය නොපමාව පිරිනැමිය යුතුය යන අදහස ඇතිවය.

අදට වඩා හෙට හොඳයි
ආයතනයේ ඉහළ නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් කතාබහ කර, මෙකී විද්‍යාගාරය ස්ථාපිත කිරීම හා අදාළ පත්‍රිකාව මම අපගේ සමාජ සත්කාරක අරමුදලේ භාරකාර මණ්ඩලය වෙත ඉදිරිපත් කළෙමි. ඒ අනුව, රුපියල් මිලියන 62ක වියදමින්, SLINTECපරිශ්‍රය තුළ අපගේ ප්‍රතිශක්ති චිකිත්සා විද්‍යාගාරය (නුදුරු අනාගතයේදී) ඉදිකිරීම හා අදාළ අනුමැතිය භාරකාර මඬුල්ල විසින් ලබාදෙන ලදි. SLINTECහි තාක්ෂණ ඇගැයීම් කමිටුව, විද්‍යාගාරය සඳහා අවශ්‍ය උපකරණ මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් වන ටෙන්ඩර් කටයුතුවල වත්මෙනිහි නියැලෙමින් සිටින බව මෙහි සටහන් කිරීම වටී. පිළිකාවලට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් මෙම නැනෝ පර්යේෂණ ඔස්සේ නුදුරේදී හඳුන්වා දිය හැකිවනු ඇතැයි මහාචාර්ය ස්ටීවන් රෝසන්බර්ග්ගේ දැඩිව අදහසයි. ඉතින් තව වසර තුන, හතරක් ඇතුළත ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ට ප්‍රතිශක්ති චිකිත්සාව ඔස්සේ මරණය වෙනුවට, දීර්ඝ ජීවිතය ලැබෙනු ඇතැයි නිසැකවම කිව හැකි හෙයින්, අදට වඩා හෙට හොඳයැයි කීම අතිශයෝක්තියක් නොවේ.