මෛත්‍රී යනු මහින්ද, රනිල් දෙකෙහිම සංකලනයකි

රාජපක්ෂ ආණ්ඩුව පෙරළා යහපාලන ආණ්ඩුවක් පිහිටුවා සුන්දර සිහින දකින්නට සුව නින්දක් ලද බොහෝ අය මේ දිනවල ඇහැරෙනුයේ යටි ගිරියෙන් කෑගසමිනි. මේ යන රටාව අනුව හීන කෙසේ වෙතත් ඒ අයගේ නින්ද පවා අහිමිව ඇති ගාණය. දළදා මාලිගය ඉදිරිපිට දිවුරුම් දුන් ජනපති මෛත්‍රීපාල එදා කී කතාව අසා සතුටු කඳුළු හෙළමින් මෙවන් නායකයකු රටට ලබා දුන් තමන් කෙතරම් භාග්‍යවන්තයෝදැයි කෑ මොරදුන් අය අද මෛත්‍රීපාල දුටු විට නයාට අඳුකොළ මෙන්ය. සෑම දෙනාම තරහා මෛත්‍රීපාල සමගය. ඒ අය මෛත්‍රීපාල පතුරු ගසන අතර රනිල්ට ආ වඩයි. මේ විචාරකයෝ, දේශපාලන අනාථයෝ සියල්ල ෆොටෝ කොපි රනිල්වාදියෝය. එහෙත් යන එන අතර රනිල්ට චූටි පහේ තට්ටුවක් දෙමින් අරයට විතරක් බැන්නහම අපි පච වෙනවනේ ඉතින් ඔයාටත් චුට්ටක් ගහනවා හොඳේ කියන ජාතියේ දේශපාලන පජාතයන්ය. මේ අය දැන් පච වන්නට දෙයක් නැත. පචම වී හමාරය.

යහපාලන ආණ්ඩුව තමන්ගේම කියා බදාගත් කණ්ඩායම් මුල් අවුරුද්දෙ දෙකේ එළිපිටම විය. ඒ අය තමන් නැතිව ආණ්ඩුව ගැන වචනයක් හෝ කතා කරනවාට අකමැති විය. ආණ්ඩුවේ සැබෑ පියවරු ඔවුන් බව ප්‍රසිද්ධියේම කීවෝය. ඒ අය අද බනිනුයේද තම අයිතිය තියාගෙනය. එනම් තමන් ගෙනා ආණ්ඩුව ගැන තමන් කම්පාවන බව කියමිනි.

