බරට කියවමු

මේ ඔක්තෝබරය. නාමිකව කියවීමේ මාසයයි. සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය වීමත් සමග ඔක්තෝබර් මාසය කියවීමේ මාසය බවට පෙරලුණේ දින දසුනේ පෙරළුමට සමානවය. ඒ හැර ඊට වඩා අරුතක් එහි ඇතැයි නොසිතේ. සැප්තැම්බර් මාසය පොත් වෙළෙන්දන්ගේ මාසය වී ඇත. ඊට පෙර පොත් මිලදී නොගන්නෝ මේ මාසයේදී පොතක් දෙකක් හෝ මිලදී ගන්නට පෙළඹී ඇත. එය යහපත් ප්‍රවණතාවකි පොතකට ඇති ඇල්ම දල්වනුයේ සමාජය දෙස ලොකු බැල්මකි.

දැන් ප්‍රශ්නය වන්නේ පොත් ගැනීම නොව, පොත් ගොඩ ගසා ගැනීම, කඳු ගසා ගැනීම නොව ඒවා කියවනවාද යන්නය. කියවා දැනුමට යමක් එකතු කර ගන්නවාද යන්නය.
කියවීමට මාසයක් ඇතිද? පුරුද්දට මෙන් කියවීම සඳහා දින මාස වෙන්කරගෙන ඇතත් කියවීම කෙටිකාලීන අභ්‍යාසයක්ද? අද පොත් කියවන පිරිසට වඩා පොත් ලියන පිරිස විශාල වී ඇත. මේ නිසාම ලියන්නෝ කියවීමෙන් ඈත් වී සිටිති. විශේෂයෙන්ම සම්මාන සඳහා නිර්දේශිත අවසන් පොත් පහ හෝ එම ලේඛකයන් පස්දෙනා කියවා ඇත්දැයි යන්න ප්‍රශ්නයකි. ඇතැම් ලේඛකයෝ තමා සමග තරග වදින අන් අයගේ පොත් නොකියවති.

මේ අනුව පොත් කියවීම සඳහා ඇති තල්ලුව ප්‍රමාණවත් නැති බව පැහැදිලිය. මෙවර ස්වර්ණ පුස්තක දිනන ‘අප්පච්චි ඇවිත්’ කෘතිය 25,000ක් පමණ විකිණිනැයි ප්‍රසිද්ධ විය. දෙකෝටියක් වන ජනගහනයේ කියවීම ලක්ෂ දෙක තුනක්වත් වේද? අද ඕනෑම ලේඛකයකුගේ පළමු මුද්‍රණය පිටපත් දහසකි. පියදාස සිරිසේනගේ (1875-1946) ඕනෑම පොතක පළමු මුද්‍රණය පිටපත් විසිපන් දහසකි. ඉදින් කියවීමට සිදුවී ඇත්තේ කුමක්දැයි යන්න සිතා බැලිය යුතුය.

නව තාක්ෂණික ඇබ්බැහියත් සමග කියවීම මුළුගැන්වූවායැයි සිතිය නොහැකිද? සැවොම හැම තත්පරයම ජංගම දුරකතනයට බදු දී ඇත. පොත අතින් ගිලිහී ස්මාර්ට් ජංගම දුරකතනයක් අතට මෙන්ම හිතට ද සමීප වී ඇත. මේ මෙවලමත් සමග කියවීම ඈතට තල්ලු වී ඇත. දිගු වේලාවක් පොතකට කාලය වෙන් කළ හැකි තරුණ පිරිසක් නැත්තේ කාලය නොමැති ප්‍රශ්නයට වඩා ඒ වෙනුවෙන් කාලය ගතකිරීමට ඔවුහු අකමැති නිසාය. කියවීමද පුරුද්දක් ඇති කරගත යුතු කාර්යයකි. ඇබ්බැහි විය යුතු සොඳුරු පුරුද්දකි. ඊට පසුබිම සකසන නව වැඩපිළිවෙළක් රජයක් සතුවිය යුතුය. එය මාසයක් වෙන් කළ පමණින් ඉටු නොවන බවත්, ඒ මාසය තුළ කියවීම පුරුද්දක් වන අංග එකතු කළ යුතුව ඇත. අද පොතක් පිළිබඳ සාමූහික කතාබහක් වන කව (Reading Circle) නැත. එදා විභවිය වැනි තැන් හරහා එවැනි තල්ලු ලැබුණමුත් අද පොතක් දොරට වඩින විට වුව පවුලේ සාදයක් මෙන් හිතවතුන්ගෙන් සමන්විත කුලකයක් ඇතිවේ. ඒ අය කියවන අයට වඩා පොත ලියූ අයගේ හිතවතුන්ය. හිතවත්කමට පොතක් ගත්තා වුව ඒ පොත කියවනවාද යන්න ගැටලුසහගතය. පොත් විකිණීම තුළින්ම පොත් කියවනවා යැයි උපකල්පනය කළ නොහැකිය. බොහෝ අය පොත්ද එකතු කරන්නෝ වෙති. එයද මෝස්තරයකි. පොත් යනු තවදුරටත් සුරැකිව තබාගත යුතු විසිතුරු භාණ්ඩයක් නොවේ. එය වැඩි දෙනකු අත රැඳිය යුතු කියැවිය යුතු දෙයකි.

අලුත් පොත් නිතර මුද්‍රණය වුවද ඒ පොත් ඉතිරි කරන දෙයක් වේද යන්නත් ගැටලුවකි. පොත් යනු බඩගින්නට වළඳන දෙයක් නොව, කුස පිරුණු පසු වළඳන අතුරුපසක් වැනි දෙයකි. මේ නිසා පොතක් පාඨකයාට රුචියක් වැඩවිය යුතුමය. එහි ගුණයක් තිබිය යුතුමය. එසේ නොවී තාක්ෂණයේ කියවීම්ද මෙලෝ රහක් නැතිය. කියවීමට උත්තේජන සපයන වැඩ රාජ්‍ය මට්ටමෙන් මෙන්ම උගත් සමාජය තුළින්ද ඉස්මතු විය යුතුය. ව්‍යායාම ශරීරයට යහපත් වන්නා සේ ම පොත්ද මොළයට අහරක් වන්නේය.

එබැවින් කියවීමේ මාසය නොව කියැවීමේ වසර විය යුතුය. හැම වසරක්ම එසේ විය යුතුය. සැප්තැම්බර් මාසයේ පොතක් දෙකක් ගෙන ඔක්තෝබර් මාසයේ කියවා අවසන් කරන දෙමසක අත්දැකීමකට එහා ගිය ගමනක් මෙම ක්‍රියාවලිය අත්කරගත යුතුය.

එබැවින් කියවීම නිකරුණේ කියවීමකට එහා ගිය අරුත් ඇති වැඩක් කරමු. ඊට ලේඛකයන්ටද කළ හැකි වැඩ තිබිය හැක. මිනිසා ඇබ්බැහිවීමට රුසියෙකි. එසේ නම් ඒ ඇබ්බැහිය පොත් කරමු. මාසයක් ඒ ගැන හිතුවාට කම් නැත. ඉතිරි මාස එකොළහම කියවමු. මේ කියවීමේ මාසය නොව කියවීමේ ආරම්භක මාසයයි.