පරමාධිපත්‍ය බලය අඳුරෙහි සිරකරමුද?

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

නීතිමය කරුණු අතර සඟවාගෙන සිටින දේශපාලන වුවමනාවන්ගේ පෙළ ගැසීම අනුව පළාත් සභා ඡන්ද මේ වසරේදී පැවැත්වීමේ හැකියාවක් නොපවතින අතර ඒවා පවත්වන්නේ නම් පැවැත්විය හැකි වන්නේද ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් මාසවලය. මීට පෙර ප්‍රාදේශීය සභා, නගර සභා පමණක් නොව මහ නගර සභා පවා ආණ්ඩුව විසින් බොහෝ කාලයක් නිලධාරී පාලනයට යටත් වීමට ඉඩ හැර තබා තිබිණි. එසේ පළාත් පාලන ඡන්ද පැවැත්වීම විශාල කාලයක් ප්‍රමාද කෙරුණු අතර ඊළඟට පැවැත්විය යුතුව තිබෙන පළාත් සභා ඡන්දයට ද එම ඉරණම ම අත්කර දීමට ආණ්ඩුව පසුබට නොවීය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ පළාත් සභා 9න් 6ක් ම නිලධාරී පාලනයට යටත් වීමය. පළාත් පාලන ඡන්ද හෝ පළාත් සභා ඡන්ද මෙසේ නොපවත්වා කල් දැමුවද තවත් වසරකින් පැවැත්විය යුතුව තිබෙන ජනාධිපතිවරණය එසේ කල් දැමීමේ ව්‍යවස්ථාමය ඉඩකඩක් ආණ්ඩුවට නොමැත.

ඡන්ද සිතියමේදී ආණ්ඩුවට බාලගිරි දෝෂය වැළදෙන විට අනෙක් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂය කරමින් සිටින්නේ ඡන්ද පමණක් ඉල්ලා සිටීමය.

එහෙත් ඉතා වැදගත් දේ වන්නේ ඡන්ද පමණක් ඉල්ලා සිටීම නොවේ. ඒ ඡන්දවලින් බලයට පැමිණෙන දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් වලට නැතහොත් මහජන නියෝජිතයන්ට රට ගොඩ නැඟීමට ඇති ප්‍රතිපත්ති හා සැලසුම් මොනවාද යන්නය. පසුගිය පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල වලට අනුව සමස්තයක් ලෙස ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා බහුතරයක් ජය ගත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පොදු ජන පෙරමුණය. එහෙත් ඔවුන් එම ඡන්දය ජය ගන්නා අවස්ථාව වනවිට ඒකාබද්ධ විපක්ෂය ඇතුළු වර්තමාන පාර්ලිමේන්තුව, එම පුංචි ඡන්ද ක්‍රමය කොතරම් අවුල් ජාලාවක් බවට පත්කර තිබුණේ ද යත් සභිකයන් සංඛ්‍යාව 4000 සිට 8000 දක්වා දෙගුණයකින් පමණ ඉහළ ගියා පමණක් නොව ඇතැම් සභාවල පාලක පක්ෂය කුමක්ද යන්න සහ සභාපතිවරයා තෝරා ගැනීමද වියවුලක් බවට පත් විණි. අවසානයේ කුමන හෝ ක්‍රමයකට පළාත් පාලන ආයතන, නිලධාරී පාලනයෙන් ජනතා නියෝජිත පාලනයකට යටත් වුවද ඒවායේ නායකයන්ට එම ගම් හෝ නගර දියුණු කිරීම උදෙසා වැඩපිළිවෙළක් නොවීය. එජාපය හෝ ශ්‍රීලනිපය හෝ පොදු ජන පෙරමුණ (ඒකාබද්ධ විපක්ෂය) ඡන්දයට පිවිසියේ එවැනි ප්‍රතිපත්තියක් හෝ සැලසුමක් ඇතිව නොවේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්දයේදී හෝ ප්‍රධාන දේශපාලන බලවේගවලට එවැනි නිශ්චිත සැලසුම් ඇති බව අනුමාන කළ නොහැකිය.

ඒකාබද්ධ විපක්ෂයද ආණ්ඩුවෙන් ඡන්ද ඉල්ලනවා විනා ගම, නගරය, පළාත සහ රට දියුණුව කරා ගෙන යාමට අත්‍යවශ්‍ය වන්නා වූ වැඩපිළිවෙළක් පිළිබඳ හෝ එවැනි සූදානමක් පිළිබඳ පවා බරපතළ සාකච්ඡාවකට -මහජන සංවාදයකට අවතීර්ණ වී නැත. ‘යහපාලන ආණ්ඩුව’ නියෝජනය කරන ප්‍රධාන බලවේග වන එජාපය හෝ ශ්‍රීලනිපයට ගෙවී ගිය වසර තුනහමාරකට වැඩි කාලය තුළද එවැනි ශක්තිමත් වැඩපිළිවෙළක් නොතිබූ අතර වර්තමානයේ ද රට පරදුවට තබා සටන් කරමින් සිටින බව පෙනෙන්නේ පවතින බලය පවත්වා ගැනීමේ සහ යළි බලය ලබා ගැනීමේ ප්‍රතිපත්තියක් මත පිහිටාය.