වැරදුණු තැන
යහපාලන ආණ්ඩුවට වැරදුණු ප්‍රධානතම තැන මේ අධික තක්සේරුවය. දේශපාලන කෝඩුකාරයෝ සමාජ මාධ්‍ය ජාල සැවොම ගෙනා ආණ්ඩුව ගැලවුමේ එකම විසඳුම වග ඔවුහු සිතූහ. සිතුවා පමණක් නොව ආණ්ඩුවේ කුස්සියට නිතර රිංගන්නෝද වූහ. ඒ සැවොම උපදෙස් දෙන්නෝද වූහ. ප්‍රශ්නය සැවොම උපදෙස් දෙන්නට ගියේ මෛත්‍රීපාල සිරිසේනට පමණක් වීමය. එයට හේතුව දේශපාලනයට හඳුන්වා දුන් නව නාමකරණය නිසාය. එනම් ‘පොදු අපේක්ෂකයා’ නිසාය. ඔහු නමට අනුව පොදුය. සැමගේ වහලාය. ගෝලයාය. වැඩකරුවාය. එය පොදු ජනයා පිනට ඔසවා තබන තනතුරක්ය. ඒ අනුව මේ සැමට අනුව මෛත්‍රීපාල නිකමෙකි. ඒ අය ඔසවාගෙන ඇවිත් පුටුවේ තැබූහ. දැන් ඒ සැමගේ පදයට අනුව මෛත්‍රීපාල නැටිය යුතුය. වරද සිදුවූයේ එතැන් සිටය. පටන් ගත්තේ එතැන් සිටය. ඔසවාගෙන ඇවිත් ඉන්දුවද ඉන්දුවේ රජ පුටුවේ නම් ඉන්පසු ඔහු රජුය. ඉන්පසු ඔහු අපේ රජු විනා අප පත් කළ රජු නොවන්නේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ තැන සිට ඔහුට උපදෙස් දෙන්නට සේරම පොර කෑහ. මේ සැමගේ ඕනෑඑපාකම් මත ඉන්නට මෛත්‍රීපාල දේශපාලනිකව චූටි බබෙක්ද? එහෙත් ඔහු මුලදී චූටි බබෙක් වී හැමගේ අතින් අතට ගිය බවද කිව යුතුය. එහෙත් බබාලා ලොකු වන බව මේ තොත්ත බබාලා තේරුම් නොගත්හ. යහපාලනය යන පොදු වචනය තුළ මෛත්‍රීපාල පමණක් ඉලක්ක කොට ඔහු රූකඩයක් කොට ගෙන සැවොම නූල් අදින්න ගිය බැවින් සියල්ලන් මුලසිටම ඇන ගන්නට පටන් ගත් බව කිව යුතුය. සමහර මහාචාර්යවරු අදත් උමතුවෙන් මෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේනට අකුරුවලින් බැණ වදිති. ඒ වේදනාව පොදු එකක් නොව, පෞද්ගලික එකක් බව පැහැදිලිය. මේ රනිල්වාදීන් සිතනුයේ තමන් රනිල්වාදීන් බව කිසිවකුත් නොදන්නා බවය. සැබැවින්ම සැවොම සිටිය යුත්තේ එය නොදන්නා ගාණටය.

ශිරාල් – මෛත්‍රී
සැවොම ජනපතිගේ උපදේශකයන් වන්නට පොර කනවිට ඒ උපදේශකයෝ රනිල්ගේ අතකොලු බව මනාව දත් කලක් රනිල්ගේ අතකොලු වූ ශිරාල් ලක්තිලක සහ මෛත්‍රී ගුණරත්න ඉහත සැමට වඩා අපූරුවට ජනපති මෛත්‍රීට ළංවූයේ රනිල්වාදීන් සියල්ල රනිල්ගේ වුවමනාවට රනිල්ට අවැසි දේ කරමින් ජනපති අත්අඩංගුවට ගෙන ඇති බව ජනපතිගේ ලේ නහරවලටම කාවද්දමිනි. එතැන් සිට මෛත්‍රීපාල සිරිසේන ශිරාල්ගේ අනුගාමියෙක් විය. එය ටක්කෙටම වැඩ කළේය. දේශපාලනිකව තනිවූ මිනිසකුට විස පොවන්නට ශිරාල් පන්නයේ දේශපාලන කෛරාටිකයකුට උපන් හපන් කමක් ඇත. එහිදී සරත් විජේසූරිය ශිරාල්ගෙන් දේශපාලනය උගත යුතුය. තමා තමයි ගෙනාවේ කියමින් වැඩ පවරනවාට වඩා කළයුත්තේ ඔහුට ඇත්තේ අවංකව තමන් පමණක් බව ඒත්තු කොට ළංවීම බව ශිරාල් මනාව පෙන්වීය. ශිරාල් නිසා මෛත්‍රී ගුණරත්න කිට්ටුවනවා හැර ඔහුට ඇති දේශපාලන පෙළහරක් නැත. මෙහිදී මෛත්‍රීගේ දේශපාලන කෞටිල්‍ය වී ඇත්තේ ශිරාල්ය. ශිරාල්ට ඇත්තේ රනිල් සමග ගැටුමකි. එම ගැටුමෙන් සැමදා සිදුවූයේ ඔහු බරපතළව පරාජය වීම පමණය. තනිව සටන් කළ නොහැකි බව දත් ශිරාල් නිතර කළේ තමන් සටන් පුරුදු කොට වෙනකකු රනිල් සමග ගැටුමට දමන්නට උත්සාහ කිරීමය. ඔහු ඒ සඳහා සජිත් තෝරා ගත්තද සජිත් යනු කාගෙන් වුව සටන් උගෙන තරග නොවදින තරගකරුවෙකි. ඔහුද සියල්ල පිනට ලැබෙන තුරු බලා සිටින කම්මැලියෙකි. එහෙත් එය ඉවසීම සහ දේශපාලන උපායක් ලෙස ඔහු පෙන්වමින් සිටී. හම්බන්තොට දේශපාලනය කරන රාජපක්ෂලාටත් බය නැති ඔහු රනිල්ට බයය. රනිල්ගෙන් පසු කවදා හෝ තමන් යැයි සිහින දකින ඔහු ශිරාල්ගෙන් උගත් සටන් රනිල් සමග උරගා බලන්නට තියා සටනකට අභියෝග හෝ කරන්නේ නැත. මේ සියලු කාරණා නිසා හුදෙකලාව අනාථ වූයේ ශිරාල්මය.

