යහපාලන ඇමතිවරු ‘ස්මාර්ට්’ කප්පම් සහ විදුලි දුම්රිය නිෂ්පාදනය

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

 

වගවීම, විනිවිදභාවය, නීතියේ ආධිපත්‍යය සහ සහභාගිත්වය යනාදී මූලික ප්‍රතිපත්තිවලින් සමන්විත ‘යහපාලන’ පාලන ක්‍රමයක් අනුගමනය කරන බවට ශපථ කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව බලයට පැමිණ වසරක් ගතවීමට පෙර රනිල් – මෛත්‍රී සන්ධාන ආණ්ඩුවේ රනිල් පාර්ශ්වය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර පර්පෙචුවල් සමාගමට මිලදී ගැනීමට හැකිවන අයුරින් කටයුතු කළ බවට චෝදනා එල්ල විය. ඒ කරන කොටගෙන රවි කරුණානායක අමාත්‍යවරයා ඇමති ධුරයෙන්ද ඉල්ලා අස්වූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක්ද පත් කැරිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීන්ට බන්ධනාගාර ගතවීමට සිදුවූ අතර එය මහා පරිමාණ මූල්‍ය වංචාවක් බවටද හෙළිදරව් විය. එනමුදු එමගින් කිසිදු වංචාවක් සිදු නොවූ බවට ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා සුජීව සේනසිංහ අමාත්‍යවරයා විශාල කාර්යභාරයක් ඉටු කළ අතර ඒ සම්බන්ධයෙන් ග්‍රන්ථයක්ද පළ කරනු ලැබුවේය. ඔහු පැවසූ සියල්ල සත්‍යයක් නම් පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂවරු සහ නිලධාරීන්ට බන්ධනාගාර ගතවීමටත් රවි කරුණානායකට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමටත් සිදු නොවේ. එහෙත් යථාර්ථය වන්නේ මෙම බැඳුම්කර සිද්ධිය මුළුමනින්ම ජනතා මුදල් කොල්ලකෑමක් බවය. එපමණක් නොව මෙම මහා මූල්‍ය වංචාව නිසා මෙරට ජනතාව වසර 30ක් පුරා ඊට වන්දි ගෙවිය යුතුය. අද පවතින ආර්ථික අර්බුදයට මෙම සිද්ධිය එක් හේතුවක් වන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ගින්නක් නොමැතිව දුමක් නොනගින බව පැරැන්නන් විසින් කියා තිබුණද අල්ලස, වංචාව හා දූෂණය මුළුමනින්ම හෙළා දකින එවැනි ක්‍රියාවන්ට කිසිසේත්ම දායක නොවන නිතර සුදුවතින් සැරසී සිටින සිල්වත් ජීවිතයක් ගත කරන, යහපාලන මූලධර්ම අකුරටම ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සිලෝන් හයි ස්පීඞ් රේල්වේස් සමාගමේ (Ceylon High Speed Railways Ltd)  අධ්‍යක්ෂවරුන්ගෙන් කොමිස් මුදල් ලබාගැනීමට තැත් කළ බවට චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් එම සමාගම විසින් 2018.05.10 දාතම යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරනු ලදුව මේ වනවිට අල්ලස් කොමිසම විසින් විමර්ශන කටයුතු සිදුකරමින් පවතී. එම ලිපියට අනුව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම එම සමාගමේ කොටස් කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවද පැවසේ. එම චෝදනාවට තමන් වරදකරුවකු නොවන බව තමන් ‘ස්මාර්ට්’ පුද්ගලයකු යැයි හඳුන්වා නොදෙන මලික් සමරවික්‍රම විසින් පාර්ලිමේන්තුවට පැවසූ අයුරු විද්‍යුත් මාධ්‍ය තුළින් අනාවරණය විය.

