අවිනිශ්චිතභාවයේ නිශ්චිත බව

ජයදේව උයන්ගොඩ

මේ දිනවල ලංකාවේ තිබෙන්නේ නිමක් නැති දේශපාලන ව්‍යාකූලත්වයක් සහ අවිනිශ්චිතභාවයකි. මෙම දේශපාලන අවිනිශ්චිතභාවය මැද එකම නිශ්චිත දෙය වශයෙන් පවතින්නේද අවිනිශ්චිතභාවය පමණකැයි පුරවැසියෝ දකිති.

මෙම දේශපාලන අවනිශ්චිතභාවය සෑම දේශපාලන අවකාශයකම සිදුවන බව පෙනේ. එය ප්‍රධාන වශයෙන් ප්‍රකාශ වන්නේ ආණ්ඩුව පැත්තෙනි. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර සම්බන්ධතාව පුද්ගලික වශයෙන් ඔවුනොවුන් නොරිස්සන හා දේශපාලන වශයෙන් ඔවුනොවුන් සමඟ පසමිතුරු සහ එකිනෙකා දේශපාලන වශයෙන් නැතිකර ගැනීමේ තත්ත්වයට පිරිහී තිබෙන බව පෙනේ. මෙහි ක්ෂණික ගොදුර බවට පත් වී තිබෙන්නේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය හා ආණ්ඩුකරණ ආයතනයි. ඒ දෙකම වේගයෙන් බිඳ වැටෙමින් තිබේ. ඒ ගැන ජනාධිපති සහ අගමැති යන දෙපොළ කනගාටු වන බවක් නොපෙනේ. ඒ කනගාටු වන්නට තරම් ඒ ගැන වැටහීමක් එම දෙපළට නැති නිසා විය හැකිය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය සිටින්නේ ද ඊට නොදෙවැනි ව්‍යාකූලත්වයකය. එය ප්‍රකාශ වන්නේ, ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයකු තෝරා ගැනීම සම්බන්ධයෙන් මාස ගණනාවක් පුරාම පැතිරෙන නිමක් නැති බල අරගලය වෙතිනි. ආණ්ඩුවක් බෙදී, දුර්වල වී, අභ්‍යන්තර වශයෙන් කඩා වැටෙන විට තමන් නියම විකල්පය යැයි කියන්නට නම් ඒකාබද්ධ විපක්ෂයට අභ්‍යන්තර ශක්තියක් තිබිය යුතුය. එහෙත්, ඒකාබද්ධය සිටින්නේ කඳවුරු කිහිපයකටවත්, සමනය කළ නොහැකි දේශපාලන විජිගීෂාවන් සහිත පුද්ගලයන් වටාත්, බෙදී යමිනි. ආණ්ඩුවත් විපක්ෂයත් යන දෙකම බෙදී ව්‍යාකූල වී අභ්‍යන්තරව මෙතරම් දුර්වල වි සිටින ආණ්ඩුවක් මීට පෙර අප රටේ තිබුණේද යන්න තරමක් මහන්සි වී කල්පනා කර පිළිතුරක් සොයාගත යුතු ප්‍රශ්නයකි.

මේ ව්‍යාකූලතාව වඩාත් උග්‍ර කරන කරුණක් තිබේ. එය නම්, දේශපාලන සිදුවීම් යැයි පුරවැසියන් ඉදිරියට එන්නේ විශ්වාස කළ නොහැකි ව්‍යාජ ප්‍රවෘත්ති සහ දේශපාලන නායකයින් සිදුකරන වගකීම් විරහිත කතා නිසාය. මේ ගැන බොහෝ නිදසුන් තිබේ. හොඳම නිදසුන රෝ ඔත්තු සේවය ජනාධිපතිතුමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරතැයි යන කතාවය. එය කොතරම් පටු ලෙස දේශපාලනීකරණයට පාත්‍ර කර ඇත්ද යත්, එම ප්‍රවෘත්තිය දේශපාලනඥයින්ගේත්, මාධ්‍යකරුවන්ගේත් විනෝද ක්‍රීඩාවක ප්‍රස්තුතයක් බවට ලඝුකර තිබේ.

එම ප්‍රවෘත්තිය ආරම්භ වීම පිළිබඳව පුවත්පත් වලම වාර්තා වූ තොරතුරු අප විශ්වාස කරන්නේ නම් එම ප්‍රවෘත්තියට තුඩුදුන් සිදුවීම වගකිවයුතු ලෙස හැසිරෙන දේශපාලන නායකයින්ගේ චර්යාවට නිදසුනක් නම් නොවේ. මාධ්‍ය වාර්තාවල තිබූ පරිදි රෝ කුමන්ත්‍රණ කතාව එළියට ආවේ, ජනාධිපතිතුමා රාජ්‍ය රහසක් කැබිනට් මන්ඩලයට ඉතා වගකීමකින් වාර්තා කළ පසුව නොවේ. ජනාධිපති සහ අගමැති යන දෙදෙනා අතර කැබිනට් රැස්වීමකදී ඇති වූ බහින්බස් වීමක කොටසක් ලෙසය. එම බහින්බස් වීමේදී ජනාධිපති සහ අගමැති යන දෙදෙනාම ලූස් ටෝක් කර ඇති බව, එනම් සිතන්නේ නැතිව ඔහේ කතා කර ඇති බව, මාධ්‍ය වාර්තා වලින් පෙනිණ. මේ වාර්තා ෆේක් නිව්ස් දැයි පුරවැසියෝ නොදනිති. ඒ ඇත්ත ප්‍රවෘත්ති නොවන බවට සැක කරන්නටද නොහැකිය.