එහෙත් ඔහු රනිල් සම්බන්ධයෙන් කැත්තට පොල්ලම විය. කැත්තෙන් කොතෙක් එය කැපුණද දෙකඩ නොවීය. තනියට ඔහුට මෛත්‍රී කෙනකු ළඟ හිටියද? ගැලවුමට මෛත්‍රී කෙනෙක් ලැබෙතැයි ඔහු කිසි කලෙකත් නොසිතුවා සහතිකය. එහෙත් නොසිතන දේ කොතෙක් වේද? සියලුම දේශපාලන පණ්ඩිතයන් රනිල් සරණ යමින් ජනපති මෛත්‍රීට වටකර පහර දෙන විට ශිරාල් මෛත්‍රීට ළංවිය. ජාඩියට මූඩිය සෙට් විය. ශිරාල් නම් දේශපාලන ඔළුවට හරියටම ගැළපෙන කඳ හමුවිය. ඇසිල්ලෙන් ඔහු ඒ කඳට හිස සෙට් කළේය. ජයසේන දැන් මහසෝනා වී සෙසු සියල්ලන්ම නූල් බඳින තැනට වැඩ සිද්ධවෙමින් පවතී. දැන් සෙස්සෝ කෑ කෝ ගසන්නේ බයටමය.

සෙල්ලමේ කැත
මේ සෙල්ලමේ කැත වෙන කිසිවක් නොව ශිරාල් තුළද ඇත්තේ රනිල් කෙනෙක්ම වීමය. රනිල් සමග තදින්ම ඇලී ගැලී සිටි ඔහු දේශපාලන ගුරු කොට නොතැකුවද, මුලදී ඔහුගේ දේශපාලන ගුරුවන්නේ රනිල්ය. ශිරාල් වැනි පොඩි ගස් රනිල් ළඟ ලොකු ගස් විය. ඒ රනිල් පොහොර, වතුර දැමූ නිසාය. එහෙත් කාට වුව අත්වන ඉරණම ශිරාල්ටද පොදුය. එනම් ශිරාල්ටත් මුලදී වැරදුණේ තමා ගේම් දෙන්නෙ ගේම් කිංග් කෙනකුට බව නොදැන සිටීම නිසාය. තමා දේශපාලන පාතාලයෙක් නම් රනිල් එහි ගෝඞ් ෆාදර් බව ශිරාල් නොදැන සිටියේය. එහෙත් එජාපයේ බලකණු වෙනුවෙන් හෝ මුලදී දිවි පුදන්නට ඒ අය බලයට ගේන්නට ශිරාල් පෙරමුණ ගත්තේය. රනිල්ගෙන් ගැලවීමක් නැති බව දැන දැනම කුරුසයට කර ගැසුවේය. ශිරාල් එජාපයේ වෙනසක් බලාපොරොත්තු වූ අයෙක් මෙන්ම එජාපයේ නායකත්වය බලාපොරොත්තු නොවූ අයෙක් බවද කිව යුතුය. ඔහු අරගල කළේ දිනෙන් දින පිරිහෙන එජාපය රනිල්ගෙන් ගලවාගෙන යන පාරකට ඇද දමන්නටය. එහෙත් සටනේ පිටුපස බලන කල ඔහු තල්ලු කරගෙන ආ කිසිවකු නැත. ඔහුට ඉබේටම යටත් වන්නට සිදුවූයේ සටනක් නැතිවම රනිල් ජයගෙන ඇති බව වැටහුණු පසුවය. එහෙත් රනිල්ගෙන් සමාවක් නොවීය. ශිරාල් තනිවිය. කොන්විය. ඒ වටපිටාවක අර බලය, මේ බලය කියමින් කරතබාගෙන ආ මෛත්‍රීපාල සිරිසේනව කොඳු කැඩෙන්න අතහැර යනවිට ඊට සාත්තු කරන්නට ශිරාල් ඉදිරිපත්වන්නේ බිඳුණු කොන්දට නව පණක්ද දෙමිනි. එයට ලැබුණු හොඳම ඖෂධය නම් බැඳුම්කරයය. බැඳුම්කර මගඩියත් සමග එජාපය නොව රනිල් තවදුරටත් මහත්මයෙක් නොවන බව තහවුරු විය. එය අදටත් මේ යහපාලනය දෙදරීමේ මුල් බැල්ම බව රනිල්වාදීන් වටහා නොගනිති. මන්ද ඔවුන්ට අනුව කාලයක් යනතුරු එය වරදක්ද නොවීය. අදටත් නොවිය හැක. ඒ අය දැක්කේ සහ දකිනුයේ රාජපක්ෂලාගේ වැරදි පමණි. එහෙත් ඒ වැරදි අස්සේ රනිල්ලා කරන වැරදි වැරදි නොවීය.