ඉන්පසුව ඒ පිළිබඳව මාධ්‍ය හමු පවත්වමින් තමන්ගේ නිර්දෝෂීභාවය ජනතාවට එත්තු ගැන්වීමෙන් වැළකී සිටීමට ඔහු ‘ස්මාර්ට්’ විය. එහෙත් සුජීව සේනසිංහ අමාත්‍යවරයා විසින් තම නිර්දෝෂීභාවය රටට හෙළිදරව් කිරීම සඳහා මේ වන විට විශේෂ මාධ්‍ය සාකච්ඡා දෙකක් කැඳවා තිබෙන අතර අල්ලස් කොමිසම, රහස් පොලිසිය සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයටද පැමිණිලි කරමින් ඔහුට සිදුවූ අගතිය පිළිබඳ පුළුල් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටීමට ‘ස්මාර්ට්’ වී ඇත.

පමුණුගම නුගපේ අංක 605හි පිහිටි සිලෝන් හයි ස්පීඞ් රේල්වේස් සමාගම සමාගම් ලේකම් කාර්යාලයේ 2015.04.09 දින ලියාපදිංචි කර ඇති අතර, අධ්‍යක්ෂවරුන් තිදෙනකුගෙන් සමන්විතය. මෙම සමාගම විදේශීය ආයෝජකයන්ගේ හවුල්කාරීත්වයෙන් අධිවේගී දුම්රිය කට්ටල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක්, ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීම සඳහා සැලසුම් කොට එහි ව්‍යාපෘති සංකල්පය (Project Concept) පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය වෙත 2016-10-28 වැනි දින ඉදිරිපත් කර ඇත. එමෙන්ම ආයෝජකයන්ගේ එකඟතාව පළකිරීමේ ලිපි 2016-12-10 වැනි දින යුරෝපයේ සිට ආයෝජන මණ්ඩලය වෙත ලැබීමට කටයුතු සලස්වා ඇත. ඉන් අනතුරුව ආයෝජන මණ්ඩලය විසින් ව්‍යාපෘති වාර්තාවේ විවිධ අඩුපාඩුකම් පෙන්වා දෙන ලදුව ඒවා සම්පූර්ණ කිරීමටද දේශීය සමාගම කටයුතු කර ඇත.

මෙම ව්‍යාපෘති වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ කර්මාන්තශාලා 34ක උපාංග නිෂ්පාදනය කිරීම සිදු කෙරෙන අතර ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථාන පහකදී ඒවා එකලස් කිරීම සිදු කෙරේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය විදේශ රටවලින් ආනයනය කෙරෙන අතර විදුලි දුම්රිය නිෂ්පාදන කොට එහි අවසන් පරීක්ෂාවට භාවිත කරනු ලබන්නේ ඒ සඳහාම ශ්‍රී ලංකාව තුළ ඉදිකෙරෙන විශේෂිත දුම්රිය රථ ධාවන පථයක් තුළය. ඒ සඳහා අක්කර 2000ක පමණ බිම් ප්‍රමාණයක් අවශ්‍ය බව එම සමාගම පවසයි. මෙරට නිෂ්පාදනය කරනු ලබන විදුලි දුම්රිය කට්ටල් නැවත කොටස් කර ගෝලීය පාරිභෝගිකයන් වෙත අපනයනය කිරීම අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් විසින් යුරෝ මිලියන 488ක් ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවෙන් ආයෝජනය කරනු ලබන අතර ක්‍රියාකාරී ප්‍රාග්ධනය ලෙස යුරෝ බිලියන 2.2ක් යුරෝපීය සමාගම් විසින් ආයෝජනය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය මගින් වසර 7ක් තුළදී යුරෝ බිලියන 5-7ක් දක්වා ආදායමක් ලැබීමට අපේක්ෂා කරන අතර අපේක්ෂිත ඍජු රැකියා ගණන 22460කි. ශ්‍රී ලංකාවේ පළාත් 3ක් තුළ ආයෝජන කලාප 9ක් පිහිටුවා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට අවශ්‍ය කෙරෙන පහසුකම් ශ්‍රී ලංකා රජයෙන් දේශීය සමාගම අපේක්ෂා කරන ඒවා රේගු බදු සහ අනෙකුත් ගාස්තුවලින් නිදහස් කළ යුතු බවද පවසයි.