ජනාධිපති සහ අගමැති දෙපළ කැබිනට් මණ්ඩලයේ රැස්වීමේදී ලූස් ටෝක් කළා නම්, එය වනාහි ආණ්ඩුකරණයේ කේන්ද්‍රීය ආයතනය වන කැබිනට් මණ්ඩලයේ ආයතනික ගරා වැටීම කදිමට පෙන්වන නිදසුනකි. දැන් කැබිනට් මණ්ඩලයේත් ආණ්ඩුවෙත් විරුද්ධ පක්ෂයේත් සිටින දේශපාලනඥයින් සියලු දෙනාම පාහේ, දේශපාලන අධ්‍යාපනය ලබා ඇත්තේ ලංකාවේ පාර්ලිමේන්තු හා කැබිනට් ආණ්ඩුක්‍රමයේ සම්භාව්‍ය යුගයට පසු යුගයේදීය. එම පරිවර්තනීය අවස්ථාව නියෝජනය කළ ජේ. ආර්. ජයවර්ධන, පාර්ලිමේන්තු ක්‍රමය තීරණාත්මක ලෙස දුර්වල කළ නමුත් කැබිනට් සම්ප්‍රදායේ සමහර මූලධර්ම, තම අධිකාරවාදී අර්ධ ඒකාධිපති පාලන ශෛලියේම කොටසක් කර ගත්තේය. ඔහුගේ කාලය ගැන මතක තිබෙන අයට සිහිකළ හැකි පරිදි ඔහුගේ කැබිනට් රැස්වීම් සෑම බදාදා දිනකම හරියට උදේ දහයට ආරම්භ විය. කැබිනට් රැස්වීම පැයකට පැය එකහාමාරකට වඩා දිගු නොවීය. ජනාධිපතිවත්, අගමැතිවත්, ඇමතිවරුන්වත් ලූස් ටෝක් නොකළහ. ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ සිදු වූ සාකච්ඡා පුවත්පත් කතුවරුන්ට ලීක් නොකළහ. ලීක් කළානම් එය කළේ ජේ. ආර් මය. ප්‍රේමදාස මහතාගේ කාලයේද එම දැඩි අමාත්‍ය සම්ප්‍රදායම ඉදිරියට ගියේය.

මෙය වෙනස් වූයේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියගේ කාලයේය. බදාදා උදේ දහයට ආරම්භ වීමට නියමිත වූ කැබිනට් රැස්වීම පටන් ගත්තේ දහවල් එකට, එකහමාරට පමණය. අරලිය ගහ මන්දිරයට උදේ දහයට පැමිණි ඇමතිවරු ෂෝටීස් සහ තේ අනුභව කරමින් පැය දෙකකටත් වඩා කාලයක් ලූස් ටෝක් වල යෙදුණහ. ඊට පසු කැබිනට් රැස්වීම පැය දෙක තුනක්, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ලූස් ටෝක් මිශ්‍ර කරමින් පැවතිණ. ඉරිදා සන්ඬේ ටයිම්ස් සහ සන්ඬේ ලීඩර් පත්‍ර වල මැද පිටු දෙකේම කැබිනට් මණ්ඩලයේ සිදු වූ සාකච්ඡා විහිළු සහ ලූස් ටෝක් වචන පිටින්ම වාර්තා විය. ඉරිදා ඉංග්‍රීසි සහ සිංහල පුවත්පත් කතුවරුන්ට කැබිනට් සහ ආණ්ඩුවේ රහස් හෙළිකරන්නේ යැයි එකල සිටි ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනකු ගැන සැක කර තිබිණ. ඉන් එක්කෙනකු දැන් ජීවතුන් අතර නැත.

මෙයින් මතු වන ප්‍රධාන ප්‍රශ්නය නම් වර්තමාන දේශපාලන නායකත්වය අතර ‘ආයතනික විනය’ ගැන තැකීමක් නැහැ නේද? යන්නයි. එය ජනාධිපතිගේ සිට පහළටම සිදු වී තිබෙන පරිහානියක ප්‍රකාශනයක් බවද පෙනේ. 2015 ‘යහපාලන’ පොරොන්දුවේ තිබුණු එක් අර්ථයක් වූයේ ආණ්ඩුකරණ ආයතන යළි ගොඩනැගීමයි. බිඳවැටී තිබුණු කැබිනට් ක්‍රමය සහ පාර්ලිමේන්තුව යළි ගොඩ නැගීමද එම පොරොන්දුවේ ගම්‍ය වී තිබුණි. එහෙත් එම පොරොන්දුව දුන් නායකයින්ට එම අවබෝධය නොතිබුණ බවත් නොතිබෙන බවත් මෙරට පුරවැසියෝ නිරතුරුව නිරීක්ෂණය කරති.