එකම ගැටුම
දැන් නිර්මාණය වී ඇත්තේ එකම පන්නයේ ගැටුමකි. එනම් රනිල් විරෝධී ගැටුමකි. ශිරාල්ගේ වුවමනාව ඉටුකරගත හැකි මොහොතකි. ඒ සඳහා ඔහුට ඕනෑම දේ ලැබී ඇත. සේනානායකලාගේ එජාපයක් හොයන ජනපති මෛත්‍රීපාල, වික්‍රමසිංහලා සමග ගමනක් නැති බව මේ වනවිට තහවුරු කොටගෙන හමාරය. එය ඉදිරියේදී රාජපක්ෂලා සමග වුව යා හැකි ගමනකි. එහෙත් වික්‍රමසිංහලා සමග නොවේ. පහළොවේ කණ්ඩායම නොහොත් දේශපාලන තක්කඩියෝ රැළ වෙස් මුහුණු දාගෙන නටනුයේ මෛත්‍රී පිටපතකටමය. දැන් මේ සැමට වුවමනා ශ්‍රී ලංකා රජයක්ය. එයට එජාපය සමග ගොස් ශ්‍රී ලංකා විය නොහැකිය. පොහොට්ටුකාරයෝ මුලින් ශ්‍රී ලංකාකාරයෝ නිසා නැවත ඒ අය ශ්‍රී ලංකා වූ පසු ජය නියත බව දැනට මේ අයගේ තක්සේරුවය. මේ තක්සේරුව අධිතක්සේරුවක් වූයේ පළාත් පාලන ඡන්දය පොහොට්ටුව දිනූ පසුවය. වැඩකට නැති කතා කියන ජනපති මෛත්‍රීපාල පොහොට්ටුව සහ එජාපය අධිමානයෙන් සිටියත් ඒ දෙපිරිසටම තමන් ඇතුළු ශ්‍රී ලංකා එක නැතිව ගමනක් නැති බව ආඩම්බරයෙන් කීවද අර දෙපිරිසටම වඩා ඔහුට තනිව ගමනක් නැති බව නොපිළිගනී. තුන්ගොල්ලෝම අනාථ වී ඇති බව ඔවුහු නොපිළිගනිති.