මෙම ව්‍යාපෘති වාර්තාව ආයෝජන මණ්ඩලය විසින් එහි ඇගැයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම 2017.06.14 සිදුකර ඇති අතර ඔවුන් විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබද්ධව පවතින තනි කවුළු ආයෝජන අනුමත කිරීමේ කමිටුව ඉදිරිපත් කිරීමට නිර්දේශ කොට එම කමිටුව විසින් 2017.08.04 ඇගැයීමට ලක් කර ඇත. එහිදී ආයෝජකයන්ගේ මූල්‍යමය ශක්‍යතාව, තාක්ෂණික නිපුණතාව, පළපුරුදු වාර්තා, අලෙවිකරණ සැලසුම් සහ ඉඩම් පරිහරණ පිළිබඳ සැලසුම් පිළිබඳ විස්තර එම කමිටුව දේශීය සමාගමෙන් ඉල්ලා ඇත. එම අඩුපාඩුකම් හැකිතරම් දුරට සපුරාලමින් නැවත 2017.10.11 දින ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව නැවත සමීක්ෂණය කර ඇති අතර එහි තිබූ අඩුපාඩුකම් අනුව අනුමැතිය ලබාදී නොමැත. ඉන් අනතුරුව ආයෝජන මණ්ඩලය විසින් අංගසම්පූර්ණ ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇති අතර විවිධ අඩුපාඩුකම් පෙන්වාදෙමින් එය අනුමත කරගැනීමට නොහැකි තත්ත්වයකට පත්කර තිබුණද ආයෝජකයා විසින් 2018.10.11 දින ව්‍යාපාරික සැලැස්මක්ද ඉදිරිපත් කර ඇති බව පැවසේ.

මෙම ව්‍යාපෘතිය අනුමත කර දීම සඳහා මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ යන අමාත්‍යවරු තම පුද්ගලික නියෝජිතයන් යොදා ගනිමින් කොමිස් සහ සමාගම් කොටස් ඉල්ලා තිබෙන බව දේශීය සමාගමේ සභාපතිනි අනුෂ්කා රේණු රාවයට කරුණු අනාවරණය කළ අතර ඒ බව ජනපතිවරයා වෙත යවන ලද ලිපියේද දැක්වේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය තුළින් කප්පම් ලබාගැනීමට අමාත්‍යවරුන් තැත්කර තිබෙනුයේ ‘ස්මාර්ට්’ අන්දමිනි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කඩිනමින් සහයෝගය ලබාදීමට රජය වගකීමෙන් කටයුතු කළ යුතු වුවද අමාත්‍යවරුන් එය කඩාකප්පල් කිරීමට දායක වීම නොහොබිනා ක්‍රියාවකි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ දැනටමත් සිදුවුවද ඒවා කොතෙක් දුරට යහපාලන මූලධර්ම මත ක්‍රියාත්මක කෙරේද යන්න සැකසහිතය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කිරීම අවැසිය. එහිදී විදේශීය ආයෝජකයන්ගෙන්ද ප්‍රකාශ ලබා ගැනීම අවශ්‍ය කෙරෙන අතර සුජීව සේනසිංහ අමාත්‍යවරයාගේ භාෂා පරිවර්තක ලෙස අමාත්‍යවරයා විසින් හඳුන්වන ඉතාලියේ පදිංචි දිලීප් වෙදමානික්කම්ගෙන්ද ඉතාලිය පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හරහා ප්‍රකාශන ලබා ගැනීමක්ද සිදු කළ යුතුය. එපමණක් නොව සමාගමේ කොටස් ඉල්ලා සිටීමට දායක වූ මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ පුද්ගලික හිතවතාගෙන්ද ප්‍රශ්න කිරීම සිදුකළ යුතුය. ඔවුන්ගෙන් ලබා ගන්නා තොරතුරු අනුව කොතෙක් දුරට අමාත්‍යවරුන් යහපාලන දේශපාලනයේ නියැලී සිටින්නේද යන වග විනිශ්චය කළ හැකි අතර එම පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ජනතාව වෙත ලබාදීමට ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ යුතු වන්නේය.

කෙසේ වුවද අවසාන විග්‍රහයේදී අමාත්‍යවරුන් දෙදෙනාගේ ස්මාර්ට් කප්පම් කෙරුවාවේ ඇත්ත නැත්ත ජනතාවට හෙළිදරව් වනු නිසැකය.