විශේෂයෙන්ම රටේ විධායකය විහිළුවක් වන තත්ත්වයට පත්ව ඇති අතර 19 වන ව්‍යවස්ථා සශෝධනය විසින් විධායක ජනාධිපති ධූරය බරපතළ ලෙස බෙලහීන කරන ලද්දේය. වර්තමාන ජනාධිපති සිරිසේන මහතාට අවශ්‍ය විටෙක අගමැතිවරයා ඉවත් කිරීම,පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පමණක් නොව, පොලිස්පතිවරයා ඉවත් කිරීම හෝ ලංකා බැංකුව, මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලය පවා ඉවත් කරගත නොහැකිය. ඊළඟ ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයාගේ තටු සිඳීම කොතරම්ද යත් ඔහුට පඹයකු වීම හැර වෙන කළ හැකි දෙයක් ඉතිරි කර ඇත්තේ නැත.

අනෙක් අතට පාර්ලිමේන්තුවද පෙර නොවූ විරු අයුරින් විසුළු සහගත සභාවක් වී අවසන්ය. 69ක් මන්ත්‍රිවරුන් සිටින ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධූරය ලබා දෙන සම්ප්‍රදායකට මාරු වීම කතානායකවරයා උත්සාහ නොකරන අතර 16ක් සිටින දෙමළ ජාතික සන්ධානයේ සම්බන්දන් මහතා අඛණ්ඩව එම ධූරයේ රඳවා ගෙන සිටී. එහෙත් රටක විපක්ෂ නායකවරයාගෙන් රටටම වියයුතු කාර්යභාරය තබා ජනමාධ්‍යවේදියකුට ඔහුව දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට පවා හැකි වන්නේ කලාතුරකිනි. එකවිට ආණ්ඩුවේ ශ්‍රීලනිපය මෙන්ම විපක්ෂයේ ඒකාබද්ධය නියෝජනය කරන මන්ත්‍රීවරු පවා වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිති.

නීතියේ පාලනය පිළිබඳ ඇත්තේද කිසිසේත්ම නිශ්චිත විශ්වාසයක් ගොඩ නැඟුණු වාතාවරණයක් නොවේ. පොලිස්පතිවරයා විශ්වාසය පමණක් නොව ගෞරවයද අහිමි කරගත් රාජ්‍ය නිලධාරියෙක් බවට පත් වී ඇත.

විධායකය, පාර්ලිමේන්තුව, අධිකරණය, යන ප්‍රධාන ආයතන මහජන විශ්වාසය රඳවා ගත හැකි ප්‍රවේශයකට ගෙන ඒම සඳහා මේ ආණ්ඩුවට තිබූ අනගි අවස්ථාව වූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය. එහෙත් ආණ්ඩුවට ඒ සඳහා නිසි සැලසුමක් නොතිබුණා පමණක් නොව එය ප්‍රමුඛ කටයුත්තක් කර ගත්තේද නැත.
ඒ සමගම ඉහළම ප්‍රමුඛතාව ලබා දිය යුතුව තිබූ, ජනතාවට ජීවත් විය හැකි ආර්ථික වාතාවරණයක් රට තුළ ගොඩනැගීම විෂයෙහිද ආණ්ඩුව අසමත් වූයේය. වර්තමානයේ ජනතාව දැඩි ජීවන අර්බුදයක සිටිනවා පමණක් නොව රටේ සමස්ත ආර්ථිකයද ඇත්තේ ගොඩ ගත නොහැකි තරම් ගැඹුරු පතුලකය.

වර්ධනය වෙමින් පවතින, එක් පැත්තකින් ව්‍යාකූල අනෙක් පැත්තෙන් විසුළු සහගත දේශපාලන තත්ත්වයන් පෙන්නුම් කරන්නේ එජාපයට, ශ්‍රීලනිපයට හෝ පොදුජන පෙරමුණට ඡන්දයකට මුහුණ දිය හැකි වුවත් අර්බුදයෙන් ගොඩගෙන ඉදිරියට තල්ලු කිරීමට නිශ්චිත ප්‍රතිපත්තියක් හෝ සැලසුමක් ඔවුන්ට නොමැති බවය. පළාත් පාලන ඡන්දය ජයගත් නිසා පළාත් සභා හෝ පාර්ලිමේන්තු හෝ ජනාධිපති ආදී ඕනෑම මැතිවරණයක් ජයගත හැකි බවට පොදු ජන පෙරමුණ විශාල දේශපාලන විශ්වාසයකින් සිටින බව පෙනෙන්නට තිබුණත් ප්‍රමුඛ කාරණා සේ සැලකිය හැකි ව්‍යවස්ථා අර්බුදය හා ආර්ථික අර්බුදය හා ජාතික අර්බුදය උදෙසා ඔවුන්ට කිසිදු සැලසුමක් ඇති බවක් පෙනෙන්නේ නැත.