දහනව වන සංශෝධනයට අනුව මහින්ද රාජපක්ෂට නැවත ජනපති විය නොහැකි වුවත්, කොතනකවත් ඔහුට අගමැති විය නොහැකියැයි සඳහන් නැත. ඒ නිසා ඉදිරියේදී මෛත්‍රී ජනපති වී මහින්දට අගමැති විය හැකිය. යහපාලනය තුළ අගමැති ලෙස රනිල් පෙන්වන අභිමානය නිසා මහින්ද වුව අගමැතිකමට දැන් කැමති බව ස්ථිරය. 2020දී ජනපති වැඩකට නැති බවත් අගමැති ප්‍රබල බවත් තර්ක කළද පවතිනුයේ මේ තත්ත්වයමය. මේ තත්ත්වය යටතේ අගමැතිට යම් බලතල ඇතත්, ජනපති නිකමකු නොවන බව පැහැදිලිය. ඒ නිසා ඇතැමුන් අසන පැනය එනම් මහින්ද අගමැති වුවහොත් රනිල් වගේ සරල වෙයිද? මෛත්‍රීට සෙල්ලං නැති වෙයි වැනි කතා තර්ක කළ හැකිය. එහෙත් රනිල්ද සරල නැති බව කිව යුතුය. රනිල් මහින්දට හපන්ය. ඔහු කරනුයේ ඇඟේ සිටිමින් සාරය උරා බී මෛත්‍රී විනාශ කිරීම නම් මහින්ද එය ලොක්කාම වී මෛත්‍රී එලවා දමනවා යන විකල්පය තෝරා ගනු ඇත. එය ඒ මොහොතේ හිතන තරම් ලේසි පහසු නොවන්නට ඉඩ ඇත. දෙවැනි වර පැමිණියහොත් ඒ මෛත්‍රී මේ මෛත්‍රී නොවන බවද සිතිය යුතුය. ඒ ශිරාල්ගේ උපරිමය විය හැක. ඊළඟට ශිරාල් ප්ලෑන් ගසනුයේ රනිල් වෙනුවට මහින්ද එලවීමටය. රනිල් එළවිය හැකි වුවහොත් පැරදිය හැකි වුවහොත් ශිරාල්ට දේශපාලනිකව මහින්ද එතරම් දෙයක් නොවනු ඇත. මෛත්‍රී ඒ නිසා මේ මොහොතේ ශිරාල් තියරිය මනාව අදහන බව ස්ථිරය.

එජාපය යනු
රාජපක්ෂ ආණ්ඩුවට තදින්ම වැදුණු පහර නම් ඒ ආණ්ඩුව හොරු බවය. දූෂිතයෝ බවය. හොරකම, දූෂණය රාජපක්ෂ ආණ්ඩුවෙන් පමණක් නොව යහපාලනයෙනුත් මනාව සිදුවේ. ඒ නිසා සැවොම හොරුය. දූෂිතයෝය. මේ මෛත්‍රීට මඬේ පිපුණ නෙළුම විය නොහැකිය. ඔහුගේ දියණිය අධිවේගී ගමනක් යමින් සිටී. සහෝදරයන් දේශපාලනයේ ගුල්ලන් වී ඇත. සියලු ප්‍රචාරක වැඩ චතුරිකා අතේය. එබැවින් කුට්ටියම යන්නේ ඇයටය. ඒවා නොවන ගාණට ඉන්නට ජනපති මෛත්‍රීට හැකිය. මන්ද ඔහුට ශුද්ධවන්තයකු ලෙස කතා කරන්නට හැකිය. එය රෙද්ද පල්ලෙන් බේරෙන බව ඔහු ඇරෙන්න සැවොම දනිති. රාජපක්ෂ ආණ්ඩුව හොරු නම් එජාප ආණ්ඩුවට කෙළවුණේ ඇයි? බොහෝ අය කියන සරල කාරණය රනිල් තම හිතවත් රාජකීය මිතුරු නඩය නඩත්තු කරන නිසා එජාපය විනාශ වී ඇති බවය. එම සත්‍යයද? මහින්ද රාජපක්ෂ පවුල නඩත්තු කළා නම් රනිල් කළේ මිතුරු කැළ නඩත්තු කළ එකද? සරල පිළිතුර නැත යන්නය. එජාප නායකයා ලෙස රනිල් කළේ තම ලිංගික ආශාවන් නඩත්තු කිරීමය. මහින්ද පවුල ගොඩ දාගත්තේ නම් රනිල් කළේ තම ලිංගික කුලකය ගොඩදා ගැනීමය. මිතුරු කැළ, රාජකීය මිතුරු කැළ වැනි බොරු නම් අහකට කළහොත් ඇත්ත නම් රනිල් කරනුයේ බලය ඇතිව හෝ නැතිව තම ලිංගික ගමන පවත්වාගෙන යෑමය. එයට එජාපය බිලිදීමය. මෙතැනදී අපි ලිංගිකත්වයට විරුද්ධයි වැනි ගොන් කතා නොකියමු. පක්ෂයම පක්ෂ නායක කමම ඒ වෙනුවෙන් නඩත්තු කිරීම පමණක් අපි ගෙන හැර පාමු. හොරු වලත්ත වැඩ කරනවා මෙන්ම වලත්තයෝ ද හොර වැඩ කරති.