පසුගිය පළාත් පාලන ඡන්දයේදී මහරගම ජනතාව, බයිසිකලය ලකුණින් ඉදිරිපත් වූ කණ්ඩායමට මහරගම නගරයේ පාලන බලය ලබාදීමේ හරය ලෙස අනුමාන කළ හැක්කේ අපේක්ෂා බිඳ දැමූ එජාපයට හා ශ්‍රීලනිපයට විරෝධය පළ කිරීමය. තම නගරය නිසි පරිදි කළමනාකරණය කළ හැකි විශ්වාසවන්ත සැලසුමක් ඉදිරිපත් කරන කණ්ඩායමක් ඡන්දයට ඉදිරිපත් වී ඇත්දැයි සොයා බලනවා වෙනුවට ඔවුන් කළේ සිය පරමාධිපත්‍ය බලය යොදවා ඉතා සරල ලෙස අනාගතය අඳුරේ සිර කිරීමය.

අනෙක් පැත්තෙන් කොළඹ නගරයේ බලය ලබාගත් එජාපයට රෝසි සේනානායකට අඩු ගණනේ දිනපතා එකතු වන කුණු ටික කළමනාකරණය කරගැනීමටවත් තමන්ගේම කියා සැලසුමක් තිබුණේ නැත. කොළඹ කුණු බාර නොගැනීමට ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව තීරණය කළ පළමු පැය කිහිපය තුළදීම සේනානායක මහත්මිය සැලසුම් නොමැති අසමත් නායිකාවක් බවට පත් වූවාය.

එජාපයෙන් සහ ශ්‍රීලනිපයෙන් පළි ගැනීම උදෙසා පොදුජන පෙරමුණට ඡන්දය ලබා දුන්නද, මහින්ද ප්‍රමුඛ පොදුජන පෙරමුණෙන් පළිගැනීම උදෙසා එජාපයට ඡන්දය ලබා දුන්නද ජනතාවගේ තෝරාගැනීම, තමන්ව වළෙන් ගොඩගන්නා මාවතක් වනු වෙනුවට තවත් ගැඹුරට ඇද වට්ටන මාවතක් වීම නොවැළැක්විය හැකිය. ජනතා සංවාදයෙන් බිහිකරනු ලැබූ නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති, සැලසුම් විරහිත දේශපාලන ව්‍යාපාරයක් අතට රටක් බාරදීම නොකළ යුතු දේශපාලන වරදක් වන්නේය. මේ නිසා සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ අර්බුදයෙන් ගොඩ ඒමේ, රට ඉදිරියට තල්ලු කිරීමේ සිය සැලසුම් ප්‍රමාදයකින් තොරව ජනතාවගේ සාකච්ඡාවට යොමු නොකරන්නේ නම් වෙනත් මාවතක් සොයා ගැනීම හැර ජනතාවට විකල්පයක් ඉතිරි නොවන්නේය.

මේ නිසා එජාපය (එජාපෙ), ශ්‍රීලනිපය, පොදු ජන පෙරමුණ (ඒකාබද්ධ විපක්ෂය) පමණක් නොව ජවිපෙ පවා ප්‍රමුඛ සමාන්තර ප්‍රශ්න දෙකකට නිශ්චිත පිළිතුරු සැපයීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේය. විධායකය,පාර්ලිමේන්තුව, අධිකරණය නිසි බලතල සහිතව, නිසි සමබරතාවයෙන් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අනිවාර්්‍ය වන්නා වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පතක් සකසා කඩිනමින් මහජන සාකච්ඡාවට ඉදිරිපත් කිරීම එහි පළමුවැන්න ලෙස සැලකිය හැකිය. ඊට සමාන්තර දෙවැන්න විය යුතුව තිබෙන්නේ ජනතාවට සාධාරණ ජීවන තත්ත්වයක් උදා කෙරෙන රටක් ලෙස මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදිය හැකි ශක්තිමත් ප්‍රායෝගික ආර්ථික සැලසුමක් ජනතාව ඉදිරියේ තැබීමය.

ඒවා මෙතෙක් උරගා බැලූ අසමත් සහ ප්‍රායෝගික නොවන ඒවා නොවිය යුතුවාක් මෙන්ම ජනතාව විසින් බලගන්වන ලද සංවිධානවල පරීක්ෂාවට සහ ප්‍රශ්න කිරීම් වලට ද ලක්විය යුතුව තිබේ. එහෙත් එවැනි අත්‍යවශ්‍ය වුවමනාවකින් ජනතාව විසින් ප්‍රධාන දේශපාලන බලවේග ප්‍රතිපත්ති සහ සැලසුම් කරා ගෙන යාම මඟහැර පාලන බලය ලබාදීමේ පිළිවෙතකට මාරු වන්නේ නම් අවසාන ප්‍රතිඵලය විය හැක්කේ විනය සහ නීතියද පිරිහුන දුප්පතුන්ගේ ලෝකයක් දෙසට රට ඇද වැට්ටවීමය.