මහින්ද තම පවුලේ අය කුමක් කළද ඉවසූ පරිදිම රනිල්ද තමා වටා සිටි අය කුමක් කළද ඉවසයි. ඊට යටින් මේ දෙදෙනාටම තම අභිප්‍රායන් ඇති බැවිනි. රනිල්ට රකින්නට පවුලක් නැති නිසා හොරකම් නොකරනවා වැනි ළාමක කතාද ඇතැම් දේශපාලන විචාරකයෝ කීහ. මලික් සමරවික්‍රම හොර තක්කඩිකම් කරමින් රකින්නට උත්සාහ කරනුයේ කුමන පවුලද? රනිල්ගේ ලිංගික පවුල් කුලකයද කම්බ හොරුය.

දැනට අනුව මහින්දගේ දේශපාලන උපදේශකයන්ටත් රනිල්ගේ දේශපාලන උපදේශකයන්ටත් වඩා මෛත්‍රීගේ දේශපාලන උපදේශක ශිරාල් ලක්තිලක හොඳය. එය මගේ පෞද්ගලික අදහසය. එහෙත් කිවයුත්ත නම් රනිල්ටත්, මහින්දටත් වඩා මෛත්‍රී භයානක බවය. ඒ බව ඔහුගේ රූපාන්තරණයෙන් මනාව වැටහෙනු ඇත. දැනට මහසෝනාගෙන් වැඩ ගන්න ශිරාල්ට වුව ඉදිරියේදී දුවන්නට පාර මදිවනු ඇත. මෛත්‍රී යනු ලේසි පහසු කොඩිවිනයක් නොවන බව එය බැඳගෙන වැඩ ගන්නට උත්සාහ කළවුන් මනාව වටහාගෙන ඇත.

ඇලඩින්ගේ පුදුම පහන ලැබුණා යැයි සිතා පහන අතගා භූතයා එළියට ගෙන වැඩ පෙන්වන ශිරාල් සිතිය යුත්තේ පහනේ බලය ගිලිහී භූතයා පහනට ඔබා ගැනීමට නොහැකි කාලය ළඟ ළඟ එන බවය. ඊට පෙර රනිල් දේශපාලනිකව අහවර කරගැනීමට ඔබට හැකිවුවහොත් ඔබ ගොඩය. මන්ද ඉන්පසු කුමක් වුවද ඔබගේ ඉලක්කය සපථ වන බැවිනි. එහෙත් ඒ මුකුත් නැතිව දැනට නටන පිස්සුවේ උපරිමයට ජනපති නැටුවහොත් ශිරාල්ටත් අපට මෙන් බලා සිටිනවා හැර කළ හැකි දෙයක්, දියහැකි උපදෙසක් නැතිවනු ඇත. මන්ද මෛත්‍රී යනු මහින්ද රනිල් දෙකෙහිම සංකලනයකි. ශිරාල් නොදන්නා හරුපය එයය.